Skip to content

පටුනට යන්න

නිවාඩුවකට යමුද වානුවාටු

නිවාඩුවකට යමුද වානුවාටු

නිවාඩුවකට යමුද වානුවාටු

නව කැලිඩෝනියාවේ පිබිදෙව්! ලේඛක විසින්

එදිනෙදා වැඩ කටයුතුවලින් මිදී පොඩි නිවාඩුවක් ගත කරන්න හැමෝම කැමතියි. හිරු රැසින් නෑවුණු වෙරළේ කාලය ගත කරන්න, නිල් දිය රැළි අතරින් පීනන්න, කොළ පැහැයෙන් යුත් වැසි වනාන්තරවල ඇවිදින්න, ඒ විතරක් නෙවෙයි මින් පෙර කවදාවත් හමු වී නැති ආදිවාසීන් පිරිසක් හමු වන්න අවස්ථාවක් ලැබෙන නිවාඩුවක් ගත කරන්න ලැබෙනවා නම් ඔබ කැමතිද? ඇත්තටම ඉහත කී සියලු දේ අද්දකින්න පුළුවන් සුන්දර තැනක් මේ මිහිපිට තිබෙනවාද? ඔව් අපි මේ ලිපියේ කතා කරන්නේ එවැනි ලස්සන දූපත් ගැනයි. මේ දූපත් හඳුන්වන්නේ වානුවාටු කියායි.

මේ දූපත් පිහිටා තිබෙන්නේ ඕස්ට්‍රේලියාව හා ෆීජි දූපත් අතරයි. වානුවාටු දූපත් පිහිටා තිබෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ වයි අකුරේ හැඩයටයි. මෙය පැසිෆික් සාගරයේ නිරිත දිගින් පිහිටා තිබෙන අතර මෙහි කුඩා දූපත් 80ක් පමණ තිබෙනවා. මේ දූපත්වල ආරම්භය ගැන භූ විද්‍යාඥයන් පවසන දේ බලමු. පෘථිවි පෘෂ්ඨයේ භූ තට්ටු එකිනෙකට ගැටීමෙන් සාගර පතුලේ විශාල කඳු හටගත් බවත් එම කඳු අතරින් සාගරය මතුපිටට පැමිණි කඳුවලින් මේ දූපත් සෑදුණු බවත් ඔවුන් පවසනවා. මෙහි නිතරම වාගේ පිපිරීම්වලට ලක් වන ගිනිකඳු නවයක් තිබෙනවා. ඔබ නිර්භීත සංචාරකයෙක් නම් ඔබට මේ ගිනිකඳුවලින් ලාවා ගලා යනවා මඳක් ඈතින් සිට දැක බලා ගන්න පුළුවන්.

මෙහි තිබෙන වැසි වනාන්තර මෙම දූපත්වල අලංකාරය තවත් වැඩි කරනවා. මෙම වැසි වනාන්තර සද්දන්ත නුග ගස්වලින් පිරි තිබෙනවා කියා පැවසුවොත් නිවැරදියි. මේ ගස්වල අතු දසත විහිදී ඒ පළාතටම සෙවණ ලබා දෙනවා. මේ සෙවණෙන් උඩවැඩියා වර්ග 150කට වැඩි සංඛ්‍යාවක් මෙන්ම මීවන වර්ග 250ක් රැකවරණය ලබමින් මුළු වනාන්තරයම අලංකාර කරනවා. මුහුද අවට පිහිටා ඇති කඳු ගැටි, නිදහසේ පීනා යන වර්ණවත් මාළු හා කොරල් පර මේ හැම දෙයක්ම අපිව ඇවිත් බලන්න කියා සංචාරයකයින්ට ඇරයුම් කරනවා හා සමානයි. පරිසර හිතකාමී විදේශිකයන් මේ මුහුදේ සිටින මිත්‍රශීලී මුහුදු ඌරන් සමඟ දිය කෙළියේ යෙදෙන්න දක්වන්නේ පුදුම ආශාවක්. *

ආදිවාසීන්ගේ වග තුග

යුරෝපීය ජාතික ගවේෂකයන් වානුවාටු දූපත්වලට පැමිණියේ 1606දීයි. * මෙම දූපත් භයානක ගෝත්‍රිකයන්ගෙන් පිරී තිබුණු අතර ඒ කාලයේදී මිනීමස් කෑම ඔවුන් අතර සාමාන්‍ය දෙයක් වුණා. ඊට අමතරව මෙහි වනාන්තර සුදු හඳුන් ගස්වලින් ගහනව තිබුණා. ආසියාතික රටවල මේ ලීවලට ලොකු ඉල්ලුමක් තිබුණු බව දැනගත් යුරෝපීයන් මෙම ගස් එකින් එක කපන්න පටන්ගත්තා.

කාලයක් යන විට යූරෝපීයන් මෙම දූපත්වල සිටි ආදිවාසීන්ව සමොවා, ෆීජි හා ඕස්ට්‍රේලියාවේ තිබෙන උක් හා පුලුන් වගාබිම්වල සේවය කිරීමට රැගෙන ගියා. මේ දූපත් වැසියන් තම කැමැත්තෙන් අවුරුදු තුනකට සේවය සඳහා ගිය බවක් පෙනෙන්න තිබුණද සැබෑ තත්වය නම් ඔවුන්ව ගෙන ගොස් තිබුණේ බලහත්කාරයෙනුයි. ඉහත කී ව්‍යාපාර දියුණු වන කාලයේදී ඒ කියන්නේ 1800 ගණන්වල අගභාගයේදී සමහර වානුවාටු දූපත්වල පිරිමින්ගෙන් අඩකට වඩා පිරිසක් පිටරටවල සේවය සඳහා ගෙන ගොස් තිබුණා. මින් බොහෝදෙනෙක් කවදාවත් නැවත තම මව්බිමට පැමිණියේ නැහැ. මෙම දූපත්වල වැසියන්ගෙන් ඕස්ට්‍රේලියාවේදී විතරක් මිය ගිය සංඛ්‍යාව 10,000ක් පමණ වෙනවා. ඉන් බොහෝදෙනෙක් මියැදුණේ වසංගතවලිනුයි.

පිටරටවලට සේවය සඳහා ගිය සමහර අය නැවත තම මව්බිම් කරා පැමිණියේ මේ වසංගත සමඟිනුයි. මේ වසංගත දූපත්වාසීන්ට මහත් සේ බලපෑවා. දූපත්වාසීන්ට සරම්ප, වසූරිය හා කොළරාව වැනි වසංගතවලට මුහුණ දීමට කිසිම ශක්තියක් තිබුණේ නැහැ. ඔවුන් සිටි දුර්වල තත්වය ගැන එක් මූලාශ්‍රයක පවසන්නේ “සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් වුණත් ඔවුන් සියලුදෙනාවම විනාශ කිරීමට ප්‍රමාණවත්” බවයි.

වර්ෂ 1839දී ක්‍රිස්තියානි මිෂනාරිවරු වානුවාට දූපත්වලට පැමිණියා. ඔවුන් පැමිණි දවසේම ඔවුන්ව දූපත්වාසීන් ආහාරයට ගත් බව පැවසෙනවා. ඉන්පසු පැමිණි මිෂනාරිවරුන්ටත් අත් වූයේ ඒ දෙයමයි. කාලයත් සමඟ කතෝලික හා රෙපරමාදු අයට මෙම දූපත්වල සේවය කිරීමට හැකියාව ලැබුණා. මේ වන විට වානුවාටු දූපත්වල සියයට 80කටත් වඩා වැඩිදෙනෙක් මේ පල්ලිවල සාමාජිකයන් බවට පත් වී තිබෙනවා. ඒත් “ඔවුන් තවමත් කෙනෙකුගේ ආදරය දිනාගැනීමට, සතුරෙක් විනාශ කිරීමට හා ඌරෙක්ව හදාගැනීමේදී පවා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කෙරෙහි විශ්වාසයවා” තබන කියා පෝල් රෆාලේ නම් ලේඛකයා පවසයි.

දෙවන ලෝක මහා යුධ සමයේදී අමෙරිකා එක්සත් ජනපදයෙන් පැමිණි යුධ භටයින් අඩක් පමණ පැසිෆික් දූපත්වල යුද්ධවලට ගියේ වානුවාටු දූපත් හරහායි. මේ යුධ භටයින් ගෙනා වස්තු සම්භාරය දූපත්වාසීන් කිසිදාක දැක තිබුණේ නැහැ. යුද්ධය නිමා වූ පසු යුධ භටයින් ඔවුන් ගෙනා වටිනා ආයුධ මෙන්ම වෙනත් බොහෝ දෑ මුහුදුබත් කළා. මෙය දුටු සමහර ආගමික කණ්ඩායම් මේ භටයින් නැවත ගෙන්වාගැනීමෙන් තමන්ට වස්තුව ලබාගැනීමට හැකි වෙන බව විශ්වාස කළ නිසා නැව් තටාක, ගුවන් යානා බැස්සීමට ස්ථාන පවා සෑදුවා. වානුවාටු දූපත්වලට අයත් එක් දූපතක වැසියන් අදත් මනඃකල්පිත “අමෙරිකානු ගැලවුම්කරුවෙකුට” යාච්ඤා කරනවා. මේ ගැලවුම්කරු කවදා හෝ දවසක ඔවුන්ට සැප සම්පත් ගෙන දෙයි කියා ඔවුන් විශ්වාස කරනවා.

විවිධ සංස්කෘතීන්

මේ දූපත්වාසීන් අතර තිබෙන සංස්කෘතීන් හා භාෂාවන් විවිධයි. මේ සම්බන්ධයෙන් එක් පොතක පවසන්නේ සංඛ්‍යාවෙන් කුඩා වුවත් ඔවුන් භාෂා රාශියක් කතා කරන බවයි. මෙහි අඩුම තරමින් භාෂා 105ක් හා තවත් බොහෝ උපභාෂා කතා කරනවා. මෙහි රාජ්‍ය භාෂා ලෙස සැලකෙන්නේ බිස්ලමා, ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂායි.

මේ දූපත්වල එක දෙයක් වෙනස් නොවී පවතිනවා. එනම් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍රයි. මේ එක් දූපතක සශ්‍රීකත්වය සඳහා කෙරෙන චාරිත්‍රයක් තිබෙනවා. සෑම වසරකම අල අස්වැන්න ගන්න කාලයේදී පුරුෂයන් හා පිරිමි දරුවන් මීටර් 20ක් 30ක් පමණ උසකට ලීවලින් තැනූ අට්ටාලයක සිට බිමට පනිනවා. ඔවුන් එසේ කරද්දී ඔවුන්ගේ ජීවිත රඳා තිබෙන්නේ ආධාර පිණිස ඔවුන්ගේ කකුල්වල ගැට ගසා ඇති ඇදෙනසුලු දිග වැල් ජාතියක් මගිනුයි. ඔවුන් මෙසේ පොළොවට පහත් වෙන විට ඔවුන් මුහුණ යාන්තමින් පොළොවේ ගාවමින් යනවා. ඔවුන් සිතනවා එසේ කිරීමෙන් ඔවුන්ට ඊළඟ වසරේත් හොඳ අස්වැන්නක් ලබාගත හැකියි කියලා. ඔවුන් මෙය චාරිත්‍රයක් ලෙස කළත් පසු කාලයකදී මෙය ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩාවක් බවට පත් වුණා.

මේ දූපත් අතරින් එක් දූපතක් වන මලාකුලා දූපතේ සමහර ගම්වැසියන් පිටස්තරයන් සමඟ කතා බහ කරන්න පටන්ගෙන තිබෙන්නේ මෑත කාලවල සිටයි. මෙම දූපතේ ලොකු නම්බාස් හා පොඩි නම්බාස් යන ගෝත්‍ර දෙක වාසය කරනවා. එක් කාලයකදී මොවුන් මිනීමස් කන දරුණු අය වුණත් ඔවුන් අවසාන වරට එසේ කර තිබෙන්නේ 1974දීයි. ඒ වගේම පිරිමි දරුවන්ගේ හිස් පටියකින් තදින් වෙළිමේ පුරුද්දක් ඔවුන් අතර තිබුණා. ඔවුන් එසේ කළේ ඒ දරුවන්ගේ හිස දික් කිරීම සඳහායි. එය පිරිමි දරුවන්ට ලස්සනයි කියා ඔවුන් සිතුවා. මෙම සිරිතත් ඔවුන් වසර ගණනාවකට පෙර අත්හැර දමා තිබෙනවා. මේ වන විට මේ ගෝත්‍රිකයන් ඉතා සුහදශීලී අය බවට පත් වී තිබෙන අතර ඔවුන් අන් අය සමඟ සංස්කෘතික උරුමයන් බෙදාගනිමින් සිටිනවා.

පාරාදීසයක වෙසෙන ජනයා

බොහෝදෙනෙක් මේ දූපත්වලට යන්නේ නිවාඩුවක් ගත කරන්නයි. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මේ දූපත්වලට මීට අවුරුදු 70කට පමණ පෙර ගියේ එහි ජනයාට දෙවි ගැන කියා දීමටයි. සාක්ෂිකරුවන් “පොළොවේ ඈත කෙළවරෙහි” පිහිටි මෙම දූපත්වලට සාක්ෂි දැරීමට ගත් වෑයම සාර්ථක වී තිබෙනවා. (ක්‍රියා 1:8) (“කාවා බීමට ලොල් වූවෙක්” යන කොටුව බලන්න.) වර්ෂ 2006දී මෙහි තිබෙන සභා පහේ සාක්ෂිකරුවන් ඉදිරියේදී පැමිණෙන පාරදීස පොළොව ගැන අන් අයට කියා දීමට පැය 80,000කටත් වඩා වැඩි කාලයක් වැය කර තිබෙනවා. (යෙසායා 65:17-25) අද අපි හැමෝම අද්දකින පීඩන හා දුක් කරදර එම කාලයේදී සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා නිසැකයි.—එළිදරව් 21:4.

[පාදසටහන්වල]

^ 5 ඡේ. මුහුදු ඌරන් කියන්නේ ශාක භක්ෂක ජලජ ක්ෂීරපායි කුලයට අයත් සතුන් විශේෂයකටයි. උන් මීටර් 3.4ක් දක්වා දිගින් වැඩෙන අතර බර කිලෝග්‍රෑම් 400කටත් වඩා වැඩි වෙනවා.

^ 7 ඡේ. වානුවාටු දූපත් 1980 නිදහස ලැබීමට පෙර හැඳින්වූයේ නව හෙබ්‍රිඩීස් කියායි.

[17වන පිටුවේ කොටුව/පින්තූරය]

ප්‍රීතිමත් වැසියන්

ලෝකයේ ප්‍රීතිමත්ම, වැඩි කාලයක් ජීවත් වන මෙන්ම පරිසරයට හානි නොකරන ජනයා වෙසෙන රට තේරීම සඳහා 2006දී රටවල් 178ක් සමීක්ෂණයට භාජනය කරනු ලැබුවා. “වානුවාටු පළමු තැනට පැමිණියේ එහි ජනයා ප්‍රීතිමත්, අවුරුදු 70ක් පමණ ජීවත් වන මෙන්ම පරිසරයට හානි නොකරන” නිසා බව එහි පුවත්පතක සඳහන් වුණා.—Vanuatu Daily Post පුවත්පත ඇසුරෙනි.

[පින්තූරය]

සම්ප්‍රදායික ඇඳුම්

[හිමිකම් විස්තර]

© Kirklandphotos.com

[17වන පිටුවේ කොටුව/පින්තූරය]

“කාවා බීමට ලොල් වූවෙක්”

මෙහි එක් දූපතක විසූ විලී නම් තැනැත්තා යෞවන කාලයේ පටන් කාවා නම් මත් වන බීමක් පානය කිරීමට පුරුදු වී සිටියා. මෙම බීම වර්ගය ලබාගන්නේ කුඩා පඳුරක මුල්වලින් කොටා ගන්නා යුෂවලිනුයි. විලී සෑම දවසකරෑ ගෙදර පැමිණියේ කාවා බී මත්වෙලයි. ඔහුගේ ණය බර එන්න එන්නම වැඩි වුණා. ඔහු බොහෝ අවස්ථාවලදී දරුණු වී ඔහුගේ බිරිඳට පහර දුන්නා. ඔහු සමඟ වැඩ කරන එක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විලීට බයිබලය අධ්‍යයනය කිරීමට උනන්දු කළා. විලීගේ බිරිඳ මුලින් එයට අකමැති වුණා. නමුත් කලක් යන විට ස්වාමිපුරුෂයාගේ හැසිරීම් රටාව හොඳ අතට හැරෙන බව දුටු ඇය බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. ඔවුන් දෙදෙනාම දෙවිගේ වචනය අධ්‍යයනය කරමින් දිගටම තම ජීවිතවලට ඒවා අදාළ කරගත්තා. කාලයක් යන විට ඔහු කාවා හා වෙනත් ඇබ්බැහිවීම්වලින් මිදුණා. ඔවුන් දෙදෙනාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස 1999දී බව්තීස්ම වුණා.

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

නවසීලන්තය

ඕස්ට්‍රේලියාව

පැසිෆික් සාගරය

ෆීජි

[16වන පිටුවේ පින්තූරය]

උස අට්ටාලයේ සිට පනින කෙනෙක්

[හිමිකම් විස්තර]

© Kirklandphotos.com

[15වන පිටුවේ හිමිකම් විස්තර]

© Kirklandphotos.com

[15වන පිටුවේ හිමිකම් විස්තර]

© Kirklandphotos.com

[16වන පිටුවේ හිමිකම් විස්තර]

© Kirklandphotos.com