Skip to content

පටුනට යන්න

රස බලන්න කැමතිද?

රස බලන්න කැමතිද?

රස බලන්න කැමතිද?

ෆින්ලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

උතුරු යුරෝපයේ බොහෝදෙනෙක් කැලෑවල ඇවිදින්න යනවා. ඒ යන්නේ නිකම්ම විනෝදෙට විතරක් නෙවෙයි රසවත් බෙරි පලතුරු ටිකක් එකතු කරගන්නත් එක්කයි. බෙරි කියන නම ඇසුණු විගස අපේ මතකයට එන්නේ ස්ට්‍රෝබෙරියි. ඒත් අපි මේ ලිපියේ කතා කරන්නේ ස්ට්‍රෝබෙරි පවුලට අයත් තවත් බෙරි වර්ග කිහිපයක් ගැනයි. මේ බෙරි වර්ග හුඟක් ෆින්ලන්තයේ තිබෙනවා. මෙම රටේ විශාල පෞද්ගලික වතු තිබෙන අතර පරිසරයට හානියක් නොකරන අයට මේ වතුවල නිදහසේ ඇවිදින්න යන්න පුළුවන්. මෙය ඔවුන් අතර තිබෙන සිරිතක්. මේ නිසා කෙනෙකුට කැලෑ මල්, හතු හා බෙරි තිබෙන ඕනෑම තැනකට ගිහින් ඒවා කඩාගන්න පුළුවන්.

ෆින්ලන්තයේ බෙරි වර්ග 50ක් පමණ තිබෙනවා. මේවායින් බොහෝමයක් ආහාරයට ගන්නවා. මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆින්ලන්තයේ වැඩියෙන්ම දකින්න තිබෙන බිල්බෙරි, ක්ලවුඩ්බෙරි හා ලින්ගන්බෙරි ගැනයි.—මේ සමඟ ඇති කොටුවද කියවා බලන්න.

වර්ණයෙන් හා රසයෙන් විවිධ වූ මෙම පලතුර කෑමට රුචියක් ඇති කරනවා වගේම පෝෂණ ගුණයෙන්ද අනූනයි. ෆීනිෂ් භාෂාවෙන් ලියැවුණු එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “උතුරු යුරෝපයේ ගිම්හාන කාලයේදී වැවෙන බෙරි පාටින්, සුවඳින් මෙන්ම ඛනිජ ලවණ හා විටමින්වලින් බහුලයි.” (Luonnonmarjaopas) මෙය කෙඳි සහිත පලතුරක් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කිරීමටත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කිරීමටත් උපකාරවත් වෙනවා.

බෙරි කඩන්න කැලෑවට යන එක ප්‍රයෝජනවත්ද? “ඔව්, බෙරි ටිකක් මිල අධික පලතුරක් නිසා ඒවා කැලෑවෙන් කඩාගැනීමෙන් සාක්කුවට වාසියි. අනික් අතට අලුත් පලතුරු කන්නත් පුළුවන් වෙනවා” කියා උද්‍යෝගයෙන් මේ කාර්යයේ නිරත වන යූකා පවසනවා. ඔහුගේ භාර්යාව වන නීනා තවත් ප්‍රයෝජනයක් ගැන මෙහෙම කිව්වා. “අපි බෙරි කඩන්න ගියාම අපිට පවුලක් හැටියට එකතු වෙලා ටිකක් විනෝද වෙන්නත් අවස්ථාවක් ලැබෙනවා.”

ඒත් නීනා මෙවැනි අනතුරු ඇඟවීමක්ද කළා. “ඔබ දරුවන් සමඟ යනවා නම් ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඔවුන්ව ළඟින්ම තියාගන්නත් පුරුදු නැති බෙරි වර්ග කෑමෙන් වළක්වාගන්නත් ඕනේ.” ඊට හේතුව සමහර බෙරි වර්ග ශරීරයට අහිතකර වීමයි.

උතුරු යුරෝපයේ වෙසෙන බොහෝදෙනෙක් මෙන් යූකා හා නීනාත් කැලෑ පරිසරයට බෙහෙවින් ආශා කරනවා. “කැලෑවේ තියෙන නිස්කලංක, පිරිසිදු මෙන්ම සීතල සුළඟට මම හරිම ආශයි. ඒ වගේ තැනකට ගියාම මගේ මනසට ලොකු සහනයක් දැනෙනවා. ළමයිනුත් හරි ආශයි කැලෑවේ ඇවිදින්න යන්න.” කැලෑව වගේ නිස්කලංක තැනක් පවුලේ කාරණා ගැන කතා කරන්නත් කල්පනා කරන්නත් හොඳ තැනක් කියා ඔවුන් විශ්වාස කරනවා.

බෙරිවල නියම ගුණය හා රසය තිබෙන්නේ ඒවා අලුත් නම් විතරයි. ඒත් අලුත්පිට බෙරි බොහෝ කාලයක් තබාගන්න එක පහසු නැහැ. ගිම්හාන කාලයේදී වැවෙන බෙරි ශීත කාලයේදී ප්‍රයෝජනයට ගන්න නම් ඒවා කල් තබා ගත හැකි වන පරිදි සකසා ගත යුතුයි. ඉස්සර කාලයේදී මිනිසුන් බෙරි කල් තබාගත්තේ පොළොව යට වැළලීමෙනුයි. ඒත් දැන් ශීතකරණ තිබෙන නිසා ඒ ක්‍රමය භාවිත වෙන්නේ නැහැ. අද බොහෝ අය බෙරි වර්ගවලින් ජෑම් හා බීම වර්ග සාදාගන්නවා.

“ගිම්හාන කාලයේදී කල් තබාගත් බෙරි ශීත කාලයේදී ආහාරයට ගන්න කවුරුත් කැමතියි. එයින් ගිම්හාන කාලයේ අසිරිය මතකයට නැඟෙනවා. එය හරියට ඊළඟ ගිම්හානය එන තුරු බලා සිටින්න කියා කියනවා වගේයි.” එසේ ලියා තිබුණේ ස්වීඩන් ජාතිකයෙක් ලියූ පොතකයි. (Svenska Bärboken) බෙරි විවිධ ආකාරයෙන් ආහාරයට ගන්න පුළුවන්. ඒවා යෝගට් සමඟත් නොයෙකුත් අතුරුපසවලටත් යොදාගන්නවා. මේවායින් සාදාගන්න ජෙලි වර්ණවත් නිසා ඒවා සමඟ පිළිගන්වන වෙනත් ආහාරවලටද මෙයින් අලංකාරයක් ලැබෙනවා.

බොහෝදෙනෙක් වෙළඳපොළෙන් බෙරි මිල දී ගන්නවා. ඒත් ලස්සනට හිරු පායා තියෙන සිසිල් සුළං හමන පරිසරයක මේ වගේ වර්ණවත් පලතුරු ටිකක් කඩාගන්න යන්න තියෙනවා නම් ඒක කොච්චර ලස්සන අද්දැකීමක් වෙයිද කියලා හිතලා බලන්න. තමන්ගේ අතින්ම කඩාගෙන එන එවැනි පලතුරු ආහාරයට ගන්න තිබෙනවා නම් මොන තරම් අපූරුද! එසේ කරන විට ඉතිහාසයේ සිටි ගීතිකාකරුවෙක් වන දාවිත් පැවසූ මේ වදන් මතකයට නැඟෙනවා ස්ථිරයි. “යෙහෝවා, ඔබගේ වැඩ කොපමණ නානාප්‍රකාරද? ඔබ මේ සියල්ල ඥානයෙන් සෑදුවේය. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.”—ගීතාවලිය 104:24.

[24වන පිටුවේ කොටුව/පින්තූරය]

බිල්බෙරි

මෙම බෙරි වර්ගය ඉතා ප්‍රණීතයි. මේවායින් සෝස් වර්ග, පුඩිං වර්ග, ජෑම් වර්ග හා බීම වර්ගත් සාදනවා. බිල්බෙරි කිරි සමඟත් රසයි. ඒත් පුහුල් හොරා කරෙන් දැනේ කියනවා වගේ බිල් බෙරි කෑ තැනැත්තාවත් ඉක්මනින්ම අහුවෙනවා. ඊට හේතුව කට නිල්පැහැ ගැන්වෙන නිසයි. ඒ නිසා මේ බෙරි වර්ගය ඕපාදූප බෙරි කියාත් හඳුන්වනවා.

[25වන පිටුවේ කොටුව/පින්තූරය]

ක්ලවුඩ්බෙරි

මේ බෙරි වර්ගය හැදෙන්නේ මඩවගුරුවලයි. මේවා ෆින්ලන්තයේ උතුරු ප්‍රදේශයේ බහුලව වැවෙනවා. මේවායේ විටමින් A සහ C බහුලව අඩංගුයි. මෙහි දොඩම් ගෙඩියක තිබෙන විටමින් C ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයකින් වැඩියි. මෙහි ඇති රසය හා ගුණය නිසා ඒවා සමහරුන් හැඳින්වූයේ මඩවගුරේ මැණික් කියායි. මේවා බොහෝ අතුරුපසවලට යොදාගන්නා අතර වයින් වැනි බීම වර්ගත් සාදාගන්නවා.

[25වන පිටුවේ හිමිකම් විස්තර]

Reijo Juurinen/Kuvaliiteri

[25වන පිටුවේ කොටුව/පින්තූරය]

ලින්ගන්බෙරි

මෙම බෙරි වර්ගය ෆින්ලන්තයේ මෙන්ම ස්වීඩනයේත් ඉතා බහුලව වැවෙනවා. මේවායින් ජෙලි සාදාගත හැකියි. මෙම බෙරි වර්ගය සෝස් වර්ග, පුඩිං වර්ග, බීම හා වෙනත් රසකැවිලි වර්ගද සෑදීමට යොදාගන්නවා. මෙහි අම්ල ගතිය වැඩි නිසා ඒවා කල් තබාගැනීම එතරම් අපහසු නැහැ. මෙහි තිබෙන ඇඹුල් රසය නිසා මෙය ටිකක් හුරු වෙන තුරු කෑමට ගැනීම පහසු නැහැ.

[25වන පිටුවේ කොටුව]

පරෙස්සම් වන්න

බෙරි කඩන්න යන එක විනෝදාත්මක ගමනක් වුණත් සමහර අවස්ථාවලදී අසීරුතාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. * පාසි හා ටූරි නම් යුවළ තමන්ගේ කෑමට මෙන්ම විකිණීම සඳහාත් බෙරි කඩන්න යනවා. සමහර අවස්ථාවලදී බෙරි කඩන්න යන විට මදුරුවන්ගෙන් හා ගඩු මැස්සන්ගෙන් කරදර විඳින්නත් සිදු වෙනවා. ඔවුන් ඒ ගැන පැවසුවේ “උන් ඇඟේ විතරක් නෙවෙයි ඇස්වලයි කටේයි හැම තැනම වහනවා” කියායි. ඒත් සුදුසු ඇඳුම්වලින් සැරසී යෑමෙන් හා උන්ව පලවාහැරීමට බෙහෙත් ගල්වාගෙන යෑමෙන් මේ උවදුරෙන් බේරෙන්න පුළුවන්.

සමහර අවස්ථාවලදී බෙරි හොයන්න මඩවගුරුවල බැහැගෙන යන එකත් පහසු නැහැ. හොඳට පෙනෙන්න තිබෙන තැනක් සමහරවිට මඩවගුරක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පාසි හා ටූරි පවසන ආකාරයට කොන්ද නමාගෙන බෙරි කඩන එකත් හිතන තරම්ම පහසු දෙයක් නෙවෙයි. පැය දෙක තුනක් එසේ නැමී සිටීමෙන් කොන්දට මෙන්ම කකුල් දෙකටද ලොකු වේදනාවක් දැනෙනවා.

බෙරි තියෙන තැනක් සොයාගන්න එකත් අමාරුයි. “සමහර වෙලාවට බෙරි කඩනවාට වඩා අමාරුයි බෙරි තියෙන තැනක් සොයාගන්න එක” කියා ටූරි පැවසුවා. ඒ විතරක් නෙවෙයි කඩාගන්න බෙරි සුද්ද කරන්නත් වෙනවා.

මේ හේතු නිසා සමහරුන් බෙරි කැලෑ සතුන්ට කන්න ඉඩහැර තිබෙනවා. ඒත් ටූරි හා පාසි වැනි බෙරි කඩන්න දක්ෂයෝ නම් දිගටම කැලෑ පීරමින් බෙරි කැඩීමේ යෙදෙනවා. ඔවුන්ට නම් බෙරි කඩාගැනීමෙන් ලැබෙන ප්‍රීතිය නිසා ඒ අමාරුකම් දැනෙන්නේ නැහැ.

[පාදසටහන]

^ 25 ඡේ. අපි කලින් පැවසුවා හා සමානව සියලුම බෙරි වර්ග කෑමට ගන්නේ නැති නිසා බෙරි කඩන්න යන්න කලින් ආහාරයට ගන්නා වර්ග මොනවාද කියා දැනගැනීම අවශ්‍යයි.