Skip to content

පටුනට යන්න

4 පවුලේ නීති ක්‍රියාත්මක කරන්න

4 පවුලේ නීති ක්‍රියාත්මක කරන්න

4 පවුලේ නීති ක්‍රියාත්මක කරන්න

ඇයි මෙය වැදගත්? “දරුවන්ට නීති ගැන මෙන්ම ඒවා කඩ කිරීම නිසා විඳින්න සිදු වන දඬුවම් ගැනද පැහැදිලි අවබෝධයක් තිබෙනවා නම් ඔවුන් ඒවා හොඳින් පිළිපදියි. පවුල තුළ නීති නොමැති නම් දරුවන් ආත්මාර්ථකාමී ස්වභාවයක් පෙන්වන අතර අන් අයවද කලකිරීමට පත් කරවයි” කියා ජෝජියාවේ විශ්වවිද්‍යාලයක සමාජ විද්‍යාඥයෙකු වන රොනල්ඩ් සයිමන්ස් පවසනවා. බයිබලයේ මේ ගැන දෙන සරල අදහස නම් මෙයයි. “ඔබ දරුවන්ට ආදරෙයි නම් ඔවුන්ව නිවැරදි කරන්න.”—හිතෝපදේශ 13:24, New Century Version.

අභියෝගය: දරුවන්ට සාධාරණ නීති පැනවීමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට කාලය, වෑයම මෙන්ම අධිෂ්ඨානයත් අවශ්‍යයි. එම නීති ඇත්තටම දෙමාපියන් ක්‍රියාත්මක කරනවාද කියා දරුවන් කඩින් කඩ පරීක්ෂා කර බැලීමට නැඹුරුවාවක් තිබෙනවා. මේ ගැන මයික් සහ සෝනියා පවසන්නේ මේ වගේ දෙයක්. “දරුවන්ට කුඩා කල සිටම ඔවුන්ටම ආවේණික වූ සිතුවිලි සහ ආශාවන් තිබෙන අතර වැරදි කිරීමේ නැඹුරුවාවක්ද තිබෙනවා.” මේ දෙමාපියන් ඔවුන්ගේ දූවරුන් දෙදෙනාට හුඟාක් ආදරෙයි. ඒත් ඔවුන් තමන්ගේ දූවරුන් ගැන පවසන්නේ මෙයයි. “සමහර අවස්ථාවලදී දරුවෝ ආත්මාර්ථකාමීයි. හරිම මුරණ්ඩුයි.”

විසඳුම: යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතිය සමඟ කටයුතු කළ ආකාරය ආදර්ශයට ගන්න. දෙවි ඔවුන්ට ඔහුගේ ප්‍රේමය පෙන්වූ අතර ඔවුන් පිළිපැදිය යුතු නීති ගැනත් පැහැදිලිව පැවසුවා. (නික්මයාම 20:2-17) ඒ වගේම එම නීති කඩ කිරීමෙන් අත් වන දඬුවම් ගැනත් දෙවි සඳහන් කළා.—නික්මයාම 22:1-9.

එමනිසා ඔබේ දරුවන් පිළිපැදිය යුතු පවුලේ නීති ලැයිස්තුවක් සෑදීම නුවණට හුරු නැද්ද? සමහර දෙමාපියන් පවසන්නේ, එම ලැයිස්තුවට නීති පහක් හෝ හයක් ඇතුළත් කිරීම ප්‍රමාණවත් බවයි. මෙවැනි නීති ලැයිස්තුවක්, ක්‍රියාත්මක කිරීමට මෙන්ම මතක තබාගැනීමටද පහසුයි. නීතිත් සමඟ ඒවා කඩ කිරීමෙන් ලැබෙන දඬුවම්ද සඳහන් කරන්න. ඔබට ඒ දඬුවම් ක්‍රියාත්මක කළ හැකි වන්නේ ඒවා සාධාරණ නම් පමණයි. පවුලක් හැටියට විටින් විට මේ නීති සලකා බලන්න. එවිට දෙමාපියන් ඇතුළු පවුලේ හැමෝටම එම නීතිවලින් බලාපොරොත්තු වන දේ දැනගත හැකි වෙනවා.

එම නීති කඩ කළ විට ඊට අදාළ දඬුවම දෙන්න. ඒත් ඔබ සිටින්නේ කෝපයෙන් නම් සන්සුන් වීමට ටික වෙලාවක් ගන්න. (හිතෝපදේශ 29:22) කෙසේවෙතත් දඬුවම ලිහිල් කරන්න එපා. එය කල් දමන්නත් එපා. ඔබ එසේ කරනවා නම් එම නීති එතරම් බැරෑරුම් ලෙස ගණන්ගත යුතුයි කියා දරුවන් සිතන්නේ නැහැ. මෙය බයිබලයේ තිබෙන අදහසට එකඟයි. “නපුරු ක්‍රියාවකට දෙන දඬුවම ඉක්මනින් ක්‍රියාත්මක නොකිරීම නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත නපුර කිරීමට භය නොවේ.”—දේශනාකාරයා 8:11.

ඔබගේ දරුවන්ට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් නීති පැනවිය හැක්කේ කෙසේද?

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘එස්ය නම් එසේය කියාද නැත නම් නැත කියාද පවසන්න.’—මතෙව් 5:37