Skip to content

පටුනට යන්න

නිරෝගී දිවියකට හොඳ ඔසුවක්

නිරෝගී දිවියකට හොඳ ඔසුවක්

නිරෝගී දිවියකට හොඳ ඔසුවක්

ඊශ්‍රායෙලයේ සිටි ප්‍රඥාවන්ත රජ කෙනෙක් ‘ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්’ කියා මීට වසර 3,000කට පමණ පෙර පැවසුවා. (හිතෝපදේශ 17:22, නව ලොව පරිවර්තනය) අද වෛද්‍යවරුන් එම ප්‍රඥාවන්ත වදන්වල තිබෙන සත්‍යතාව වටහාගෙන තිබෙනවා. ඒත් වැඩිදෙනෙකුට “ප්‍රීතිමත් සිතක්” ඉබේම ඇති වන්නේ නැහැ.

සමහර අයට තමන්ගේ එදිනෙදා ජීවිතයේ සිදු වන පීඩාකාරී දේවල් කෙරෙහි කලකිරෙන්නේ හෝ අශුභවාදීව සිතන්නේ නැතිව කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. කෙසේවෙතත් මෑතකදී කළ අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙන්නේ ශුභවාදී ආකල්පයක් ගොඩනඟා ගැනීම ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණු දීමට පමණක් නොව ඉන් වෙනත් ප්‍රයෝජනද තිබෙන බවයි.

ශුභවාදීව සිතන කෙනෙක් ජීවිතයේ යහපත ගැන සිතනවා. සියල්ල යහපත පිණිස සිදු වෙනවා කියාත් ඔහු කල්පනා කරනවා. එවැනි කෙනෙක් ජීවිතයේ යම් පසුබෑම්වලට ලක් වන විට ක්‍රියා කරන්නේ කොහොමද? තමන්ට එවැනි තත්වයකින් කිසිදා මිදෙන්න හැකි වන්නේ නැහැයි කියා ඔහු සිතන්නේ නැහැ. ඒත් ඔහු යථාර්ථවාදීව සිතන කෙනෙක් නෙවෙයි කියා ඉන් අදහස් කරන්නේ නැහැ. ඔහු පසුබෑමට ලක්වීම පිළිගන්නා අතර එයට හේතු වූ සාධක සොයා බලනවා. ඒ වගේම තත්වය ඉඩ දෙනවා නම් එම පසුබැස්මට හේතු වූ දේවල් අවම කරගැනීමට හෝ නිවැරදි කරගැනීමට වෙර දරනවා.

මීට හාත්පසින්ම වෙනස්ව අශුභවාදීව සිතන කෙනෙක් යම් කරදරයක් වූ විට ඔහු ඔහුටම දොස් නඟාගන්නවා. ඔහු යම් පසුබැස්මකට ලක් වූ විට ඔහුට එයින් කවදාවත් මිදිය නොහැකි බවත් ඔහුගේ මෝඩකමින් එවැනි දෙයක් සිදු වූ බවත් ඔහු සිතනවා. මේ නිසා ඔහු එම තත්වයෙන් මිදීමට මඟක් සොයන්නේ නැහැ.

ශුභවාදී ආකල්පයක් ඇතුව සිටීම අපේ සෞඛ්‍යයට බලපානවාද? අමෙරිකාවේ මේයෝ සායනයේ රෝගීන් 800දෙනෙකුට වඩා වැඩිදෙනෙකුව සහභාගි කරගෙන අවුරුදු 30ක් පුරා කළ අධ්‍යයනයකින් පසු එළඹුණු නිගමනය මෙයයි. ශුභවාදීව සිතන අය හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටින බවත් ඔවුන්ගේ ආයු කාලය වැඩි බවත් සොයාගනු ලැබුවා. ඒ වගේම ශුභවාදීව සිතන අයට මානසික පීඩන හමුවේ සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව තිබෙන බවද එයින් ඔප්පු වුණා.

අද අප ජීවත් වන්නේ ප්‍රශ්න කරදරවලින් පිරුණු සමාජයක නිසා සෑම දෙයක් කෙරෙහිම ශුභවාදීව සිතීම බොහෝදෙනෙකුට පහසු දෙයක් නෙවෙයි. ඒත් අපට ශුභවාදීව සිතීමේ ආකල්පය වර්ධනය කරගැනීම සඳහා උපකාරවත් වන අදහස් කිහිපයක් මේ සමඟ ඇති කොටුවේ සඳහන් වෙනවා.

ශුභවාදීව සිතීම අපට තිබෙන සෑම ප්‍රශ්න කරදරයකටම විසඳුම නොවුණද එය අපට හොඳ සෞඛ්‍යසම්පන්න මෙන්ම තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට දායක වෙනවා. බයිබලයේ මෙසේ පවසා තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. “දුක්ඛිතයාගේ සියලුම දවස් නරකය. එහෙත් සතුටු සිත නිරන්තර මංගල්‍යයක්ය.”—හිතෝපදේශ 15:15, පැරණි අනුවාදය.

[26වන පිටුවේ කොටුව/පින්තූරය]

ශුභවාදීව සිතීමට තවත් උපකාර *

▪ ඔබ යම් දෙයක් කරන්න පටන්ගන්න විට ඔබට එයින් ප්‍රීතියක් හෝ තෘප්තියක් ලැබෙන්නේ නැහැයි කියා ඔබට සිතුවිල්ලක් ඇති වූ විගස එම සිතුවිල්ල ඉවත් කර ඒ ගැන ශුභවාදීව සිතන්න.

▪ ඔබ කරන දෙයින් ප්‍රීතියක් ලබන්න උත්සාහ කරන්න. ඔබ කුමන දෙයක යෙදී සිටියත් ඉන් තෘප්තියක් ලැබිය හැකි ආකාර ගැන සිතන්න.

▪ ජීවිතය දෙස ශුභවාදීව බලන අයව ඇසුරු කරන්න.

▪ ඔබට පාලනය කළ හැකි තත්වයන් පාලනය කරන්න. ඒත් ඔබට වෙනස් කළ නොහැකි තත්වයන් ඒ ආකාරයට පිළිගැනීමට සූදානමින් සිටින්න.

▪ සෑම දවසකම ඔබ අද්දුටු ප්‍රීතිමත් අවස්ථා තුනක් සටහන් කරන්න.

[පාදසටහන]

^ 10 ඡේ. ඉහත ලැයිස්තුවේ සමහර අදහස් මේයෝ සායනයේ සකස් කළ ප්‍රකාශනයකින් උපුටාගත් ඒවායි.