Skip to content

පටුනට යන්න

5 කාලසටහනකට හුරු කරන්න

5 කාලසටහනකට හුරු කරන්න

5 කාලසටහනකට හුරු කරන්න

ඇයි මෙය වැදගත්? කාලසටහනකට අනුව වැඩ කිරීම වැඩිහිටියන්ට හුරු පුරුදු දෙයක් වුණත් දරුවන්ට නම් එය පුහුණු කළ යුතුයි. එසේ කිරීමට දරුවන්ට පුහුණු කළේ නැත්නම් එය ඔවුන්ගේ අනාගතයට ලොකු අවාසියක් වෙන්න පුළුවන්. මනෝ විද්‍යාව පිළිබඳ මහචාර්යවරයෙක් වන ලෝරන්ස් ස්ටයින්බර්ග් පැවසුවේ “දරුවන්ට පිළිවෙළකට හා කාලසටහනකට අනුව වැඩ කරන්න පුහුණු කරනවා නම් එමගින් ඔවුන්ට ආරක්ෂාවක් සැලසෙන අතර තමන් ගැන ලොකු ආත්ම විශ්වාසයකින් වැඩ කිරීමට හැකි වෙන බව අධ්‍යයනවලින් සනාථ වී තිබෙනවා” කියායි.

අභියෝගය: දෙමාපියන් ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා සෑම දවසකම තම දරුවන් සමඟ කාලය ගත කිරීම ඉතා අසීරු දෙයක් බවට පත් වී තිබෙනවා. දරුවෙකුව කාලසටහනකට අනුව වැඩ කිරීමට පුහුණු කිරීම එතරම් පහසු කාර්යයක් නෙවෙයි. මුලදී දරුවෙක් මෙයට එතරම් කැමැත්තක් නොදැක්වූවත් දෙමාපියන් තුළ දැඩි අධිෂ්ඨානයක් හා වෑයමක් තිබෙනවා නම් ඔහුව පුහුණු කළ හැකියි.

විසඳුම: “සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු වේවා” යන බයිබලයේ දී තිබෙන ප්‍රතිපත්තිය දෙමාපියන්ට මතකයේ තබාගන්න පුළුවන්. (1 කොරින්ති 14:40) උදාහරණයකට දරුවන්ගේ කුඩා අවධියේදී ඔවුන් නින්දට යා යුතු වේලාව දෙමාපියන් නියම කරන්න පුළුවන්. ඒත් දරුවන්ට එම නීතිය, සතුටින් කීකරු විය හැකි එකක් විය යුතුයි. ඒ සඳහා ග්‍රීසියේ වෙසෙන දියණියන් දෙදෙනෙක් සිටින ටැටියානා නම් මව ක්‍රියා කළ ආකාරය ගැන සලකා බලමු. “මගේ දරුවෝ දෙන්නා නිදාගන්න ගියාම ඒ දෙන්නව තුරුළු කරගෙන, මම දවසේ කරපු දේවල් ඒ දෙන්නාට කියනවා. ඊට පස්සේ එදා දවසේ ඒ දෙන්නා කරපු දේවල් මට කියන්න කියනවා. එතකොට ඒගොල්ලන්ගේ හැම දෙයක්ම මට කියනවා.”

ටැටියානාගේ ස්වාමිපුරුෂයා වන කොස්ටාස් දියණියන් දෙන්නා නිදාගන්න යනකොට ඒ අයට කතන්දර කියවනවා. ඒ ගැන ඔහු පවසන්නේ මෙයයි. “මගේ දරුවෝ දෙන්නා ඒ කතන්දරවලින් ඉගෙනගත්ත දේවල් මට කියනවා. ඒ වගේම ටික වේලාවක් ගියාම ඒ දෙන්නාගේ හිතේ තියෙන පුංචි පුංචි ප්‍රශ්නත් මට කියනවා. ඒත් මම කෙළින්ම ඒගොල්ලන්ගෙන් ඒ වගේ දෙයක් ගැන ඇහුවා නම් ඒ එකක්වත් මට කියන එකක් නැහැ.” දරුවන් උස් මහත් වෙනකොට ඒ අය නින්දට යන වේලාව ක්‍රමානුකූලව වෙනස් වෙනවා. ඒත් දෙමාපියන් හැටියට ඔබ දරුවන් නින්දට යෑමට පෙර ඔවුන් සමඟ කතා බහ කිරීමේ පුරුද්ද දිගටම පවත්වාගෙන යනවා නම් ඔවුන් ඒ කාලයෙන් ප්‍රයෝජන ගැනීමට හුරු වෙයි.

තවත් සමහර පවුල් අඩුම තරමින් දවසකට එක ආහාර වේලක් හෝ එකට ගන්න සැලසුම් කරනවා. පවුලක් හැටියට මෙය කරන්න නම් හැමෝටම යම් සකස් කිරීම් කරන්න සිදු වෙනවා. දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වන චාල්ස් පවසන්නේ මෙයයි. “සමහර වෙලාවට මම ගෙදර එනකොට රෑ වෙනවා. රෑ කෑම කන්න පරක්කු වෙන නිසා මගේ බිරිඳ දරුවෝ දෙන්නට මොනවා හරි පොඩ්ඩක් කන්න දෙනවා. එහෙම කරන්නේ මම ආවට පස්සේ අපි හැමෝටම එකට කෑම කන්න පුළුවන් වෙන්නයි. අපි ඒ වෙලාවට බයිබල් පදයක් සාකච්ඡා කරනවා. ඊට අමතරව දවසේ සිදු වූ දේවල් ගැනත් කතා කරනවා. ඒක හරිම ප්‍රීතිමත් අවස්ථාවක්. පවුලක් හැටියට එකට කෑම ගන්න පුරුදු වෙලා ඉන්න එකෙන් ලැබෙන ප්‍රයෝජනය නම් මට වචනෙන් විස්තර කරන්න බැහැ.”

පවුලක් වශයෙන් එකට එකතු වෙලා ගත කරන මෙම කාලය සොරාගැනීමට කිසිවකට ඉඩ දෙන්න එපා. සමහරවිට වැඩිපුර මුදල් ඉපයීමට යෑමෙන් මෙය ඉටු කරගන්න බැරි වෙන්න පුළුවන්. මේ නිසා ජීවිතයේ ‘වඩා වැදගත් දේවල් සහතික කරගන්න’ කියා බයිබලයේ දෙන උපදෙස මොන තරම් වටිනවාද!—ෆිලිප්පි 1:10.

දරුවන් සමඟ කතා බහ කිරීමට වැඩිපුර කාලයක් ගත කිරීම සඳහා දෙමාපියන්ට කුමක් කළ හැකිද?

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු වේවා!”—1 කොරින්ති 14:40