Skip to content

පටුනට යන්න

6 දරුවාව තේරුම්ගන්න

6 දරුවාව තේරුම්ගන්න

6 දරුවාව තේරුම්ගන්න

ඇයි මෙය වැදගත්? දරුවන්ගේ ජීවිතයේ වටිනාම පුද්ගලයන් වන්නේ ඔවුන්ගේ දෙමාපියනුයි. දෙමාපියන් ඔවුන්ගේ හැඟීම් තේරුම්ගනියි කියා දරුවන් බලාපොරොත්තු වෙන්නේ ඒ නිසයි. දෙමාපියන් දිගටම දරුවන්ගේ අදහස්වලට එරෙහි වෙනවා නම් දරුවන් තම අදහස් විවෘතව කතා කිරීමට මැළි වන අතර ඔවුන් තුළ තිබෙන ආත්ම විශ්වාසයත් හීන වී යනවා.

අභියෝගය: දරුවන් සමහරවිට හිතන්නේ බලන්නේ නැතුව දරුණු විදිහට දේවල් කියනවා. මේ දේවලින් දෙමාපියන් කලබල වෙන්නත් පුළුවන්. උදාහරණයකට කලකිරී සිටින දරුවෙක් “මගේ ජීවිතයේ මට එපා වෙලා” * කියා කියන්න ඉඩ තිබෙනවා. ඒත් දෙමාපියෙක් “ඔයාට ජීවිතේ එපා වෙන්න කිසිම හේතුවක් නැහැ” කියා කියන්න පුළුවන්. එසේ කියන්නේ දරුවාගේ එම නිෂේධාත්මක සිතුවිල්ලට ඔවුන් එකඟ නැති බව පෙන්වීමටයි.

විසඳුම: මෙම බයිබල් උපදෙස කෙරෙහි අවධානය දෙන්න. “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය. උදහස් වීමටද ප්‍රමාද විය යුතුය.” (යාකොබ් 1:19) යෙහෝවා දෙවි තමන්ට විශ්වාසවන්තව සේවය කළ බොහෝදෙනෙකු තුළ තිබූ නිෂේධාත්මක සිතුවිලි ගැන සැලකිලිමත් වූ නිසා ඒවා බයිබලයේ වාර්තා කළා. (උත්පත්ති 27:46; ගීතාවලිය 73:12, 13) උදාහරණයකට යෝබ් නම් විශ්වාසවන්ත සේවකයා දරුණු විපත්ති අද්දුටු අවස්ථාවේදී තමා මැරුණා නම් හොඳයි කියා පැවසුවා.—යෝබ් 14:13.

යෝබ්ගේ එම සිතුවිලි අනිවාර්යයෙන්ම නිවැරදි කළ යුතු වුණා. ඒත් ඔහුගේ නිෂේධාත්මක සිතුවිලි ගැන ඔහු පවසන විට එය ප්‍රතික්ෂේප කරන්න හෝ එය නතර කරන්න දෙවි උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට දෙවි ඔහුව නිවැරදි කළේ ඔහුගේ හැඟීම්වලට කාරුණිකව සවන් දීමෙන් පසුවයි. එක් ක්‍රිස්තියානි පියෙක් මෙයාකාරයට පැවසුවා. “මගේ සියලුම හැඟීම් යාච්ඤාවෙන් යෙහෝවා දෙවිට කියන්න දෙවි මට ඉඩ සලසා දී තිබෙනවා වගේ, මගේ දරුවන්ටත් හැඟෙන ඕනෑම දෙයක් මට කියන්න මම ඔවුන්ට ඉඩ සලසා දීම නේද සාධාරණම දේ!”

“ඔයාට එහෙම හිතෙන්න කිසිම හේතුවක් නැහැ” හෝ “ඔයා එහෙම කියන එක හරි වැරදියි” වගේ දේවල් දරුවන්ට කියන්න කලින් යේසුස් පැවසූ මේ වදන් මතකයට නඟාගන්න. “අනුන් ඔබට කරනවාට කැමති දේ, එලෙසින්ම ඔබත් ඔවුන්ට කරන්න.” (ලූක් 6:31) ඔබේ අතින් සිදු වූ වැරැද්දක් නිසා ඔබේ කාර්යාලයේදී ඔබට හිත පෑරෙන ආකාරයෙන් යම් කෙනෙක් දොස් නැඟුවා කියා සිතන්න. ඔබ පත් වී සිටින කනගාටුදායක තත්වය නිසා ඔබට රැකියාව එපා වෙලා කියා ඔබ ඔබේ කිට්ටු මිතුරෙකුට පවසන්න පුළුවන්. ඔබ ඔබේ මිතුරාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද? ‘ඔයාට එහෙම හිතෙන්න කිසිම හේතුවක් නැහැ මොකද ප්‍රශ්නේ ඇති වුණේ ඔයාගේ වරදින්නේ’ කියා ඔහු පවසනවාට ඔබ කැමතිද? එසේ නැත්නම් ඔබ කැමති වන්නේ ඔහු මෙවන් ප්‍රතිචාරයක් දක්වනවාටද? “මට තේරෙනවා. ඒ වගේ දෙයකට මුහුණ දෙන එක නම් ලෙහෙසි නැහැ.”

වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට යම් කෙනෙක් දෙන උපදෙස් පිළිගැනීමට පහසු වෙන්නේ ඔවුන් අද්දකින තත්වය හා හැඟීම අනිත් තැනැත්තා හොඳින්ම තේරුම්ගන්නවා කියා ඔවුන්ට දැනෙනවා නම් පමණයි. මේ සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ මෙසේයි. “ප්‍රඥාවන්තයාගේ සිත ඔහුව පොලඹවන්නේ තීක්ෂ්ණ බුද්ධිය හොඳින් පාවිච්චි කර කතා කිරීමටයි. අන් අයගේ සිත් ඇදගන්නා ලෙස කතා කිරීමටද එය උදව් වෙයි.”—හිතෝපදේශ 16:23, NW.

ඔබ දෙන උපදෙස් කෙනෙකු හොඳින් සිතට ගත්තා කියා ඔබට සහතික විය හැක්කේ කෙසේද?

[පාදසටහන]

^ 3 ඡේ. දරුවන් තමන්ගේ ජීවිත නැති කරගන්නවා කියා පවසන විට ඒ ගැන දෙමාපියන් බැරෑරුම්ව සිතිය යුතුයි.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“කාරණයක් අසන්නත් කලින් ඊට උත්තර දීම මෝඩකමක් මෙන්ම ලජ්ජාවකි.“—හිතෝපදේශ 18:13, නව ලොව පරිවර්තනය, NW