Skip to content

පටුනට යන්න

“වෛද්‍ය විද්‍යාවේ ඉදිරි ගමනට මහඟු අත්වැලක්!”

“වෛද්‍ය විද්‍යාවේ ඉදිරි ගමනට මහඟු අත්වැලක්!”

“වෛද්‍ය විද්‍යාවේ ඉදිරි ගමනට මහඟු අත්වැලක්!”

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය ලබා නොගන්නා සෙනඟක් බව බොහෝදෙනා දන්නා දෙයක්. බයිබලය මත පදනම් ඔවුන්ගේ මෙම ස්ථාවරය සමහර අය විවේචනයට ලක් කර තිබෙනවා. නමුත් පිළිකා රෝගය ගැන සොයා බලන එක් ආයතනයක ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයෙක් වන ඇන්කල් හෙරේරා මෙක්සිකෝවේ රිෆෝමා නම් පුවත්පතට මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මෝඩ අයවත් අන්ධ විශ්වාසයක් තියෙන අයවත් නෙවෙයි. වෛද්‍ය ක්ෂේත්‍රය රුධිරය නොමැතිව ශල්‍යකර්ම කිරීම සඳහා ක්‍රම සොයාගැනීමට උනන්දු වුණේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය නිසයි. මේ නිසා සාක්ෂිකරුවන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට මහඟු අත්වැලක් වුණා කියා කියන්න පුළුවන්.”

මීට අවුරුදු පහළොවකට පමණ පෙර වෛද්‍ය ඇන්කල් හෙරේරා රුධිරය රහිත ශල්‍යකර්ම කිරීමට නිර්වින්දක වෛද්‍යවරුන් හා ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් යුත් කණ්ඩායමක් සංවිධානය කළා. එම කණ්ඩායමේ සිටි එක් නිර්වින්දක වෛද්‍යවරයෙක් වූ ඉසිද්‍රෝ මාටිනස් මෙසේ අදහස් දැක්වූවා. “රෝගියෙකුගේ ශරීරයෙන් අනවශ්‍ය ලෙස ලේ ගැලීමක් සිදු නොවන්න වගබලා ගැනීමත් නිර්වින්දක වෛද්‍යවරයෙකු සතු කාර්යභාරයට අයත් වෙනවා. මේ නිසා අපිට අනිවාර්යයෙන්ම රුධිරය සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරයට සහයෝගය ලබා දෙන්න පුළුවන්.”

රුධිරය වෙනුවට ලබා දිය හැකි විකල්ප ප්‍රතිකාර ක්‍රම 30කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන බව 2006 ඔක්තෝබර් මාසයේ පළ වූ රිෆෝමා නම් පුවත්පතේ සඳහන් වුණා. එම විකල්ප ප්‍රතිකාර ක්‍රමවලට රුධිරවාහිනිවලින් රුධිරය ගැලීම වැළැක්වීම සඳහා භාවිත කරන විද්‍යුත් පිලිස්සුම් ක්‍රමය, ඉන්ද්‍රියන් තුළින් රුධිරය ගැලීම අවම කිරීමට යම් විශේෂිත ආවරණයක් යොදාගැනීම හා රුධිර පරිමාව වැඩි කිරීමට යම් ද්‍රාවණයක් භාවිත කිරීම අයත් වෙනවා. *

මෙක්සිකෝ නගරයේ ලා රාසා නම් රෝහලේ ප්‍රධාන හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් වන මොයිසෙස් කාල්දරොන් රිෆෝමා පුවත්පතට මෙවැනි අදහසක් පළ කළා. “රුධිරය ශරීරගත කිරීමෙන් කිසිම හානියක් සිදු නොවන බව ස්ථීරයෙන්ම පැවසිය නොහැකියි. මෙමගින් වයිරස් බැක්ටීරියා වැනි විෂබීජ ශරීරගත විය හැකියි. එමෙන්ම වකුගඩු හා හෘද අසාත්මිකතාද ඇති විය හැකියි.” රුධිරය ශරීරගත කිරීමේදී එවැනි අවදානමක් තිබෙන නිසා “වෙනත් ආගමක කෙනෙකුට ශල්‍යකර්මයක් කරන විට අපි ඔවුන්ටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට වගේම ප්‍රතිකාර කරනවා. අපි පුළුවන් තරම් රුධිරය ගැලීම අවම කිරීමටත් රුධිරය ශරීරයෙන් පිටවීම වැළැක්වීමටත් අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරනවා.”

රුධිරය පිළිබඳව සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය පදනම් වන ප්‍රධාන බයිබල් පදය වන ක්‍රියා 15:28, 29 එම පුවත්පතේ සඳහන් කර තිබුණා. එහි සඳහන් වන්නේ මෙයයි. “අත්‍යවශ්‍ය කාරණා හැරෙන්නට වෙන කිසි බරක් ඔබට එකතු නොකිරීම යහපතැයි ශුද්ධාත්මයටත් අපටත් පෙනී ගියේය. ඒවා නම්, දේවතා රූපවලට පූජා කළ දේවලින්ද ලෙයින්ද බෙල්ල මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද වැළකී සිටීමය.”

මෙක්සිකෝ නගරයේ ඇති සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය පවසන පරිදි එම රටේ රෝහල් සබඳතා කමිටු 75ක් පමණ තිබෙනවා. එමෙන්ම එහි ස්වේච්ඡාවෙන් සේවය කරන්නන් 950ක් පමණ සිටින අතර රුධිරය රහිතව කරන සැත්කම් පිළිබඳව වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීම මොවුන්ගේ කාර්යයට ඇතුළත්. මෙක්සිකෝ නගරයේ සිටින 2,000කට ආසන්න වෛද්‍යවරුන් සංඛ්‍යාවක් මෙවැනි සැත්කම් කිරීමට ඉදිරිපත් වී තිබීම සතුටට කරුණක්. වෛද්‍යවරුන් සාක්ෂිකරුවන්ට දක්වන මෙම නොමද සහය ඔවුන් බොහෝ සේ අගය කරනවා. සාක්ෂිකරුවන් නොවන අයට පවා රුධිරය නොමැතිව සැත්කම් කිරීමට මෙම වෛද්‍යවරුන්ට හැකි වී තිබෙනවා.

[පාදසටහන]

^ 5 ඡේ. රෝගියෙකුට ලබා දිය යුත්තේ කුමන ආකාරයේ රුධිරය රහිත ප්‍රතිකාර ක්‍රමයද යන්න පෞද්ගලික තීරණයක්. පිබිදෙව්! යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැත.

[30වන පිටුවේ පින්තූරය]

වෛද්‍ය ඇන්කල් හෙරේරා

[30වන පිටුවේ පින්තූරය]

වෛද්‍ය ඉසිද්‍රෝ මාටිනස්

[30වන පිටුවේ පින්තූරය]

වෛද්‍ය මොයිසෙස් කාල්දරොන්