Skip to content

පටුනට යන්න

සයුරෙන් නැඟෙන විලාපය!

සයුරෙන් නැඟෙන විලාපය!

සයුරෙන් නැඟෙන විලාපය!

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

මෝරුන්ට වඩා බියකරු සත්වයන් ඉන්නේ කිහිපදෙනෙක් පමණයි. ලොව පුරා වසරකට මෝරුන් විසින් මිනිසුන්ට කරන අනතුරු සංඛ්‍යාව 75ක් බවත් ඉන් දහයක්ම මාරාන්තික ඒවා බවත් ගණනය කර තිබෙනවා. එමෙන්ම චිත්‍රපටවල පවා මෝරුන්ව ප්‍රසිද්ධ වී තිබෙන්නේ මිනී කන්නන් හැටියටයි. උන්ගෙන් අපි පරෙස්සම් විය යුතු බව ඇත්තයි. නමුත් මිනිසුන් මෝරුන්ට ගොදුරු වීමෙන් මිය යනවාට වඩා වැඩි සංඛ්‍යාවක් මීමැස්සන් විදීමෙන් හා කිඹුලන්ට හසුවීමෙන් මිය යන බව පෙනී ගොස් තිබෙනවා.

කෙසේවෙතත් දැන් මෝරුන් මිනිසුන්ගේ ගොදුරක් බවට පත් වෙලා. “සෑම වසරකම මෝරුන් මිලියන 100ක් පමණ අල්ලාගන්නවා. මේ ප්‍රමාණය කොපමණද කියනවා නම් උන් එකෙක් පිටුපස එකෙක් පිළිවෙළින් තැබුවොත් පෘථිවිය පස් වතාවක් වට කළ හැකියි” කියා එක් ආයතනයක (Argus Mariner Consulting Scientists organization) පර්යේෂකයෙක් ප්‍රිමියර් නම් සඟරාවට පැවසුවා. මීට අමතරව මෝරුන්ගේ බෝ වීම ඉතාමත් හෙමින් සිදුවීම, පරිණතභාවයට පත්වීමට කාලයක් ගතවීම, ගැබ් කාලය දිගුවීම හා පැටවුන් බිහි කිරීමට තෝරාගන්නා තැන් එතරම් සුදුසු තත්වයක නොපැවතීමත් උන්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතු වෙනවා. මෝරුන් මෙලෙස අඩු වෙන්න ගියොත් ඒ අඩුව පිරවීමට තව වසර ගණනාවක් වත් ගතවෙයි.

බොහෝ මෝරුන්ව අල්ලාගන්නේ උන්ගේ වරල්වලට ඇති ඉල්ලුම නිසයි. මේවා ඉතාමත් මිල අධිකයි. සමහර ආසියානුවන් මේවා නොයෙකුත් ඖෂධ වර්ග හා ලිංගික උත්තේජක නිපදවීමට භාවිත කරනවා. * ඒ විතරක් නෙවෙයි මෝර වරල්වලින් සකස් කරගන්නා සුප්ද ඉතාමත් ප්‍රණීත පානයක්. ඒත් මෙවැනි සුප් එකක් බොන්න රුපියල් 16,650ක් පමණ වැය කරන්න සිදු වෙනවා. මෝර වරල් විකිණීමේ ව්‍යාපාරය නිසා මෝරුන් අද්දකින්නේ ඉතා දුක්ඛිත තත්වයක් කියා කියන්න පුළුවන්. අල්ලාගත් මෝරුන්ගේ වරල් කපා නැවතත් උන්ව මහ සාගරයට දැමීමෙන් උන් බඩගින්නේ හෝ පිහිනීමට නොහැකිවීම නිසා ගිලී මිය යනවා.

විනාශ නොකර රැකගමු

අපිට අලි ඇතුන් හා තල්මසුන් කෙරෙහි තිබෙන ළැදියාවම මෝරුන් කෙරෙහි නැති වෙන්න පුළුවන්. ඒත් උන් ගැන අපි සැලකිලිමත් විය යුතු නැද්ද? මෝරුන්ගෙන් සාගරයට ඉටු වන්නේ වටිනා මෙහෙයක්. උන් සාගරයේ සමතුලිතතාව රැකගන්න බෙහෙවින් දායක වෙනවා. විශේෂයෙන්ම උන් කුඩා මසුන් ආහාරට ගන්නා නිසා කුඩා මසුන් අසීමිත ලෙස බෝවීම වැළකෙනවා.

බොහෝ රටවල මෝරුන් ඇල්ලීම පිළිබඳව දැඩි නීති පනවා නැහැ. මෝරු ඇල්ලීම වැඩියෙන් සිදු වන මෙක්සිකෝවේ වසරකට ටොන් 30,000කට අධික සංඛ්‍යාවක් මෝර වරල් කපාගන්නවා. මෑතකදී එම රටේ මෙය තහනම් කරනු ලැබුවා. කෙසේවෙතත් මෝර වරල්වලට ඇති ඉල්ලුම වැඩි නිසා මසුන් ඇල්ලීම තහනම් කර ඇති ප්‍රදේශවල පවා නීති විරෝධී ලෙස මෝරුන්ව අල්ලනවා. මෙම ක්‍රියාවලිය ගැන කනස්සල්ලට පත් එක් ආයතනයක (Galapagos National Park Service) අධ්‍යක්ෂකවරයෙක් මෙසේ පවසනවා. “පසුගිය වසර කිහිපය තුළ ගලාපගස් දූපතේ මෝරුන් ඇල්ලීම පුදුම විදිහටයි වැඩි වෙලා තියෙන්නේ. මෙහේ ඒක සංවිධානාත්මක ලෙස දරුණු විදිහටයි කරගෙන යන්නේ. ඔවුන් ඒකෙන් හුඟක් ලාභ ලබනවා.”

මෝරුන්ව බේරාගැනීම සඳහා සමහර රටවල් පියවර ගෙන තිබෙනවා. මෝර වරල් කැපීම ඔවුන් තහනම් කර තිබෙනවා. ලෝක වන සත්ව අරමුදලේ එක් නිලධාරිණියක් වූ ෂාලට් මොඇන්සන් මෙසේ පවසනවා. “ලොව පුරාම සිටින මෝරුන් දැන් ඉන්නේ අනතුරකයි. ඒ නිසා මීට අදාළ සෑම ආයතනයකටම අපි කියන්නේ මෝර වරල් කැපීම තහනම් කරනවා විතරක් නෙවෙයි උන් පිළිබඳව දත්ත එකතු කරන්නත් ඕනේ කියලයි. ඒ වගේම අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න මේ මත්ස්‍යන්ව සම්පූර්ණයෙන් වඳ වෙලා යන ආකාරයට කිසිවක් නොකර උන්ව රැකගන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා.”

කොහොමවුණත් මේ දැවැන්ත මෝරුන් ඇතුළු සත්ව ලෝකයම නැති වී යන්න මේ සියල්ලේ නිර්මාතෘ නම් ඉඩ දෙන්නේ නැහැ.—එළිදරව් 11:18.

[පාදසටහන]

^ 5 ඡේ. මේවා නිසා පිරිමින් වඳභාවයට පත් විය හැකියි. ඊට හේතුව මෝර වරල්වල රසදිය සාන්ද්‍රණය අධික වීමයි.

[17වන පිටුවේ කොටුව/පින්තූර]

මෝරාගේ වගතුග

ප්‍රමාණය: විශාලම මෝරා තල්මස් මෝරායි. (ඉහළ පින්තූරය) බරින් ටොන් කිහිපයක් වන අතර දිගින් මීටර් 18ක් පමණ වෙනවා. ක්ෂුද්‍ර ශාක හා ජීවීන් (ප්ලවාංග) සහ කුඩා මසුන් ආහාරයට ගන්නා අතර මිනිසුන්ට හානි නොකරයි.

ගැබ් කාලය: අවුරුද්දකුත් මාස 10ක් වෙනවා.

පැටවුන් ගණන: සාමාන්‍යයෙන් පැටවුන් දෙකත් දහයත් අතර ප්‍රමාණයක් බිහි කරයි. සමහර පැටවුන් බිත්තර වශයෙන් බිහි වී පසුව පැටවුන් එළියට එයි.

වර්ධන වේගය: පරිණතභාවයට පැමිණෙන්නේ අවුරුදු 12ත් 15ත් අතරේදීයි.

ආයු කාලය: බොහෝ මෝර විශේෂයන්ගේ ආයු කාලය ස්ථිරවම කිව නොහැකියි. නමුත් යෝධ සුදු මෝරා (පහළ පින්තූරය) අවුරුදු 60ක් පමණ ජීවත් වෙයි.

[හිමිකම් විස්තර]

Seawatch.org

© Kelvin Aitken/age fotostock

[16, 17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මෝර විශේෂ 300කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටියත් ඉන් වර්ග 62ක්ම දැන් වඳ වෙමින් යනවා

[හිමිකම් විස්තර]

© Mark Strickland/SeaPics.com

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මෝර වරල් ග්‍රෑම් 450ක මිල රුපියල් 22,200ක් හෝ ඊට වැඩියි. යෝධ සුදු මෝරාගේ හක්ක රුපියල් 11,10,000ක් පමණ වෙනවා

[හිමිකම් විස්තර]

© Ron & Valerie Taylor/SeaPics.com