Skip to content

පටුනට යන්න

සිත් සොරාගත් රෝස මල්

සිත් සොරාගත් රෝස මල්

සිත් සොරාගත් රෝස මල්

කෙන්යාවේ පිබිදෙව්! ලේඛක විසින්

“මට නම් රෝස මල තරම් ලස්සන මලක් තවත් නැහැ!”

ඔබටත් කෙන්යාවේ නයිරෝබි නුවර වැසියන්ට හැඟෙනවා හා සමාන හැඟීමක් රෝස මල් ගැන තිබෙනවා ඇති. කැලෑවේ වැවුණත් ගෙවත්තේ වගා කළත් රෝස මල් තරම් ලොව ප්‍රචලිත වෙනත් මල් වර්ගයක් තවත් නැහැ. රෝස මල් මිනිසුන්ගේ සිත් ඇදගැනීමට කොතරම් සමත් වී තිබෙනවාද කියා ඒ ගැන ලියැවී තිබෙන කවිවලින් හා ඇඳ තිබෙන චිත්‍රවලින් පැහැදිලි වෙනවා. විලියම් ෂේක්ස්පියර් ලියූ රෝමියෝ ජුලියට් නව කතාවේ එක් ජවනිකාවක මෙසේ පැවසෙනවා. “නමෙහි ප්‍රයෝජනයක් ඇත්ද? අපි රෝස මලට රෝස මල යයි කියමු. එය වෙන නමකින් හැඳින්වුවද එහි සුවඳ එකම සුවඳය.” සමහර රටවල අලුත් මිත්‍රකම් පටන්ගෙන දිගටම පවත්වාගෙන යෑමටත් අමනාපකම් දුරු කර නැවත මිත්‍රකම් අලුත් කරගැනීමටත් අසනීපයෙන් සිටින කෙනෙකුට යම් ප්‍රබෝධයක් ලබා දීමටත් රෝස මල් දෙනවා.

මේ සියලුම දේට වඩා රෝස මල් වගාව හොඳ ආදායමක් මාර්ගයක්. මෙම වගාවට සරිලන දේශගුණයක් තිබෙන බොහෝ රටවල රෝස වගාව විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වී තිබෙනවා. උදාහරණයක් ලෙස කෙන්යාවේ මෑත වසරකදී අපනයනය කළ මිලියන ගණන් මල් අතරින් සියයට 70කට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණේ රෝසයි. මෙම රට ලෝකයේ මල් වගා කරන රටවල් අතරින් ප්‍රමුඛ පෙළේ රටක්.

රෝස මල්වල වටිනාකම දැනගැනීමට පෙර මෙම මල් දක්නට තිබුණේ කැලෑවලයි. ඒත් අද දෙමුහුන් කිරීමේ ක්‍රමය සොයාගෙන තිබෙන නිසා කැලෑවල වැවෙන රෝස මල් වර්ග 100කට වඩා වැඩි ගණනකින් වර්ග දහස් ගණනක් ඇති කිරීමට හැකි වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝස මල ලෝක ප්‍රසිද්ධ වී තිබෙන අතර සෑම රටකම පාහේ දක්නට තිබෙනවා. දෙමුහුන් තේ රෝස (hybrid tea rose) නම් වර්ගය රෝස අතරින් ජනප්‍රිය මෙන්ම වැඩියෙන්ම වගා කරන රෝස වර්ගයයි.

නිවසට සිරියාවක් ගෙන දෙන මල්

බොහෝ අය මල් ලබාගන්නේ මල් විකුණන තැනකින්. ඒත් මේ මල් ව්‍යාපාරයක් සඳහා වැවීමේදී ගෙවත්තේ මල් වවනවාට වඩා බොහෝ සෙයින් වෙහෙස මහන්සි විය යුතුයි. වෙළඳපොළට මල් යැවීම සඳහා මල් වගා කරන අය දරන වෙහෙස ගැන නයිරෝබිවල තිබෙන එවැනි වත්තකින් ලැබුණු තොරතුරු ටිකක් දැන් බලමු.

මීළඟ පිටුවේ ඇති පින්තූරයේ පෙන්වා තිබෙන ආකාරයට පොලිතීන්වලින් ආවරණය කරන ලද විශාල හරිතාගාරයක් දකින කෙන්යාවේ ඕනෑම කෙනෙක් දන්නවා එතන ව්‍යාපාරයක් ලෙස රෝස වගා කරනවා කියලා. මෙම හරිතාගාරවලින් අලුතින් බද්ධ කරන ලද රෝස පැළ තද වැස්සෙන් සුළඟෙන් මෙන්ම තද හිරු එළිය වැටීමෙන්ද ආරක්ෂා කරනවා. හරිතාගාර තුළ අවශ්‍ය උෂ්ණත්වය පවත්වාගැනීම සඳහා පිටතින් සීත සුළං පැමිණීමත් එහි තිබෙන උණුසුම් සුළං පිටවීමත් අවශ්‍යයි.

මෙම හරිතාගාර තුළ පොහොට්ටු, පිපීගෙන එන මල් වැනි එක එක මට්ටමේ මල් පාත්ති දැකිය හැකියි. මෙහි විවිධ රෝස වර්ග වගා කෙරෙනවා. දෙමුහුන් තේ රෝස කපාගැනීමේදී නටුව සෙන්ටිමීටර් 70කට වඩා ටිකක් දිග විය යුතු අතර එම වර්ගයේම තවත් ප්‍රභේදයක් වන ස්වීට්හාට් නම් රෝස වර්ගය කැපීමේදී නටුව සෙන්ටිමීටර් 35ක් පමණ තිබිය යුතුයි. මෙහි තිබෙන අක්කර දෙකහමාරක ඉඩමේ පැළ 70,000ක් පමණ තිබෙනවා.

පැළවලට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ කෙසේද? රෝස වගාව සඳහා සාමාන්‍ය පස යොදාගන්නේ නැහැ. ඒ වෙනුවට ගිනිකඳුවලින් ගලා යන ලාවා වියැළීමෙන් ඇති වන කුඩා ගල් කැටයි භාවිත කරන්නේ. මෙම ගල් කැටවල ශාකවලට බෝ වන රෝගකාරක නොමැති නිසා මේවා යොදාගැනීම වඩාත් සුදුසුයි. මල් පාත්ති සාදාගන්නේ පොලිතීන් අතුරා එයට මෙම කුඩා ගල් කැට පුරවාගැනීමෙනුයි. මේ පැළවලට ජලය ලබා දෙන්නේ ජල බින්දු තාක්ෂණය යොදාගෙනයි. පාත්ති උඩින් තනවා ඇති හීන් බට මාර්ගයෙන් පැළවලට අවශ්‍ය ජලය හා වැඩීමට අවශ්‍ය වෙනත් දියර සපයනු ලබනවා. පොලිතීන් පාත්තිවල හිල් විද තිබෙන නිසා පැළවලට දමන ජලය ගල් කැට අතරින් පෙරී එනවා. මෙලෙස පෙරී එන ජලය නැවත භාවිත කරනු ලබනවා.

පැළවලට කොතරම් හොඳින් සාත්තු කළද ඒවාට නොයෙකුත් දිලීර රෝග වැලඳෙන්න පුළුවන්. මෙයට සුදු පුස් රෝගය (powdery mildew) හා අළු පුස් රෝගයද (botrytis) ඇතුළත්. මෙම දිලීර මගින් ශාකයේ පත්‍රවලට හා කඳට හානි සිදු වෙයි. මෙය නිසි වේලාවට මර්දනය කළේ නැත්නම් ඒවා මල්වලටත් බලපාන්න පුළුවන්. එමනිසා දිලීර නාශක යොදා ඒවා මර්දනය කළ යුතුයි.

කාලයත් සමඟ පොහොට්ටුවල තද පාටක් දක්නට ලැබෙනවා. ඉන් කියා පාන්නේ ඒවා කපාගැනීමට සුදුසු කාලය පැමිණ ඇති බවයි. පොහොට්ටු අවස්ථාවේදීම කපාගැනීමෙන් ඒවා කාලයක් තබාගැනීමටත් එහි වර්ණය ආරක්ෂා කරගැනීමටත් හැකි වෙනවා. කෙසේවෙතත් රෝස මල් විකිණීම සඳහා කපාගන්න අවස්ථාව ඒ එක් එක් රෝස වර්ගය අනුව ටිකක් වෙනස් විය හැකියි. මල් කපාගැනීමට වඩාත්ම සුදුසු වන්නේ උදේ කාලය හෝ ඉර බැස යෑමෙන් පසුවයි. මෙසේ කපාගත් මල් ඉන්පසු ශීත කාමරයක තැන්පත් කරනු ලබන්නේ ඒවා වැඩි කාලයක් ඒ තත්වයෙන්ම තබාගැනීමට අවශ්‍ය වන නිසයි.

කපාගන්නා මේ මල්වල පාට හා ප්‍රමාණය අනුව වර්ග කරනු ලබනවා. ඒවා අසුරනු ලබන්නේ මිල දී ගන්න අයගේ අවශ්‍යතාව අනුවයි. දැන් මේ වර්ණවත් මල් වෙළඳපොළට යැවීමට සූදානම්. මෙම මල් නයිරෝබි ගුවන් තොටුපොළ කරා ගෙන යන අතර එතැනින් යුරෝපීය රටවලට යවනු ලබනවා. මේවා ඉක්මනින්ම පරවෙන නිසා කපාගැනීමෙන් පසු පැය 24ක් වැනි කෙටි කාලයක් තුළදී වෙළඳපොළට යැවිය යුතුයි.

ඊළඟ වතාවේ ඔබ රෝස මලක් දුටු විට එහි වර්ණය හා අලංකාරය දෙස වුවමනාවෙන් බලන්න. එවිට මේ සියල්ල නිර්මාණය කළ යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන ඔබගේ අගය වැඩි වෙනවා නියතයි.—ගීතාවලිය 115:15.

[26වන පිටුවේ කොටුව/පින්තූර]

නිල්පාට රෝස මල් තිබෙනවාද?

රෝස මල් දිගු ගමනක් ඇවිත් තිබෙනවා කියා ඔබට සිතෙන්නේ නැද්ද? තවමත් ඒ ගමන නිමාවකට පත් වී නැහැ. දෙමුහුන් කිරීහා වගා කිරීම සඳහා නවීන තාක්ෂණය තවමත් යොදාගනු ලබනවා. රෝස මල්වල තිබෙන විවිධ වර්ණ දැකිය හැක්කේ වෙනත් මල් වර්ග කිහිපයක පමණයි. ඔබ වඩාත්ම කැමති මොන පාට රෝස මල්වලටද? සුදු, කහ, රෝස නැත්නම් තද රතු පාටටද? මේ පාටවලින් බොහෝමයක් ඔබට දකින්න ලැබී තිබෙන්නේ දෙමුහුන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මිනිසුන් බොහොම ආශාවෙන් රතු රෝස ගැන කතා කළත් ඇත්තටම මුලින්ම රෝස පවුලේ රතු රෝස තිබුණේ නැහැයි කියා ඔබ දැන සිටියාද? රතු පාටවීමට අවශ්‍ය ජාන රෝසවල තිබුණේ නැහැ. නමුත් 1930 ගණන්වලදී ජානවල සිදු කරන ලද යම් වෙනස්කමක් නිසා රතු පාට රෝස ලබාගැනීමට හැකි වුණා. ඒ වන විටත් නිල් පැහැය ලබාගැනීමට අවශ්‍ය ජානය සොයාගැනීමට හැකි වී තිබුණේ නැහැ. කෙසේවෙතත් වසර ගණනාවක් පුරා කළ පර්යේෂණවලින් පසු 2004දී ඕස්ට්‍රේලියානු හා ජපන් සමාගම් දෙකක් නිල් පැහැති රෝස ලබාගන්න සමත් වුණා.

[පින්තූරය]

කපාගැනීමට සුදානම්

[25වන පිටුවේ පින්තූරය]

පොලිතීන්වලින් ආවරණය කර තිබෙන හරිතාගාරය