Skip to content

පටුනට යන්න

අපරාධවලට නිමාවක් තිබෙනවාද?

අපරාධවලට නිමාවක් තිබෙනවාද?

අපරාධවලට නිමාවක් තිබෙනවාද?

“අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙන පරිදි අපරාධ කිහිපයක් කර තිබෙන අය සිර දඬුවම් ලැබූ පසු පවා දිගටම එවැනි ක්‍රියාවල යෙදෙනවා. ඔවුන්ව යහමඟට ගැනීමට ගත් උත්සාහය මුදල්වලින් මනින්න බැහැ. මොවුන්ගේ ගණන එන්න එන්නම වැඩි වෙනවා” කියා ආචාර්ය ස්ටෑන්ටන් ඊ. සැමේනෝ ඔහු විසින් ලියූ පොතක සඳහන් කර තිබෙනවා.—එම පොත INSIDE THE CRIMINAL MIND.

ඔබ ලෝකයේ කොතැනක ජීවත් වුණත් සෑම දවසකම විවිධ මාදිලියේ අපරාධ ඔබට අහන්න දකින්න ලැබෙනවා. ඒ නිසා අපට මෙවැනි ප්‍රශ්න ඇතිවීම සාධාරණයි. දඩගැසීම, සිරගත කිරීම හා වෙනත් දඬුවම් මගින් මෙම අපරාධ අවම කිරීමට හැකි වී තිබෙනවාද? සිර දඬුවම් දීම අපරාධ නැවැත්වීමට මඟක්ද? මේවාට මූලික හේතුව සොයා බලා තිබෙනවාද?

අපරාධ වැළැක්වීමට ගෙන තිබෙන ක්‍රියා මාර්ග ගැන ආචාර්ය ස්ටෑන්ටන් ඊ. සැමේනෝ පවසන්නේ මෙසේයි. “සිරගෙවල්වල කාලයක් සිටීමෙන් පසු අපරාධකරුවන් වඩාත් සූක්ෂ්ම ලෙස අපරාධ කිරීමට ඉගෙනගන්නවා. දිගින් දිගටම අපරාධ කරන අය නීතියේ රැහැනට අසු වෙනවා අඩුයි.” මේ ආකාරයෙන් බලන විට පෙනී යන්නේ සිරගෙවල් අපරාධකරුවන්ට වැඩිදුර පුහුණුවක් ලබා දෙන පාසැල් බවට පත් වී තිබෙන බවයි.—හත්වන පිටුවේ ඇති “අපරාධ උගන්වන පාසැල්” යන කොටුව බලන්න.

දරුණු අපරාධවල නියැලෙන අය එය හොඳ ආදායම් මාර්ගයක් කියා සිතන නිසාත් ඔවුන්ට දඬුවම් නොලැබෙන නිසාත් තව තවත් අපරාධ කරන්න පෙලඹෙනවා. එක් ප්‍රඥාවන්ත රජෙක් මෙසේ පැවසුවා. “වරදකට දඬුවම වහාම ලබා නොදෙන විට මනුෂ්‍යයෝ කිසි බියක් සැකක් නොමැතිව නපුරු දේ කරති.”—දේශනාකාරයා 8:11, නව ලොව පරිවර්තනය, NW.

අපරාධකරුවන් වූයේ කෙසේද?

තමන්ගේ ජීවිතය රැකගැනීමට තිබෙන එකම මාර්ගය අපරාධ කිරීමෙන් මුදල් ඉපයීමද? “මිනිසුන්ට තිබෙන ආර්ථික ප්‍රශ්න, අස්ථාවරභාවය නිසා එවැනි දේවල නියැලීම සාධාරණයි” කියා සැමේනෝ එක් කාලයකදී සිතුවා. කෙසේවෙතත් ඔහු අපරාධ ගැන පුළුල් ලෙස අධ්‍යයනය කිරීමෙන් පසු ඔහුගේ අදහස වෙනස් වුණා. ‘අපරාධකරුවන් එවැනි දේවල නියැලෙන්න තෝරාගන්නේ වුවමනාවෙන්මයි. ඔවුන් අපරාධ කිරීමට පෙලඹෙන්නේ ඔවුන් ජීවත් වන පරිසරය නිසා නොව නමුත් ඔවුන්ගේ ආකල්ප නිසායි. අපි කරන සෑම දෙයකටම හේතු වන්නේ අපි සිතන ආකාරයයි.’ මේ හේතු නිසා අපරාධකරුවන් එවැනි දේවල නියැලීමට හසු වුණා කියා සිතනවා වෙනුවට “ඔවුන් අන් අයව ගොදුරු කරගැනීමට තෝරාගෙන තිබෙනවා” කියා පැවසීම නිවැරදියි. *

අපරාධ ගැන කතා කිරීමේදී එහි ප්‍රධාන වචනය වන්නේ “තෝරාගැනීමයි.” මෑතකදී පළ වූ බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති පත්‍රයක මෙවැනි මාතෘකාවක් පළ වුණා. “නගරබද යෞවනයන් තමන්ගේ ජීවිත සාර්ථක කරගැනීම සඳහා අපරාධ කිරීම තමන්ගේ ජීවන වෘත්තිය කරගෙන තිබෙනවා.” මිනිසුන්ට තමන් කැමති ජීවන මාර්ගයක් තෝරාගැනීමට නිදහස තිබෙනවා. මිලියන සංඛ්‍යාත ජනයා අයුක්තිය, අසාධාරණය, දිලිඳුකම හා පවුල් ප්‍රශ්න නිසා දුක් විඳිනවා. ඒත් ඔවුන් දරුණු අපරාධ කරන්න පෙලඹී නැහැ. මේ ගැන සැමේනෝ පවසන්නේ ‘කෙනෙක් අපරාධ කරන්න පෙලඹෙන්නේ ඔහු හැදී වැඩෙන පරිසරය නිසාවත් බෙදුණු පවුල් පසුබිමක් නිසාත් විරැකියාව නිසාවත් නෙවෙයි අපරාධ කිරීමේ ප්‍රවණතාවක් මිනිස් සිත් තුළ තිබෙන නිසා’ කියායි.

අපරාධ කිරීමට මුල් වන්නේ සිතුවිලියි

කෙනෙකු තුළ වැරදි කිරීමට පෙලඹීමක් ඇති කරන්නේ ඔහුගේ තත්වය නෙවෙයි නමුත් ඔහු සිතන ආකාරය බව බයිබලයේ පවසනවා. “එකිනෙකා තම තමාගේ ආශාවෙන් අදිනු ලැබ නොමඟට පොලඹවනු ලබන කල පරීක්ෂා කරනු ලබන්නේය. එවිට ආශාව පිළිසිඳගත් කල, පාපය බිහි කරයි.” (යාකොබ් 1:14, 15) කෙනෙක් වැරදි දේවල් සිතන විට ඔහු වැරදි ආශාවන් තමන් තුළ වර්ධනය වීමට ඉඩහරිනවා. වැරදි දේ කිරීමට මෙය ඉවහල් වෙනවා. උදාහරණයක් ලෙස කාමුක දර්ශන නැරඹීමට කැමැත්තක් දක්වන කෙනෙක් තුළ ලිංගික ක්‍රියාවල යෙදීමට පෙලඹීමක් ඇති විය හැකියි. තමන්ගේ ආශාවන් පිනවාගැනීම සඳහා අපරාධයක් කරන්න වුණත් ඔවුන් පසුබට වන්නේ නැහැ.

අද ලෝකයේ මුල් තැන දෙන්නේ මමත්වයට, මුදල්වලට, විනෝදයට හා ඉක්මනින් දේවල් අත් කරගැනීමටයි. මේවාත් අපරාධ කිරීමට පෙලඹෙන තවත් සාධක වෙනවා. අප ජීවත් වන මේ කාලය ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. ‘අන්තිම දවස්වලදී මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන දරුණු, යහපතට ප්‍රේම නොකරන දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය.’ (2 තිමෝති 3:1-5) කනගාටුවට කාරණයක් නම් අද තිබෙන චිත්‍රපටි, වීඩියෝ ක්‍රීඩා, පොත් පත්වලින් පවා ඉස්මතු කරන්නේද අන් අයගේ ජීවිතවලද දක්නට තිබෙන්නේ එවැනි ගුණාංගයි. ඒවා අපරාධ වැඩි කිරීමට හේතු වී තිබෙනවා. * කෙසේවෙතත් එවැනි උගුල්වලට අසු නොවී ක්‍රියා කිරීමට ඕනෑම කෙනෙකුට හැකියි. සමහර අවස්ථාවලදී එවැනි ගුණාංග පිළිබිඹු කළ අය තමන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තිබෙනවා.

සැබැවින්ම වෙනස් වෙන්න පුළුවන්ද?

අපරාධයක් කළ පමණින්ම කෙනෙක් සදහටම අපරාධකරුවෙක් වෙන්නේ නැහැ. සැමේනෝ පෙන්වා දෙන පරිදි “කෙනෙක් අපරාධ කිරීමට තෝරාගත්තා නම් ඔහුට එයින් මිදී තම ජීවිතය වෙනස් කරගැනීමටද හැකියාව තිබෙනවා.”

අද්දැකීම්වලින් පෙනී යන්නේ ඕනෑම තත්වයක සිටින කෙනෙකුට වෙනස් විය හැකි බවයි. * එසේ කිරීමට අවශ්‍ය වන්නේ කැමැත්ත පමණයි. කෙනෙක් තම ආකල්ප හා සිතුවිලි මිනිසුන්ගේ ප්‍රමිතිවලට අනුව නොව කිසිදා වෙනස් නොවන දෙවිගේ ප්‍රමිතිවලට අනුව සකස් කරගන්නවා නම් ඔහුට සාර්ථක වෙන්න පුළුවන්. අපි ගැන අපේ සෑදුම්කරු වන දෙවිට වඩා දන්නේ වෙන කවුද? අපිට හොඳ නරක කුමක්ද කියා තීරණය කිරීමට දෙවිට අයිතියක් නැද්ද? දෙවි ඔහුගේ ප්‍රමිති අපට ලබා දීම සඳහා බයිබලය ලිවීමට සැලැස්වූවා. ඒ සඳහා ඔහු 40දෙනෙකුව යොදාගත්තා. මෙම පොත මිනිසුන්ට ජීවිතය අර්ථවත්ව හා සතුටින් ගත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන අත්පොතක් බව පැහැදිලියි.—2 තිමෝති 3:16, 17.

දෙවිව සතුටු කිරීමට අවශ්‍ය ගුණාංග අප තුළ වර්ධනය කරගැනීම පහසු නැහැ. බයිබලයේ එක් ලේඛකයෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගැනීමට කළ පෙරළිය ‘යුද්ධයකට’ සමාන කර තිබෙනවා. (රෝම 7:21-25) ඔහු කළ මේ සටනෙන් ඔහු ජය ලැබුවේ ඔහුගේ ශක්තියෙන් නොව නමුත් දෙවිගේ වචනයේ අඩංගු බලයේ උපකාරයෙනුයි. බයිබලය ‘ජීවමාන හා බලවත්’ පොතක් කියා පවසන්නේ ඒ නිසයි.—හෙබ්‍රෙව් 4:12.

මනසට ආහාර

හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගැනීමට නම් අප ආහාර ගත යුතුයි. අපි ගන්නා ආහාරයෙන් ශක්තිය ලැබෙන්න එය ජීර්ණය විය යුතු නිසා ඒ සඳහා කාලය අවශ්‍යයි. ඒ හා සමානව අපිත් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳීමට නම් දේවවචනය හොඳින් කියවා ඒ ගැන කල්පනා කළ යුතුයි. අපේ හෘදයේ හා මනසේ ඒ සිතුවිලි තැන්පත් වෙන්නේ එවිටයි. (මතෙව් 4:4) ඒ නිසයි බයිබලයේ මෙසේ පවසා තිබෙන්නේ. ‘සැබෑ වූ, ගෞරවනීය වූ, ධර්මිෂ්ඨ වූ, නිර්මල වූ, ප්‍රේමය ඇති කරන්නාවූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ දේවල්වලට දිගටම මනස යොමු කරන්න. එවිට සමාදානයේ දෙවි ඔබ සමඟ සිටිනවා ඇත.’—ෆිලිප්පි 4:8, 9.

අපේ නරක පුරුදු අත්හැරීමට නම් අපි “දිගටම” දෙවිගේ අදහස්වලට සිත යොමු කළ යුතුයි. මේ සඳහා ඉවසීම අවශ්‍යයි. එවැනි වෙනස් වීමක් එක රැයකින් බලාපොරොත්තු වෙන්න බැහැ.—කොලොස්සි 1:9, 10; 3:8-10.

අපි අද්දැකීමක් සලකා බලමු. එක් කාන්තාවක් කුඩා කාලයේදීම අතවරයකට ලක් වුණා. ඉන්පසු ඇය මත්ද්‍රව්‍ය හා දුම්පානයට ඇබ්බැහි වුණා. අපරාධ කිහිපයක් කිරීම නිසා ඇයව සිරගත කරනු ලැබුවා. මේ කාලයේදී ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලයේ තිබෙන දේ ඉගෙනගන්න අවස්ථාවක් ලැබුණා. ඇය ඉගෙනගත් දේ ජීවිතයට අදාළ කරගත්තා. ප්‍රතිඵලයක් ලෙස ඇය කලින් කරමින් සිටි නරක වැඩ අත්හැර අලුත් කෙනෙක් බවට පත්වුණා. දැන් ඇය නරක සිතුවිලිවලට හා දුෂ්ට දේවලට වහලෙක් නෙවෙයි. ඇයගේ සිත්ගත් එක් බයිබල් පදයක් වූයේ “යෙහෝවා ආත්මයය. යෙහෝවාගේ ආත්මය ඇති තැන නිදහස ඇත” යන්නයි. (2 කොරින්ති 3:17) ඇය තවමත් සිර දඬුවම් වින්දත් කිසිදා අත් නොදුටු ආකාරයේ මානසික නිදහසක් දැන් ඇය භුක්ති විඳිනවා.

දෙවි දයානුකම්පිතයි

සෑම කෙනෙකුටම තමන්ගේ නරක පුරුදුවලින් ඉවත් විය හැකි බව යෙහෝවා දෙවි විශ්වාස කරනවා. * ඒ නිසයි දෙවිගේ පුත්‍රයා වන යේසුස් මෙසේ පැවසුවේ. “මා ආවේ පසුතැවිලි වන පිණිස පව්කාරයන් කැඳවන්න මිස ධර්මිෂ්ඨයන් කැඳවන්න නොවේ.” (ලූක් 5:32) දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවිතය හැඩගස්වා ගැනීම අභියෝගයක් විය හැකියි. ඒත් ඉවසීමෙන් හා දෙවි ලබා දෙන උපකාරයෙන් ප්‍රයෝජන ලබන අයට සාර්ථක විය හැකියි. මේ සඳහා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වන ක්‍රිස්තියානීන්ගේ උපකාරයත් ප්‍රයෝජනවත් වෙනවා. (ලූක් 11:9-13; ගලාති 5:22, 23) ඕනෑම ආකාරයක අපරාධවල නියැලී සිටි ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට බයිබලයේ තිබෙන සත්‍යයන් දැනගැනීමට අවස්ථාවක් ලබා දීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෑම සිරගෙවල්වලටම යනවා. * සිරගෙවල් කිහිපයකම සාක්ෂිකරුවන් ක්‍රිස්තියානි රැස්වීම් පවත්වනවා.—හෙබ්‍රෙව් 10:24, 25.

බොහෝදෙනෙක් තමන්ගේ නරක පුරුදු අත්හැර සැබෑ ක්‍රිස්තියානීන් බවට පත්වූවද “නීති විරෝධී ක්‍රියා වැඩි” වන බව බයිබලයේ පවසනවා. (මතෙව් 24:12) අපි ඊළඟ ලිපියේ සලකා බලන්න යන ආකාරයට එයත් පුළුල් ලෙස ඉෂ්ට වෙන්න තිබෙන අනාවැකියක අංගයක්.

[පාදසටහන්වල]

^ 7 ඡේ. මානසික ආබාධවලින් පෙළෙන අය සමහරවිට අපරාධ කිරීමට පෙලඹෙන්න පුළුවන්. ඔවුන් ජීවත් වන රටේ එවැනි අය සඳහා ආරක්ෂාව සපයා නැත්නම් හා ආයුධ නිදහසේ ලබාගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් අවදානම වැඩියි. නමුත් අපි මේ ලිපියේ සාකච්ඡා කරන්නේ එවැනි අය ගැන නොවෙයි.

^ 11 ඡේ. අපරාධ ගැන තවත් විස්තර සොයා බැලීමට කැමති නම් 1998 මාර්තු 8 පිබිදෙව්! කලාපයේ “අපරාධ නැති ලොවක්—කවදාද?” සහ 1985 අගෝස්තු 8 ඉංග්‍රීසි පිබිදෙව්! කලාපයේ 3-12 දක්වා පිටුවල ඇති “Will Our Streets Ever Be Free of Crime?” යන ලිපි බලන්න.

^ 14 ඡේ. මෙම සඟරාව සමඟ බෙදාහරින අනික් සඟරාව වන මුරටැඹ සඟරාවේ අපරාධවලට හවුල් වූ අය තම ජීවිත ක්‍රම වෙනස් කරගත් ආකාර ගැන සඳහන් ලිපි කලින් කලට පළ වුණා. ඒ සඳහා 2006 ජූලි පිබිදෙව්! කලාපයේ 11-13; 2005 ඔක්තෝබර් 08 ඉංග්‍රීසි පිබිදෙව්! කලාපයේ 20-21; 2000 ජනවාරි 1 මුරටැඹ කලාපයේ 4-5; 1998 ඔක්තෝබර් 15, 27-29 සහ 1997 පෙබරවාරි 15, 21-24 දක්වා පිටුවල ඇති ලිපි කියවා බලන්න.

^ 21 ඡේ. “බයිබලයෙන් පිළිතුරක්: දෙවිගෙන් සමාව ලැබෙන්නේ කුමන පාපවලටද?” යන මාතෘකාවෙන් යුත් 10වෙනි පිටුවේ ලිපිය බලන්න.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මිලියන සංඛ්‍යාත දුප්පත් අය අපරාධවල නියැලෙන්නේ නැහැ

[6, 7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“වසර දෙකක් ඇතුළත නැවතත් හිරේට”

ලන්ඩන් නුවර බෙදාහරින එක් පුවත්පතක බ්‍රිතාන්‍යයේ සිරකරුවන් සම්බන්ධව ඉහත මාතෘකාව යටතේ ලිපියක් පළ වුණා. එහි පෙන්වා තිබුණේ ගෙවල් බිඳීම නිසා හෝ සොරකම් කිරීම නිසා සිර දඬුවම් ලබන වැරදිකරුවන් සියයට 70කට වඩා වැඩි ගණනක් ඉන් වසර දෙකක් ඇතුළත නැවතත් සිරගත වන බවයි. මෙවැනි අපරාධවලට බොහෝවිට හසු වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයයි.—එම පුවත්පත The Times.

[7වන පිටුවේ කොටුව]

“අපරාධ උගන්වන පාසැල්”

“සිරගෙවල් ඇත්තටම අපරාධ උගන්වන පාසැල්” කියා මහාචාර්ය ජෝන් බ්‍රේත්වේට් නීති සඟරාවක පවසා තිබුණා. ආචාර්ය ස්ටෑන්ටන් ඊ. සැමේනෝ ඔහුගේ කෘතියක පැවසුවේ මෙසේයි. ‘අපරාධකරුවන් අද්දැකීමෙන් ඉගෙනගන්නවා. සිරගෙදරදී වඩාත් දක්ෂ අපරාධකාරයෙක් වෙන්නේ කොහොමද කියා ඉගෙනගන්න අවශ්‍ය තරම් කාලය මෙන්ම අවස්ථාවත් තියෙනවා. සමහර අය ඒ අංශයෙන් කොතරම් දක්ෂ වෙනවාද කියනවා නම් කාටවත් අසු නොවී දරුණු අපරාධ කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.’—එම කෘතිය Inside the Criminal Mind.

ඔහු එම කෘතියේ මෙවැනි දෙයක්ද සඳහන් කර තිබෙනවා. “සිරගත කිරීමෙන් කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඔහු සමාජයේ සිටියත් සිරගෙදර සිටියත් ඔහු තම හැකියාවන් දිනෙන් දින දියුණු කරමින්, අලුත් ක්‍රම හදාරමින් හා වෙනත් අයට ඒවා කියා දෙමින් සිටිනවා.” එක් තරුණ අපරාධකරුවෙක් පැවසුවේ “සිරගෙදර මාව අපරාධ උගන්වන ගුරුවරයෙක් බවට පත් කළා” කියායි.