Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

නෝවාගේ නැව විශිෂ්ට නිර්මාණයක් (2007 ජනවාරි) නෝවාගේ නැව විශිෂ්ට නිර්මාණයක් කියලා මම දැනගෙන හිටියා. ඒත් ඒක සෑදුව ආකාරය ගැන නම් මට අවබෝධයක් තිබුණේ නැහැ. ඒත් මෙම ලිපියෙන් ඒ නැවේ උස, දිග සහ පළල ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත්තා. එය වතුරට ඔරොත්තු දෙන විදිහට සාදා තිබුණු ආකාරය ගැනත් සරලව පැහැදිලි කර තිබුණා. මම එම ලිපියේ පෙන්වා තිබුණ රූප සටහන භාවිත කරගෙන සභාවේ ඉන්න දරුවන් එක්ක එකතු වෙලා නැවේ ආකෘතියක් හැදුවා. කඩදාසිවලින් සත්තු හදලා නැවට ඇතුල් කළා. නෝවා සහ ඔහුගේ පවුලේ අයව චිත්‍රයට නැඟුවා. එදා නෝවා නැව සෑදූ ආකාරය ගැන අපිට වඩාත් අවබෝධයක් ඒ තුළින් ලැබුණා. මේ ලිපිය සකස් කළාට හුඟක් ස්තුතියි.

ජපානයේ ටී. ඒ.

මගේ පුතාට වයස අවුරුදු හයයි. එයා හරි ආසයි එක එක දේවල් හදලා බලන්න. මේ ලිපිය අවසානයේ නෝවාගේ නැවක ආකෘතියක් සාදාගන්න ආකාරය තිබෙනවා දැක්කම අපි දෙන්නාට දැනුණේ පුදුම සතුටක්! එහි දීලා තිබුණු පියවර අනුව අපි නැවක් හැදුවා. ඒ නැව හදලා එදා හවස මොන තරම් සතුටු වුණාද! එම ලිපිය සැපයීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. කාර්යබහුල ලෝකයක ජීවත් වෙන අපිටත් හැම දවසකම අභියෝගවලට මුහුණ දෙන දරුවන්ටත් පිබිදෙව්! වැනි සඟරා කරන්නේ ලොකු මෙහෙවරක්. ඒ තුළින් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අනුව දරුවන්ව හැඩගස්වා ගන්න දෙමාපියන්ට ලොකු උපකාරයක් ලැබෙනවා.

අමෙරිකාවේ එම්. එෆ්.

යෞවන අය අසති . . . මේ පුරුද්ද අත්හරින්න මට පුළුවන් වෙයිද? (2006 නොවැම්බර්) යෙහෝවා දෙවි අපි ගැනත් අපි මුහුණ දෙන ගැටලු ගැනත් කොච්චර නම් සැලකිලිමත් වෙනවාද කියලා මට මේ ලිපිය කියවද්දී හැඟුණා. අපේ අතින් යම් යම් අඩු පාඩුකම් සිදු වුණත් දෙවි ඒවාට ‘කමා වන්ට සූදානමින්’ සිටින බව දැනගැනීම මොන තරම් සහනයක්ද! (ගීතාවලිය 86:5) දෙවි සපයන මේ උපකාරය ගැන දැන සිටීම යෞවනයන්ට “යොවුන් වියට ආවේණික වූ ආශාවලින් පලා යන්න” උපකාරයක්.—2 තිමෝති 2:22.

බ්‍රසීලයේ වී. එෆ්. එෆ්.

යෞවන අය අසති . . . මේ තරම් නීති මොකටද? (2006 දෙසැම්බර්) මම බයිබලය ගැන ඉගෙනගන්න පටන් අරන් දැන් අවුරුදු හයක් විතර වෙනවා. මගේ දෙමාපියන් දරුවන් හැටියට අපිට නීති රීති දාලා තිබුණත් මම දන්නවා අම්මයි තාත්තයි මට හුඟක් ආදරෙයි කියලා. ඒත් මේ ලිපිය කියවීමෙන් පස්සේ දෙමව්පියන් අපි කෙරෙහි දක්වන සැලකිල්ලත් දෙවි අපි කෙරෙහි දක්වන සැලකිල්ලත් හොඳින් වටහාගෙන එය අගය කරන්න මට හැකි වුණා.

තායිලන්තයේ කේ. ටී.

කලින් මම අකීකරු පුත්‍රයෙක් (2006 දෙසැම්බර්) මම යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පටන්ගත්තේ 1992දීයි. නමුත් කාලයක් යනකොට දෙවි බලාපොරොත්තු වන ක්‍රමයට වඩා වෙනස් ජීවිතයක් ගත කරන්න මට අවශ්‍ය වුණා. මෙරෝස් සන්ඩේ වගේ මගේ ජීවිතයෙත් මම සතුටින් හා දුකින් හිටපු අවස්ථා තියෙනවා. අවුරුදු තුනක් විතර මම යෙහෝවා දෙවිට සේවය කරන එක අතහැරලා දාලා හිටියා. නමුත් දෙවිගේ උපකාරය ඇතුව මට නැවත හැරිලා එන්න පුළුවන් වුණා. මෙම ලිපිය ලබා දුන්නාට හුඟක් ස්තුතියි.

යුක්‍රේනයේ ඩී. කේ.

යෞවන අය අසති . . . මේ වයසේ පෙම් කිරීම සුදුසුද? (2007 ජනවාරි) මට දැන් වයස අවුරුදු 15යි. මම මගේ නැන්දාගේ ගෙදර ගිය වෙලාවේ මට වයස අවුරුදු 17ක යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර පිරිමි ළමයෙක්ව මුණගැහුණා. මුලින් අපි ඉඳ හිට අන්තර්ජාලය මගින් කතා බහ කළා. අන්තිමට ඒක ප්‍රේම සම්බන්ධයකට පෙරළුණා. පසුව මට මේ ලිපිය කියවන්න ලැබුණු නිසා මම කළ යුත්තේ කුමක්ද කියලා මට වැටහුණා. මේ පිබිදෙව්! ලිපියේ හා මගේ දෙමව්පියන්ගේ උපකාරය ඇතුව මම තීරණය කළා ඒ සම්බන්ධය නතර කරන්න. අපි දෙන්නා අතර දැන් තියෙන්නේ යාළුකමක් විතරයි. මම දැන් මුල් තැන දෙන්නේ දෙවි සමඟ තිබෙන මගේ මිත්‍රත්වයටයි. මට දේවල් පැහැදිලිව වටහාගන්න උපකාර ලැබුණු ඒ ලිපිය ලබා දුන්නාට හුඟක් ස්තුතියි.

කැනඩාවේ ඩී. ඩී.