Skip to content

පටුනට යන්න

උපත් පාලන ක්‍රම භාවිත කිරීම වැරදිද?

උපත් පාලන ක්‍රම භාවිත කිරීම වැරදිද?

බයිබලයෙන් පිළිතුරක්

උපත් පාලන ක්‍රම භාවිත කිරීම වැරදිද?

ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද? විවාහ වූ අය උපත් පාලන ක්‍රම භාවිත කිරීම හරිද වැරදිද? සමහරවිට ඔබ එය හරිද වැරදිද කියා තීරණය කරන්නේ ඔබේ ආගමික විශ්වාසයන් අනුව විය හැකියි. කතෝලික පල්ලියේ උගන්වන්නේ දරුවන් බිහි කිරීමට බාධා පමුණුවන ඕනෑම ක්‍රියාමාර්ගයක් “අනිවාර්යයෙන්ම නපුරු දෙයක්” කියායි. එහි පෙන්වා දෙන ආකාරයට ස්ත්‍රියක් හා පුරුෂයෙක් ලිංගිකව එක් වන ඕනෑම අවස්ථාවක ඇති විය හැකි පිළිසිඳ ගැනීමක් කිසිම ආකාරයකින් වැළැක්වීම සුදුසු වන්නේ නැහැ. මේ හේතුව නිසා කතෝලික පල්ලිය පවසන්නේ උපත් පාලන ක්‍රම භාවිත කිරීම වැරදි බවයි.

බොහෝදෙනෙක් ඉහත අදහසට එකඟ වන්නේ නැහැ. එම විෂය සම්බන්ධයෙන් පළ වූ එක් ලිපියක (Pittsburgh Post-Gazette) මෙසේ සඳහන් වෙනවා. “එක්සත් ජනපදයේ වෙසෙන කතෝලිකයන්ගෙන් සියයට 75ක්ම පවසන්නේ තමන්ට උපත් පාලන ක්‍රම භාවිත කිරීමට ඉඩ දිය යුතු බවයි. . . . මිලියන සංඛ්‍යාත අය එම තහනම ගණන් ගන්නේවත් නැහැ.” දරු තිදෙනෙකුගේ මවක් වන ලින්ඩා උපත් පාලන ක්‍රම භාවිත කිරීම ගැන පැවසුවේ “ඒවා පාවිච්චි කිරීම පාපයක් කියලා මට නම් කවදාවත් හිතිලා නැහැ” කියායි.

මේ සම්බන්ධයෙන් බයිබලයේ දෙන මඟ පෙන්වීම කුමක්ද?

ජීවිතය අගනා තෑග්ගක්

දරුවෙකුගේ ජීවිතය කලල අවස්ථාවේදී පටන් ඉතා අනර්ඝ යමක් ලෙස දෙවි සලකනවා. දෙවිගේ මඟ පෙන්වීම යටතේ දාවිත් රජ පැවසුවේ “මාගේ මව් කුසෙහි මා වැසුවේය. මාගේ අසම්පූර්ණ ශරීරය ඔබට පෙනුණේය. ඔබගේ පොතේ මාගේ සියලු අවයවයෝ ලියන ලද්දෝය” කියායි. (ගීතාවලිය 139:13, 16) අලුත් ජීවයක් ආරම්භ වන්නේ පිළිසිඳ ගත් අවස්ථාවේදීයි. දෙවි මෝසෙස්ට දුන් නීතිය යටතේ යම් කෙනෙක් අතින් කුසේ සිටින දරුවෙකුට යම් හානියක් සිදු වුණොත් ඔහු එයට ගණන් දිය යුතු වුණා. බයිබලයේ නික්මයාම පොතේ 21වන පරිච්ඡේදයේ 22, 23 පදවල මෙවැති ප්‍රතිපත්තියක් සඳහන් වෙනවා. එනම් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඩබර කරන විට ගර්භිණීයකට හෝ කුසෙහි සිටින දරුවාට යම් අනතුරක් වුණොත් එම කාරණය එදා සිටි විනිශ්චයකරුවන්ට දැන්විය යුතු වුණා. එවිට මෙම අනතුර සිදු වීමට හේතු වූ තත්වය ගැන සෝදිසි කර එය හිතාමතාම කළ දෙයක් නම් “ප්‍රාණයට ප්‍රාණය” හෙවත් ජීවිතයට ජීවිතයක් දිය යුතු වුණා.

සමහර උපත් පාලන ක්‍රම මගින් ගබ්සා වීම් ඇති විය හැකි නිසා ඉහත ප්‍රතිපත්තියට අනුව එවැනි ක්‍රමයක් භාවිත කිරීම දෙවි අනුමත කරන්නේ නැහැ. ඒ වගේම එවැනි දෙයක් කිරීම මගින් කෙනෙක් ජීවිතය අනර්ඝ ලෙස සලකන්නේ නැති බව පැහැදිලියි. ඒත් සෑම උපත් පාලන ක්‍රමයක් මගින්ම ගබ්සා වීම් සිදු වන්නේ නැහැ. එවැනි උපත් පාලන ක්‍රම භාවිත කිරීම ගැන කුමක් කිව හැකිද?

දෙවි පළමු මිනිස් යුවළටත් ඉන්පසු නෝවාටත් ‘සඵලව බෝ වෙමින් පොළොව පුරා පැතිරෙන්න’ කියා අණ කළා. (උත්පත්ති 1:28; 9:1) ඒත් එම ආඥාව ක්‍රිස්තියානීන්ට දී නැහැ. එමනිසා විවාහක යුවළක් දරුවන් හදනවාද නැද්ද යන්න ගැන තීරණය කළ හැකියි. ඒ වගේම දරුවන් කීදෙනෙක් හදනවාද කොයි කාලයේදීද හදන්නේ යනාදී දේවල් ඔවුන් විසින්ම තීරණය කළ යුතු ඒවායි. උපත් පාලන ක්‍රම භාවිත කිරීම බයිබලයේ හෙළාදකින්නේ නැහැ. ඒ නිසා විවාහක යුවළක් ගබ්සා සිදු නොවන ආකාරයේ උපත් පාලන ක්‍රමයක් භාවිත කරනවාද නැද්ද යන එක ඔවුන්ගේ පෞද්ගලික තීරණයක්. ඒත් කතෝලික පල්ලිය උපත් පාලන ක්‍රම භාවිත කිරීම හෙළාදකින්නේ ඇයි?

මිනිස් ප්‍රඥාව හා දිව්‍ය ප්‍රඥාව අතර වෙනස

කතෝලික මූලාශ්‍රවලට අනුව ක්‍රිස්තියානියැයි කියාගත් අය මුලින්ම මෙවැනි නීතියක් දමා තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ දෙවෙනි සියවසේදීයි. එම නීතියට අනුව දෙදෙනෙකු ලිංගිකව එක් විය යුත්තේ දරුවන් බිහි කිරීමේ අරමුණින් පමණක්ම බවත් එහි පවසා තිබුණා. මෙම නීතිය පදනම් වුණේ බයිබලයේ තිබෙන ඉගැන්වීම්වලට අනුව නොව දර්ශනවාදී ඉගැන්වීම්වලට අනුවයි. මෙම ඉගැන්වීම් එදා පටන් පැවත ආ අතර කතෝලික දර්ශනවාදීන් එයට පුළුල් අර්ථකථනයක් දුන්නා. * ආස්වාදයක් ලැබීමේ අරමුණින් පමණක් ලිංගිකව එක්වීම පාපයක් බවත් දරුවන් බිහි නොකිරීමේ අදහසින් එසේ එක්වීම දුරාචාරයට සම්බන්ධ බවත් මෙම ඉගැන්වීමෙන් පෙන්නුම් කළා. නමුත් දේවවචනයේ එවැනි ඉගැන්වීමක් සඳහන් වෙන්නේ නැහැ.

ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් අතර තිබෙන ප්‍රේමණීය බැඳීම නිසා ඔවුන් එකිනෙකා ලිංගිකව එක්වීමෙන් ලබන ආස්වාදය ගැන බයිබලයේ හිතෝපදේශ පොතේ කාව්‍යමය ආකාරයෙන් පවසන්නේ මෙසේයි. “ඔබේම ජලාශයෙන් වතුරද ඔබේම ළිඳෙන් ගලන වතුරද බොන්න. ඔබේ උල්පතට ආශීර්වාද ලැබේවා; ඔබේ යෞවන කාලයේ භාර්යාව කෙරෙහි සතුටු වෙන්න. ඇය ආදර ඇති මුවදෙනෙකු සහ ප්‍රියකරු මුවදෙනෙකු මෙන් ඇගේ පියයුරු සැමවිටම ඔබ පිණවත්වා; සැමදාම ඇගේ ආදරයෙන් ප්‍රීතිමත් වෙන්න.”—හිතෝපදේශ 5:15, 18, 19.

ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් අතර ඇති වන ලිංගික සම්බන්ධකම දෙවිගෙන් ලද දීමනාවක්. ඒත් එහි මූලික අරමුණ දරුවන් බිහි කිරීම පමණක්ම නෙවෙයි. විවාහක දෙදෙනෙකු අතර තිබෙන ප්‍රේමය හා බැඳීම පෙන්වීම සඳහාත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සාමාන්‍ය දෙයක්. විවාහක දෙදෙනෙක් දරුවන් හදනවාද නැද්ද කියාත් උපත් පාලන ක්‍රම භාවිත කරනවාද නැද්ද කියාත් තීරණය කිරීම ඔවුන්ගේ පෞද්ගලික කාරණයක්. කිසි කෙනෙක් ඔවුන්ව විනිශ්චය නොකළ යුතුයි.—රෝම 14:4, 10-13.

[පාදසටහන]

^ 11 ඡේ. ‘උපත් පාලන ක්‍රම භාවිත කිරීම වැරදි බව පාප්තුමා පවසයි’ කියා නිව් කැතලික් එන්සයික්ලෝපීඩියාවේ උපුටා දක්වන්නේ නවවන ග්‍රෙගරි 13වෙනි සියවසේ පැවසූ දෙයයි.

මේ ගැන ඔබ සිතුවාද?

▪ ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් අතර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම කුමන ආකාරයෙන් හෝ පාපයක් වෙනවාද?හිතෝපදේශ 5:15, 18, 19.

▪ ක්‍රිස්තියානීන් උපත් පාලන ක්‍රම භාවිත කරනවා නම් ඔවුන් කුමක් ගැන සැලකිලිමත් විය යුතුද?නික්මයාම 21:22, 23.

▪ විවාහක අය උපත් පාලන ක්‍රම භාවිත කිරීම ගැන අන් අය සැලකිය යුත්තේ කෙසේද?රෝම 14:4, 10-13.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි පළමු මිනිස් යුවළටත් ඉන්පසු නෝවාටත් ‘සඵලව බෝ වෙමින් පොළොව පුරා පැතිරෙන්න’ කියා අණ කළා. ඒත් එම ආඥාව ක්‍රිස්තියානීන්ට දී නැහැ.