බව්තීස්මය එහි ඉතිහාසයෙන් බිඳක්
බව්තීස්මය එහි ඉතිහාසයෙන් බිඳක්
ප්‍රංශයේ පිබිදෙව්! ලේඛක විසින්
“සම්පූර්ණයෙන් ජලයේ ගිල්වීමෙන් පල්ලියේ කළ බව්තීස්මය” යන මාතෘකාවෙන් යුත් ලිපියක් ප්‍රංශයේ පුවත්පතක වර්ෂ 2001දී පළ වුණා. කෙසේවෙතත් එම ලිපියත් සමඟ තිබුණු පින්තූරයේ දක්නට තිබුණේ කතෝලික භක්තිකයෙක් බවට පත් වන කෙනෙක් දණහිස තෙක් ජලය තිබෙන තටාකයක සිටගෙන සිටින අතර කතෝලික බිෂොප්වරයෙක් ඔහුගේ හිසට වතුර වත් කරන දර්ශනයකුයි. ලොව පුරාම කතෝලික පල්ලිවල බව්තීස්මය සිදු කරනු ලැබුවේ සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වීමෙන් නොවෙයි. මෙය දෙවන වතිකානු සභාව පිහිටුවීමත් සමඟ ආරම්භ වූ ක්‍රමයක්. ඒත් බොහෝ කතෝලිකයන් ළදරුවන්ව බව්තීස්ම කරනු ලැබුවේ හිස මත ජල බින්දු කිහිපයක් ඉසීමෙනුයි. නමුත් යොහන් බව්තීස්ත අන් අයව බව්තීස්ම කළේත් යේසුස්ගේ ගෝලයන් බව්තීස්ම වුණේත් සම්පූර්ණයෙන්ම ජලයේ ගිලීමෙනුයි. එසේනම් හිස මත ජල බින්දු කිහිපයක් ඉසීමෙන් සිදු කරන බව්තීස්මය එයට සමාන කරන්න පුළුවන්ද? ක්‍රිස්තියානීන් අද බව්තීස්ම විය යුත්තේ කෙසේද? අතීතයේදී බව්තීස්ම කළ ස්ථාන ගැන යම් දැනුමක් ලබාගැනීම මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාර වෙයි.
බව්තීස්මය යන්නෙන් අදහස් වන දෑ
යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව බව්තීස්ම කරනු ලැබුවේ සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වීමෙනුයි. බයිබලයේ සඳහන් සිද්ධියක් මෙයට කදිම සාක්ෂියක් සපයනවා. ෆිලිප් නම් තැනැත්තා දෙවි සහ යේසුස් පිළිබඳව ඉතියෝපියානු නිලධාරියෙකුට නිවැරදි දැනුම ලබා දීමෙන් පසු එම නිලධාරියා ජලය තිබෙන තැනක් දුටු විට ඇසූ දේ ගැන එක් බයිබල් පරිවර්තනයක සඳහන් වෙන්නේ මෙසේයි. “මට සම්පූර්ණයෙන් ගිලී බව්තීස්ම වීමට කුමන බාධාවක්ද?” (ක්‍රියා 8:26-39, The Emphatic Diaglott) තවත් බයිබල් පදවල බව්තීස්මය ගැන කතා කරද්දී “භූමදාන” කරනවා “වළලනු” ලබනවා කියා සඳහන් කර තිබෙනවා. ඉන් අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වීමයි.—රෝම 6:4; කොලොස්සි 2:12.
ක්‍රිස්තියානි ධර්මය ආරම්භ වූ මුල් ශතවර්ෂවලදී ගංගා, මුහුදු හා පෞද්ගලික තටාකවල සම්පූර්ණයෙන්ම ගිල්වා බව්තීස්ම කරනු ලැබුවා. ඒත් බොහෝදෙනෙක් කතෝලික ධර්මය වැලඳගැනීමට පටන්ගැනීමත් සමඟම බව්තීස්ම කිරීම සඳහා ස්ථානද රෝම අධිරාජ්‍යය යටතේ පැවති රටවල ඉදි කරනු ලැබුවා. මේ ස්ථාන ඩල්මේෂයේ සිට පලස්තීනය දක්වාද ග්‍රීසියේ සිට ඊජිප්තුව දක්වාද දක්නට තිබුණා. දැනට සිරියාවේ කර තිබෙන කැණීම්වලින් සොයාගෙන තිබෙන පැරණිතම බව්තීස්ම කළ ස්ථානය තිබෙන්නේ යුප්‍රටීස් ගං තීරයේයි. මෙය ක්‍රිස්තු වර්ෂ 230දී පමණ ඉදි කරනු ලැබූ එකක්.
හතරවන සියවසේ රෝම අධිරාජ්‍යය යටතේ ක්‍රිස්තියානි ධර්මය පිළිගත් ආගමක් බවට පත් වූ පසු මිලියන සංඛ්‍යාත ජනයා ක්‍රිස්තියානි ධර්මය වැලඳගත්තා. එමනිසා ඔවුන්ව බව්තීස්ම කිරීමට සෑම තැනකම වාගේ බව්තීස්ම කරන ස්ථානද ඉදි කිරීමට සිදු වුණා. හයවන සියවස වන විට රෝමයේ පමණක් මෙවැනි ස්ථාන 25ක් පමණ තිබුණු අතර සාන්ත ජෝන් ලැටරන් බැසිලිකාවත් මෙයට අයත් වුණා. ගෝල් දේශයේ සෑම පල්ලියකටම අයත් බලප්‍රදේශයකම (මීසමක) වාගේ බව්තීස්ම කරන ස්ථානයක් ඉදි කර තිබුණා. එක් මූලාශ්‍රයකට අනුව මෙහි එවැනි ස්ථාන 150ක් පමණ තිබුණු බව වාර්තා වෙනවා. තවත් මෙවැනි සියගණන් බව්තීස්ම කරන ස්ථාන
ගම්බද ප්‍රදේශවල කුඩා පල්ලි, සොහොන් ගෙවල් සහ පූජකාරාම අසල තනා තිබෙන්න ඇති.ගෘහ නිර්මාණ ශිල්පය
බව්තීස්ම කරන ස්ථාන බොහෝවිට ඉදි කර තිබුණේ සිලින්ඩරාකාර හැඩයකටයි. මේවා පල්ලියටම සම්බන්ධ කර හෝ වෙනම ගොඩනැඟිල්ලක් ලෙස සාදා තිබුණා. කැණීම්වලින් සොයාගත් තොරතුරුවලට අනුව පෙනී යන්නේ මෙම ගොඩනැඟිලි කුඩා (සාමාන්‍යයෙන් වර්ග මීටර් 200කට වඩා අඩුයි) වුවද ආකර්ෂණීය ලෙස නිම කර තිබුණු බවයි. මෙහි අලංකාර කුලුනු, කැටයම්, බිතුසිතුවම් මෙන්ම සමහර බයිබලයේ සඳහන් සිද්ධීන් පවා චිත්‍රයට නඟා තිබුණා. සමහර බව්තීස්ම කරන ස්ථානවල රමණීය උඩුවියන් දක්නට තිබුණා. මෙයට කදිම උදාහරණයක් වන්නේ කෝසිකා දූපතේ මරියානා නම් නගරයේ තිබූ බව්තීස්ම කරන ස්ථානයයි. සමහර අවස්ථාවලදී බව්තීස්ම කරන ස්ථාන කියා හැඳින්වූයේ බව්තීස්ම කරන තටාකයි. මේවා වෘත්තාකාර, ෂඩස්‍ර, හතරැස්, කුරිසිය, අටපට්ටම් වැනි විවිධ හැඩවලින් සාදා තිබුණා. මේවා සාදා තිබුණු ආකාරයෙන් පෙනී යන්නේ ඒවා වැඩිහිටි අයව බව්තීස්ම කිරීම සඳහා තනා තිබූ බවයි. මෙම තටාකවල දෙදෙනෙකුට සිටීමට තරම් ඉඩ ප්‍රමාණයක් තිබුණා. උදාහරණයකට ප්‍රංශයේ ලියොන්හි පිහිටි එවැනි තටාකයක් පළලින් අඩි දහයක් පමණ වුණා. සාමාන්‍යයෙන් කෙනෙකුට තටාකවලට බැස යන්න පඩි පේළි හතක් ඉදි කර තිබුණා.
බව්තීස්ම කරන ස්ථානයක් ඉදි කිරීමේදී ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මූලික අවධානය යොමු වුණේ ජල සැපයුම ගැනයි. මෙවැනි ස්ථාන බොහෝමයක් ඉදි කර තිබුණේ ජල උල්පත් හෝ උණු දිය උල්පත් අසලයි. දකුණු ප්‍රංශයේ නයිස් නම් නගරයේ තිබෙන බව්තීස්ම කරන ස්ථානය මෙයට කදිම උදාහරණයක්. බොහෝ තටාකවලට ජලය සැපයුවෙත් ඉන් ජලය ඉවත් කරනු ලැබුවෙත් නළ මාර්ගයෙනුයි. තවත් සමහර තටාකවලට ජලය ගෙනත් පුරවනු ලැබුවා.
දකුණු ප්‍රංශයේ පෝටියේ නගරයේ සාන්ත ජෝන්හි තිබුණු බව්තීස්ම කරන ස්ථානය ඉදි කර තිබුණේ ක්‍රි.ව. 350දී පමණ වූ අතර මෙමගින් හතරවන සියවසේ ක්‍රිස්තියානීන් බව්තීස්ම කළ ස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට උපකාරවත් වෙනවා. මෙහි දිග කාමරයක පඩි තුනකින් යුත් අටපට්ටම් හැඩයෙන් තටාකයක් දක්නට තිබුණා. මෙම තටාකයේ ගැඹුර අඩි හතරාමාරක් වුණු අතර එහි පළල්ම ස්ථානය අඩි හතක් වුණා. මෙයට ජලය සපයනු ලැබුවේ නගරයට ජලය සපයන වාරිමාර්ග පද්ධතියෙනුයි.
සම්පූර්ණයෙන්ම ගිල්වනු ලැබුවාද?
බව්තීස්ම කිරීම සඳහා සාදා තිබූ ස්ථානවල සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වා බව්තීස්ම කරනු ලැබුවාද? කතෝලික ආගම පිළිබඳව සමහර ඉතිහාසඥයන් පැවසුවේ සම්පූර්ණයෙන් ජලයේ ගිල්වා බව්තීස්ම කරනවා වෙනුවට හිස මත ජල බින්දු කිහිපයක් ඉස බව්තීස්ම කිරීම කතෝලික පල්ලිවල සිරිතක්ව තිබූ බවයි. එමෙන්ම බොහෝ තටාක වැඩිහිටි කෙනෙකුව සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වා බව්තීස්ම කිරීමට තරම් ගැඹුරු වූයේද නැති බවයි. එක් කතෝලික විශ්වකෝෂයක පවසන්නේ පෝටියේහි තිබූ
තටාකයේ “පූජකයා තෙවන පඩියට බැස ගියත් ඔහුගේ පාද තෙමුණේ නැති” බවයි.කෙසේවෙතත් බව්තීස්ම වන ආකාරය ගැන දක්වා ඇති චිත්රවලින් පෙන්නුම් කරන්නේ සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වා බව්තීස්ම කිරීම සිරිතක් වූ බවයි. ඉහළ පින්තූරවල පෙන්වා ඇති පරිදි බව්තීස්ම වෙන තැනැත්තාගේ උරහිස තෙක් හෝ ඉණට ඉහළින් වතුර තිබූ බව පෙනෙන්න තිබෙනවා. ඒත් ඉණ දක්වා පමණක් ජලය තිබෙනවා නම් වැඩිහිටි කෙනෙකුට ගිලී බව්තීස්ම වීමට එය ප්‍රමාණවත්ද? බව්තීස්ම වෙන තැනැත්තා දණ ගැසූ විට ඔහුට ගිලී බව්තීස්ම විය හැකි බව එක් මූලාශ්‍රයක පවසනවා. * ඒත් ප්‍රංශයේ කතෝලික ඉගැන්වීම් පිළිබඳ මහාචාර්යවරයෙක් වන පියර් ෂුනෙල් පවසන්නේ මෙයයි. “බව්තීස්ම වන තැනැත්තාගේ ඉණ දක්වා ජලය තිබෙන විට පූජකවරයා ඔහුගේ හිස මත අත තබා හිස පහත් කොට වතුරේ ගිල්වා බව්තීස්මය සිදු කරනවා.”
බව්තීස්ම තටාක කුඩා වෙයි
මුල් කාලයේදී සරලව සිදු කරනු ලැබූ බව්තීස්මය පසු කාලයේදී උත්කර්ෂවත් ආකාරයෙන් සිදු කිරීමට පටන්ගත්තා. මෙම අවස්ථාවේදී විශේෂ ඇඳුම් පැළඳුම් පැළඳීම, යාච්ඤා මෙහෙයන් පැවැත්වීම, ජලයට ආශීර්වාද කිරීම හා ආලේප කිරීම වැනි බොහෝ දේවල් සිදු කළා. සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වන්නේ නැතුව බව්තීස්ම කිරීම පොදු දෙයක් බවට පත් වුණා. මේ නිසා බව්තීස්ම තටාක එන්න එන්නම කුඩා වුණා. සමහර ඒවා කලින් තිබුණු ප්‍රමාණය මෙන් භාගයක් හෝ ඊටත් වඩා අඩු කරනු ලැබුවා. උදාහරණයක් ලෙස දකුණු ප්‍රංශයේ කේස නගරයේ අඩි තුනහමාරක් ගැඹුරට තිබූ බව්තීස්ම තටාකය හයවන ශතවර්ෂය වන විට අඩි එකහමාරක් දක්වා අඩු කරනු ලැබුවා. දොළොස්වන ශතවර්ෂය වන විට සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වන්නේ නැතුව කරන බව්තීස්මය වෙනුවට හිසට ජලය ඉසීමෙන් බව්තීස්ම කිරීමට රෝමානු කතෝලික පල්ලි පටන්ගත්තා. මෙවැනි ක්‍රමයක් ආරම්භ වීමට හේතුව ලෙස ප්‍රංශ අධ්‍යාපන ආයතනයක සාමාජිකයෙක් වන පියර් ෂෝනු පැවසුවේ “ළදරු බව්තීස්මය වැඩිවීමත් සමඟම බොහෝ රටවල පැවති දේශගුණික තත්වය නිසා ළදරුවන්ව සීතල වතුරේ ගිල්වා බව්තීස්ම කිරීම අපහසු වුණා” කියායි.
මෙම බව්තීස්ම ක්‍රම ප්‍රචලිත වීමත් සමඟම බව්තීස්ම කරන ස්ථානද කුඩාවට ඉදි කරන්න පටන්ගත්තා. එක් ඉතිහාසඥයෙක් වන ෆ්රෙඩරෙක් බුලෙයි බව්තීස්ම කිරීම ගැන පවසන්නේ “පුරාවිද්‍යා කැණීම්වලින් හා ඉපැරණි චිත්‍ර මගින් පැහැදිලි වෙන්නේ බව්තීස්ම කරන ආකාරය කාලය ගතවීමත් සමඟම වෙනස් වූ බවයි. එය වැඩිහිටියන්ව සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වා බව්තීස්ම කිරීමේ සිට ළදරුවන්ගේ හිස මත ජලය ඉසීමෙන් කරන බව්තීස්මය දක්වා වෙනස් වී ඇති බවයි.”
දැන් දැන් සාදන බව්තීස්ම කිරීමේ ස්ථානවලින් පෙනී යන්නේ ජලයේ සම්පූර්ණයෙන්ම ගිල්වන්නේ නැතුව වැඩිහිටියන්ව බව්තීස්ම කිරීම සම්මත ක්‍රමයක් බවට පත් වෙමින් තිබෙන බවයි. මුල් කාලවලදී සිදු කළ බව්තීස්මය නිවැරදි ක්‍රමය බව බුලෙයිගේ අදහස අද කතෝලික පල්ලිය පිළිගන්නවා. ඒත් ක්‍රිස්තියානියෙකු සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී බව්තීස්ම විය යුතු බව මුල සිටම බයිබලයේ පවසා තිබුණා.
[පාදසටහන]
^ 14 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වා බව්තීස්මය සිදු කිරීමට භාවිත කරනු ලබන්නේ කුඩා පිහිනුම් තටාක හෝ වතුර ටැංකියි.
[13වන පිටුවේ පින්තූරය]
දකුණු ප්‍රංශයේ පෝටියේ නගරයේ සාන්ත ජෝන්හි බව්තීස්ම කරන ස්ථානය
[13වන පිටුවේ පින්තූරය]
කෝසිකා දූපතේ මරියානා නම් නගරයේ ප්‍රතිසංස්කරණය කරන ලද බව්තීස්ම කරන ස්ථානයක චිත්‍රයක්
[හිමිකම් විස්තර]
© J.-B. Héron pour “Le Monde de la Bible”/Restitution: J. Guyon and J.-F. Reynaud, after G. Moracchini-Mazel
[14වන පිටුවේ පින්තූර]
යේසුස්ගේ බව්තීස්මය චිත්‍රයට නඟා තිබූ අයුරු
යොර්දාන් ගඟේ සිදු වූ යේසුස්ගේ බව්තීස්මයේදී ශරීරය වැසෙන තෙක් ජලය තිබෙන බව පෙන්වයි, දේවදූතයන් තුවා අතැතිව සිටියි—නවවන සියවසේ චිත්‍රයක්
[හිමිකම් විස්තර]
Cristal de roche carolingien - Le baptême du Christ © Musée des Antiquités, Rouen, France/Yohann Deslandes
යොර්දාන් ගඟේ සිදු වූ යේසුස්ගේ බව්තීස්මය උරහිස තෙක් ජලය තිබෙන බව පෙන්වයි, දේවදූතයන් තුවා අතැතිව සිටියි—12වන සියවසේ චිත්‍රයක්
[හිමිකම් විස්තර]
© Musée d’Unterlinden - F 68000 COLMAR/Photo O. Zimmermann