Skip to content

පටුනට යන්න

දෙවිගේ නාමය එදා සහ අද

දෙවිගේ නාමය එදා සහ අද

දෙවිගේ නාමය එදා සහ අද

ගීත රචකයෙක් වූ දාවිත් බයිබලයේ සඳහන් ඔහුගේ එක් ගීතිකාවක “මම දෙවිගේ නාමයට ප්‍රශංසා ගී ගයමි” කියා සඳහන් කළා. ඇත්තෙන්ම ඔහු දෙවිගේ නාමය හොඳින්ම දැන සිටියා. ‘දෙවි වූ යෙහෝවාට ආශීර්වාද වේවා. ඔහුගේ නාමයට ආශීර්වාද වේවා’ කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (ගීතාවලිය 69:30; 72:18, 19, නව ලොව පරිවර්තනය, NW) හෙබ්‍රෙව් භාෂාවෙන් יהוה (ය්හ්ව්හ්) යන අකුරු සතරෙන් නියෝජනය වන දෙවිගේ නාමය සිංහල භාෂාවෙන් උච්චාරණය කරනු ලබන්නේ යෙහෝවා කියායි. මෙම නාමය බයිබලයේ 7,000 වාරයක් පමණ සඳහන්ව තිබෙනවා.

මෑත ශතවර්ෂවලදී දෙවිගේ නාමය බයිබලයේ හැර වෙනත් විවිධ තැන්වලද දක්නට ලැබුණා. උදාහරණයකට වසර ගණනාවක් පුරා ස්විට්සර්ලන්තයේ රත්තරන් කාසිවල [1] ලතින් භාෂාවෙන් වචන කිහිපයක් (Benedictus Sit Iehova Deus) කොටා තිබෙනවා. එහි අරුත “යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා” යන්නයි. පසුගිය සියවස් ගණනාව පුරා හෙබ්‍රෙව් සහ ලතින් භාෂාවලින් දෙවිගේ නාමය කෙටූ විවිධ කාසි සහ පදක්කම් වර්ග දහස්ගණනක් දැකගන්න තිබුණා.

දෙවිගේ නාමය මේ ආකාරයට භාවිත වීමට මඟ පෑදුවේ කුමක්ද? ඊට හේතුව මෙම පිටුවේ සහ ඊළඟ පිටුවේ සඳහන් උදාහරණවලින් දැකගත හැකියි.

දෙවිගේ නාමය භාවිත කළ හේතුව

දහසයවන සියවස ආරම්භයත් සමඟම බටහිර යුරෝපයේ රෝමානු කතෝලික ආගම සහ රෙපරමාදු ආගම අතර ගැටුමක් ඇති වුණා. මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤයේ ප්‍රාන්ත කිහිපයක ජනතාව එවකට ප්‍රධාන ආගම වූ රෝමානු කතෝලික ආගමෙන් ඉවත් වී රෙපරමාදු ආගම වැලඳගත්තා. මෙය සිවිල් යුද්ධයකට මං විවර කළා. ඒ කාලයේදී තම පාර්ශ්වයට දෙවි සහයෝගය දෙන බව ඇඟවීමට ඔවුන් කාසි සහ රූපවල දෙවිගේ නාමය යෙදුවා.

දෙවිගේ නම භාවිත වූ අයුරු

ඒ කාලයේදී ටෙට්‍රග්‍රැමටනය ලෙස හඳුන්වන හෙබ්‍රෙව් අකුරු සතරෙන් නියෝජනය වන යෙහෝවා යන දෙවිගේ නාමය විවිධ කාසිවල කෙටුවා. මෙම අකුරු සතර ඉංග්‍රීසියෙන් දැක්වෙන්නේ JHVH හෝ YHWH ලෙසයි. කාසි මත දෙවිගේ නාමය කෙටූ කැටයම්කරුවන්වත් එවකට සිටි ජනයාවත් හෙබ්‍රෙව් භාෂාව දැන සිටි අය නොවෙයි. මේ නිසා දෙවිගේ නාමය නියෝජනය වූ එම අකුරු සතර දිගින් දිගටම විවිධ කාසිවල කෙටීමේදී යම් යම් දෝෂ ඇති වුණා.

වර්ෂ 1568දී පමණ ස්වීඩන කාසියක [2] දෙවිගේ නාමය කොටනු ලැබූ අතර 1591 වන විට ස්කොට්ලන්තයේද මෙවැනි කාසි දක්නට ලැබුණා. වර්ෂ 1600 පමණ වන විට ස්වීඩනයේ නවවන චාර්ල්ස් රජ විවිධ ආකාරවලින් දෙවිගේ නාමය කාසිවල [3] සඳහන් කළා. (Ihehova, Iehova, සහ Iehovah) එමෙන්ම දෙවිගේ නාමය සඳහන් ඉතාමත් වටිනා රත්තරන් කාසියක් ඔහු ළඟ තිබුණා. මෙම කාසියේ වටිනාකම සාමාන්‍ය කම්කරුවෙකුගේ මාස හතරක වැටුපට වඩා වැඩියි.

වර්ෂ 1588 සිට 1648 දක්වා කාලය තුළ ඩෙන්මාර්කයේ හා නෝර්වේ යන රටවල් පාලනය කළේ හතරවන ක්‍රිස්ටියන් රජුයි. ඒ කාලයේදී පවා දෙවිගේ නම සඳහන් විවිධ කාසි 60කට වඩා වැඩියෙන් දක්නට තිබුණා. එමෙන්ම දහහත්වන සියවසේ මැදභාගය වන විට මෙවැනි කාසි පෝලන්තයේ, ස්විට්සර්ලන්තයේ සහ ජර්මනියේ පවා භාවිත වුණා.

යුරෝපයේ තිස් අවුරුදු ආගමික යුධ සමයේදී (1618-1648) මෙම කාසි භාවිතය එන්න එන්නම වැඩි වුණා. වර්ෂ 1631දී බ්‍රේටන්ෆෙල්ට් ලද ජයග්‍රහණයත් සමඟම ස්වීඩනයේ රජ කළ දෙවන ගුස්ටාව් ඇඩෝල්ෆ් ටෙට්‍රග්‍රැමටනය සඳහන්ව තිබෙන කාසි [4] නිකුත් කරනු ලැබුවා. මෙවැනි කාසි සාදනු ලැබුවේ එර්ෆර්ට්, ෆෝර්ත්, මෙයින් සහ වූයිර්ස්බර්ග් වැනි නගරවලයි. එමෙන්ම ඒ කාලයේදීම දෙවිගේ නාමය ඇතුළත් කාසි ස්වීඩනයේද නිකුත් කරනු ලැබුවා.

යුරෝපයේ වසර තිහක් පුරා පැවති යුද්ධය අවසන් වී වසර 150ක් පමණ ගෙවී යන තුරුම දෙවිගේ නාමය විවිධ කාසි සහ පදක්කම්වල දකින්න ලැබුණා. එමෙන්ම ඒවා ඔස්ට්‍රියාව, ප්‍රංශය, මෙක්සිකෝව, රුසියාව සහ වෙනත් රටවල පවා භාවිත වුණා. කෙසේනමුත් දහඅටවන සියවසේ මුල්භාගය වන විට දෙවිගේ නාමය භාවිත කිරීම එන්න එන්නම අඩු වුණා. අවසානයේදී එය භාවිත නොවන තත්වයටම පත් වුණා.

දෙවිගේ නාමය ප්‍රචාරය කිරීම

අද දෙවිගේ නාමය කාසිවල දක්නට නොලැබුණත් එම නාමය කිසිදා නොවූ ආකාරයකින් ප්‍රචාරය කරනවා. දෙවි බොහෝ කාලයකට පෙර ඔහුගේ නාමය දරන සෙනඟක්ව තෝරාගත් අතර ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. ‘ඔබ මාගේ සාක්ෂිකාරයෝය. මම දෙවිය.’ (යෙසායා 43:12, 13) කිසිම කාසියකට ඒ තැන ගන්න බැහැ. ඇත්තෙන්ම එදා දෙවිගේ නාමය කාසිවල භාවිත කිරීමෙන් සිදු වුණේ දෙවි පිළිබඳව අසත්‍ය තොරතුරක් ප්‍රචාරය වීමයි. එනම් යුද්ධවලින් ජය ගන්න දෙවි ඔවුන්ට සහයෝගය දෙන බවයි. කෙසේනමුත් දෙවිගේ කැමැත්තට අනුව අද දින දෙවිගේ නාමය දැනුම් දීමේ කාර්යය යම් පිරිසක් විසින් කරනු ලබනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට සත්‍ය දෙවිවත් ඔහුගේ නාමයෙන් අර්ථවත් වන දේ ගැනත් ඉගෙනගැනීමට ආරාධනා කරනවා. දෙවි ගැන බයිබලයේ එක් ගීතිකාකරුවෙක් මෙසේ සඳහන් කළා. “යෙහෝවා දෙවි නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තමයාණන් බව සියල්ලෝ දැනගනිත්වා.” (ගීතාවලිය 83:18NW) යෙහෝවා දෙවි ගැන දැනගැනීම ඇත්තෙන්ම ඉතා වැදගත් දෙයක් බව දෙවිගේ පුත්‍රයා වන යේසුස් පැවසූ දෙයින් මනාව පැහැදිලියි. ඔහු මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3.

[20, 21වන පිටුවේ පින්තූරය]

කාසි කෙටීමට භාවිත කළ උපකරණ

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Coin 1 and tools: Hans-Peter-Marquardt.net; coin 2: Mit freundlicher Genehmigung Sammlung Julius Hagander

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Coins 3 and 4: Mit freundlicher Genehmigung Sammlung Julius Hagander