Skip to content

පටුනට යන්න

අපි මරණයට බිය වන්නේ ඇයි?

අපි මරණයට බිය වන්නේ ඇයි?

අපි මරණයට බිය වන්නේ ඇයි?

“මරණය හැර අන් හැම දෙයකටම ප්‍රතිකාර ඇත්තේය.”—කාලයිල් නම් පඬිවරයා පැවසූ වදනක්.

ආගමට ළැදි ඉතා භක්තිවන්ත කාන්තාවක් සිටියා. ඇය තම ආගමේ ඉගැන්වීම් හිස මුදුනින්ම පිළිගත්තා. සමහර අය ඇයව “පල්ලියේ කණුවක්” කියාත් හැඳින්වූවා. මරණය යනු ජීවිතයේ අවසානය නොවන බවත් එය තවත් ජීවිතයකට ඇතුල් වන මාර්ගයක් කියාත් ඇය ඉගෙනගෙන තිබුණා. කෙසේවෙතත් ඇය මරණයට ළඟා වන විට ඇයට ලොකු භයක් දැනුණා. ඇයට මරණයෙන් පසු මුහුණ පෑමට සිදු වන දේවල් ගැන තිබුණු සැක දුරු කරගැනීමට ආගම උගන්වන උපදේශකයෙකුගෙන් මෙසේ ඇසුවා. “කෙනෙක් මැරුණාට පස්සේ සිදු වන දේවල් ගැන හුඟක් විශ්වාසයන් තියෙනවා. ඒත් හරි එක මොකක්ද?”

කෙනෙක් මිය ගියාට පසු ඔහු යම් තැනක ජීවත් වෙනවා කියා සෑම ආගමකම වාගේ උගන්වනවා. නමුත් මරණයෙන් පසු ජීවිතයක් ගැන කොහොමටවත් විශ්වාස නොකරන බොහෝදෙනෙකුත් සිටිනවා. ඔබ විශ්වාස කරන්නේ කුමක්ද? මරණය ගැන ඔබට බියක් තිබෙනවාද?

මරණය පිළිබඳ බිය

මෑත කාලවලදී මරණ බිය ගැන බොහෝ පොත් පත් මෙන්ම විද්‍යාත්මක වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. කෙසේවෙතත් බොහෝදෙනෙක් මරණය ගැන හිතන්නවත් කැමති නැහැ. ඒත් අපි හැමෝටම මරණයට මුහුණ දීමට සිදු වන නිසා දැන් හෝ පසුවට ඒ ගැන සිතා බලන්න වෙනවා. මිනිස් ජීවිත පවතින්නේ ඉතා අනතුරුදායක තත්වයකයි. සාමාන්‍යයෙන් සෑම දවසකම 1,60,000කට වඩා වැඩි පිරිසක් මිය යනවා. ඕනෑම කෙනෙක් මරණයට පත් විය හැකි නිසා මේ ගැන බොහෝදෙනෙක් තුළ බියක් තිබෙනවා.

විද්වතුන් මරණයට ඇති බිය කාණ්ඩ කිහිපයකට බෙදා තිබෙනවා. මෙයට මරණයේදී ඇති වන වේදනාවට තිබෙන බිය, සිදු වන දේ නොදන්නා නිසා ඇති වන බිය, තමන් ප්‍රේම කළ කෙනෙක් අහිමි වෙයි යන බිය හා මරණින් පසු පවුලේ අය අසරණ වෙයි යන බිය ඇතුළත් වෙනවා.

මරණයට මිනිසුන් මෙතරම් බිය වන්නේ ඇයි? මරණයෙන් පසු නැවත කවදාවත් මිනිස් ජීවිතයක් භුක්ති විඳීමට නොලැබෙයි කියා සිතන නිසයි. තමන් අදහන ආගම්වලින් කුමන බලාපොරොත්තු ගැන ඉගැන්නුවත් මිනිසුන් තුළ එවැනි බියක් තිබෙනවා. විද්‍යාවෙන් මෙම බියට තවත් උල්පන්දම් දී තිබෙනවා. මිනිස් ශරීරයේ සිදු වන බොහෝ ක්‍රියාකාරිත්වයන් ගැන විස්තර කිරීමේ හැකියාව දැන් විද්‍යාවට තිබෙනවා. ඒත් කෙනෙක් මිය ගිය පසු ඔහුගේ ශරීරයෙන් නොපෙනෙන යමක් පිට වී පවතින බවට ඔප්පු කිරීමට කිසිම ජීව විද්‍යාඥයෙකුට හෝ රසායන විද්‍යඥයෙකුට හැකි වී නැහැ. බොහෝ විද්‍යාඥයන් පවසන්නේ මරණය ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවයි.

බොහෝදෙනෙක් මරණයෙන් පසු ජීවිතයක් තිබෙන බව තම ආගමෙන් උගන්වන දේ කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති බව කියනවා. ඒත් මරණයෙන් පසු තමන්ට කවදාවත් නැවත එවැනි ජීවිතයක් ලැබෙන්නේ නැහැයි යන බිය ඔවුන් තුළ තිබෙනවා. බයිබලයේ ලේඛකයෙක් වන පුරාණයේ විසූ සලමොන් රජ මරණයෙන් පසු කිසිවෙකුට කිසිම දෙයක් කරන්න බැරි තත්වයකට පත් වෙනවා කියා පවසා තිබෙනවා. සමහර අය මෙයින් බියට පත් වී තිබෙනවා.

අවසානයේදී “දූවිල්ලට” හැරෙනවා

අවුරුදු 3,000ක් පැරණි පොතක් වන දේශනාකාරයා පොතේ සලමොන් රජ පැවසුවේ “ජීවත් වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් විපාකයක් නැත. මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැති විය. කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න. මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත” කියායි.—දේශනාකාරයා 9:5, 6, 10, පැරණි අනුවාදය.

බයිබලයේ ලේඛකයෙක් වන සලමොන් රජ මරණය ගැන මෙයාකාරයෙන්ද සන්සන්දනය කළා. ‘මනුෂ්‍ය පුත්‍රයන්ටත් සතුන්ටත් අවසානයේදී සිදු වන්නේ එකම දෙයකි. සතුන් මිය යන්නා සේම මිනිසාද මිය යයි. ඒ සම්බන්ධයෙන් මිනිසා සතුන්ට වඩා උතුම් නැත. සියල්ලෝම යන්නේ එකම තැනටය. සියල්ලෝ දූවිල්ලෙන්ය. සියල්ලෝ දූවිල්ලට හැරී යන්නෝය.’—දේශනාකාරයා 3:19, 20, නව ලොව පරිවර්තනය.

මෙය සලමොන් රජ ලියුවත් ඔහුට එසේ ලිවීමට සැලැස්සුවේ යෙහෝවා දෙවියි. එය බයිබලයේ සඳහන් වී තිබෙන්නේ ඒ නිසයි. කෙනෙක් මිය ගිය පසු නොපෙනෙන යමක් ඔහුගේ ශරීරයෙන් පිට වී ජීවත් වෙනවා යන ප්‍රචලිත මතයට තුඩු දෙන කිසිම අදහසක් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. (උත්පත්ති 2:7; 3:19) දෙවි ඉන් අදහස් කළේ මිනිසුන් මිය ගියාට පසු ඔවුන් “දූවිල්ලට” හෙවත් නැවත කවදාවත් මිනිස් ජීවිතයක් නොලබන තත්වයකට පත් වෙනවා කියාද? කිසිසේත් නැහැ.

කෙනෙක් මිය ගිය විට ඔහුගේ ශරීරයෙන් නොපෙනෙන යමක් පිට වී පවතිනවා කියා බයිබලයේ පවසන්නේ නැති වුවත් මිය ගිය අයට හොඳ බලාපොරොත්තුවක් තිබෙන බව එහි පෙන්වා දී තිබෙනවා. මරණය සියල්ලෙහි අවසානය නොවන බවට තිබෙන හේතු මීළඟ ලිපියේ සාකච්ඡා කරනවා.

[3වන පිටුවේ කොටුව]

මරණය නමැති සතුරා

මරණය තරම් සතුරෙක් තවත් නැහැ. මරණය සැබෑ සතුරෙක් බවට අප අවට ලෝකයෙන් ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. එක් සමීක්ෂණයකට අනුව සෑම වසරකම මිලියන 59ක් පමණ මිය යනවා. එනම් සෑම තත්පරයකටම දෙදෙනෙක්. මෙම මරණ සිදු වන ආකාර:

▪ සෑම තත්පර 102කට වරක් එක්කෙනෙක් යුද්ධය නිසා මිය යනවා.

▪ සෑම තත්පර 61කට වරක් එක්කෙනෙක් ඝාතනයකට ලක් වෙනවා.

▪ සෑම තත්පර 39කට වරක් එක්කෙනෙක් සිය දිවි නසා ගන්නවා.

▪ සෑම තත්පර 26කට වරක් එක්කෙනෙක් මාර්ග අනතුරුවලින් මිය යනවා.

▪ සෑම තත්පර තුනකට වරක් එක්කෙනෙක් බඩගින්න නිසා මිය යනවා.

▪ සෑම තත්පර තුනකට වරක් අවුරුදු පහෙන් පහළ දරුවෙක් මිය යනවා.

[4වන පිටුවේ කොටුව]

නිෂ්ඵල ප්‍රයත්නයක්

ජේම්ස් කිඩ් අවුරුදු 70ක් වයසැති පතල්කරුවෙක්. වර්ෂ 1949 නොවැම්බර් 9වෙනිදා ඔහු අමෙරිකාවේ ඇරිසෝනාවලදී අතුරුදහන් වුණා. ඉන් වසර කිහිපයකට පසු ඔහු මිය ගොස් ඇති බව රජයෙන් සනාථ කරනු ලැබුවා. ඔහු පැන්සලෙන් ලියූ ඔහුගේ අන්තිම කැමති පත්‍රය සමඟ ඔහුගේ ඉතිරි කිරීම්වල ලියකියවිලිද සොයාගන්න හැකි වුණා. ඒවාට අනුව ඔහු විශාල මුදල් සම්භාරයක් ඉතිරි කර තිබුණා. ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ තමන් සතු මුදල් “මරණයේදී ශරීරයෙන් පිට වන යමක් තිබෙනවාද කියා විද්‍යානුකූල සාක්ෂියක් සොයා බැලීමට” යොදවන ලෙස ඉල්ලා තිබුණා.

මෙය දැනගත් පර්යේෂකයන් 100දෙනෙකුට වඩා වැඩි පිරිසක් මෙම මුදල් ලබාගැනීමට ඉල්ලුම් කළා. මරණයෙන් පසු ශරීරයෙන් නොපෙනෙන යමක් පිට වන බවට සාක්ෂි තිබෙන බව පර්යේෂකයන් පවසා සිටියා. මේ මුදල් භාර දීම ගැන අධිකරණය කිහිප වතාවක්ම සලකා බැලුවා. අවසානයේදී පිළිගත් පර්යේෂක කණ්ඩායම් දෙකකට මෙම මුදල් භාර දුන්නා. ඉන් වසර 50ක් ගත වී තිබුණත් “මරණයේදී ශරීරයෙන් පිට වන යමක් තිබෙනවාද කියා විද්‍යානුකූල සාක්ෂියක් සොයාගැනීමට” තවමත් සමත් වී නැහැ.