Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“සාමාන්‍යයක් ලෙස ගත් කල එංගලන්තයේ වයස අවුරුදු හයක දරුවෙක් අවුරුද්දක කාලයක් රූපවාහිනිය නරඹා තිබෙනවා. එමෙන්ම වයස අවුරුදු තුනක් වන ළමුන්ගෙන් සියයට 50කටම තමන්ගේ නිදන කාමරවල රූපවාහිනියක් තිබෙනවා.”—එංගලන්තයේ THE INDEPENDENT.

චීනයේ වයස අවුරුදු 16ක් වන යෞවනයින්ගෙන් සියයට 31 පමණ කියා සිටින්නේ තමන් ආගමට ළැදි අය බවයි. මේ අනුව බලද්දී චීනයේ ජනගහනයෙන් “මිලියන 300ක් පමණ ආගමට ළැදි අය විය යුතුයි. නමුත් සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන්නේ එසේ සිටින්නේ මිලියන 100ක් බවයි.”—චීනයේ CHINA DAILY.

යහපතකට වඩා වැඩි අයහපතක්!

පාම් තෙල් භාවිත කරමින් ශක්තිය නිපදවිය හැකියි කියා ලන්දේසි දේශපාලනඥයින් හා පරිසරවේදීන් මීට අවුරුදු කිහිපයකට පෙර සොයාගත්තා. නමුත් එය “පාරිසරික හානියකට” තුඩු දුන්නා කියා එක් සඟරාවක සඳහන් වුණා. “යුරෝපයේ පාම් තෙල්වල අවශ්‍යතාව ඉහළ යෑමත් සමඟම ගිනිකොනදිග ආසියාවේ වැසි වනාන්තර එළි පෙහෙළි කරමින් පාම් වගා කරන්න පටන්ගත්තා.” වගා කටයුතු සඳහා කැලෑ එළි කර ගිනි තැබීම නිසා කාබන් වායුව “විශාල ප්‍රමාණයක්” වායු ගෝලයට මුදාහැරුණා. එහි ප්‍රතිඵලයක් හැටියට ඉන්දුනීසියාව “ලෝකයේ කාබන් මුදාහරින තුන්වැන්නා බවට පත් වී තිබෙනවා. මෙය ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට බලපා තිබෙන බව විද්‍යාඥයින් විශ්වාස කරනවා” කියා එම සඟරාවේ තවදුරටත් පෙන්නුම් කර තිබුණා.—එම සඟරාව The New York Times.

ලෝක විනාශය අත ළඟද?

ලෝක විනාශය ආසන්න බව පෙන්වීමට සාදා තිබෙන ඔරලෝසුවේ (Doomsday Clock) වේලාව කලින් තිබුණාටත් වඩා විනාඩි දෙකක් ඉදිරියට ගෙන සකස් කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ මිනිසුන් න්‍යෂ්ටික යුද්ධයකට කොතරම් ආසන්නව සිටිනවාද කියා පෙන්වීමටයි. මේ අනුව එම ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රියට තිබෙන්නේ තව විනාඩි පහක් පමණයි. මෙම ඔරලෝසුවේ පසුගිය අවුරුදු 60 ඇතුළත මෙලෙස කාලය 18 වතාවක් වෙනස් කර තිබෙනවා. මෙහි කාලය අවසාන වරට වෙනස් කරනු ලැබුවේ නිව් යෝක් නගරයේ නිවුන් කුලුනු කඩා වැටුණාට පසුවයි. එනම් 2002 පෙබරවාරි මාසයේයි. න්‍යෂ්ටික අවිවල දියුණුවත් ඒවා එන්න එන්නම සංකීර්ණ වීමත් නිසා “එමගින් පොළොවට විය හැකි විනාශය වළක්වාගැනීම අපහසු වී තිබෙනවා” කියා එම ඔරලෝසුවේ කාලය සකස් කරන අය කියා සිටිනවා. ඒ වගේම “අද පවතින දේශගුණික වෙනස් වීම් නිසා සිදු විය හැකි විනාශය න්‍යෂ්ටික යුද්ධයකින් සිදු විය හැකි විනාශයට සමාන” බවත් ඔවුන් පවසනවා.—Bulletin of Atomic Scientists නම් සඟරාව ඇසුරෙන්.

දරුවාට බලපාන මවගේ මානසික පීඩනය

ගැබිනි මව්වරුන් තම සහකරුවන් සමඟ බහින් බස් වීම නිසා හෝ වෙනත් ගැටලු නිසා මානසිකව පීඩා විඳීම ඇගේ කුසේ සිටින දරුවාගේ මානසික වර්ධනයට බලපානවා. ඒ බව පරීක්ෂණවලින් ඔප්පු වී තිබෙනවා. ලන්ඩන්හි එක් වෛද්‍ය විද්‍යාලයක මහාචාර්යවරියක් වන විවෙට් ග්ලෙව මෙසේ පවසනවා. “ගැබිනි කාලයේදී පුරුෂයෙක් භාර්යාවකට නපුරු ආකාරයෙන් සැලකීම ඇගේ කුසේ සිටින දරුවාගේ ඉදිරි අනාගත වර්ධනයට බලපානවා. එමනිසා මේ සම්බන්ධයෙන් පියාටත් විශාල වගකීමක් තිබෙනවා.” ඒ දෙදෙනා අතර ඇති බැඳීම “මවගේ ශරීරයේ සිදු වන හෝමෝනවල හා රසායනික සමබරතාවටත් දරුවාගේ මොළයේ වර්ධනයටත් බලපානවා” කියා ඇය තවදුරටත් පවසනවා.

කෙටි ධාවන ගුවන් නියමුවන්

දිනපතා එකම ගමන් පථයක් ඔස්සේ ගමන් කරන කෙටි දුර ධාවන ගුවන් නියමුවන් එතරම් කල්පනාකාරීව එම කාර්යයේ නොයෙදෙන බව ජර්මනියේ එක් විශ්වවිද්‍යාලයක ගුවන් ගමන් විශේෂඥයෙක් වන මයිකල් ෂ්‍රේකන්බර්ග් පවසනවා. හොඳින් හුරු පුරුදු පථවල පියාසර කරන විට ඔවුන් වෙනත් දේවල් ගැන කල්පනා කරමිනුයි පියාසර කරන්නේ. එමනිසා අනතුරක් කලින් හඳුනාගන්න ඔවුන්ට බැරි වෙනවා. මෙම ගුවන් නියමුවන්ට ෂ්‍රේකන්බර්ග් පවසන්නේ ගුවන් ගමන්වල යෙදෙන විට මනස ඒ වෙත පමණක් යොමු කරන්න කියායි.