Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

වර්ෂ 2006 “මාධ්‍යවේදීන් 167ක් හා ඔවුන්ගේ සහයට ගිය” රියදුරන් හා පරිවර්තකයන් “ප්‍රවෘත්තියක් ආවරණය කිරීමේදී මිය ගියා.” ඔවුන් ආවරණය කිරීමට ගිය ප්‍රවෘත්ති අතරින් බොහෝමයක් හිංසා, දූෂණ හා ගැටුම් පිළිබඳවයි. එහිදී 133දෙනෙකුව ඝාතනය කර තිබුණා.—බෙල්ජියමේ INTERNATIONAL NEWS SAFETY INSTITUTE.

වාර්ෂිකව ලොව පුරා කොතරම් පතොරම් ප්‍රමාණයක් නිපදවනවාද කිවහොත්, ඒ පතොරම් භාවිත කර මුළු ලෝකයේ ජනගහනය සහමුලින්ම දෙවරක් ඝාතනය කිරීමට හැකියාව තිබෙනවා.—ඕස්ට්‍රේලියාවේ ROYAL MELBOURNE INSTITUTE OF TECHNOLOGY.

භූමිකම්පාවලට වග කිව යුත්තේ මිනිසාමයි

දහනවවන සියවසේ සිට මිනිසා කර තිබෙන හානිය නිසා දරුණු භූමිකම්පා 200කටත් වඩා වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බව එක් ජර්මානු පුවත්පතක (Die Zeit) පළ වුණා. මින් අඩකටම හේතුව පතල් කර්මාන්තයි. තවද ස්වභාවික වායු සහ තෙල් ලබාගැනීම මෙන්ම ජලාශ ඉදි කිරීම සඳහාද මිනිසුන් පොළොව හෑරීම මීට හේතු වන බව සොයාගෙන තිබෙනවා. වර්ෂ 1989දී ඕස්ට්‍රේලියාවේ නිව්කාසල්හි ඇති වූ භූමිකම්පාවෙන් 13දෙනෙක් මිය ගිය අතර 165දෙනෙක් තුවාල වුණා. ඒ නිසා සිදු වූ දේපොළ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් වෙනවා. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙය පතල් කර්මාන්තය නිසා සිදු වූවක් කියායි. මීට සියවස් දෙකකට පමණ පෙර ආරම්භ කළ පතල් කර්මාන්තයෙන් ලැබූ ලාභයට වඩා වැඩි පාඩුවක් එම භූමිකම්පාවෙන් සිදු වූ බව ගණන් බලා තිබෙනවා.

ප්‍රංශයේ කතෝලික ආගම

වර්ෂ 1994දී ප්‍රංශයේ සිටි ජනතාවගෙන් සියයට 67ක් කතෝලිකයන් බව වාර්තා වුණා. අද වන විට එය සියයට 51ක් දක්වා අඩු වී තිබෙන බව එක් සඟරාවක සඳහන් වෙනවා. (Le Monde des Religions) ප්‍රංශයේ කතෝලික භක්තියන්ගෙන් අඩක්ම පල්ලියට යන්නේ විවාහයන් වැනි විශේෂ අවස්ථාවලදී පමණක් බව එක් සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. එහි වැසියන්ගෙන් සියයට 88ක් පමණ පරමණ්ඩල යාච්ඤාව කට පාඩමින් දන්නවා කියා පැවසුවත් සියයට 30ක් කවදාවත් යාච්ඤා කරන්නේ නැහැ. කතෝලිකයන්ගෙන් සියයට 50කටම ඔවුන්ගේ නිවෙස්වල බයිබලයක් තිබුණත් ඔවුන් එය කියවන්නේ නැහැ.

කථික ආබාධ ඇති දරුවන්

“බොහෝ දරුවන් කතා කිරීමට පටන්ගන්නේ නියමිත කාලයටත් පසුවයි. එමෙන්ම ඔවුන් භාවිත කරන්නේ සීමිත වචන ප්‍රමාණයක් පමණයි. ඊට හේතුව වැඩිහිටියන් දරුවන් සමඟ අවශ්‍ය තරම් කතා නොකිරීමයි” කියා එක් පෝලන්ත සඟරාවක සඳහන් වුණා. මව්වරුන් සාමාන්‍යයෙන් දරුවන් සමඟ කතා කරන්නේ දවසකට විනාඩි 30ක් පමණ වන අතර පියවරුන් ඒ සඳහා වැය කරන්නේ “විනාඩි හතක් වැනි සුළු කාලයක්.” මෙහි ප්‍රතිඵලයක් ලෙස සෑම දරුවන් පස්දෙනෙක්ගෙන් එක්කෙනෙක්ම “දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා යම් ආකාරයක කථික ආබාධවලට ලක් වී තිබෙනවා.” සයිලීෂියන් විශ්වවිද්‍යාලයේ කථික චිකිත්සකයෙක් හා භාෂාවේදියෙක් වන මිකව් බිට්නියොක් මෙලෙස අනතුරු අඟවා තිබුණා. “මෙවැනි දරුවන් ගැන සැලකිලිමත් වී ප්‍රමාද නොවී අවශ්‍ය පිළියම් යෙදුවේ නැත්නම් ඔවුන්ගේ කථික ආබාධය පාසැලේ කටයුතු කිරීමට මෙන්ම ඔවුන්ගේ පසු කාලීන ජීවිතයටත් බලපානවා.”—එම සඟරාව Wprost.

මිථ්‍යා විශ්වාසයකින් ප්‍රයෝජන ගැනීම

මිනිසුන් අනවසරයෙන් සෑම තැනකම කුණු කසළ දැමීම ජපාන රජයට හිසරදයක් වෙලා. දවල් කාලයේ මේවා වැළැක්වීම සඳහා පියවර ගෙන තිබුණද කුණු කසළ රෑට ගෙනත් දැමීමට මිනිසුන් පුරුදු වී සිටිනවා. මෙය වැළැක්වීම සඳහා ජපන් රජය මිථ්‍යා විශ්වාසයක් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් ෂින්ටෝ පිළිමයක් තිබෙන ස්ථානයක් ඇඟවීමට රතු පාට ලී ගේට්ටුවක් (ටෝරී) සවි කරනවා. මෙය ප්‍රයෝජනයට ගත් ජපන් රජය අවශ්‍ය ස්ථානවලට එම ගේට්ටු සවි කර තිබෙනවා. මේ ගැන එහි පළ වූ එක් ඉංග්‍රීසි පුවත්පතක සඳහන් වුණේ “සාමාන්‍ය ජනතාව මෙම රතු පාට ගේට්ටු සැලකුවේ ශුද්ධ යමක් ලෙසයි. ඒ නිසා ඒවා අසල කුණු කසළ දැමීමෙන් ඔවුන්ට නපුරක් වෙයි කියා ඔවුන් බිය වුණා” කියායි. ඒ නිසා ඔවුන් ගේට්ටුව අසල කුණු කසළ දමන්නේ නැහැ. ඒත් “ඊට ටිකක් ඈතට වෙන්න ඔවුන් ඒවා දාල යනවා. දැන් මොකද කරන්නේ?”—එම පුවත්පත IHT Asahi Shimbun.