Skip to content

පටුනට යන්න

3 පවුලේ අධිකාරිය හොබවන්න

3 පවුලේ අධිකාරිය හොබවන්න

3 පවුලේ අධිකාරිය හොබවන්න

ඇයි මෙය වැදගත්? එක් සඟරාවක පවසන්නේ මෙසේයි. “දැඩි නීති රීති යටතේ හෝ ලිහිල් ප්‍රතිපත්ති යටතේ වැඩෙන දරුවන්ට වඩා, ආදරය මෙන්ම යහමඟ යැවීමට අවශ්‍ය සීමා තහංචි පනවන දෙමාපියන් යටතේ හැදෙන දරුවන් අධ්‍යාපන කටයුතුවල දක්ෂ, අන් අය සමඟ සුහදව කටයුතු කරන, ආත්ම විශ්වාසයකින් ක්‍රියා කරන, ප්‍රීතිමත් දරුවන් බවට පත් වෙනවා.”—Parents සඟරාව ඇසුරෙන්.

අභියෝගය: ළමා කාලයේ සිට යොවුන් විය දක්වාම දෙමාපියන් හොබවන අධිකාරියට විරුද්ධ වීමට දරුවන් පෙලඹෙනවා. “දෙමාපියන් අධිකාරිය හෙබවීමට පසුබට වන විට එය හොඳින් වටහාගන්නා දරුවන් එයින් අයුතු ප්‍රයෝජන ගන්නවා. දෙමාපියන් දරුවන් කෙරෙහි නිසි අධිකාරිය හොබවන්නේ නැත්නම් දරුවන් කරන්නේ ඒ අධිකාරිය තමන් අතට ගැනීමයි” කියා ලේඛකයෙක් වූ ජෝන් රොස්මන්ඩ් පවසනවා.—Parent Power! සඟරාව ඇසුරෙන්.

විසඳුම: ඔබ හොබවන අධිකාරිය මගින් දරුවන් මානසිකව වැටෙන්නේවත්, එයින් ඔවුන්ට හානියක් වන්නේවත් නැහැ. පවුල් සංස්ථාවේ ආරම්භකයාණන් වන යෙහෝවා දෙවි අධිකාරිය හෙබවීමේ අයිතිය දී ඇත්තේ දෙමාපියන්ට පමණයි. දරුවන්ගෙන් දෙවි බලාපොරොත්තු වෙන්නේ ‘දෙමාපියන්ට කීකරු වීමයි.’—එෆීස 3:14, 15; 6:1-4.

ඔබේ අධිකාරිය දරඳඩු ලෙස හෙබවීමෙන් වැළකිය හැක්කේ කෙසේද? ඒ සඳහා යෙහෝවා දෙවිව කිට්ටුවෙන් අනුකරණය කරන්න. දෙවිට මනුෂ්‍යන් කෙරෙහි පූර්ණ අධිකාරිය හා බලය පැවැත්වීමේ අයිතිය තිබුණද ඔහු කාරුණිකව මෙසේ ඉල්ලා සිටින බව බයිබලයේ පෙන්වා තිබෙනවා. ‘අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්, නුඹේ සමාදානය ගංගාවක් මෙන් වන්නේය.’ (යෙසායා 48:18, පැරණි අනුවාදය) යෙහෝවා දෙවි කැමති වන්නේ අපි ඔහුට තිබෙන භය නිසා කීකරු වෙනවාට නොව නමුත් ඔහුට තිබෙන ප්‍රේමය නිසා කීකරු වෙනවා දකින්නයි. (1 යොහන් 5:3) යෙහෝවා දෙවි අපට කරන්න බැරි දේවල් කරන්න කියා අපෙන් ඉල්ලා සිටින්නේ නැහැ. ඒ වගේම, ඔහුගේ ප්‍රමිති පැවැත්වීමෙන් අපට ප්‍රයෝජන අත් වන බව ඔහු හොඳින්ම දන්නවා.—ගීතාවලිය 19:7-11.

දෙමාපියෙක් ලෙස ඔබේ අධිකාරිය හෙබවීම සඳහා විශ්වාසයක් ගොඩනඟා ගත හැක්කේ කෙසේද? පළමුව, යෙහෝවා දෙවි ඔබෙන් එය බලාපොරොත්තු වන බව ඔබටම සහතික කරගන්න. දෙවනුව, දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීම ඔබට මෙන්ම ඔබේ දරුවන්ගේද යහපතට හේතු වන බව තේරුම්ගන්න.—රෝම 12:2.

ඔබේ අධිකාරිය හෙබවීමට විශේෂයෙන්ම ඔබ කළ යුත්තේ කුමක්ද?

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔබේ පුත්‍රයාව හික්මවන්න. [පුහුණු කරන්න.] එවිට ඔහු ඔබට සැනසීමත් බොහෝ සතුටත් ගෙන දෙනු ඇත.”—හිතෝපදේශ 29:17