Skip to content

පටුනට යන්න

විපත් නැති ලොවක්!

විපත් නැති ලොවක්!

විපත් නැති ලොවක්!

අද අපි අද්දකින භූමිකම්පා, යුද්ධ, සාගත හා වසංගත යේසුස් පැවසූ “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනාගැනීමට අපට උපකාරවත් වෙනවා. (මතෙව් 24:3, 7, 8; ලූක් 21:7, 10, 11) ඒත් මේවාට වග කිව යුත්තේ යේසුස් හෝ ඔහුගේ පියා වන යෙහෝවා දෙවි නොවෙයි.

ඒත් මෙම සමාජ ක්‍රමයේ අවසානයෙන් පසුව යෙහෝවා දෙවි ඔහුගේ රාජ්‍යය මේ පොළොව මත පිහිටුවන්න යනවා. එහි රජු යේසුස් ක්‍රිස්තුස් වන අතර ඔහු විසින් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කරන සියලුදෙනාවම විනාශ කිරීමට නියමිතයි. (දානියෙල් 2:44; 7:13, 14) ඉන්පසුව මුළු පොළොවේම සාමකාමී තත්වයක් පවතින්න යනවා. ඒ කාලයේදී ස්වාභාවික විපත්වලින් තමන්ට හානි සිදු වෙයි කියා මිනිසුන් බිය විය යුතු නැහැ. එදාට දෙවි දී තිබෙන මේ පොරොන්දුව සම්පූර්ණයෙන්ම ඉටු වෙයි. “මගේ සෙනඟගේ නිවහන සාමකාමීය. ඔවුහු කිසි බියක් සැකක් නැතිව සුවසේ වසන්නෝය.”—යෙසායා 32:18, නව ලොව පරිවර්තනය, NW.

සුරක්ෂිත අනාගතයක්!

මුල් ලිපිවල අපි සලකා බැලූ ආකාරයට අනතුරු ඇඟවීම්වලට අවනත වීමෙන් අපේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්. නමුත් දෙවි බයිබලය තුළින් දෙන අනතුරු ඇඟවීම්වලට සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන ඊටත් වඩා වැඩියි. දෙවි ඒ ගැන පවසන්නේ මෙසේයි. “මට සවන් දෙන්නා සුරක්ෂිතව ජීවත් වන්නේය. ඔහු කිසිම විපතකට භය නොවී ජීවත් වන්නේය.”—හිතෝපදේශ 1:33, NW.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම දිනකම දෙවිගේ වචනය වන බයිබලය කියවනවා. එමෙන්ම දෙවි දෙන මඟ පෙන්වීම් ඔවුන්ගේ ජීවිතවලට අදාළ කරගැනීමට හැකි සෑම උත්සාහයක්ම ඔවුන් දරනවා. ඔවුන් ඔබටත් උනන්දු කරන්නේ එසේ කිරීමටයි. දෙවි දෙන මඟ පෙන්වීම් හා අනතුරු ඇඟවීම්වලට කීකරු වන අයට ඔවුන්ගේ අනාගතය ගැනවත් දුෂ්ටයන් මතට දෙවි ගෙනෙන්න යන විනාශය ගැනවත් කිසිවිටක බිය විය යුතු නැහැ. ඒ වෙනුවට ඔවුන් සන්තෝෂයෙන් බලා සිටින්නේ පාරාදීස පොළොවේ ‘මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වීමටත්’ සදාකාල ජීවනය අත් කරගැනීමටත් බව නම් ස්ථිරයි.—ගීතාවලිය 37:10, 11.

[8වන පිටුවේ කොටුව]

වියෝ දුකින් පෙළෙන්නන්ට සහනයක්

ඔබ ආදරය කළ කෙනෙක් ස්වාභාවික විපතකින් හෝ වෙන යම් ආකාරයකින් මිය ගොස් තිබෙනවාද? අවුරුදු 2,000කට පමණ පෙර යේසුස්ගේ මිතුරෙක් වූ ලාසරුස් හදිසියේම මිය ගිය බව බයිබලයේ සඳහන් වෙනවා. තවදුරටත් එහි පවසන්නේ යේසුස්, ලාසරුස් වාසය කළ බෙතානියට ගොස් ඔහුව මරණය නමැති ‘නින්දෙන්’ පිබිද වූ බවයි.—යොහන් 11:1-44.

යේසුස් මෙම පුදුම ක්‍රියාව සිදු කළේ ලාසරුස් සහ ඔහුගේ පවුලේ අයට දැක්වූ ප්‍රේමය නිසා පමණක් නෙවෙයි. එය අනාගතයේදී ඔහු කරන්න යන දෙයකට හොඳ සාක්ෂියක්ද සැපයුවා. එනම් ‘සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්වම’ නැවත නැඟිටුවන බවට ඔහු දී තිබූ පොරොන්දුව අනාගතයේදී ඉටු කරන බවට නිසැකකමක් ඇති කිරීමයි. (යොහන් 5:28, 29) මුල් මිනිස් යුවළ ඒදන් උයනේදී දෙවිට විරුද්ධ වීම නිසා මිනිස් වර්ගයාට අද්දකින්න සිදු වුණු සෑම අහිතකර බලපෑමක්ම පාරාදීස පොළොවේදී යේසුස් ඉවත් කරනවාමයි. *1 යොහන් 3:8.

[පාදසටහන]

^ 10 ඡේ. අපි ආදරය කළ කෙනෙක් මිය ගිය විට, ඒ තත්වයට හොඳින් මුහුණ දෙන්නේ කෙසේද කියාත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව පිළිබඳවත් බයිබලයේ දෙන තවත් මඟ පෙන්වීම් දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට යන විවරණිකාව කියවා බලන්න.

[9වන පිටුවේ කොටුව]

විපතක් කළ යහපතක්

මම සංගීතයට හුඟක් ආශා කළා. මගේ උපන් ගම වූ කැනඩාවේ විනිපෙග් නගරයෙන් 1957දී කැලිෆෝනියාවට මම පැමිණියේ සංගීතය වැඩිදුර හැදෑරීමටයි. වර්ෂ 1971දී මම වැඩිදුර සංගීතය හැදෑරීමට සූදානම් වුණා. මේ වන විට මම අම්මා කෙනෙක්.

මගේ අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. සෑම අවුරුද්දකම ඇය මාව බලන්න කැලිෆෝනියාවට එනවා. ඒ හැම අවස්ථාවකදීම බයිබලය ගැන මාත් එක්ක කතා කරන්න අම්මා අමතක කරන්නේ නැහැ. සැබෑ සතුටට සහ සාර්ථක පවුල් ජීවිතයකට හොඳම උපදෙස් ලබාගන්න පුළුවන් එකම පොත බයිබලය කියලා ඇය අනන්ත වාරයක් මට කියලා ඇති. අම්මාට මම හුඟක් ආදරේ නිසා ඇය කියන දේවල්වලට සවන් දුන්නත්, දීලා යන බයිබල් ප්‍රකාශන එකක්වත් මම කියවන්නේ නැහැ. ඇය ගියාට පස්සේ මම ඒවා පැත්තකට දානවා. මොකද මම හිතුවා මම යන්නේ හරි මාර්ගයේ කියලා.

වර්ෂ 1971 පෙබරවාරි මාසයේ එක් අඟහරුවාදා දවසක මම තිගැස්සී අවදි වුණේ ඒ ප්‍රදේශයේ සිදු වුණු භූමිකම්පාවක් නිසයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 6.6ක් වුණා. එදා මම හුඟක් භය වුණත් මගේ චූටි පුතා ආරක්ෂිතව ඉන්නවා දැකීම මට ලොකු සහනයක් වුණා. ගෙදර තිබුණු රාක්කවල බඩු මුට්ටු සියල්ලම බිම වැටිලා කුඩු වෙලා. පිහිනුම් තටාකයේ වතුර වත්ත පුරාම ගලාගෙන ගිහින්. මගේ පවුලේ අයට කිසිම හානියක් සිදු වී තිබුණේ නැතත්, ආයෙත් ගිහින් නිදාගන්න නම් මට පුළුවන් වුණේ නැහැ.

මගේ අම්මා බයිබලයේ සඳහන් වන “අන්තිම දවස්” ගැනත්, ඒ කාලයේදී සිදු වන “මහත් භූමිකම්පා” ගැනත් මට කියලා තිබුණා. (2 තිමෝති 3:1; ලූක් 21:7-11) කොහොමවුණත්, ඒ විපත සිදු වූ අවුරුද්දේ ඇය අපිව බලන්න ආවේ කිසිම බයිබල් ප්‍රකාශනයක් අරගෙන නෙමෙයි. අවුරුදු නවයක් තිස්සේ බයිබලය ගැන කතා කරලා තිබුණත් මගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නැති නිසා, ආයෙත් ඒ ගැන කතා නොකරන්න ඇය තීරණය කළා වෙන්න ඇති. ඒත් සිද්ධ වුණේ වෙනස් දෙයක්! මම අම්මාගෙන් ප්‍රශ්න වැළක් අහගෙන අහගෙන ගියා. සංගීතය හැදෑරීමට තිබුණු මගේ ආශාව එදා වෙනස් වුණා.

ඒ සතියේම මම අම්මාත් එක්ක සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියා. එදා ඉඳලා මට රැස්වීම් අතපසු වුණා නම් එහෙම වුණේ කලාතුරකින්. අම්මා මට බයිබලය ගැන ඉගෙනගන්න කෙනෙක් හඳුන්වලා දුන්නා. වර්ෂ 1973දී මම බව්තීස්ම වුණා. අද මම හැම මාසයකම පැය 70ක් විතර දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය අනිත් අයත් එක්ක කතා කරන්න වැය කරනවා. (මතෙව් 24:14) එදා සිදු වූ භූමිකම්පාව, දෙවි කෙරෙහි මට තිබුණු විශ්වාසය දෙදරා යනවා වෙනුවට එය තව තවත් ශක්තිමත් කළා!—පැවසුවේ කොලීන් එස්පාර්සා.