Skip to content

පටුනට යන්න

අපේ මිහිමඬල රැකගත යුත්තේ ඇයි?

අපේ මිහිමඬල රැකගත යුත්තේ ඇයි?

බයිබලයෙන් පිළිතුරක්

අපේ මිහිමඬල රැකගත යුත්තේ ඇයි?

මිනිසුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් නිසා වෙන කවරදාටත් වඩා අපේ මිහිමඬල දැන් නොයෙකුත් තර්ජනවලට ලක් වී තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම විශාල තර්ජනයක්. මේ නිසා විද්‍යාඥයන්, දේශපාලනඥයන් සහ සමහර ආයතන මෙයට පිළියමක් යෙදීමට මහත් උත්සාහයක් දරනවා.

අපේ මිහිමඬල රැකගැනීමට අප එක් එක්කෙනාට කළ හැකි යමක් තිබෙනවාද? එවැනි යමක් කරන්න පුළුවන් නම් එය කොතෙක්දුරට කළ හැකිද? අප එසේ කළ යුතු වීමට හේතු බයිබලයේ පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම අප ගන්නා වෑයමේදී සමබර වෙන්නේ කෙසේද කියාත් පෙන්වා දෙනවා.

දෙවිගේ අරමුණට එකඟව

යෙහෝවා දෙවි පොළොව උද්‍යානයක් බඳු තැනක් ලෙස නිර්මාණය කළේ මිනිසුන්ට සැමදා එහි ජීවත් වීම සඳහායි. දෙවි ඔහු කළ නිර්මාණය “ඉතා හොඳ” බව දුටු අතර එය ‘වගා කිරීමේත් බලාගැනීමේත්’ වගකීම මිනිසුන්ට බාර කළා. (උත්පත්ති 1:28, 31; 2:15, නව ලොව පරිවර්තනය, NW) ඒත් අද මිනිසුන් පොළොව රැකබලා ගන්නා ආකාරය ගැන දෙවි සතුටු වෙනවා කියා පැවසිය හැකිද? කිසිසේත් නැහැ. ඒ නිසයි “පොළොව විනාශ කරන අයව විනාශ කර” දමන බවට දෙවි බයිබලයේ සඳහන් කර තිබෙන්නේ. එසේනම් අපි මෙය රැකගැනීමට පියවර ගත යුතුයි.—එළිදරව් 11:18.

අද මේ පොළොවට මිනිසුන් කර තිබෙන සියලුම හානිකර ප්‍රතිවිපාකවලින් දෙවි එය මුදවා ගන්නවා. “මම සියල්ල අලුතෙන් සාදන්නෙමි” යැයි දෙවි පොරොන්දු කර තිබෙන දෙයින් එය මනාව පැහැදිලි වෙනවා. (එළිදරව් 21:5) කෙසේවෙතත් දෙවි මේ සියල්ල යථා තත්වයට පත් කරන නිසා අපි කුමක් කළත් කමක් නැහැයි කියා නිගමනය නොකළ යුතුයි. දෙවිගේ මුල්ම අරමුණ වුණේ මේ පොළොව උයනක් බඳු පාරාදීස තත්වයකට පත් කිරීමයි. අපේ ආශාවත් එය බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

පරිසරය සුරැකීමට උර දෙමු

මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේදී යම් ප්‍රමාණයක අපද්‍රව්‍ය එකතු වෙනවා. එවැනි අපද්‍රව්‍ය දිරාපත් කිරීම සඳහා යෙහෝවා දෙවි ස්වභාවික චක්‍ර සැලසුම් කළා. මෙම චක්‍ර නිසා වාතය, ජලය හා භූමිය පිරිසිදු වෙනවා. (හිතෝපදේශ 3:19) අපි දෙවිගේ එම සැලසුමට එකඟව ක්‍රියා කළ යුතුයි. එසේම අපි පරිසරයට බරක් නොවිය යුතුයි. එසේ කරනවා නම් අපි අපට මෙන්ම අපේ අසල්වැසියන්ටත් ප්‍රේම කරනවා කියා පැවසියි හැකියි. (මාක් 12:31) එමෙන්ම අතීතයේදී දෙවි මේ පිළිබඳව දී තිබුණු නීති ගැන ටිකක් සොයා බැලීම වටිනවා.

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජනයාට අපද්‍රව්‍ය “කඳවුරෙන් පිටත” තැනක වළලන්න කියා උපදෙස් දී තිබුණා. (ද්විතීය කතාව 23:12, 13) මේ නිසා කඳවුර අවට පිරිසිදු තත්වයකින් පැවතුණු අතර වැළලීම නිසා අපද්‍රව්‍ය ශීඝ්‍රයෙන් දිරාපත් වුණා. මේ හා සමානව සැබෑ ක්‍රිස්තියානීන්ද කැළි කසළ ඉක්මනින් සහ නිසි පිළිවෙළකට ඉවත් කළ යුතුයි. එමෙන්ම විෂ සහිත ද්‍රව්‍ය ඉවත් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.

අප ඉවතලන බොහෝ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් නැවත භාවිතයට ගන්න පුළුවන්. තමන් ජීවත් වන රටේ ඉවතලන දෑ ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බව රජයෙන් නියෝග කර තිබෙනවා නම් “සීසර්ගේ දේ සීසර්ට” දීම යන ප්‍රතිපත්තියට එකඟව එයට කීකරු විය යුතුයි. (මතෙව් 22:21) ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ලොකු වෑයමක් දැරිය යුතු වුවද එමගින් පරිසරය පිරිසිදුව තබාගත හැකියි.

සම්පත් භාවිත කිරීම

අපේ ආහාර පාන ඉඳුම් හිටුම් හා ඉන්ධන ලබාගැනීම සඳහා අපි ස්වාභාවික සම්පත් භාවිත කරනවා. ඒවා දෙවිගෙන් ලද තෑගි ලෙස අප සලකනවාද කියා ඒවා භුක්ති විඳින ආකාරයෙන් පැහැදිලි වෙනවා. ඊශ්‍රායෙල් ජාතිය පාළුකරයේදී මස් කෑමට ආශා කළ විට දෙවි ඔවුන්ට වටු කුරුල්ලන් ලබා දුන්නා. ඔවුන් ගිජු ලෙස ක්‍රියා කළ අතර එම කුරුල්ලන් දෙවිගෙන් ලද දීමනාවක් බව අමතක කළා. ඔවුන්ගේ මෙම ක්‍රියාව දෙවිව කෝපයට පත් කළා. (ගණන් කතාව 11:31-33) අදටත් දෙවි වෙනස් වී නැහැ. මෙය දන්නා සැබෑ ක්‍රිස්තියානීන් කිසිම දෙයක් නාස්ති කරන්නේ නැහැ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීම ගිජුකමේ ලක්ෂණයක්.

සමහර අය තාපය හෝ විදුලිය තමන්ට රිසි ලෙස පාවිච්චි කිරීමට අයිතියක් තිබෙනවා කියා සිතන්න පුළුවන්. ඒත් අපි ඒවා නාස්ති නොකළ යුතුයි. ඒ වගේම අපිට ඒවා සඳහා මුදල් වැය කිරීමට හැකියාවක් තිබුණත් අරපරෙස්සමින් භාවිත කළ යුතුයි. එක් අවස්ථාවක යේසුස් මහත් සමූහයකට ආහාර ලබා දීමෙන් පසු ඉතුරු ඒවා රැස් කරන්න කියා පැවසුවා. (යොහන් 6:12) එහිදී යේසුස් තම පියා සැපයූ දේවල් නාස්ති නොකිරීමට වගබලා ගත්තා.

සමබර වෙන්න

සෑම දිනකම අප ගන්නා තීරණ අප සිටින පරිසරයට යම් බලපෑමක් කරනවා. මේ නිසා පරිසරය රැකගැනීම සඳහා මිනිස් සමාජයෙන් ඈත් විය යුතුයි කියා සිතන තරම් අප අන්තයට යා යුතුද? අපට එසේ කරන්න කියා බයිබලයේ පවසා නැහැ. යේසුස්ගේ ආදර්ශය සලකා බලන්න. ඔහු පොළොවේ ජීවත් වූ කාලයේදී අන්තවාදී වූයේ නැහැ. මේ නිසා ඔහුට දෙවි දුන් පැවරුම හොඳින් ඉටු කරන්න හැකි වුණා. (ලූක් 4:43) ඔහුගේ කාලයේ තිබුණු ප්‍රශ්න විසඳීම සඳහා ඔහු එවකට තිබුණු දේශපාලන ආණ්ඩුවල සහය පැතුවේ නැහැ. ඔහු පැහැදිලිවම මෙසේ පැවසුවා. “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ.”—යොහන් 18:36.

අප ගෙදරට අවශ්‍ය උපකරණ ගැනීමේදී, ප්‍රවාහන පහසුකම් සලසාගැනීමේදී හා විනෝදවීමේදී එයින් පරිසරයට මොන ආකාරයේ බලපෑමක් සිදු වෙනවාද කියා සිතා බැලීම සුදුසුයි. උදාහරණයක් ලෙස සමහර අය පරිසරයට එතරම් හානි සිදු නොවන භාණ්ඩ භාවිත කිරීමට තීරණය කළ හැකියි. තවත් සමහර අය පරිසරය දූෂණය වීමට බලපාන ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් වැළකෙනවා. එමෙන්ම ස්වාභාවික සම්පත් නාස්ති කිරීමෙන් වැළකී සිටිනවා.

පරිසරය සුරැකීම සඳහා තමන් ගන්නා තීරණ අන් අය කෙරෙහි පැටවීම සුදුසු වන්නේ නැහැ. එක් එක්කෙනාගේ තත්වයන් එකිනෙකට වෙනස්. කොහොමවුණත් අපි ගන්නා තීරණවලට අපි එක් එක්කෙනා පෞද්ගලිකව දෙවිට ගණන් දිය යුතුයි. බයිබලයේ පවසන්නේ “එකිනෙකා තම තමාට තිබෙන වගකීම් නමැති බර උසුලන්නේය” කියායි.—ගලාති 6:5.

මිහිමඬල සුරැකීමේ වගකීම දෙවි මිනිසාට බාර දී තිබෙනවා. මෙම පැවරුම හා දෙවිගේ නිර්මාණයන් කෙරෙහි අගයක් මෙන්ම ඔහු කෙරෙහි ගෞරවයක් අපි තුළ තිබිය යුතුයි. අපිට එවැනි හැඟීමක් තිබෙනවා නම් මිහිමඬල හා එහි ඇති සම්පත් අගය කිරීමකින් යුතුව රැකගැනීමට අපිට හැකි සියල්ල කිරීමට එය අපිව පොලඹනවා.

මේ ගැන ඔබ සිතුවාද?

තර්ජනයට ලක් වී තිබෙන මිහිමඬල රැකගැනීමට දෙවි මැදිහත් වෙයිද?—එළිදරව් 11:18.

දෙවි මිනිසාට බාර දුන් කාර්යය කුමක්ද?—උත්පත්ති 1:28; 2:15.

නාස්ති කිරීමෙන් වැළකීම පිළිබඳ යේසුස්ගේ ආදර්ශය කුමක්ද?—යොහන් 6:12.