Skip to content

පටුනට යන්න

ගුවන් ප්‍රහාරවල ආරම්භය

ගුවන් ප්‍රහාරවල ආරම්භය

ගුවන් ප්‍රහාරවල ආරම්භය

“දුෂ්ට මිනිසුන් සෑමවිටම ඔවුන්ගේ හැකියාවන් යොදාගන්නේ අන් අයව යටත් කරගැනීමට, විනාශ කිරීමට හෝ රවටාගැනීමටයි.”—හෝරස් වොල්පෝල්, 18වෙනි සියවසේ විසූ ඉංග්‍රීසි ජාතික ලේඛකයෙක්.

ගුවන් යානා සොයාගැනීම නිසා මිනිසුන්ට බොහෝ ප්‍රයෝජන අත් වී තිබෙන බව සත්‍යයක්. ඒත් ඉහත ලේඛකයා පැවසූ වදන්ද සත්‍යයක් බවට ඔප්පු වී තිබෙනවා. ගුවන් යානාව සොයාගැනීමට පෙර සිටම මිනිසුන් කල්පනා කළේ එය යුද්ධයේදී යොදාගත හැකි ආකාර ගැනයි.

වායු බැලූනයකින් කෙනෙකු ගමන් කිරීමට අවුරුදු 100කට පමණ පෙර එනම් 1670දී ජේසු නිකායේ ඉතාලි ජාතික ෆ්‍රාන්චෙස්කෝ ලානා මෙවැනි දෙයක් පැවසුවා. “දෙවි කවදාවත් ගුවනේ ගමන් කළ හැකි යානාවක් සාදන්න නම් ඉඩ දෙන්නේ නැහැ. මන්ද එවැනි දෙයක් නිපදවීම තුළින් ජන ජීවිතවලට හා දේශපාලන රාජ්‍යයන්වලට විශාල වශයෙන් බලපෑම් ඇති කරන නිසයි.” අනාගතයේදී සිදු විය හැකි දෙයක් ගැන ඔහු මෙසේද පැවසුවා. “ගුවනින් පැමිණෙන සටන්කරුවන්ට ඕනෑම නගරයකට ඇතුල් විය හැකි නිසා ඒ සෑම නගරයක්ම හදිසි ප්‍රහාරවලට ලක් වෙන්න පුළුවන්. එවැනි භයානක තත්වයකට තමන්ගේ ගෙවත්තේදී පවා මුහුණ දීමට සිදු විය හැකියි. නැව් ගමන්ද ආරක්ෂාකාරී වන්නේ නැහැ. ගුවනේ සිට නැව්වලට ප්‍රහාර එල්ල කළ හැකි නිසා මිනිස් ජීවිත බිලිගත හැකි අතර නැව්ද මුහුදුබත් විය හැකියි.”

දහඅටවන සියවසේ අගභාගයේදී උණුසුම් වායු හා හයිඩ්‍රජන් වායු බැලූන් සොයාගනු ලැබුවා. ඒවා වැඩි කල් නොගොස් මිනිස් සංහතියේ විනාශයට යොදාගනියි යන බිය වොල්පෝල් තුළ තිබුණා. එය සැබෑවක් වෙමින් 1794 අගභාගයේදී ප්‍රංශ හමුදා ජෙනරාල්වරු විසින් ඔවුන්ගේ සතුරන් පිළිබඳ ඔත්තු බැලීමටත් හමුදාවට අවශ්‍ය මඟ පෙන්වී ලබා දීමටත් මේවා භාවිත කරනු ලැබුවා. එමෙන්ම මෙම බැලූන අමෙරිකාවේ සිවිල් යුද්ධ සමයේදීත් 1870 ගණන්වලදී ප්‍රංශ හා ජර්මානු අරගලයේදීත් භාවිත කරනු ලැබුවා. එපමණක් නොව ලෝක මහා යුද්ධ දෙකේදීත් අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය යන රටවල් සතුරන් ගැන තොරතුරු සෙවීමට මේවා බොහෝ සෙයින් යොදාගත්තා.

දෙවන ලෝක මහා යුද්ධයේදී ජපන් හමුදාව විසින් මිනිසුන් නැතිව බෝම්බ පමණක් දැමූ බැලූන 9,000ක් අමෙරිකා එක්සත් ජනපදය දෙසට යවනු ලැබුවා. මෙම බැලූනවලින් 280කට වඩා වැඩි ප්‍රමාණයක් උතුරු අමෙරිකාවට ළඟා වුණා.

ගුවන් ප්‍රහාර තවදුරටත්

ගුවන් යානය සොයාගැනීමත් සමඟම එයත් යුද්ධය සඳහා යොදාගනු ලබන යමක් බවට පත් වුණා. වර්ෂ 1907දී ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් මෙවැන්නක් පැවසුවා. “අමෙරිකාව දැන් සිටින්නේ ගුවන් යානා සොයාගන්න ඉතා ආසන්නවයි. මෙමගින් මුළු ලොව පුරාම සිදු වන යුද්ධවල මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි.” එම වසරේදීම උණුසුම් වායු බැලූනවල ගමන් කරන ප්‍රධානියෙක් වූ තෝමස් ටී. ලෙව්ලාස් ද නිව් යෝක් ටයිම්ස් පුවත්පතට මෙසේ පැවසුවා. “ඉදිරි වසර දෙකත් පහත් අතර කාලය තුළදී සෑම බලවත් රටකම පාහේ ප්‍රහාරක ගුවන් යානා හා ඒවා විනාශ කළ හැකි ආයුධ නිෂ්පාදනය වෙයි.”

මීට මාස තුනකට පසුව රයිට් සහෝදරයන් ප්‍රථම හමුදා ගුවන් යානය නිපදවූයේ අමෙරිකා හමුදාවේ ඉල්ලීමක් අනුවයි. වර්ෂ 1908 සැප්තැම්බර් 13වන දින නිව් යෝක් ටයිම්ස් පුවත්පතෙහි හමුදාවට එවැනි ගුවන් යානා අවශ්‍ය වීමට හේතුව මෙසේ පැහැදිලි කර තිබුණා. “ප්‍රහාරක ගුවන් යානාවලින් යුධ නැව්වල තිබෙන දුම් කුලුනුවලට ෂෙල් වෙඩි දැමිය හැකියි. එවිට ඒවා දුම් කුලුනු ඔස්සේ ගොස් නැව සම්පූර්ණයයෙන්ම විනාශ කරනවා.”

“ලොව පුරාම සිදු වන යුද්ධවල මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි” කියා ග්‍රෙහැම් බෙල් පැවසූ දේ සත්‍යයක් බවට පත් වුණා. වර්ෂ 1915දී ගුවන් යානා නිපදවන්නන් එහි අවර පෙති (propeller) කැරකැවෙන විට එහි පෙති අතර හිඩැසින් ස්වංක්‍රීයව ප්‍රහාර එල්ල කරන යානයක් සාදනු ලැබුවා. මෙම ප්‍රහාරක යානා නිපදවා වැඩි කල් නොගොස් බෝම්බ හෙළන යානාද නිපදවනු ලැබුවා. දෙවන ලෝක මහා යුද්ධය කාලයේදී මේවා තවත් වැඩිදියුණු කළ අතර බොහෝ සෙයින් භාවිත කළා. වර්ෂ 1945 අගෝස්තු 6වෙනිදා B-29 සුපෆෝට්‍රස් යානාව මගින් පළමුවෙනි පරමාණු බෝම්බය හෙළනු ලැබුවේ ජපානයේ හිරෝෂිමා නගරයටයි. එය කොතරම් දරුණුද කියනවා නම් මිනිස් ජීවිත 1,00,000ක් බිලිගනිමින් මුළු නගරයම සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා.

මේ දරුණු විනාශය සිදුවීමට වසර දෙකකට පෙර ඕවිල් රයිට් ගුවන් යානය සොයාගැනීම ගැන දුක් වූ බව පැවසෙනවා. ලෝක මහා යුද්ධ දෙකේදීම ගුවන් යානා කොතරම් දරුණු විනාශයක් කිරීමට සමත් වූවාද කියා ඔහු දුටුවා. යුධ ක්ෂේත්‍රයේ කරනු ලබන නව සොයාගැනීම් සමඟම ප්‍රහාරක ගුවන් යානා “ජාතියක් ජාතියකට විරුද්ධව නැඟී” සිටින මේ කාලයේ මිනිස් ජීවිත බිලිගන්නා දරුණු ආයුධයක් බවට පත් වී තිබෙනවා.—මතෙව් 24:7.

[22, 23වන පිටුවේ පින්තූර]

1. බෝම්බ පමණක් දමා යැවූ බැලූනය

2. ප්‍රහාරක බැලූනය

[හිමිකම් විස්තර]

Library of Congress, Prints & Photographs Division, FSA/OWI Collection, LC-USE6-D-004722

3. B-29 සුපෆෝට්‍රස් යානාව

[හිමිකම් විස්තර]

USAF photo

4. ස්ට්‍රයික් ෆයිටර් F/A-18C හෝර්නට්

5. F-117A නයිට්හෝක් ස්ටෙල්ත් ෆයිටර්

[හිමිකම් විස්තර]

U.S. Department of Defense