Skip to content

පටුනට යන්න

අපරාධ “නැති වී යන්නේය”

අපරාධ “නැති වී යන්නේය”

අපරාධ “නැති වී යන්නේය”

“තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.”—ගීතාවලිය 37:10, NW.

යෙහෝවා දෙවි මිනිසුන්ගේ ශුභසිද්ධිය ගැන බෙහෙවින් උනන්දු වෙනවා. (ගීතාවලිය 11:4, 5) දෙවි මේ පොළොවේ සිදු වන සෑම අපරාධයක් හා අයුක්තියක්ම දකිනවා. ඒ විතරක් නෙවෙයි මිනිසුන් නොදකින අපරාධ පවා දෙවි දකිනවා. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි තම දෑසින් සියල්ල දකියි. ඔහු යහපත් අයහපත් දෙපිරිස ගැනම සෝදිසියෙන් සිටියි.” (හිතෝපදේශ 15:3, නව ලොව පරිවර්තනය, NW) මෙයින් පැහැදිලි වන්නේ දුෂ්ටයන් සිටින්නේ “ලිස්සෙන ස්ථානවල” බවයි.—ගීතාවලිය 73:12, 18NW.

නිර්දෝෂ මෙන්ම සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වන අය කොතරම් ආර්ථික ප්‍රශ්න ගැටලු අද්දැක්කත් සමාජයේ අනික් අය ඔවුන්ව පහත් කර සැලකුවත් ඔවුන්ට දීප්තිමත් අනාගතයක් තිබෙන බව නම් ස්ථිරයි. බයිබලයේ ගීතාවලිය පොත ලියූ දාවිත් රජ පැවසුවේ “නිර්දෝෂයා හා ප්‍රතිපත්තිගරුකව හැසිරෙන තැනැත්තා දෙස බලන්න. මන්ද සමාදානය පිරී අනාගතයක් ඔහුට ඇත” කියායි. (ගීතාවලිය 37:37NW) නුදුරු අනාගතයේදී මෙම පොරොන්දුව ඉටු වෙන්න තිබෙන නිසා දැන් අපට එය ලොකු සැනසිල්ලක් නොවෙයිද!

අන්තිම දවස්

මීට අවුරුදු 2,000කට පමණ පෙර යේසුස්ගේ ගෝලයන් අනාගතය සම්බන්ධයෙන් ඔහුගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. ‘සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයට ලකුණ කුමක්ද කියා අපට කියන්න.’ (මතෙව් 24:3) මේ ප්‍රශ්නයට යේසුස් දුන් පිළිතුර බයිබලයේ මතෙව් 24, මාක් 13 හා ලූක් 21 යන පරිච්ඡේදවල සඳහන් වී තිබෙනවා. අද අපි ජීවත් වන මේ අන්තිම දවස්වල යුද්ධ, සාගත, වසංගත, භයානක භූමිකම්පා හා නීති විරෝධි ක්‍රියා වැඩි වන බවද එහි සඳහන් වෙනවා.

යේසුස් පැවසූ ලෙස එම දරුණු තත්වයන් ආරම්භ වූයේ 1914දීයි. ඉතිහාසඥයෙක් වන එරික් හොබ්ස්බෝම් ඔහුගේ පොතක 20වෙනි සියවස ගැන මෙසේ පැවසුවා. “අපට තිබෙන වාර්තාවලට අනුව ඒ සියවස තරම් ලේ ගැලීම් සිදු වූ සියවසක් තවත් නැහැ.”—එම පොත Age of Extremes.

අද පවතින දුෂ්ටකම් ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය. හානි පමුණුවන සියල්ලෝ සශ්‍රීක වන්නෝය. නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.” (ගීතාවලිය 92:7NW) අද දුෂ්ටයන්ගේ වැඩිවීමක් ඇත්තටම දක්නට තිබෙනවා. ඔවුන් තණකොළ මෙන් ශීඝ්‍රයෙන් වැඩෙන විට ඔවුන්ගේ විනාශය අත ළඟ බව අපි දන්නවා. ඇත්තටම එය ශුභාරංචියක් නොවෙයිද?—2 පේතෘස් 3:7.

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය”

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකාලයටම ජීවත් වන්නෝය” කියා බයිබලයේ පවසනවා. (ගීතාවලිය 37:29NW) ඒ කාලයේදී කිසිම අපරාධයක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අද අපරාධ මර්දනය කිරීමට මිනිසුන් ක්‍රියාත්මක කර තිබෙන උසාවි, නීතිඥයෝ, සිරගෙවල් පමණක් නෙවෙයි දොර අගුලු පවා අවශ්‍ය වෙන්නේ නැහැ. තවදුරටත් බයිබලයේ පොරොන්දු කර තිබෙන්නේ “පළමු දේ නැවත මතක් වන්නේ නැත” කියායි.—යෙසායා 65:17NW.

මින් පෙර කිසිදාක නොවූ විරූ ආකාරයේ වෙනසක් මේ පොළොවේ හා මිනිස් සමාජයේ සිදු වෙනවා නියතයි. (යෙසායා 11:9; 2 පේතෘස් 3:13) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තිබෙන එකම බලාපොරොත්තුව එයයි. ඔවුන් ඔබටත් ආරාධනා කරන්නේ නුදුරු අනාගතයේදී සිදුවීමට නියමිත ඒ වෙනස ගැන සොයා බලන්න කියායි. බයිබලය ලිවීමට සැලැස්වූ දෙවිට “බොරු කීමට නොහැකි” බව මතක තබාගන්න.—තීතස් 1:2.

[9වන පිටුවේ පින්තූරය⁄කොටුව]

දෙවි ගැන දැනගැනීමට උපකාර

පසුගිය අවුරුදු කිහිපය පුරා එක්සත් ජනපදයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට සිරගෙවල්, සිරකරුවන්ගේ රෝහල් හා පුනරුත්ථාපන කඳවුරු වැනි ස්ථානවලින් ලිපි 4,169ක් ලැබී තිබෙනවා. මින් සමහරදෙනෙක් බයිබලය මත පදනම් පොත් පත් ඉල්ලා තිබුණු අතර තවත් සමහර අය බයිබලය අධ්‍යයනය කිරීමට උපකාරද ඉල්ලා තිබුණා. ඔවුන්ට සුදුසුකම් ලත් සාක්ෂිකරුවන් උපකාර සපයමින් සිටිනවා. ලොව පුරා සිටින සාක්ෂිකරුවන් බයිබල් පාඩම් කිරීමට උපකාර ඉල්ලන අයව හමුවීමට නිති පතා මෙම ස්ථානවලට යනවා. මේ අය අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ ජීවිත රටාව වෙනස් කරගෙන ක්‍රිස්තියානීන් ලෙස බව්තීස්ම වී නීති ගරුක පුරවැසියන් මෙන් යහපත් ජීවිත ගත කරනවා.