Skip to content

පටුනට යන්න

ලොව ප්‍රසිද්ධ නගරයක් වූ ධීවර ගම්මානය

ලොව ප්‍රසිද්ධ නගරයක් වූ ධීවර ගම්මානය

ලොව ප්‍රසිද්ධ නගරයක් වූ ධීවර ගම්මානය

ජපානයේ පිබිදෙව්! ලේඛක විසින්

වර්ෂ 1590 අගෝස්තු මස එක් සුන්දර දවසක ටෝකුගුවා ඉයැස්යු (දකුණුපස පින්තූරය) නැඟෙනහිර ජපානයේ ඉඩෝ නම් ධීවර ගම්මානය වෙත ගියා. පසු කාලයකදී ජපානයේ පළමුවන ටෝකුගුවා ෂෝගන් * බවට පත්වුණේ ඔහුයි. එක් පොතක සඳහන් වන පරිදි එවකට “ඉඩෝ නගරයේ ධීවරයින්ගේ හා දුප්පතුන්ගේ කැඩී බිඳී ගිය නිවෙස් සිය ගණනක් දක්නට ලැබුණා.” අවුරුදු සියයකට වඩා පැරණි ගරා වැටුණු සුවිසල් මන්දිරයක්ද මෙහි දක්නට තිබුණා.—එම පොත The Shogun’s City—A History of Tokyo.

සියවස් ගණනාවක් පුරා කිසිවෙක් දැන නොසිටි මෙම පුංචි ගම්මානය පසුව ජපානයේ අගනුවර වූ ටෝකියෝ බවට පත්වුණා. ඒ විතරක් නොවෙයි එය කොතරම් විශාල නගරයක් වුණාද කියනවා නම් එහි ජනගහනය මිලියන 12කට වඩා වැඩි වුණා. එමෙන්ම එය තාක්ෂණය, සංනිවේදනය, ප්‍රවාහණය හා වාණිජ්‍ය වැනි දේවල්වල දියුණුවේ හිණිපෙත්තටම නැඟ තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනද මෙහි දක්නට තිබෙනවා. මෙම පුදුමාකාර වෙනසට හේතු වූයේ කුමක්ද?

ගම නගරයක් වූ ආකාරය

වර්ෂ 1567දී පමණ වැඩවසම් යුගයේ සිටි වංශාධිපතීන් විසින් ජපානය ප්‍රදේශවලට වෙන් කළ අතර ඒවා පාලනය කළේ වංශාධිපතීන් විසිනුයි. වර්ෂ 1585දී එතරම් උසස් පෙළපතකට අයත් නොවූ හයිඩායෝෂි ටොයටෝමි නම් වංශාධිපතියා මුළු රටේම පාලකයා බවට පත් වූ අතර ඔහු මුළු දේශයෙන් අඩක්ම එක්සත් කිරීමට සමත් වුණා. වැඩිකල් යන්න මත්තෙන් මෙම බලවත් හයිඩායෝෂිට එරෙහිව ටෝකුගුවා ඉයැස්යු සටන් කළ නමුත් පසුව ඔහුත් හයිඩායෝෂි සමඟ එක් වුණා. ඉන්පසු මේ දෙදෙනාම එක්ව හාජෝ නම් වංශවත් පෙළපතට හිමි ඔදවාරාහි තිබූ මාලිගාවත් නැඟෙනහිර ජපානයේ කාන්ටෝ නම් ප්‍රාන්තයත් වැටලූ අතර ඒවා අත්පත් කරගැනීමටද ඔවුන් සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟම හයිඩායෝෂි විසින් ටෝකුගුවා ඉයැස්යුට කාන්ටෝ ප්‍රාන්තයට අයත්ව තිබූ ප්‍රදේශ අටක් බාර දුන්නා. එම ප්‍රදේශ කලින් හාජෝ පෙළපතේ පාලන ප්‍රදේශවලට අයත්ව තිබුණු ඒවායි. කෙසේනමුත් හයිඩායෝෂි, ඉයැස්යුට එම ප්‍රදේශ බාර දීමට හේතු වූයේ එවකට ජපාන අධිරාජ්‍යයා විසූ කියොටෝ නගරයෙන් ඔහුව ඈත් කර තැබීමට ඔහුට වුවමනා වූ නිසයි. මෙම යෝජනාවට ඉයැස්යු එකඟත්වය පළ කළා. මෙම ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට ටෝකුගුවා ඉඩෝ නගරයට පැමිණියේ ඒ අයුරිනුයි. ඉන්පසු ඔහු ඉඩෝ ඔහුගේ පාලන මධ්‍යස්ථානය බවට පත් කරගත්තා.

හයිඩායෝෂිගේ මරණයත් සමඟම ඉයැස්යු හමුදාවක් එකතු කරන්න පටන්ගත්තා. මෙයට නැඟෙනහිර ජපානයේ සොල්දාදුවන් බොහෝමයක්ද එකතු වුණා. ඉන්පසු ඔවුන් එක්ව බටහිර හමුදාවට විරුද්ධව සටනක් දියත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1600දී එක් දවසකින් ඔහු ජයග්‍රහණය ලැබුවා. වර්ෂ 1603දී ඉයැස්යු ෂෝගන් පදවිය ලැබූ අතර ඔහු දේශයේ පාලකයා බවට පත්වුණා. ඉන්පසු ඉඩෝ ගම්මානය ජපානයේ පාලන මධ්‍යස්ථානය බවට පත් වුණා.

ඉයැස්යුගේ අණ පරිදි මෙහි සුවිසල් මන්දිරයක් ඉදි කිරීම සඳහා සේවකයන් සහ ගොඩනැඟිලි ද්‍රව්‍ය සැපයීමට වංශාධිපතීන්ට අණ කළා. එක් අවස්ථාවකදී ඊට අවශ්‍ය කරන ග්‍රැනැයිට් ගල් රැගත් නැව් 3,000ක් පමණ කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි ඊසූ අර්ධද්වීපයේ සිට පැමිණියා. ඉන්පසු මෙම විශාල ගල් වරායේ සිට සේවකයන් 100කින් යුත් කණ්ඩායමක් යොදාගෙන මාලිගාව ඉදි කරන ස්ථානය වෙත ගෙන ගියා.

ජපානයේ දැවැන්තම මාලිගාව ලෙස සැලකෙන මෙය නිම කිරීමට වසර 50ක් පමණ ගත වුණා. එය නිම කළේ තුන්වන ෂෝගන්ගේ පාලන සමයේදීයි. මෙම සුවිසල් මාලිගය ටෝකුගුවාගේ පාලනයේ සාර්ථකත්වය මැනවින් කියාපායි. ෂෝගන්ට සේවය කළ සොල්දාදුවන් මෙම මාලිගය අවට පදිංචි වුණා. ෂෝගන්ගේ අණ පරිදි එවකට සිටි වංශාධිපතීන් තම පාලන ප්‍රදේශවල තමන්ට අයිතිව තිබූ මාලිගාවට අමතරව මෙම මාලිගය අවටින්ද නිවහන් තනාගනු ලැබුවා.

මෙසේ ඉඩෝහි ජනගහනය කෙමෙන් කෙමෙන් වැඩිවීමත් සමඟම ඔවුන්ගේ අවශ්‍යතා සැපයීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් වෙළඳුන් සහ නිර්මාණ ශිල්පීන් මෙහි පැමිණියා. ඉයැස්යු ටෝකුගුවා ඉඩෝ ගම්මානයට පැමිණ වසර 100ක් පමණ ගත වන විට එනම් 1695 වන විට එහි ජනගහනය මිලියනය දක්වා ඉහළ ගියා! එය එවකට ලොව වැඩිම ජනගහනයක් සිටි නගරය බවට පත් වුණා.

සංස්කෘතික වෙනස්කම්

ෂෝගන්ගේ පාලන සමය ඉතාමත් සාමකාමී කාලයක් වුණා. මේ නිසා එදා සිටි සොල්දාදුවන්ට කිරීමට එතරම් කාර්යයක් තිබුණේ නැති තරම්. වසර 250කටත් වඩා වැඩි කාලයක් පුරා දේශයේ සාමය පැතිර තිබුණු නිසා වැසියන්ගේ අවධානය වැඩි වැඩියෙන් වෙළඳාම වෙත යොමු වුණා. වෙළඳුන් පමණක් නොව සාමාන්‍ය වැසියනුත් පුදුමාකාර සමෘද්ධියක් අද්දැක්කා.

ඔවුන් අද්දැක්ක මේ නිදහස නිසා ඔවුන්ගේ සතුටට දායක වන බොහෝ දේවල් භුක්ති විඳින්න පටන්ගත්තා. කබූකි නමින් හඳුන්වන සුප්‍රසිද්ධ ඓතිහාසික සිද්ධීන් ඇතුළත් නාට්‍ය දර්ශන නරඹන්නත් බොන්රාකු නමින් හඳුන්වන රූකඩ නාට්‍යය නරඹන්නත් ඔවුන් පටන්ගත්තා. මේ කාලයේදීම රාකුගෝ නමින් හඳුන්වන විකට කතා කීමද ඉතා ප්‍රචලිත වුණා. ගිම්හාන සමයේ හොඳින් හිරු පායා ඇති දිනවල සවස් කාලයේ සුමෙඩා ගං ඉවුර දිගේ නිදහසේ කාලය ගත කරන්න බොහෝදෙනා පුරුදු වී සිටියා. එවන් දිනයන්හි රාත්‍රියේ ඔවුන් නෙත් වසඟ කරන මල් වෙඩි සංදර්ශන නැරඹීමෙන් ලැබුවේ අපමණ සතුටක්. මෙවැනි මල් වෙඩි සංදර්ශන අද දක්වා ප්‍රචලිතව පවතිනවා.

වසර 200කට වඩා වැඩි කාලයක් මෙම නගරය ලොව කිසිවෙක් නොහඳුනන නගරයක්ව පැවතුණා. ඊට හේතුව මෙහි වැසියන්ට විදේශිකයන් සමඟ කිසිම සම්බන්ධකමක් පැවත්වීමට අවසර නොමැති වීමයි. කෙසේනමුත් ලන්දේසි, චීන සහ කොරියානුවන් සමඟ පමණක් ඉතා සුළු වශයෙන් සබඳතා පැවැත්වීමට ඔවුන්ට අවසර තිබුණා. මෙසේ කාලය ගෙවෙද්දී දිනක් ඔවුන් බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණා. මෙම සිදුවීම ඉඩෝ නගරයේ පමණක් නොව මුළු දේශයේම විශාල විපර්යාසයකට හේතු පාදක වුණා.

ශීඝ්‍ර වර්ධනයක්!

දිනක් ඉඩෝ වෙරළ ආසන්නයේ සිටි ධීවරයින් මුහුදේ ඈතින් කලු දුමාරයක් පිට වෙන බව දුටුවා. බියට පත් ධීවරයින් සිතුවේ මේ දුම් ගිනි කන්දක් පිපිරීම නිසා ඇති වූවක් කියායි. මේ රාවය මුළු නගරය පුරාම පැතිර ගිය නිසා බොහෝදෙනෙක් නගරය අත්හැර පාලා ගියා.

ඔවුන් එසේ සිතුවත් ඈතින් දුටු දුමාරය ගිනි කන්දක් පිපිරී ගිය නිසා ඇති වූවක් නොව නමුත් එය ඉඩෝ දෙසට පැමිණෙන නැව්වලින් පිට වූවක් බව පසුව ඔවුන් තේරුම්ගත්තා. වර්ෂ 1853 ජූලි මාසයේ 8වෙනිදා ඉඩෝ වරායේ නැංගුරම් ලා ගත් මෙම නැව්වලින් පැමිණියේ එක්සත් ජනපදයේ නාවික කොමදෝරු මැතිව් සී. පෙරී ඇතුළු පිරිසයි. (වම්පස පින්තූරය) ජපානය සමඟ වෙළඳ සබඳතා ඇති කරගැනීමට තම රට කැමති බව පෙරී දන්වා සිටියා. පෙරීගේ පැමිණීමත් සමඟම ජපානය කොතරම් යල්පැන ගිය දේවල්වලින් පිරී තිබෙනවාද කියා පාලකයන් තේරුම්ගත්තා. එමෙන්ම ලෝකයේ අනිකුත් රටවල්වල හමුදා හා තාක්ෂණික දියුණුව සමඟ සසඳා බලන විට ජපානය ඉතාමත් නොදියුණු අඩියක සිටින බවත් ඔවුන්ට වැටහුණා.

මෙම සිදුවීම තවත් සිදුවීම් ගණනාවකට මඟ පෑදුවා. එය ෂෝගන් පාලනයට සමු දීමටත් නැවතත් අධිරාජ්‍යය පාලනය ආරම්භ කිරීමටත් හේතු පාදක වුණා. වර්ෂ 1868දී ඉඩෝ නගරය ටෝකියෝ ලෙස නම් කිරීමත් විශේෂත්වයක්. එහි අර්ථය “නැඟෙනහිර අගනුවර” යන්නයි. ජපන් අධිරාජ්‍යයා කියොටෝ නගරයේ තිබූ තම මාලිගයේ සිට ඉඩෝහි තිබෙන මාලිගාවට පදිංචිය මාරු කළේද මේ කාලයේදීයි.

බටහිර සංස්කෘතිට ඉක්මනින් හුරුවීම නිසා ජපානය විශාල වෙනස්කම්වලට භාජන වුණා. ඉතාමත් ඉක්මනින් වෙනස්කම් රාශියක් සිදු වූ නිසා සමහර අය මෙම කාල සීමාව ආශ්චර්යමත් කාලයක් කියා හඳුන්වනවා. වර්ෂ 1869දී ටෝකියෝ සහ යොකොහමා යන නගර අතර විදුලි පණිවිඩ යැවීමේ ක්‍රමය භාවිත කරන්න පටන්ගත්තා. එමෙන්ම මේ නගර දෙක සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයක්ද ඉදි කරනු ලැබුවා. ලී නිවෙස් වෙනුවට ගඩොල් නිවෙස්ද බැංකු, හෝටල්, ආපන ශාලා හා වෙළඳ සංකීර්ණද ඉදි වුණා. ඒ වගේම විශ්වවිද්‍යාලද පිහිටවනු ලැබුවා. වැලි පාරවල් වෙනුවට මහා මාර්ග පද්ධතියක් ඉදි වුණා. සුමෙඩා නදියේ එහා මෙහා ගමන් කිරීමට හැකි වන සේ හුමාලයෙන් ක්‍රියා කරවන බෝට්ටු සේවයක්ද ආරම්භ වුණා.

බටහිර ආභාෂය නිසා මිනිසුන් අඳින පළඳින ආකාරය පවා වෙනස් වුණා. වැඩි පිරිසක් ඔවුන්ගේ සම්ප්‍රදායික ඇඳුම වන කිමෝනාවලට මුල් තැන දුන්නත් වැඩි වැඩියෙන් ඔවුන් බටහිර පන්නයේ මෝස්තර සහිත ඇඳුම් ඇඳීමටද පටන්ගත්තා. පිරිමින් උඩු රැවුල වවා තොප්පියත් සැරයැටියකුත් ඇතිව සිටින්න පුරුදු වුණේ බටහිර පන්නයේ මෝස්තර බෝ වීමේ ප්‍රතිඵලයක් හැටියටයි. එමෙන්ම සමහර ස්ත්‍රීන් නැටුම්ද ඉගෙනගන්න පටන්ගත්තා.

බියර් ඔවුන්ගේ ප්‍රියතම පානය බවට පත් වුණා. ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන සූමෝ හා සමාන ප්‍රසිද්ධියක් බේස් බෝල් ක්‍රීඩාවටද හිමි වුණා. ටෝකියෝ පිටරටින් පැමිණි මේ සියලු වෙනස්කම් වැළඳගත්තේ මහත් ආශාවෙන්. නගරය දිනෙන් දින දියුණුවේ සෑම අදියරක්ම පසු කර යන්න සමත් වුණා. නමුත් මේ සියල්ල සුනු විසුණු වීමට ගත වුණේ සුළු මොහොතක් පමණයි!

විපතක් කළ විනාශය!

වර්ෂ 1923 සැප්තැම්බර් 1වෙනිදා දහවල් සියලුදෙනාගේ බලාපොරොත්තු සුන් කරමින් කාන්ටෝ ප්‍රදේශයේ මහත් භූමිකම්පාවක් ඇති වුණා. ඉන් සුළු මොහොතකට පසු වැල නොකැඩී තවත් සුළු භූමිකම්පා සිය ගණනක් ඇති වුණා. පැය 24කට පමණ පසු දරුණු භූ චලනයක්ද ඇති වූ නිසා තත්වය තව තවත් දරුණු අතට හැරුණා. මේ විපත නිසා ටෝකියෝ නගරයේ බොහෝ ස්ථාන සුනු විසුණු වී ගියා. මෙම විනාශයෙන් නැති වූ ජීවිත සංඛ්‍යාව 1,00,000කට වඩා වැඩි වූ අතර ඉන් 60,000ක්ම ටෝකියෝ වැසියන් වුණා.

කෙසේනමුත් ටෝකියෝ වැසියන් කාර්යක්ෂමව තම නගරය නැවත ගොඩනැඟීමේ කාර්යයෙහි නිරත වුණා. ඔවුන් නගරය යථා තත්වයට පත් කිරීමට පෙර දෙවන ලෝක මහා යුධ සමයේදී තවත් ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවීම මොන තරම් කනගාටුදායකද! වර්ෂ 1945 මාර්තු 9වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට අලුයම තුන පමණ වන තුරු නොනවත්වා ඇද හැළෙන වර්ෂාවක් මෙන් ගුවන් ප්‍රහාර 7,00,000ක් එල්ල වුණේ සිතාගන්නවත් බැරි ආකාරයටයි. මෙම බෝම්බ ප්‍රහාරවලින් මිනිසුන් 77,000කට අධික සංඛ්‍යාවක් මිය ගියා. නිවෙස් තිබූ තැනක සලකුණක්වත් ඉතුරු වුණේ නැහැ. මෙය න්‍යෂ්ටික අවි භාවිත නොකර ඉතිහාසයේ සිදු කළ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙනවා.

කෙසේනමුත් මෙම මහත් විනාශයෙන් පසුව මෙම නගරය විශ්මයජනක ආකාරයකින් නැවතත් ගොඩනඟනු ලැබුවා. එය සිදු වී වසර 20ක් ගත වෙන්නත් ප්‍රථම එනම් 1964දී ටෝකියෝ නගරය ඔලිම්පික් තරඟ පැවැත්වීම සඳහා සුදුසු තත්වයකට පත් කරනු ලැබුවා. එමෙන්ම පසුගිය වසර 40 පුරාම මෙහි අස්සක් මුල්ලක් නෑර මං මාවත් සහ ගොඩනැඟිලි ඉදි කර තිබෙන බවද දැකගන්න පුළුවන්.

උත්සාහවන්තයා ජය ගනියි!

වසර 400ක් තරම් පැරණි නගරයක් වුණත් මෙය ලොව අනිකුත් ප්‍රධාන නගර හා සසඳන විට එතරම් පැරණි නොවන බව පෙනී යනවා. අතීතය සිහි කර දෙන ගොඩනැඟිලි එතරම් දක්නට නැහැ. නගරයේ සැලැස්ම දෙස සමීප බැල්මක් හෙළන කෙනෙකුට ඉඩෝ නගරයේ සැලැස්ම එහි තිබෙන බව දැකගත හැකි වෙනවා.

ටෝකියෝ නගර මධ්‍යයෙහි කොළ පාටින් දිස් වෙන සුන්දර පරිසරයක් දැකගන්න පුළුවන්. මෙය අධිරාජ්‍යයාගේ මාලිගාව සාදා තිබෙන ස්ථානය හා එහි අවට පරිසරයයි. අතීතයේ ඉඩෝ සුවිසල් මාලිගය ඉදි කර තිබුණේද මෙම ස්ථානයේයි. මෙම ස්ථානයේ සිට නගරය පුරා දසත විහිදී යන සංකීර්ණ මහා මාර්ග පද්ධතියක් දැකගන්න පුළුවන්. ඒ මේ අත විහිදී ගිය මෙම මාර්ග ඉපැරණි ඉඩෝ නගරයේ ස්වරූපයට සමානයි. මෙහි තිබෙන බොහෝ මාර්ග නම් කර නැහැ. නමුත් ලොව වෙනත් ජනාකීර්ණ නගරවල මෙන් මෙම නගරයෙත් සෑම පැත්තකටම විහිදී යන ආකාරයෙන් ගොඩනැඟිලි සාදා තිබෙන අතර ඒ ගොඩනැඟිලි අංක කර තිබෙනවා.

අතීතයේ සිට ටෝකියෝහි කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ අලුත් දේ උරාගැනීමට ඔවුන් සතු හැකියාවයි. භූමිකම්පා, ආර්ථික බිඳ වැටීම් සහ අධික ජනගහනය වැනි අභියෝගවලට මුහුණ දුන්නත් ඉදිරියට ගමන් කරන්න ඔවුන්ට තිබෙන අධිෂ්ඨාන ශක්තිය නම් ප්‍රශංසනීයයි. පුංචි ධීවර ගම්මානයකින් බිහි වූ මෙම සුප්‍රසිද්ධ ටෝකියෝ නගරය දැක බලාගන්න ඔබටත් අවස්ථාවක් ලැබෙනවා නම් එය මොන තරම් සුන්දර අද්දැකීමක් වේවිද!

[පාදසටහන]

^ 3 ඡේ. ෂෝගන් ලෙස හඳුන්වන්නේ ජපාන හමුදාවේ අණ දෙන නිලධාරියාගේ පදවියයි. ඔහුට මෙම නිලය ලැබුණේ ඔහුගේ පරම්පරාවෙනුයි. ජපන් අධිරාජ්‍යයා යටතේ සිටියත් පාලනය කිරීමට පූර්ණ බලතල ඔහුට ලැබී තිබුණා.

[11වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ජපානය

ටෝකියෝ (ඉඩෝ)

යොකොහමා

කියෝතො

ඔසාකා

[12, 13වන පිටුවේ පින්තූරය]

අද ටෝකියෝ නගරය

[වාක්‍ය කණ්ඩය]

Ken Usami/​photodisc/​age fotostock

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© The Bridgeman Art Library

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

The Mainichi Newspapers