Skip to content

පටුනට යන්න

ගැබොන් සත්ව රාජධානියක්

ගැබොන් සත්ව රාජධානියක්

ගැබොන් සත්ව රාජධානියක්

ගැබොන්හි පිබිදෙව්! ලේඛක විසින්

වෙරළ තීරයේ අලි ඇතුන් නිදැල්ලේ ඇවිදින, තල්මසුන් හා ඩොල්ෆින් ජල ක්‍රීඩා කරන හිපපොටේමස් පීනන මුහුදු වෙරළක් ගැන ඔබ අසා තිබෙනවාද? කිලෝමීටර් සියයක් පමණ ඈතට දිව යන අප්‍රිකානු වෙරළ තීරයේ එවැනි දසුන් ඇත්තටම තවමත් දක්නට තිබෙනවා.

අනාගතයටත් එවැනි සුලභ දසුන් දැක බලා ගැනීමට නම් එම ප්‍රදේශ ආරක්ෂා කරගත යුතුයි. වර්ෂ 2004 සැප්තැම්බර් 4වෙනිදා ගැබොන්හි ජනාධිපති එම වෙරළ තීරය ඇතුළුව මුළු දේශයේ භූමි ප්‍රමාණයෙන් සියයට දහයක් ජාතික වනෝද්‍යාන සඳහා වෙන් කරන බව පැවසීම සතුටට කාරණයක්!

එම භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 30,000ක් පමණ වෙනවා. මෙහි සතුන් නිදැල්ලේ සැරිසරනවා දැකගැනීමට හැකි නිසා නන් දෙසින් ජනයාව මෙහි ගෙන්වාගැනීමට හැකි වෙයි කියා එහි ජනාධිපති වන ඕමාර් බොන්ගො ඔන්ඩිම්බා පවසනවා.

මෙම රක්ෂිත ප්‍රදේශය මෙතරම් වැදගත් වන්නේ කුමන හේතුවක් නිසාද? ගැබොන්හි සියයට 85ක්ම තිබෙන්නේ වනාන්තරයි. එම වනාන්තරවල තිබෙන ශාකවලින් සියයට 20ක් පමණ දුර්ලභ ගණයේ ඒවායි. ඒ වගේම සමකයට ආසන්නයේ පිහිටා තිබෙන මෙම වනාන්තර අලි ඇතුන්, ගෝරිල්ලන්, චිම්පන්සින් ඇතුළු තවත් බොහෝ වඳ වී යන සතුන්ට කදිම නිවහනක් වී තිබෙනවා. මෑතකදී ගැබොන්හි ඇති කළ මෙම වනෝද්‍යාන නිසා අප්‍රිකාව ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ විශාල මෙහෙවරක යෙදී සිටින රටක් බවට පත් වී තිබෙනවා.

ලොආංගො වෙරළ තීරය

ලොආංගොහි තිබෙන ජාතික වනෝද්‍යානය අප්‍රිකාවේ කැපීපෙනෙන ස්ථානයක්. මෙහි පිරිසිදු වෙරළ තීරය කිලෝමීටර් ගණනාවක් ඈතට විහිදී යන අතර එයට සමාන්තරව දිව යන කලපු මෙන්ම ඝන වනාන්තර මෙහි වටිනාකම තවත් වැඩි කරනවා. මෙම වෙරළ තීරයේ සුන්දරත්වය වඩාත් වැඩි වන්නේ සුදෝ සුදු වැලි මත නිදැල්ලේ සැරිසරන හිපෝ, අලි ඇතුන්, මීහරක්, දිවියෝ හා ගෝරිල්ලන් වැනි සතුන් නිසයි.

කැලෑ සතුන් මෙම වෙරළට ඇදී එන්න විශේෂ හේතුවක් තිබෙනවාද? ඇත්තටම ඔව්! මෙම වෙරළ තීරය ආසන්නයේ තැනින් තැන තණ පිට්ටනි දැකිය හැකියි. හිපෝ හා මීහරක් මේ තණ පිට්ටනිවලට එන්නේ උන්ගේ බඩ කට පුරවාගන්නයි. වෙරළ තීරයේ වැවෙන තල් ගස්වලින් එන තල් සුවඳට කැලෑවේ ඉන්න අලි ඇතුන් ඇදිලා එන්නේ හරියට අයිස් ක්‍රීම්වලට කුඩා දරුවන් ඇදිලා එනවා වගෙයි. මේ සෑම දෙයකටම වඩා මෙම වෙරළ සතුන්ගේ රාජධානියක් වී තිබෙන්නේ උන්ට මිනිසුන්ගෙන් කිසිම හිරිහැරයක් නැතිව නිදහසේ ඉන්න පුළුවන් නිසයි. මෙහි දක්නට තිබෙන්නේ සතුන්ගේ අඩි පාරවල් විතරයි.

මිනිසුන්ගෙන් කිසිම හිරිහැරයක් නැති මෙවැනි හුදෙකලා වෙරළ තීරයට දාර කැස්බෑවන් ඉතා කැමතියි. උන් බිත්තර දැමීමට තෝරාගෙන තිබෙන්නේ මෙම වෙරළ තීරයයි. රෝස පාට බිඟුහරයා නම් පක්ෂියා කූඩු සාදන්නේ වැල්ලෙයි. රංචු පිටින් මෙම වෙරළට පැමිණෙන උන්, රළ පහරින් සෝදාගෙන නොයන තැනක බිම හාරා කූඩු හදනවා. ගිම්හාන කාලයේ මොල්ලි තල්මසුන් දහස් සංඛ්‍යාවක් මෙහි පැමිණෙන්නේ උන්ගේ සහකරුවන් සොයාගැනීමටයි.

ලොආංගො මුහුද හා ඝන වනාන්තරය මැද කලපු දෙකක් පිහිටා තිබෙනවා. මෙම කලපු මාළුන්ගෙන් ගහනව පවතින අතර කිඹුලන්ගේ හා හිපොගේ වාස භූමියයි. කලපු අයිනේ කඩොලාන ශාක වැවී තිබෙන්නේ හරියට කලපුවලට රැකවරණය දෙන්න වගෙයි. මාළු සොයා රාජාලින් හා උකුස්සන් වැනි පක්ෂීන් පියාසර කරන අතර නොගැඹුරු තැන්වල එම කාර්යය සඳහාම පිළිහුඩුවන් මාන බලා සිටිනවා. වතුරට කවදත් කැමති අලි ඇතුන් කලපු තරණය කරමින් එගොඩ පිහිටි මුහුදු වෙරළට යන්නේ තල් ගෙඩි සප්පායම් වීමටයි.

කලපුවට එහා පැත්තෙන් පිහිටි ඝන වනාන්තරයේත් අපූරු දේවල් සිදු වෙනවා. ගස්වල අතු දිගේ පැන පැන යන රිලවුන්, වර්ණවත් සමනල්ලු මෙන්ම සූටික්කෝ මෙහි ඕනෑ තරම් ඉන්නවා. වවුලන් තමන් කැමති ගස්වල දවල් කාලය ගත කරන අතර රාත්‍රි කාලයේ මුළු වනය පුරාම බීජ වැපිරීමේ කාර්යයේ නිරත වෙනවා. ඇත්තටම සමකය ආසන්නයේ පිහිටි අප්‍රිකාවේ අසිරිය කොතරම්ද කියා ලොආංගො ප්‍රදේශයට යන කෙනෙකුට දැකගත හැකියි.

ගෝරිල්ලන්ගෙන් ගහන ප්‍රදේශයක්

දකුණු දෙසින් පිහිටි වැසි වනාන්තර මෙන්ම දිය පහරවල් අසල පිහිටි තණ බිම්ද ලෝපේ වනෝද්‍යානයට අයත් වෙනවා. මේවා මිනිසුන්ගෙන් දූෂිත නොවූ පිරිසිදු ස්ථානයි. ගෝරිල්ලන්, චිම්පන්සින් හා මැන්ඩ්‍රිල් වැනි සතුන් දැකගැනීමට කැමති අයට මෙම වනාන්තරය අපූරු තැනක්. වර්ග කිලෝමීටර් 5,000ක් පමණ වන මෙම ආරක්ෂිත ප්‍රදේශයේ ගෝරිල්ලන් 3,000 සිට 5,000ක් අතර සංඛ්‍යාවක් සිටින බව ගණන් බලා තිබෙනවා.

කලින් මෙම වනෝද්‍යානයේ සේවය කළ ඔගස්ටින් 2002දී අද්දුටු අපූරු සිදුවීමක් මෙසේ විස්තර කළා. “මම කැලෑවේ ඇවිදගෙන යනකොට හතරදෙනෙකුගෙන් යුත් ගෝරිල්ලන්ගේ පවුලක් මුණගැසුණා. අවුරුදු 35ක් විතර වයසැති පිරිමි සතා මගේ ඉදිරියටම ආවා. උගේ උස මහතේ හැටියට නම් ඌ මං වගේ තුන් ගුණයක්වත් බර ඇති. මෙවැනි අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන දැනුවත් වී සිටි නිසා මම එකපාරටම බිම ඉඳගෙන ඔළුව පහත් කරගත්තා ඌට යටත් වෙනවා කියලා පෙන්වන්න. ගෝරිල්ලා ඇවිල්ලා මං ළඟින් වාඩි වෙලා ඌගේ අතක් මගේ කර වටා දැම්මා. ඊට පස්සේ ඌ මගේ අත අරගෙන දිග හැරලා අල්ල දිහා බැලුවා. මගෙන් උන්ට හිරිහැරයක් වෙන්නේ නැහැයි කියලා තේරුම්ගත්තාට පස්සේ ඌ කැලෑවට යන්න ගියා. උන්ටම ආවේණික වූ පරිසරයක කෙනෙක් උන්ට හමු වූ විට උන් හැසිරෙන්නේ කොහොමද කියලා මම දැනගත්තේ එදායි. මට ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ. මිනිසුන් මස් ලබාගන්න එහෙමත් නැත්නම් උන් මිනිසුන්ට හිරිහැර කරනවා කියලා හිතන නිසා ගෝරිල්ලන්ව මරනවා. ඒත් උන් ඇත්තටම අහිංසකයි. උන්ව අපි ආරක්ෂා කරන්න ඕනේ.”

ලෝපේ වනෝද්‍යානයේ සාමාන්‍යයෙන් මැන්ඩ්‍රිල් සහ විශාල බැබුන් දැක ගත හැකියි. මුන් විශාල කණ්ඩායම් වශයෙන් එකට එකතු වී සිටිනවා. සමහර අවස්ථාවලදී මෙම රංචුවක් දහසකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ලෝකයේ වැඩියෙන්ම එකතු වී සිටින ක්ෂීරපායි සතුන් අතරින් මුන් එක කොටසක් වන අතර උන් හරිම ඝෝෂාකාරියි. කැමරූන්වල සිට පැමිණි එක් තැනැත්තෙක් ලද අද්දැකීමක් ගැන මෙසේ පැවසුවා.

“සතුන් සිටින තැන හඳුනාගැනීමට භාවිත කරන උපකරණයක් මාර්ගයෙන් මැන්ඩ්‍රිල් ඉන්න තැන අපේ මඟ පෙන්වන්නා දැනගත්තා. ඊට පස්සේ අපි උන් එන මාර්ගයේ හැංගිලා හිටියා. අපිට විනාඩි 20ක් විතර බලාගෙන ඉන්න වුණා. ඒත් කැලෑවෙන් නැඟෙන කුරුල්ලන්ගේ කීචි බීචි නාදය වගේම කුඩා කෘමී සතුන්ගේ මිහිරි නාදය නිසා ඒ කාලය ගෙවුණා දැනුණේවත් නැහැ. ඒ මියුරු නාද අභිභවා එක පාරටම මහා ඝෝෂාවක් ඇසුණා. ඒ මැන්ඩ්‍රිල් කණ්ඩායම එන ශබ්දයයි. උන් බිම දිගේ එන විට මඟ දෙපස අතු පොඩි කර දමමින් නඟන හඬ මට ඇසුණේ හරියට ලොකු කුණාටුවක් එනවා වගේයි. රැළේ ඉදිරියෙන්ම එන මැන්ඩ්‍රිල් කිහිපදෙනාව දැක්කම මට මතක් වුණේ විශාල හමුදාවක් එන විට ඉදිරියෙන් යන භටයන් ඒ මඟ දෙපස එළි පෙහෙළි කරන ආකාරයයි. ඒ රැළේ පිරිමි සතුන් ගාම්භීර ආකාරයකින් වේගයෙන් ඉදිරියෙන් ගමන් කළා. නමුත් රැළේ අනිකුත් ගැහැනු සතුන් හා පැටවුන් පැමිණියේ අත්තෙන් අත්තට පැන පැනයි. එක පාරටම රැළේ හිටපු විශාල එකෙක් සැකයෙන් වගේ ටිකක් නතර වී වට පිට විපරම් කරන්න පටන්ගත්තා. ඒ අතරතුර උඩින් පැන පැන ආ එක පැටියෙක් අපි ඉන්නවා දැකලා රැළේ අනික් උන්ට කෑගහලා අනතුරු ඇඟෙව්වා. ඒ අවස්ථාවේදී උන් හැමෝම එතනින් පලා ගියේ ආවා වගේ දෙගුණයක් ශබ්ද කරමිනුයි. උන්ගේ ඒ ශබ්දයේ ලොකු තරහක් ගැබ් වී තිබුණා. විනාඩි කිහිපයකින් උන් සැමෝම එතනින් ඉවත් වුණා. අපිට මඟ පෙන්වූ තැනැත්තා පැවසුවේ එතන මැන්ඩ්‍රිල් 400ක් විතර ඉන්න ඇති කියායි.”

චිම්පන්සින්ගේ හඬත් මැන්ඩ්‍රිල් වගේ ඝෝෂාකාරී වුණාට උන් කෑම සොයාගෙන කැලෑව පීරගෙන වේගයෙන් යන නිසා උන්ව දැකගැනීම එතරම්ම පහසු නැහැ. මෙහි පැමිණෙන සමහර අයට කැලෑව අද්දර පිහිටි තණ බිම්වල පුටි-නෝස් නමින් හඳුන්වන වඳුරු ජාතියක් දැකගත හැකියි. මෙම කැලෑවේ තවත් සන්-ටේල් නමින් හඳුන්වන වඳුරු ජාතියක්ද සිටිනවා. උන් තනි වී සිටීමට කැමතියි. මෙම වනාන්තරයේ පමණක් දැකිය හැකි මෙම වඳුරන්ව හඳුනාගනු ලැබුවේ මීට වසර 20කට පමණ පෙරයි.

කෑදැත්තා හා ටුරෙකෝ වැනි වර්ණවත් පක්ෂීන්ගේ මිහිරි නාදය මේ වනය සිසාරා පැතිරෙනවා. මෙහි පක්ෂි විශේෂ 400ක් පමණ සිටින බව ගණනය කර තිබෙනවා. කුරුල්ලන්ව නිරීක්ෂණය කිරීමට කැමති අයට මෙය කුරුලු පාරාදීසයක්.

ජෛව විවිධත්වයෙන් යුත් තැනක්

ගැබොන්හි පිහිටි ජාතික වනෝද්‍යාන 13න් අප සලකා බැලුවේ ලොආංගො හා ලෝපේ යන වනෝද්‍යාන දෙක ගැන පමණයි. තවද කඩොලාන ශාක හා විශේෂ ශාක වර්ග ආරක්ෂා කිරීමටත් සංක්‍රමණික කුරුල්ලන්ට ආරක්ෂාව සැපයීමටත් තවත් වනෝද්‍යාන පිහිටුවා තිබෙනවා. ලෝක වන සංරක්ෂණ සංගමයේ සාමාජිකයෙක් වන ලී වයිට් මෙවැනි දෙයක් පැවසුවා. අප්‍රිකාවේ ජෛව විවිධත්වය සඳහා වෙන් කර ඇති හොඳම තැන ගැබොන් කියා කියන්න පුළුවන්. එය විශේෂිත තැනක් වන්නේ එහි ප්‍රමාණය නිසා නොවෙයි. නමුත් එහි පිහිටීම නිසයි. වර්ෂ 2002දී ඉතා කෙටි කාලයක් අතරතුර ගැබොන් හොඳම වනෝද්‍යාන ඇති තැනක් බවට පත්වුණා. ඒ නිසා එම රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

ගැබොන්හි ජනාධිපති පිළිගත් ආකාරයට තවත් බොහෝ අභියෝගවලට මුහුණ දීමට තිබෙනවා. ඔහු මෙසේ පැවසුවා. “අපි කතා කරන්නේ ලෝක ව්‍යාප්තව සිදු කරන මෙහෙයක් ගැනයි. අපේ අනාගත පරම්පරාවට ලෝකයේ තිබෙන මෙවැනි සුන්දර තැන් දැක බලා ගැනීමට නම් අප ඒවා රැකගත යුතුයි. ඒ සඳහා දිගු කාලීන මෙන්ම කෙටි කාලීන පරිත්‍යාග කිරීමට සිදු වෙනවා.”

[17වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

අප්‍රිකාව

ගැබොන්

ගැබොන්හි පිහිටි වනෝද්‍යාන 13

ලෝපේ වනෝද්‍යානය

ලොආංගො වනෝද්‍යානය

[16, 17වන පිටුවේ පින්තූර]

මොල්ලි තල්මසා හා ලොආංගො

[හිමිකම් විස්තර]

Whale: Wildlife Conservation Society

[16, 17වන පිටුවේ පින්තූර]

මැන්ඩ්‍රිල් (වම්පස) ගෝරිල්ලා (දකුණුපස)

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Robert J. Ross