Skip to content

පටුනට යන්න

බයිකල් ලොව ගැඹුරුතම විල

බයිකල් ලොව ගැඹුරුතම විල

බයිකල් ලොව ගැඹුරුතම විල

රුසියාවේ පිබිදෙව්! ලේඛක විසින්

දකුණු සයිබීරියානු ජාතිකයින් බයිකල් විල සැලකුවේ ඉතා වටිනා සම්පතක් ලෙසයි. වෙනත් විශාල විල් ලොව පුරා තිබුණද මෙය ලොව ගැඹුරුතම මෙන්ම විශාල ජල ප්‍රමාණයක් හිමි විලයි. බයිකල් යන නමෙහි අරුත “සමෘද්ධිමත් විල” නැතහොත් “සමුද්‍රය” යන්නයි. මේ විල කොතරම් විශාලද කියනවා නම් තවමත් එහි යන සමහර නාවිකයන් පවසන්නේ ඔවුන් “මුහුදු යනවා” කියායි.

රුසියානු ජාතිකයන්ගේ සිත්වල මෙම විල කෙරෙහි විශාල අගය කිරීමක් තිබෙනවා. මොස්කව් ජාතික විද්‍යාඥයෙක් බයිකල් විල සමාන කර තිබෙන්නේ “සෑම කෙනෙක්ම කුඩා කළ සිට ඉගෙනගෙන තිබෙන මියුරු ගීතයකටයි.” එහි විල් තෙර, නිල් කැටයක් බඳු පිරිසිදු ජලය හා වෙන කිසිම තැනක දැකගත නොහැකි නානාප්‍රකාර ජීවීන් යන මේ සෑම දෙයක්ම එම ගීතයට පණ පොවනවා වගෙයි.

කිලෝමීටර් 636ක දිගින් හා කිලෝමීටර් 80ක පළලින් යුත් බයිකල් විල චන්ද්‍රිකා ඡායාරූපයකට දිස් වන්නේ අඩවන් වූ නිල් දෑසක් ආකාරයටයි. එහි ගැඹුර මීටර් 1,600කට වඩා වැඩියි. මුළු ලෝකයේම තිබෙන මිරිදිය ජලයෙන් පහෙන් එකක්ම අඩංගු වෙන්නේ මෙම විලෙයි. මෙහි ඇති ජල ප්‍රමාණය උතුරු අමෙරිකාවේ පිහිටි පංච මහා විල් සියල්ලෙහිම ඇති ජල ප්‍රමාණයට වඩා වැඩියි. යම් හෙයකින් බයිකල් විල සිඳී ගියහොත් එය පිරවීමට ලෝකයේ සියලුම ගංගාවල ජලය එයට සැපයිය යුතු වෙනවා. එසේ කිරීමට අවුරුද්දක තරම් කාලයක්වත් ගත වෙයි.

බයිකල් විලේ උපත

ඈත අතීතයේදී ආසියා මහද්වීපය හා යුරෝපා මහද්වීපයේ නැඟෙනහිර ප්‍රදේශය එකිනෙක ගැටුණු බව භූ විද්‍යාඥයින් විශ්වාස කරනවා. මේ ගැටීම නිසා පොළොව යට පාෂාණ තට්ටුවල ඇති වූ පීඩනය මගින් කඳු වැනි විශාල නෙරීම් ඇති වූ බවත් හිමාලය වැනි කඳු ඇති වුණේ මේ ආකාරයට බවත් කියැවෙනවා. සමහර අය විශ්වාස කරන්නේ මහද්වීප අතර මෙවැනි ගැටීම් ඇති වන විට ඒවා අතර සයිබීරියාවේ ගැඹුරු විවර කිහිපයක් ඇති වූ බවයි. බයිකල් විල මේ ආකාරයට ඇති වූ විවරයකින් බිහි වූවක්. කාලයත් සමඟම අවට කඳුවලින් ඇදවැටුණු රොන් මඩවලින් මෙම විවරය කිලෝමීටර් හතක් පමණ ප්‍රමාණයක් පිරුණු පසු එය ජලයෙන් වැසී තිබෙනවා. අද වන විට ගංගා ඇළ දොළ 300කට අධික සංඛ්‍යාවක් බයිකල් විලට ජලය සැපයූවද බයිකල් විල ජලය සපයන්නේ අංගාරා ගඟට පමණයි.

විද්‍යාඥයින් පෙන්වන ආකාරයට විල් පතුලේ තිබෙන භූ තල ඈත් වෙමින් පවතිනවා. මේ නිසා මෙම විල කෙමෙන් කෙමෙන් ගැඹුරු වෙන අතර වෙනත් විල් මෙන් බයිකල් විලෙහි රොන් මඩ හා මඩ රැඳෙන්නේ නැහැ. ඒ වෙනුවට එම රොන් මඩ හා මඩ භූ තල අතරින් පහළට ගලා යනවා. ඒ වගේම මෙම භූ තල උණුසුම් ජලය ඉහළට විහිදුවීමටත් හේතු වෙනවා.

විල පතුලේ අරුමයන්

මෙම විලෙහි තිබෙන ජලය ඉතාමත් පිරිසිදු සහ පැහැදිලියි. මේ නිසා බොට්ටුවලින් ගමන්ගන්නා අයට එහි මීටර් 50ක් තරම් ගැඹුරට දැකගන්න ලැබෙනවා. සමහරවිට මෙය බියකරු අද්දැකීමක් විය හැකියි. මෙම විලෙහි සිටින කකුළුවන් වැනි කුඩා ජීවී විශේෂයක් (epischura) එහි ඇති ඇල්ගී සහ බැක්ටීරියා විනාශ කරනවා. එහි ඇති ජලය දුර්වර්ණ නොවී පවතින්නේ ඒ නිසයි. එමෙන්ම මෙහි වෙසෙන පොකිරිස්සන් විශේෂයක් එහි එකතු වන අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා ඒවා දිරාපත් වීමෙන් ජලය අපවිත්‍ර වීම වැළකෙනවා. මෙහි ජලය කොතරම් පිරිසිදුද කියනවා නම් දශක දෙකකට පෙර මෙම ජලයේ පිරිසිදුකම පරීක්ෂා කිරීම සඳහා ජල සාම්පලයක් ගත් විට එම ජලය අපිරිසිදු වී තිබෙන්නේ එම භාජනයේ තිබුණු විෂ බීජ නිසයි.

බොහෝ ගැඹුරු විල්වල පවා ගැඹුරුතම තැන්වල ඔක්සිජන් ඌනතාවක් තිබෙන නිසා එහි වෙසෙන ජලජ ජීවීන් නොගැඹුරු ජලයට පැමිණෙනවා. ඒත් බයිකල් විල ඔක්සිජන්වලින් අනූන විලක්. ඊට හේතුව එහි ඇති දියවැල් සිරස් අතට හා හරස් අතට ගමන් කිරීම නිසා එහි සෑම තැනකම අවශ්‍ය තරම් ඔක්සිජන් තිබීමයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට බයිකල් විලේ නොගැඹුරු සහ ගැඹුරු තැන්වල පවා ජලජ ජීවීන් දැකගත හැකියි.

මෙම විලේ තිබෙන ශීත ජලය නිසා එහි පතුල ජලජ ශාකවලින් ගහනව පවතිනවා. එහි තිබෙන කොළ පාට ස්පොන්ජි කොරල් පර මෙන් වැඩී කුඩා ජලජ ජීවීන් බොහොමයකට ආරක්ෂාව සපයනවා. ඒත් උණුසුමට කැමති ජීවීන් එක් රොක් වෙන්නේ භූ තල අතරින් උණුසුම් ජලය විහිදෙන ස්ථානවලටයි. විල්වල වෙසෙන ජලජ ජීවීන් වර්ග 2,000කට වඩා වැඩි සංඛ්‍යාවකින් 1,500ක්ම දැකගත හැකි වන්නේ බයිකල් විලෙයි.

බයිකල් විල ඉතා රසවත් මිල අධික සුදු පාට ඕමල් නම් මත්ස්‍ය වර්ගය සඳහා ඉතාමත් ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි මෙහි විවිධාකාර ජීවීන් දැකගන්නත් පුළුවන්. මෙහි සිටින එක් පැතලි පණු වර්ගයක් දිගින් අඩියකට වඩා වැඩි වන අතර උන් මාළුන්ව ආහාරයට ගන්නවා. එමෙන්ම වැලි අතර ඒක සෛලීය ජීවීන්ද දැකගත හැකියි. මෙම විලට ආවේනික වූ ගෙලම්‍යාන්කා නම් විශේෂිත මත්ස්‍ය වර්ගය ගැන ඔබ දැනගන්න කැමතිද?

බයිකල් විලේ වෙසෙන මෙම පුංචි මත්ස්‍යයා විනිවිද පෙනෙන දිලිසෙන සමකින් යුක්තයි. උන් වෙසෙන්නේ විල් පතුල ආශ්‍රිතව වන අතර උන් බිත්තර වෙනුවට පැටවුන් බිහි කරයි. උගේ ශරීරයේ තුනෙන් එකකම අඩංගු වන්නේ මේදයයි. එමෙන්ම ඌ විටමින් A බහුල මත්ස්‍යයෙක්. මේ මත්ස්‍යයාට මීටර් 200 සිට 450ක් ගැඹුරේ ජල පීඩනයට ඔරොත්තු දීමේ හැකියාව තිබුණද හිරු එළියට නිරාවරණය වන විට උගේ ශරීරය දිය වන අතර ඉතිරි වන්නේ මේදය හා ඇටකටු පමණයි. උන්ව ආහාරයට ගන්න වැඩියෙන්ම ආශා කරන්නේ බයිකල් විලට පමණක් ආවේනික වූ මිරිදිය ජලයේ ජීවත් වන බයිකල් සීල් මත්ස්‍යයයි.

දේශගුණික වෙනස්කම්

වසරේ මාස පහක් පමණ බයිකල් විල අයිස්වලින් වැසී පවතිනවා. ජනවාරි මාසයේ අවසානයේදී එම අයිස් තට්ටුවේ ගනකම අඩි තුනක් හෝ ඊට වඩා වැඩි වෙනවා. මෙම අයිස් තට්ටු විනිවිද පෙනෙන ස්වභාවයක් ගන්නා නිසා ඒ මත ඇවිදින කෙනෙකුට මෙම විලේ තිබෙන ගල්පර පවා දැකගත හැකියි. මෙම අයිස් තට්ටු විනිවිද පෙනෙන නිසා ඒවා එතරම් ශක්තිමත් නැහැ කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඒත් එය ඉතාමත් ශක්තිමත්. ඒ බව තහවුරු වන්නේ මීට සියවසකට පමණ පෙර ශීත කාලයේදී පැවති රුසියානු-ජපන් යුධ සමයේදී රුසියානු හමුදාව විසින් මෙය හරහා රේල් පාරක් ඉදි කිරීමෙනුයි. එමෙන්ම දුම්රිය එන්ජින් 65ක් එහි නවතා තිබුණා.

අප්‍රියෙල් අවසානයේ සිට ජූනි දක්වා මෙම අයිස් ටිකෙන් ටික දිය වෙන්න පටන්ගන්නවා. මේ කාලයේදී අයිස් පුපුරා යන ශබ්දය එහි වැසියන්ට හුරු පුරුදු ශබ්දයක්. සොබාදහම පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙක් වන ජෙරල්ඩ් ඩෙරල් මෙම ශබ්දය සමාන කළේ කුඩා අත්තාලම් දෙකකින් නැඟෙන සිහින් හඬටයි. උෂ්ණත්වය ටිකෙන් ටික වැඩි වන විට මෙම අයිස් සුළඟට ගසාගෙන විල් තෙර දෙසට ඇදී එනවා.

ශීත කාලයේදී මෙම ප්‍රදේශයෙන් පිට වී ගිය කුරුල්ලන් අයිස් දිය වන විට නැවත මෙහි පැමිණෙනවා. මේ කාලයේදී තාරාවන්, පාත්තයන්, වූපර් හංසයන් හා කොක්කුන් දැකගත හැකියි. මෙම ප්‍රදේශයේ සිටින ඩිපර් වැනි කුරුල්ලන් මුළු ශීත කාලයේදීම වෙසෙන්නේ අංගාරා ගඟ ඉහළ ප්‍රදේශයෙයි. ඊට හේතුව බයිකල් විලෙන් එම ගඟ පෝෂණය වුණත් ශීත කාලයේදී එය මිදෙන්නේ නැති නිසයි.

ගල්පර මත තිබෙන මැසි බිත්තර කෑමට කෑදර වලසුන් රංචු පිටින් පැමිණෙනවා ජූනි මාසයේ දැකගත හැකි සුලභ දර්ශනයක්. මෙය දකින වෙනත් සතුන්ද විල් තෙර වෙත ඇදී එනවා.

වසන්ත හා ගිම්හාන කාලයේ ආරම්භයේදී මෙම විලෙහි ඇල්ගී ශාක වැඩෙන්න පටන්ගන්නා අතර එය කුඩා පොකිරිස්සන් විශේෂයකට ආහාරයක් මෙන්ම ජලයට කොළ පැහැයක්ද එක් කරනවා. නමුත් විල් තෙර සිට බලන කෙනෙකුට ගැඹුරු තැන් පෙනෙන්නේ නිල්වන් මුහුදක් වගෙයි.

විල් තෙර අයිනේ වැලි කඳු මෙන්ම කඳු ගැටිති දැකගත හැකියි. මෙම විල අවට ඇති සුන්දර පරිසරය විලෙහි අසිරිය දෙගුණ තෙගුණ කරයි.

අවුරුද්දේ අවසාන කාලයේදී සැඩ සුළං ඇති වෙනවා. සරත් සමයේදී හරිකේන් වැනි චණ්ඩ මාරුත ඇති වෙනවා. මේ කාලයේදී විලේ අඩි 15ක් 20ක් තරම් උසට රැලි නැඟෙනවා. වෙනත් කාලවලදීද මෙවැනි චණ්ඩ මාරුත නිසා නැව් හා ධීවර යාත්‍රා විනාශ වී තිබෙන බව කියැවෙනවා.

අවට පිහිටි සුන්දර පරිසරය

බයිකල් විල අවට වෙසෙන විවිධ සතුන් හා පරිසරය මේ ප්‍රදේශයේ සුන්දරත්වය තවත් වැඩි කරනවා. මෙම විල වටා අත් වැල් බැඳගෙන සිටින දැවැන්ත කඳු හතර පිනිමුවන්ට මෙන්ම වඳ වී යන සයිබීරියානු කඳු එළුවන්ට ආරක්ෂා ස්ථානයක් වී තිබෙනවා.

ඒ අවට පහත් ප්‍රදේශය කැලෑ මල්වලින් ගහනව පවතිනවා. එය සයිබීරියාවේ මල් උයන කියා හැඳින්විය හැකියි. මෙහි දුර්ලබ වර්ගයේ කොක්කු වර්ග හා ආසියාවේ විශාලතම කුරුල්ලා වන බස්ටර්ඩ් වැනි කුරුල්ලන් දැකගත හැකියි.

ටයිගා වනාන්තරය බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරය මෙන් දෙගුණයක් විශාලයි. බයිකල් විල වට කරගෙන සිටින්නේ මෙම ටයිගා වනාන්තරයයි. ඇමසන් වැසි වනාන්තරය මෙන් ටයිගා වනාන්තරයත් පරිසරය මෙන්ම දේශගුණික සමතුලිතතාවට බෙහෙවින් දායක වෙනවා. මේ ප්‍රදේශයේ පක්ෂීන් රාශියක් දැකගත හැකියි. උන් අතර ග්‍රවුස් කුලයට අයත් කැපකේලි නම් පක්ෂියාද සිටිනවා. උන්ගේ ප්‍රජනන සමයේදී උන් පෙම් රැඟුම් දක්වන අතර මියුරු නාද පතුරුවයි. එමෙන්ම 17වෙනි පිටුවේ දකින්නට තිබෙන සේරු නම් පක්ෂි විශේෂය මෙම විලට නිතරම පැමිණෙන ආගන්තුකයන් ලෙස සැලකෙනවා.

මෙහි වෙසෙන වඩාත් කැපීපෙනෙන සතෙක් වන්නේ සේබල් නම් ක්ෂීරපායි සත්වයායි. උගේ පෙනුම මුගටියෙකුගේ පෙනුමට සමානයි. එක් කාලයකදී මේ සත්වයාගේ ලොම් ලබාගැනීම සඳහා ඉවක් බවක් නැතිව උන්ව දඩයම් කරනු ලැබුවා. උන්ව ආරක්ෂා කිරීමට ඇපකැප වී වැඩ කළ සංරක්ෂිත නිලධාරීන්ගේ වෑයමේ ප්‍රතිඵලයක් ලෙස නැවතත් මෙම සත්ව විශේෂය ගණනින් වැඩි වෙමින් පවතිනවා. මෙම සත්ව විශේෂය ආරක්ෂා කිරීමේ අරමුණින් 1916දී බයිකල් විල් තෙරේ සත්ව සංරක්ෂණ ආයතනයක් පිහිටෙව්වා. දැන් විල් තෙර ආසන්නව එවැනි ආයතන තුනක් පිහිටා තිබෙන අතර ජාතික වනෝද්‍යාන තුනක්ද පිහිටුවා තිබෙනවා.

දෙවිගේ ප්‍රඥාවේ ගැඹුර කොපමණද!

බයිකල් විල යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. එය සංචාරකයින්ට නිවාඩුවක් ගත කරන්න කදිම තැනක්. සෑම අවුරුද්දකම සංචාරකයින් 3,00,000ට වඩා වැඩි ගණනක් මෙහි පැමිණෙනවා. එක් මූලාශ්‍රයක මෙසේ පවසා තිබුණා. “බයිකල් ප්‍රදේශය නිවාඩුවක් ගත කළ හැකි පාරාදීසයක් බඳු තැනක්. කුරුල්ලන්ව දැක බලා ගන්නත් බෝට්ටු සවාරි යන්නත් කඳු නඟින්නත් නිවාඩුවක් ගත කරන්නත් ආසියාවේ තිබෙන ආකර්ෂණීය ස්ථානවලින් එකක්.”

දෙවිගේ අසීමිත ප්‍රඥාව හා ඔහුගේ අරුම පුදුම නිර්මාණයන් ගැන ගැඹුරින් සිතා බැලීමට මෙය කදිම ප්‍රදේශයක්. මෙවැනි පුදුමාකාර විලක් නිර්මාණය කිරීමටත් එහි වෙසෙන දහස් සංඛ්‍යාත ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය සෑම දෙයක්ම සැපයීමටත් හැකි එකම තැනැත්තා දෙවි බව ස්ථිරයි. බයිකල් විල අසල සිටගෙන සිටින කෙනෙකුට බයිබල් ලේඛකයෙක් පැවසූ මේ වදන් සිහියට නැඟෙනවාට සැකයක් නැහැ. එනම් ‘දෙවිගේ සම්පත් මෙන්ම ප්‍රඥාවත් දැනුමත් කොතරම් ගැඹුරුද!’—රෝම 11:33.

[16, 17වන පිටුවේ කොටුව/පින්තූරය]

මිරිදිය ජලයෙහි වෙසෙන සීල් මත්ස්‍යයා

බයිකල් විලෙහි දසදහස් ගණන් සීල් මත්ස්‍යයින් වෙසෙනවා. මුන් දිවි රැකගන්නේ එහි සිටින කුඩා මසුන් ආහාරයට ගැනීමෙනුයි. මෙහි පමණක් වෙසෙන මෙම මිරිදිය සීල් මත්ස්‍යයින් විලට පැමිණියේ කොහේ සිටද කියා කිසිවෙකුට ස්ථිර වශයෙන්ම කියන්න බැහැ. මෙම මිරිදිය සීල් මත්ස්‍යයින්ට ළඟම නෑකම් කියන සීල් මත්ස්‍යයින් ජීවත් වන්නේ මෙහි සිට කිලෝමීටර් 3,220ක් දුරිනුයි.

මෙම බයිකල් විලෙහි වෙසෙන මුන්ට පැතලි මුහුණක් තිබෙන අතර එක ළඟ පිහිටි විශාල ඇස් දෙකක්ද තිබෙනවා. එමෙන්ම ලොව වෙසෙන කුඩාම සීල් මත්ස්‍යයින් වන මුන්ගේ දිග අඩි හතරහමාරක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් මෙම මත්ස්‍යයින් එකිනෙකාව තල්ලු කරමින් පොරකනවා. ඒත් මෙහි වෙසෙන සීල් මත්ස්‍යයින් කණ්ඩායම් වශයෙන් එකට එකතු වී ගල්පර මත අව්ව තපිමින් සිටිනවා දැකගන්න පුළුවන්. ඇත්තෙන්ම මුන්ව ලොව සිටින මිත්‍රශීලීම සීල් මත්ස්‍යයින් කියා හැඳින්විය හැකියි.

මෙම මත්ස්‍යයින් ගැන එක් ජීව විද්‍යාඥයෙක් පැවසුවේ මෙසේයි. “ආක්ටික් සාගරයේ වෙසෙන සීල් මත්ස්‍යයින්ට වඩා මුන්ව පාලනය කිරීම පහසුයි. මුන් පිළිබඳව හැදෑරීම සඳහා දැල්වලින් හසු කරගත් විට මුන් දඟලන්නේවත් සපාකන්නේවත් නැහැ.” එක් අවස්ථාවක ගැඹුරු දියෙහි කිමිදෙමින් සිටි කිමිදුම්කරුවන් පිරිසක් නිදා සිටින මෙම සීල් මත්ස්‍යයින් ළඟටම ගිය අතර උන්ව අතගෑවත් අනික් පැත්තට හැරෙව්වත් උන් එලෙසම නිදාගෙන සිටියා කියා එක් මූලාශ්‍රයක සඳහන් වෙනවා.

[හිමිකම් විස්තර]

Dr. Konstantin Mikhailov/​Naturfoto-Online

[18වන පිටුවේ කොටුව/පින්තූරය]

බයිකල් ප්‍රදේශයෙන් තවත් ආරංචියක්

යුක්‍රේනයේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ගේ ආගමික විශ්වාසයන් පාවා දීමට අකමැති වූ නිසා 1951 සිට 1965 අතර කාලයේදී බොහෝදෙනෙක්ව සයිබීරියාවේ බයිකල් විල පිහිටි ප්‍රදේශයට පිටුවහල් කරනු ලැබුවා. වර්ෂ 1951දී සාක්ෂිකාරියක් වන ප්‍රස්කෝව්යා වෙලෙස්සියැන්කේ බයිකල්හි පිහිටි විශාලම දූපත වන ඕල්කෝන්වලට පිටුවහල් කරනු ලැබුවා. පිටුවහල් කරන ලද අනිකුත් සාක්ෂිකරුවන් සමඟ එකතු වී ඇය දිවි රැකගැනීමට මාළු ඇල්ලීමේ කාර්යයේ නිරත වුණා. එමෙන්ම ඇය එම ප්‍රදේශයේ වෙනත් කාර්යයකද ක්‍රියාශීලීව හවුල් වුණා. එනම් එහි සිටින ජනයාට දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය කියා දීමයි.

මේ හේතුව නිසා 1953දී ඇයවත් තවත් සාක්ෂිකරුවන් හයදෙනෙකුවත් සිරගත කළා. එමෙන්ම ඇයට අවුරුදු 25ක සිර දඬුවමක් විඳීමට සිදු වුණා. ඇය ඉන් නිදහස් වූ පසු 2005දී ඇය මිය යන තෙක් ඉර්කුට්ක්ස් ප්‍රාන්තයේ පිහිටි සාක්ෂිකරුවන්ගේ සභාවක විශ්වාසවන්තව සේවය කළා. අද වන විට ඉර්කුට්ක්ස් ප්‍රාන්තය ඇතුළු බයිකල් ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ගේ සභා 30ක් පිහිටුවා තිබෙනවා.

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

රුසියාව

බයිකල් විල

[16, 17වන පිටුවේ පින්තූරය]

බයිකල් විල සහ සයන් කඳුවැටිය

[හිමිකම් විස්තර]

© Eric Baccega/age fotostock

[17වන පිටුවේ පින්තූරය]

සේරු විශේෂයක්

[හිමිකම් විස්තර]

Dr. Erhard Nerger/​Naturfoto-Online

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Dr. Konstantin Mikhailov/​Naturfoto-Online

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Eric Baccega/​age fotostock; Boyd Norton/​Evergreen Photo Alliance