Skip to content

පටුනට යන්න

අම්මයි තාත්තයි රණ්ඩු වෙද්දී මම මොකද කරන්නේ?

අම්මයි තාත්තයි රණ්ඩු වෙද්දී මම මොකද කරන්නේ?

යෞවන අය අසති . . .

අම්මයි තාත්තයි රණ්ඩු වෙද්දී මම මොකද කරන්නේ?

ඔබේ දෙමව්පියන්ට ඔබ ආදරෙයි. ඔවුන්ගේ සහයෝගය ඔබට අත්‍යවශ්‍යයි. ඒත් ඔවුන් එකට පෑහී කටයුතු නොකරන විට ඔබ ඉන් මහත් කනස්සල්ලට පත් වෙන්න පුළුවන්. මන්ද ඔවුන් අතර ඇති වන අඬ දබර ඔබට බලපාන නිසයි. සමහර කාරණා සම්බන්ධයෙන් ඔබේ මවත් පියාත් එකඟ නොවන්නේ ඇයි?

එකඟ නොවන්නේ ඇයි?

යේසුස් පැවසූ පරිදි ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ වූ පසු දෙදෙනා “එක මාංසයක්” වෙනවා. (මතෙව් 19:5) මින් අදහස් කරන්නේ ඔබේ මව හෝ පියා හැමවිටම එකම විදිහට සිතන බවද? කොහෙත්ම නැහැ. ඕනෑම පුද්ගලයන් දෙදෙනෙක් අතර යම් යම් අවස්ථාවලදී එකඟ නොවීම් ඇති වෙනවා.

සමහර කාරණාවලදී ඔබේ මවටත් පියාටත් එකිනෙකට වෙනස් අදහස් තිබෙනවා කීමෙන් ඇඟවෙන්නේ ඔවුන්ගේ විවාහය දෙකඩ වීමට යන බවද? නැහැ. ඔවුන් අතර එකඟ නොවීම් තිබුණත් ඇත්තටම ඔවුන් එකිනෙකාට ආදරෙයි. එහෙමනම් ඔවුන් අතර අඬ දබර ඇති වෙන්නේ ඇයි? ඒ ඔවුන් දෙදෙනා යම් කාරණයක් දෙස එකිනෙකට වෙනස් ආකාරයට බලන නිසා වෙන්න පුළුවන්. එමනිසා එය සෑමවිටම වැරදි නැහැ.

උදාහරණයකට ඔබේ හොඳම යාළුවන් එක්ක ඔබ චිත්‍රපටයක් නරඹා තිබෙනවාද? නැරඹූ චිත්‍රපටිය ගැන ඔබටත් ඔබේ මිතුරන්ටත් වෙනස් මත තිබෙන්න ඇති. ඉන් පැහැදිලි වන්නේ කිට්ටු මිතුරන් අතර පවා එකිනෙකට වෙනස් මත තිබෙන බවයි.

ඔබේ මව්පියන් සම්බන්ධයෙන්ද මේ කාරණය සැබෑවක්. උදාහරණයකට ඔවුන් දෙදෙනාම පවුලේ වියහියදම් ගැන සැලකිලිමත් වුණත් මුදල් පරිහරණය ගැන දෙදෙනාටම විවිධ මත තිබිය හැකියි. නැත්නම් නිවාඩුවට කොහේ හරි යන්න සැලසුම් කළත් නිවාඩුව ගත කරන්න කැමති ආකාර ගැන දෙදෙනාම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ හොඳින් ඉගෙනගන්නවා දකින්න ඔවුන් දෙදෙනාම කැමති වුණත් ඒ සඳහා ඔබට මඟ පෙන්වන ආකාරය ගැන ඔවුන්ට වෙනස් මත තියෙන්න පුළුවන්. මින් පැහැදිලි වෙන්නේ සෑමවිටම දෙදෙනෙක් අතර එකමුතුකම තිබීමට ඒ දෙදෙනා සෑමවිටම එකම දෙයට කැමති විය යුතුයි කියන එක නෙවෙයි. එක මාංසයක් ලෙස හඳුන්වන විවාහකයන් අතර පවා යම් කාරණා ගැන දෙයාකාරයකට සිතන අවස්ථා තියෙන්න පුළුවන්.

ඔබේ මවත් පියාත් යම් කාරණයක් ගැන වෙනස් මත දරන විට එය බහින්බස් වීමක් දක්වා වර්ධනය වෙන්නේ ඇයි? එක්කෙනෙකු දරන මතයෙහි කිසි වරදක් පේන්න නැති වුණත් එය රණ්ඩුවක් දක්වා දුරදිග යන්නේ ඇයි?

ඔවුන් සර්ව සම්පූර්ණ අය නෙවෙයි

මව්පියන් අතර නොයෙකුත් අඬ දබර ඇති වෙන්න ඔවුන් දෙදෙනා තුළ තිබෙන සුළු සුළු අඩුපාඩුකම් හේතු වෙනවා. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “අපි සියලුදෙනාම බොහෝ වර වැරදි කරන්නෙමු. යමෙකු වචනයකින්වත් වැරදි කරන්නේ නැත්නම්, ඔහු තමාගේ මුළු ශරීරයම දමනය කළ හැකි පරිපූර්ණ මිනිසෙකි.” (යාකොබ් 3:2) ඔබේ මව්පියන් වගේම ඔබත් සර්ව සම්පූර්ණ කෙනෙක් නොවෙයි. සමහර අවස්ථාවලදී අපි එතරම් සිතලා බලලා කතා නොකරනවා වෙන්න පුළුවන්. තවත් අවස්ථාවලදී අපේ කටිනුත් “කඩුවකින් අනින්නාක් මෙන්” වේදනාව ගෙනෙන වචන පිටවන්න පුළුවන්.—හිතෝපදේශ 12:18.

ඔබේ අතිනුත් එවැනි දෙයක් සිදු වෙලා ඇති. ළඟින්ම සිටින කෙනෙකු සමඟ යම් කාරණයක් ගැන ඔබ කොහොමටවත් එකඟ නොවුණු අවස්ථාවක් ගැන සිතා බලන්න. මාරි * නම් යෞවනිය මෙසේ පවසනවා. “එකඟ නොවීම් හැම කෙනෙක් අතරේම තිබෙනවා. මම වැඩියෙන් වේදනාවට පත් වෙන්නේ මම හුඟක් ආදරය කරන අයගෙන්. එහෙම වෙන්නේ මම ඒ අයගෙන් හුඟක් බලාපොරොත්තු වෙන නිසා වෙන්න ඇති.” සැමියෙක් හා බිරිඳක් එකිනෙකාගෙන් හුඟක් දේවල් අපේක්ෂා කරන එක සාමාන්‍ය දෙයක්. විවාහක යුවළයන්ට අදාළ කරගත හැකි වටිනා ප්‍රතිපත්ති බයිබලයේ සපයා දී තිබෙනවා. (එෆීස 5:24, 25) දෙදෙනාම අඩු පාඩුකම් ඇති අය නිසා දෙදෙනා අතින්ම වැරදි සිදු වෙන්න පුළුවන්. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටිති.”—රෝම 3:23; 5:12.

ඔබේ මව්පියන්ද යම් යම් පීඩාකාරී තත්වයන්ට මුහුණ දීම සාමාන්‍ය දෙයක්. පාවුල් නම් දෙවිගේ සේවකයා පැවසූ ආකාරයට විවාහ වූ යුවළක් අතර “මාංසයෙහි දුක්” හෙවත් දුක හා වේදනාව ඇති වෙනවා. (1 කොරින්ති 7:28) බොහෝවිට රැකියා ස්ථානයේදී මුහුණ දීමට සිදු වන ගැටලු, ආර්ථික ප්‍රශ්න, නොසිතූ අවස්ථාවකදී විශාල වියදමක් දැරීමට සිදුවීම වැනි කාරණාවන් පවුල තුළ යම් පීඩනයක් ඇතිවීමට හේතු විය හැකියි.

ඔබේ මව්පියන් සර්ව සම්පූර්ණ අය නොවන බවත්, ඔවුන් එදිනෙදා විවිධ පීඩනයන්ට මුහුණ දෙන බවත් දැන සිටීමෙන් ඔවුන් අතර අඬ දබර ඇති වන්නේ ඇයි කියා තේරුම්ගන්න ඔබට පුළුවන් වෙයි. මාරි ඒ ගැන පවසන්නේ මෙසේයි. “මගේ අම්මයි තාත්තයි දැන් හරියට බැණ ගන්නවා. වෙලාවකට හිතෙනවා ඒ දෙන්නාට දෙන්නාව එපා වෙලාවත්ද කියලා. ඒත් වෙලාවකට මෙහෙමත් හිතෙනවා. ‘ඒගොල්ලන් බැඳලා දැන් අවුරුදු 25ක්. ළමයි පස්දෙනෙක් ඉන්නවා. කොච්චර ලොකු වගකීමක්ද!’ කියලා.” ඇය මෙන් ඔබටත් පුළුවන් ඔබේ දෙමව්පියන්ගේ වගකීම් තේරුම්ගෙන ඔවුන් දෙස ‘සානුකම්පිතව’ බලන්න.—1 පේතෘස් 3:8, නව අනුවාදය.

ඔබට කළ හැකි දේ

ඔබේ මව්පියන් සර්ව සම්පූර්ණ අය නොවන බවත් ඔවුන්ට එදිනෙදා විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදු වන බවත් ඔබ දන්නවා. ඒත් ඔබේ මවත් පියාත් රණ්ඩු වන අවස්ථාවකදී ඔබට කුමක් කළ හැකිද? පහත යෝජනා අදාළ කරගන්න.

මැදිහත් නොවන්න. (හිතෝපදේශ 26:17) මව්පියන් අතර ඇති වන අඬ දබර විසඳීම ඔබේ වගකීමක් නෙවෙයි. ඒ නිසා ඒවාට මැදිහත් වෙන්න එපා. එසේ කළොත් වැරදිකරු වෙන්නේ ඔබමයි. දහඅට-හැවිරිදි ෂාලීන්ගේ අද්දැකීම මෙයයි. “අම්මයි තාත්තයි බැණගන්න කොට මම මැද්දට පැනලා ඒවා විසඳන්න යද්දී බැණුම් අහන්න වෙන්නේ මටමයි.” ඔබේ අම්මාටයි තාත්තාටයි ඒවා විසඳාගන්න ඉඩහරින්න.

සාවධානව බලන්න. (කොලොස්සි 3:13) කලින් සඳහන් කළ පරිදි මව්පියන් අතර බහින්බස් වීම් ඇතිවීම ඔවුන්ගේ විවාහය දෙකඩ වීමේ ලකුණක් නොවෙයි. ඉඳහිට ඔවුන් අතර ඇති වෙන අඬ දබර ගැන කලකිරෙන්න එපා. විසි-හැවිරිදි මෙලනි ඇගේ මව්පියන් ගැන පවසන දේ ඔබේ දෙමව්පියන්ගේ තත්වයට සමාන විය හැකියි. ඇය මෙසේ පවසනවා. “ඒගොල්ලන් කොච්චර රණ්ඩු කළත් මම දන්නවා ඒගොල්ලන් පවුලටත් ඒ දෙන්නාට දෙන්නාත් ආදරෙයි කියලා. ඒ නිසා ඒ ප්‍රශ්න ඒගොල්ලන්ම විසඳගනියි.”

යාච්ඤා කරන්න. ඔබේ සිතේ තිබෙන වේදනාව ඔබ තුළම තියාගන්න එපා. බයිබලයේ අපට පවසන්නේ “ඔබේ බර යෙහෝවා පිට තබන්න. ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසිකලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය” කියායි. (ගීතාවලිය 55:22) දෙවිට යාච්ඤා කිරීමෙන් අපට ඇත්තෙන්ම සහනයක් ලැබෙනවා. බයිබලයේ තවදුරටත් මෙසේද පවසනවා. “ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.”—ෆිලිප්පි 4:6, 7.

ඔබ ගැන සැලකිලිමත් වන්න. ඔබට පාලනය කළ නොහැකි දෙයක් ගැන කනස්සලු වීම නැණවත් දෙයක් නොවෙයි. එය ඔබට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. බයිබලයේ මෙසේ පවසනවා.“මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි.” (හිතෝපදේශ 12:25, නව ලොව පරිවර්තනය) සතුට ගෙන දෙන වැඩක යෙදීමෙන් හෝ මිතුරන් සමඟ කාලය ගත කිරීමෙන් ඔබේ කනස්සල්ල අඩු කරගන්න උත්සාහ කරන්න.

ඔබට හැඟෙන දේ පවසන්න. ඔබේ මව්පියන් අතර ඇති වෙන මතභේදයන්ට ඔබ මැදිහත් නූණත් ඒ ගැන ඔබට හැඟෙන දේ කාරුණිකව අම්මාට හෝ තාත්තාට පහදා දෙන්න. මේ සඳහා සුදුසු වෙලාවක් සොයාගන්න. (හිතෝපදේශ 25:11) නමුත් ඔවුන්ට චෝදනා නොකර “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තව” කතා කරන්න.—1 පේතෘස් 3:15.

ඉහත යෝජනා අදාළ කරගෙන බලන්න. සමහරවිට ඔබේ මව්පියන් ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. ඔවුන්ව පාලනය කරන්න ඔබට බැරි වුණත් ඔවුන් අතර අඬ දබරයක් හටගතහොත් ඔබට කළ හැකි දේ දැන් ඔබ දන්නවා.

[පාදසටහන]

^ 12 ඡේ. මෙම ලිපියේ නම් වෙනස් කර ඇත.

සිතා බලන්න

▪ මව්පියන් අතර එකඟ නොවීම් ඇති වන්නේ ඇයි?

▪ ඔබේ නංගිට හෝ මල්ලිට මව්පියන් අතර ඇති වන රණ්ඩු තදින්ම බලපා තිබෙනවා නම් ඔබ ඔවුන්ට පවසන්නේ කුමක්ද?

[20වන පිටුවේ කොටුව]

දෙමව්පියන්ගේ අවධානයට . . .

විවාහ ජීවිතයේදී එකඟ නොවීම් ඇති වෙනවා. එවැනි තත්වයක් හසුරුවන්නේ කෙසේද කියා ඔබම තීරණය කළ යුතුයි. කෙසේවෙතත් මෙමගින් දරුවන්ට විශාල බලපෑමක් ඇති වෙනවා. එමෙන්ම යම් දිනක ඔබේ දරුවන් යුග දිවියට පා තැබූ විට ඔවුන් අනුගමනය කරන්නේ ඔබේ ආදර්ශයයි. මේ නිසා ඒ ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. (හිතෝපදේශ 22:6) එකඟ නොවීම් ඇති වූ විට එය විසඳාගන්නේ කෙසේද කියා දරුවන්ට පෙන්වීමට මෙය අවස්ථාවක් කර නොගන්නේ ඇයි? ඒ සඳහා පහත යෝජනා සලකා බලන්න:

සවන් දෙන්න. බයිබලයේ පවසන්නේ මෙයයි. කෙනෙකු “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය. උදහස් වීමටද ප්‍රමාද විය යුතුය.” (යාකොබ් 1:19) ‘නපුරට නපුර කරමින්’ ගැටලුව තවත් උග්‍ර කරන්න එපා. (රෝම 12:17) ඔබේ සහකරුවා හෝ සහකාරිය සවන් දෙන්න අකමැති නම් ඔබ සවන් දෙන්න.

චෝදනා නොකර පහදා දෙන්න. සන්සුන්ව ඔහු හෝ ඇය ක්‍රියා කළ ආකාරය ඔබට බලපෑවේ කෙසේද කියා පහදා දෙන්න. (“මට හුඟක් දුක හිතුණා”) චෝදනා කිරීමට ඇති වන පෙලඹීමට ඉඩ දෙන්න එපා. (“ඔයා මං ගැන කිසි සැලකිල්ලක් නැහැ.” “මං කියන කිසි දෙයක් අහන්නේ නැහැ.”)

වාද කිරීම නතර කරන්න. සමහර අවස්ථාවලදී කළ හැකි හොඳම දෙය වන්නේ වාද කිරීම නතර කර කේන්තිය නිවුණු පසු ගැටලුව ගැන නැවතත් සාකච්ඡා කිරීමයි. බයිබලයේ පවසන්නේ “ඩබර පටන්ගැන්ම වක්කඩ ඇරියාක් මෙනි. ඒ නිසා ඩබරය පටන්ගන්ට පළමුවෙන් විවාදය අත්හරින්න” කියායි.—හිතෝපදේශ 17:14.

සමාව ඉල්ලන්න. (අවශ්‍ය නම් දරුවන්ගෙන්) දහහතර වියැති බ්‍රයන් මෙසේ පවසනවා. “අම්මායි තාත්තයි දන්නවා ඒගොල්ලන් රණ්ඩු කළාම ඒක අපිට බලපානවා කියලා. ඉතින් සමහර වෙලාවට මගෙනුයි අයියාගෙනුයි ඒ ගැන සමාව ඉල්ලනවා.” කෙනෙකුගෙන් සමාව ඉල්ලීමේ වැදගත්කම දරුවන්ට උගන්වන්නත් මෙමගින් හැකි වෙනවා.

වැඩි විස්තර සඳහා 2001 ජනවාරි 8 පිබිදෙව්! කලාපයේ 8-14 දක්වා පිටු සහ 1994 මැයි 8 පිබිදෙව්! කලාපයේ 3-12 දක්වා පිටු බලන්න.

[19වන පිටුවේ පින්තූරය]

චෝදනා කරන්න එපා. ඔබට හැඟෙන දේ කාරුණිකව පහදා දෙන්න