Skip to content

පටුනට යන්න

අද කාලය දක්වා ආරක්ෂා වූ බයිබලය

අද කාලය දක්වා ආරක්ෂා වූ බයිබලය

අද කාලය දක්වා ආරක්ෂා වූ බයිබලය

කොතරම් බාධා අභියෝග තිබුණත් කිසිම හානියක් නොවී බයිබලය අද අපේ අතට පත්වීම පුදුමයක් නෙවෙයිද! මීට වසර 1,900කට පමණ පෙර බයිබලය ලියනු ලැබුවේ පැපිරස් නම් පන් වර්ගයකින් සාදාගත් කොළවල හා සත්ව හම් වැනි දිරාපත් වන දේවලයි. ඒ වගේම බයිබලය මුලින්ම ලියවුණු භාෂාව කතා කරන අය අද සිටින්නේ කිහිපදෙනෙක් පමණයි. තවද අධිරාජ්‍යවරුන් හා ආගමික නායකයන් වැනි බලවත් අය බයිබලය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට මහත් ප්‍රයන්තයක් දරා තිබෙනවා.

එවැනි දුෂ්කරතා මැද වූවද මහජනයා අතර වඩාත් ප්‍රචලිත මෙන්ම අද්විතීය පොතක් වන බයිබලය අද දක්වා ආරක්ෂා වුණේ කෙසේද? අපි ඒ සඳහා කරුණු දෙකක් සලකා බලමු.

පිටපත් රාශියක්

බයිබලයේ මුල් පිටපත් ආරක්ෂා කිරීමට උනන්දුවක් දැක්වූ ඊශ්‍රායෙලිතයන් මුලින්ම ලියවුණු අකුළන ලියවිලි ආරක්ෂා කළ අතර ඒවායින් පිටපත් කිහිපයක්ම සෑදුවා. නිදසුනක් ලෙස ඊශ්‍රායෙල් රජවරුන්ට “පූජකයන් වූ ලෙවීයයන් ඉදිරියෙහි තිබෙන මේ ව්‍යවස්ථා පොතෙන් පිටපතක් ලියා ගත යුතුය” කියා පවසා තිබුණා.—ද්විතීය කතාව 17:18.

මේ ලියවිලිවල දෙවිගේ වචනය අඩංගු වූ නිසා බොහෝ ඊශ්‍රායෙලිතයන් එය කියවීමට දැඩි ආශාවක් දැක්වුවා. මේ නිසා මේවා පිටපත් කිරීමට යොදාගත්තේ ඉතා දක්ෂ පිටපත්කරුවන්වයි. දෙවි කෙරෙහි මහත් ගෞරවයක් දැක්වූ පිටපත් කරන්නෙක් වන එස්රා ගැන සඳහන් වෙන්නේ “ඔහු හොඳින් පුහුණු වූ දක්ෂ පිටපත් කරන්නෙකු විය. ඊශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා විසින් මෝසෙස්ට දෙන ලද නීතය ඔහු මැනවින් පිටපත් කළේය” කියායි. (එස්රා 7:6, නව ලොව පරිවර්තනය) ක්‍රිස්තු වර්ෂ හයවෙනි හා දහවෙනි සියවස් අතරතුර හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල හෙවත් “පරණ ගිවිසුම” පිටපත් කළ යුදෙව් විද්වතුන් වන මැසොරෙට්වරුන් පිටපත්වල නිරවද්‍යතාව තහවුරු කරගැනීම සඳහා එහි අකුරු පවා ගණන් කර බැලුවා. බයිබලය විනාශ කිරීමට සතුරන් මහත් වෑයමක් දැරුවද එලෙස ඉතා වුවමනාවෙන් පිටපත් කළ නිසා එහි නිරවද්‍යතාව පමණක් නොව ආරක්ෂා වීමටද හේතු වුණා.

උදාහරණයක් ලෙස ක්‍රිස්තු පූර්ව 168දී විසූ සිරියානු ආණ්ඩුකාරයා වන හතරවෙනි ඇන්ටියෝකස් පලස්තීනයේ තිබූ සෑම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලක්ම විනාශ කිරීමට වෙර දැරුවා. යුදෙව් ඉතිහාසයේ ඒ ගැන මෙසේ පවසා තිබෙනවා. “දෙවිගේ නීති අඩංගු ඕනෑම අකුළන ලියවිල්ලක් ලැබුණු විට ඔවුන් එය විනාශ කළා.” තවත් එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. ‘මෙම වැඩවල නිරත වී සිටි නිලධාරීන් එය ඉටු කළේ මහත් උනන්දුවකින්. යම් කෙනෙක් ළඟ බයිබලය තිබුණා නම් එය මරණ දඬුවම ලැබිය යුතු වරදක් වුණා.’ කෙසේවෙතත් ශුද්ධ ලියවිල්ලේ පිටපත් පලස්තීනයේ යුදෙව්වන් අතර මෙන්ම වෙනත් රටවල ජීවත් වන යුදෙව්වන් අතරද ආරක්ෂා වී තිබුණා.—එම විශ්වකෝෂය The Jewish Encyclopedia.

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි හෙවත් “අලුත් ගිවිසුම” ලියා අවසන් වූ විගස එහි අඩංගු ලිපි, අනාවැකි හා ඉතිහාසගත වාර්තා පිටපත් කිරීමට පටන්ගත්තා. මේ නිසා එහි පිටපත් රාශියක් ඇති වුණා. උදාහරණයක් ලෙස යොහන් ඔහුගේ සුවිශේෂය ලියුවේ එෆීසයේ හෝ ඒ අසල නගරයක විය හැකියි. කෙසේවෙතත් යොහන් ලියූ සුවිශේෂයේ කොටසක පිටපතක් එෆීසයේ සිට කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි ඊජිප්තුවේ තිබී සම්බ වුණා. එම පිටපත යොහන් ඔහුගේ මුල් පිටපත ලියා අවුරුදු 50ක් ගතවීමට පෙර පිටපත් කළ එකක් බව විද්වතුන් පවසනවා. මෙම සොයාගැනීමෙන් තහවුරු වෙන්නේ ඈත ප්‍රදේශවල සිටි ක්‍රිස්තියානීන් ළඟ පවා එවකට අලුත්යැයි සලකනු ලැබූ ලියවිලි තිබුණු බවයි.

යේසුස්ගේ මරණයෙන් පසු සියවස් ගණනාවක් ශුද්ධ ලියවිලි ආරක්ෂා වී තිබීමට හේතු වූයේ ඒවායෙහි පිටපත් දසත පැතිර තිබුණු නිසයි. මෙයට කදිම නිදසුනක් සලකා බලමු. ක්‍රිස්තු වර්ෂ 303 පෙබරවාරි 23වෙනිදා හිරු උදා වෙනවාත් සමඟම රෝම අධිරාජ්‍යයා වන ඩයක්ලීෂන්ගේ අධීක්ෂණය යටතේ ඔහුගේ සොල්දාදුවන් පල්ලියක දොර අගුල් කඩා එහි තිබුණු ශුද්ධ ලියවිලි ගෙන පුලුස්සා දැමුවා. ඔහු සිතුවේ ශුද්ධ ලියවිලි විනාශ කිරීම මගින් ක්‍රිස්තියානි ධර්මය සම්පූර්ණයෙන්ම අතුගා දැමිය හැකි බවයි. ඔහු ඊළඟ දවසේ නියෝග කළා රෝම අධිරාජ්‍යයේ තිබෙන සියලුම බයිබල් ප්‍රසිද්ධියේ පුලුස්සා දැමිය යුතුයි කියා. මේ මොන දේ කළත් බයිබලයේ පිටපත් ආරක්ෂා වූ අතර ඒවා නැවත නැවතත් පිටපත් කරනු ලැබුවා. ඩයක්ලීෂන්ගේ කාලයෙන් පසුව වූවද වැඩි කල් නොගොස් පිටපත් කළ බයිබල් දෙකක් අද දක්වා ආරක්ෂා වී තිබෙනවා. ග්‍රීක භාෂාවෙන් ලියවුණු විශාල කොටස් ඇතුළත් එම බයිබල් දෙකෙන් එකක් රෝමයේද අනික බ්‍රිතාන්‍ය පුස්තකාලයේද දක්නට තිබෙනවා.

බයිබලයේ මුල් පිටපත් තවමත් සොයාගැනීමට හැකි වී නැහැ. ඒත් අතින් ලියන ලද පිටපත් සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් දහස් ගණනින් මේ දක්වා ආරක්ෂා වී තිබෙනවා. මින් සමහරක් ඒවා ඉතා පැරණියි. ලියවිලි පිටපත් කිරීමේදී මුල් පිටපත්වල තිබුණු පණිවිඩයම ඒ ආකාරයෙන්ම ආරක්ෂා වුණා කියා ස්ථිර විය හැකිද? හෙබ්‍රෙව් ලියවිලි ගැන අදහස් දැක්වූ විද්වතෙක් වන ඩබ්ලිව්. එච්. ග්‍රීන් පැවසුවේ මෙසේයි. “ඉපැරණි කාලයේ පටන් පැවත ආ වෙන කිසිම පොතකට වඩා මෙය නිරවද්‍ය බව පැවසිය හැකියි.” බයිබල් අත්පිටපත් පිළිබඳ විශේෂඥයෙක් වන ශ්‍රීමත් ෆෙඩ්රික් කෙන්යන් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි ගැන මෙසේ පැවසුවා. “ශුද්ධ ලියවිලි මුලින්ම ලියූ කාලය සහ අප සොයාගෙන තිබෙන පැරණිම පිටපත් සම්පාදනය කළ කාලය අතර පරතරය ඉතා අල්ප නිසා එම පරතරය එතරම් ගණන් ගත යුතු නොවෙයි. ඒ නිසා අප අතට පත් වී තිබෙන ශුද්ධ ලියවිල්ල ගැන කිසිදු සැකයක් ඇති කරගත යුතු නැහැ. මේ නිසා ග්‍රීක ලියවිලිවල නිරවද්‍යතාව සහ එහි තොරතුරුවල විශ්වසනීය බව තහවුරු වී ඇති බව පැවසිය හැකියි. ලෝකයේ තිබෙන වෙන කිසිම පැරණි පොතක් ගැන මෙවැනි දෙයක් කියන්න බැහැ.”

විවිධ භාෂාවලින්

බයිබලය මිනිසුන් අතර වඩාත් ප්‍රචලිත වීමට බලපෑ තවත් හේතුවක් නම් එය භාෂා රාශියකට පරිවර්තනය කර තිබීමයි. මෙය දෙවිගේ අරමුණ හා එකඟයි. දෙවිට අවශ්‍ය වන්නේ සියලු ජාතීන්ට අයත් ජනයා ඔහුව හඳුනාගෙන ඔහුට “ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද” නමස්කාර කරනවා දකින්නයි.—යොහන් 4:23, 24; මීකා 4:2.

හෙබ්‍රෙව් භාෂාවෙන් තිබුණු ලියවිලි මුලින්ම පරිවර්තනය කරනු ලැබුවේ ග්‍රීක භාෂාවටයි. මෙම පරිවර්තනය හඳුන්වනු ලැබුවේ සෙප්ටූඅජින්ට් ලෙසයි. මෙවැනි පරිවර්තනයක් අවශ්‍ය වූයේ පලස්තීනයෙන් පිට ජීවත් වූ ග්‍රීක භාෂාව කතා කරන යුදෙව්වන් සඳහායි. මෙය සම්පූර්ණ කරනු ලැබුවේ යේසුස් මේ පොළොවට පැමිණීමට සියවස් දෙකකට පමණ පෙරයි. ඉන්පසු ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලි ඇතුළුව සම්පූර්ණ බයිබලයම ඉන් සියවස් කිහිපයකට පසු විවිධ භාෂාවලට පරිවර්තනය කරනු ලැබුවා. මෙලෙස පරිවර්තනය කළ බයිබලය මහජනයා අතට පත් වෙනවා දැකීමට රජවරුන් හා පූජකයන් කැමති විය යුතු වූවද ඔවුන් කළේ ඊට වෙනස් දෙයක්. ඔවුන් පොදු ජනයා වැඩියෙන් කතා කළ භාෂාවට බයිබලය පරිවර්තනය කිරීමේ කාර්යයට හරස් කැපුවා. එසේ කළේ දෙවි ගැන දැනුම පොදු ජනයා ලබාගන්නවාට ඔවුන් අකමැති වූ නිසයි.

පල්ලියේ හා ආණ්ඩුවේ විරෝධය නොතැකූ එඩිතර පුරුෂයන් තමන්ගේ ජීවිත පරදුවට තබා සාමාන්‍ය ජනයාට තේරුම්ගත හැකි භාෂාවෙන් බයිබලය පරිවර්තනය කළා. උදාහරණයක් ලෙස 1530දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඉංග්‍රීසි ජාතික විලියම් ටින්ඩේල් බයිබලයේ පළමුවෙනි පොත් පහ සංස්කරණය කළා. දැඩි විරෝධතා මැද හෙබ්‍රෙව් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට මුලින්ම බයිබලය පරිවර්තනය කළේ මොහුයි. යෙහෝවා යන දෙවිගේ නාමය මුලින්ම භාවිත කළ පරිවර්තකයාත් මොහුයි. ස්පාඤ්ඤ ජාතික විද්වතෙක් වන කාස්‍යෝඩෝරෝ ඩේ රේනා බයිබලය ස්පාඤ්ඤ භාෂාවට පරිවර්තනය කරන විට කතෝලික පූජකයන්ගෙන් මරණ තර්ජන පවා ඔහුට එල්ල වුණා. ඔහු තම පරිවර්තනය නිම කරගැනීම සඳහා එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඕලන්දය හා ස්විට්සර්ලන්තය වැනි රටවලට ගියා. *

අද දින බයිබලය තව තවත් භාෂාවලට පරිවර්තනය කරනු ලබන අතර පිටපත් මිලියන සංඛ්‍යාවක් බෙදාහැර තිබෙනවා. බයිබලය මේ දක්වා ආරක්ෂා වීමටත් ජනයා අතර මෙතරම් ප්‍රචලිත පොතක් වීමටත් හේතුව පේතෘස් පැවසූ මෙම වචනවලින් සනාථ වෙනවා. එනම් “තණකොළ වියළෙයි; මල වැටී යයි. නමුත් යෙහෝවාගේ ප්‍රකාශය [වචනය] සදහට පවතින්නේය.” මෙය අද සත්‍යයක් බවට ඔප්පු වී නැද්ද!—1 පේතෘස් 1:24, 25.

[පාදසටහන]

^ 14 ඡේ. රේනාගේ පරිවර්තනය 1569දී ප්‍රකාශයට පත් කළ අතර එය 1602දී සිප්රියානෝ ඩි වැලේරා විසින් සංශෝධනය කළා.

[14වන පිටුවේ කොටුව/පින්තූර]

මම තෝරාගන්නේ කුමන පරිවර්තනයද?

බයිබලය සමහර අවස්ථාවලදී එකම භාෂාවෙන් වූවත් විවිධ පරිවර්තන දක්නට තිබෙනවා. සමහර ඒවායේ උසස් හෝ පැරණි භාෂා ශෛලයක් භාවිත කර තිබෙනවා. තවත් සමහර ඒවා නිරවද්‍යතාවට වඩා පහසුවෙන් කියවා තේරුම්ගත හැකි ආකාරයෙන් ලියා තිබෙනවා. තවත් සමහර ඒවා වචනයෙන් වචනයට පරිවර්තනය කර තිබෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කර තිබෙන නව ලොව පරිවර්තනය (NW) නමැති බයිබලය පරිවර්තනය කර තිබෙන්නේ බයිබලය මුලින්ම ලියා තිබුණු භාෂාවේ ලියවිලිවලිනුයි. වෙනත් භාෂා 60කට පමණ බයිබලය පරිවර්තනය කිරීමට එම බයිබලය උපයෝගී කරගෙන තිබෙනවා. එම භාෂාවලට පරිවර්තනය කළ අය NW බයිබලය මුල් භාෂා සමඟ සන්සන්දනය කර බැලුවා. මෙම බයිබලය පරිවර්තනය කළ අයගේ මූලික අරමුණ වූයේ එය මුල් භාෂාවල තිබෙන අදහසටම හැකි තාක් දුරට සමානව පරිවර්තනය කිරීමටයි. ඔවුන්ට අවශ්‍ය වූයේ මුල් භාෂාවලින් තිබුණු බයිබලය එදා සිටි අයට පහසුවෙන් කියවා තේරුම්ගන්න හැකි වූවා සේ අදත් එලෙසම ජනයාට පහසුවෙන් කියවා තේරුම්ගත හැකි පරිවර්තනයක් බිහි කිරීමටයි.

නව ලොව පරිවර්තනය ඇතුළු වෙනත් බයිබල් කිහිපයකම නිරවද්‍යතාව සොයා බැලීම සඳහා සමහර භාෂා විශාරදයන් ඒවා පරීක්ෂා කළා. අමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්ලැග්ස්ටාෆ්හි පිහිටි උතුරු ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ආගමික අධ්‍යාපන සහයක මහාචාර්යවරයෙකු වන ජේසන් ඩේවිඩ් බිඩූන් මෙලෙස පරීක්ෂා කළ එක් විශාරදයෙක්. ඔහු “ඉංග්‍රීසි භාෂාව කතා කරන අය භාවිත කරන ප්‍රධාන බයිබල්” නවයක් අධ්‍යයනය කළා. * මේ ගැන පිටු 200කින් යුත් පොතක් 2003දී නිකුත් කළා. ඔහුගේ මෙම අධ්‍යයනයේදී ඔහු බොහෝ පරිවර්තකයන් අතර මත භේදයට තුඩු දී ඇති ශුද්ධ ලියවිලි සොයා බැලුවා. මෙවැනි මත භේද ඇතිවීමට හේතුව “තමන්ගේ විශ්වාසයන් හා පෞද්ගලික අදහස් පරිවර්තනයට ඇතුළත් කරන නිසා” යැයි ඔහු පැවසුවා. ඔහු සෑම ඉංග්‍රීසි පරිවර්තනයක වගන්තියක්ම ග්‍රීක ලියවිලි සමඟ සන්සන්දනය කර බැලුවා. එසේ කළේ එහි අර්ථය වෙනස් කිරීමට උත්සාහ දරා තිබෙනවාද කියා දැනගැනීම සඳහායි. ඔහුගේ නිගමනය වූයේ කුමක්ද?

නව ලොව පරිවර්තනයේ දැකිය හැකි වෙනස්කම්වලට හේතුව එහි පරිවර්තකයන් තම ආගමික විශ්වාසයන්ට පක්ෂ වීම බව පොදු ජනයා හා බයිබල් විශාරදයන් බොහෝදෙනෙක් සිතනවා කියා බිඩූන් ගෙනහැර දක්වනවා. ඒත් ඒ ගැන ඔහු පවසන්නේ “NW බයිබලයේ එවැනි වෙනස්කම් බොහොමයකට හේතුව එය වචනයෙන් වචනයට අර්ථ දක්වමින් සුපරීක්ෂාකාරී ලෙස කරන ලද පරිවර්තනයක් නිසා” බවයි. එහි පරිවර්තකයන් තෝරාගෙන තිබුණු සමහර යෙදුම්වලට බිඩූන් එකඟ නොවුණත් මෙම පරිවර්තනය ගැන ඔහු පැවසුවේ “සන්සන්දනය කරන ලද පරිවර්තන අතරින් වඩාත්ම නිවැරදි පරිවර්තනය” කියාය. ඔහු මෙය “උසස් පරිවර්තන කෘතියක්” ලෙස හැඳින්වූවා.

ඊශ්‍රායෙලයේ සිටින හෙබ්‍රෙව් භාෂාව පිළිබඳ විශාරදයෙකු වන මහාචාර්ය බෙන්ජමින් කෙඩාර් NW බයිබලය ගැන ඒ හා සමාන අදහසක් ප්‍රකාශ කළා. ඔහු 1989දී මෙවැනි දෙයක් පැවසුවා. ‘මෙම පොතෙහි පාඨයක අර්ථය හැකි තාක් දුරට නිවැරදිව වටහාගැනීමට අවංක ප්‍රයත්නයක් දරා තිබෙනවා. තමන්ගේ ආගමික විශ්වාසයන් මෙම පරිවර්තනයට ඇතුල් කිරීමට ඔවුන් කිසිම ආකාරයකින් උත්සාහ කර තිබෙන බවක් මම දුටුවේ නැහැ.’

‘මම බයිබලය කියවන්නේ ඇයි? මට ඕනෙ කරන්නේ නිරවද්‍යතාවට වඩා පහසුවෙන් කියවන්න පුළුවන් එකක්ද? එහෙමත් නැත්නම් මට අවශ්‍ය කරන්නේ මුල් ලියවිලිවල තිබුණු අදහස්වලට හැකි තාක් දුරට සමාන අදහස් තියෙන එකක් කියවන්නද?’ (2 පේතෘස් 1:20, 21) ඔබ බලාපොරොත්තු වන දේ අනුව ඔබ තෝරාගන්නා පරිවර්තනයත් වෙනස් වෙයි.

[පාදසටහන]

^ 22 ඡේ. නව ලොව පරිවර්තනයද ඇතුළුව The New American Bible With Revised New Testament, New American Standard Bible, The Holy BibleNew International Version, The New Revised Standard Version, The Bible in Today’s English Version, and King James Version.

[පින්තූරය]

“ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය” භාෂා බොහොමයකින් පරිවර්තනය කර තිබෙනවා

[12, 13වන පිටුවේ පින්තූරය]

මැසොරෙට්වරුන් විසින් කළ අත්පිටපතක්

[13වන පිටුවේ පින්තූරය]

“බිය නොවන්න; ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය” කියා ලූක් 12:7හි සඳහන් වදන් ඇතුළත් ලියවිල්ලෙන් කොටසක්

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Foreground page: National Library of Russia, St. Petersburg; second and third: Bibelmuseum, Münster; background: © The Trustees of the Chester Beatty Library, Dublin