Skip to content

පටුනට යන්න

මූලිකත්වය දැරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

මූලිකත්වය දැරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

බයිබලයෙන් පිළිතුරක්

මූලිකත්වය දැරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

බොහෝ රටවල විවාහ වන අවස්ථාවේදී විවාහ පොරොන්දු දෙන විට භාර්යාව තම ස්වාමිපුරුෂයාට කීකරු වීමට පොරොන්දු වෙනවා. කෙසේවෙතත් විවාහයෙන් පසුව ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට කීකරු වීමට භාර්යාව කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ නිසා බයිබලයේ මූලිකත්වය සම්බන්ධයෙන් පවසා ඇති දේ සොයා බැලීම වටිනවා. එහි මූලිකත්වය දැරීම ගැන සාධාරණ මෙන්ම ප්‍රායෝගික උපදෙස් අඩංගු වී තිබෙනවා.

දෙවි ඇති කළ සැලැස්ම

බයිබලයේ එෆීස 5:22-24හි මූලිකත්වය සම්බන්ධයෙන් සරලව මෙසේ පවසා තිබෙනවා. ‘භාර්යාවෙනි, ස්වාමීන්ට මෙන් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. මන්ද, ක්‍රිස්තුස් සභාවේ හිස වන්නාක් මෙන් ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස වන්නේය. ඉතින්, සභාව ක්‍රිස්තුස්ට යටත්ව සිටින්නාක් මෙන්, භාර්යාවන්ද තම ස්වාමිපුරුෂයන්ට සියලු කාරණාවලදී යටත් විය යුතුය.’ ස්වාමිපුරුෂයා “භාර්යාවගේ හිස” වශයෙන් පවුලේ මූලිකත්වය ගත යුතු අතර භාර්යාව එය පිළිගෙන එයට ගරු කළ යුතුයි.—එෆීස 5:33.

ස්වාමිපුරුෂයෙකුට මූලිකත්වය දැරීමේදී යම් සීමාවන් තිබෙනවා. ඔහු යෙහෝවා දෙවිට මෙන්ම යේසුස්ට යටත්ව එම මූලිකත්වය දැරිය යුතුයි. ඒ නිසා තම භාර්යාවට දේව නීති කඩ කිරීමට හෝ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කර ඇති ඇගේ හෘදය සාක්ෂියට විරුද්ධව යමක් කිරීමට හෝ බල කරන්න ඔහුට කිසිම අයිතියක් නැහැ. එම නිසා ස්වාමිපුරුෂයෙක් තම සීමාවන් තේරුම්ගෙන පවුලේ ශුභ සිද්ධිය තකා වැදගත් තීරණ ගත යුතුයි. දෙවි ස්වාමිපුරුෂයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එයයි.—රෝම 7:2; 1 කොරින්ති 11:3.

ස්වාමිපුරුෂයන් මූලිකත්වය දැරීමේදී ආත්මාර්ථකාමී නොවී තමන්ගේ යහපත ගැන සිතනවාට වඩා භාර්යාවගේ යහපත ගැන සිතා ක්‍රියා කරන්න කියා බයිබලයේ අණ කර තිබෙනවා. බයිබලයේ එෆීස 5:25හි පවසන්නේ “ස්වාමිපුරුෂයෙනි, ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නාක් මෙන්, ඔබත් ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න” කියායි. යේසුස් පෙන්වූ ප්‍රේමය කිට්ටුවෙන් අනුකරණය කරන ස්වාමිපුරුෂයෙක් කවදාවත් ආත්මාර්ථකාමී ලෙස මූලිකත්වය හොබවන්නේ නැහැ.

තවත් බයිබලයේ ස්වාමිපුරුෂයන්ට උනන්දු කරන්නේ භාර්යාවන් සමඟ “දැනගැන්මට අනුව” ක්‍රියා කරන්න කියායි. (1 පේතෘස් 3:7) මෙයින් අදහස් කරන්නේ ස්ත්‍රියෙකුගේ හා පුරුෂයෙකුගේ ශාරීරික හා මානසික සැකැස්ම අතරෙහි වෙනස දැන සිටිනවාට වඩා වැඩි දෙයක්. එනම් තම භාර්යාවගේ අවශ්‍යතාවන් හොඳින් වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමයි.

‘ඇය ඔබේ සහකාරියයි’

භාර්යාවක් ස්වාමිපුරුෂයාට යටත් වෙනවා කීමෙන් අදහස් කරන්නේ සම්පූර්ණයෙන් නිහඬතාව රැකීම නෙවෙයි. බයිබලයේ සඳහන් කර තිබෙන සාරා නම් කාන්තාවගේ ආදර්ශය සලකා බලන්න. ඇය තම ස්වාමිපුරුෂයා වූ ආබ්‍රහම්ට යටත්ව කීකරුව සිටි කෙනෙක්. (1 පේතෘස් 3:5, 6) ඇය තමන් ජීවත් වෙමින් සිටි සැප පහසු ජීවිත රටාව පරිත්‍යාග කර කූඩාරම්වල ජීවත් වීමට එකඟ වුණා. තවත් අවස්ථාවකදී තම ස්වාමිපුරුෂයාගේ ඉල්ලීමකට අනුව හදිසියේම කෑම පිළියෙල කරන්න සිදු වුණා. මෙලෙස පදිංචිය වෙනස් කිරීම වැනි ජීවිතයේ ලොකු කාරණාවලදී මෙන්ම එදිනෙදා ජීවිතයේ සුළු කාරණාවලදී පවා ඇය ඔහුට කීකරු වුණා. (උත්පත්ති 12:5-9; 18:6) කෙසේවෙතත් පවුලේ යම් බරපතළ කාරණයක් සම්බන්ධයෙන් ඇය ආබ්‍රහම් දැරූ මතයට වඩා වෙනස් මතයක් දරන බව කිහිපවතාවක්ම පැවසුවා. ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ හාගර්ව සහ ඇගේ පුතා වන ඉෂ්මායෙල්ව නිවසින් පිටත් කළ යුතු බව ඇය කියා සිටියා. ඒ අවස්ථාවේදී දෙවි “ඇයට සවන් දෙන්න” කියා ආබ්‍රහම්ට පැවසුවා. ඒත් සාරා දිගටම ආබ්‍රහම්ට කීකරු වී ඔහු හාගර් හා ඇගේ පුත්‍රයා නිවසින් පිටත් කරන තුරු බලා සිටියා.—උත්පත්ති 21:8-14.

එම සිද්ධියෙන් පැහැදිලි වන ලෙස භාර්යාවක් යනු ස්වාමිපුරුෂයාගේ ‘සහකාරියයි.’ ඇයටත් පවුලේ නිසි ගෞරවය ලැබිය යුතුයි. (මලාකි 2:14, නව ලොව පරිවර්තනය, NW) සහකාරිය ලෙස ඇයටත් පවුලේ ශුභ සිද්ධිය වෙනුවෙන් යම් යම් යෝජනා ඉදිරිපත් කළ හැකියි. ඒ වගේම මුදල් හා සම්බන්ධ කාරණා මෙන්ම නිවස පාලනය කිරීම වැනි වගකීම්ද ඇය සතු වෙනවා. කෙසේවෙතත් පවුලේ මූලිකයා ලෙස පවුලේ කාරණා සම්බන්ධයෙන් අවසාන තීරණය ගන්නේ ස්වාමිපුරුෂයායි.—හිතෝපදේශ 31:10-31; 1 තිමෝති 5:14.

නිර්මාතෘට ගෞරව කරන්න

යෙහෝවා දෙවි පළමු පුරුෂයා වන ආදම්ව සහ පළමු ස්ත්‍රිය වන ඒවව මැව්වා. ඉන්පසු දෙවි ඔවුන් ප්‍රීතියෙන් එකට කල් ගෙවීම සඳහා විවාහය නමැති සැලැස්මකට ඔවුන්ව ඇතුළත් කළා. (උත්පත්ති 2:18-24) ඒ වගේම විවාහ ජීවිතයේ වඩාත් ප්‍රීතියක් ලැබීම සඳහා ස්වාමිපුරුෂයා හා භාර්යාව ඔවුනොවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමද දෙවි බලාපොරොත්තු වෙනවා.—ද්විතීය කතාව 24:5; හිතෝපදේශ 5:18.

විවාහයේ ආරම්භකයාණන් ලෙස විවාහ ජීවිතය ගැන නීති පැනවීමට අයිතිය තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි. විවාහ ජීවිතයේදී ස්වාමිපුරුෂයා හා භාර්යාව තමන්ට අයිති කොටස නිසි අයුරින් ඉටු කරනවා නම් හා දෙවිගේ මූලිකත්වය පිළිබඳ සැලැස්මට කීකරු වීම යුතුකමක් ලෙස නොව දෙවිට තිබෙන ප්‍රේමය නිසා මුළු සිතින්ම පිළිපදිනවා නම් දෙවිගේ අනුමැතිය මෙන්ම උපකාරයද ලැබෙනවා නොඅනුමානයි.

මේ ගැන ඔබ සිතුවාද?

▪ මූලිකත්වය දැරීම පිළිබඳ හොඳම ආදර්ශය තැබුවේ කවුද?—එෆීස 5:25.

ස්වාමිපුරුෂයෙකු මූලිකත්වය දැරිය යුතු ආකාරය සම්බන්ධයෙන් දෙවි සීමා පනවා තිබෙනවාද?—1 කොරින්ති 11:3.

විවාහ සැලැස්ම හා මූලිකත්වය පිළිබඳ දෙවි ඇති කළ සැලැස්මේ අරමුණ කුමක්ද?—හිතෝපදේශ 5:18.

[28වන පිටුවේ පින්තූරය]

යේසුස් දැරූ මූලිකත්වය ස්වාමිපුරුෂයා අනුකරණය කරනවා නම් දෙදෙනාටම ප්‍රීතිය හා තෘප්තිය අද්දකින්න පුළුවන්