Skip to content

පටුනට යන්න

අපරාධ වළක්වන්න බැරිද?

අපරාධ වළක්වන්න බැරිද?

අපරාධ වළක්වන්න බැරිද?

▪ මානසික ආබාධයකින් පෙළුණු ශිෂ්‍යයෙක් ආයුධ සන්නද්ධව පැමිණ තමන්ගේ පාසැලේ සෙසු ශිෂ්‍යයන්ව හා ගුරුවරුන්ව ඝාතනය කරයි.

▪ තමන්ගේ කුඩා දැරියව පැහැරගෙන යෑමේ දුක දරාගත නොහැකිව හඬා වැටෙන දෙමාපියෝ.

▪ එක් යෞවනයෙක් කිසිම හේතුවක් නැතුව කෙනෙකුව ඝාතනය කළා. ඔහු එසේ කළේ ආත්ම තෘප්තිය සඳහායි. ඉන්පසු ඔහු ඒ මළ සිරුර තමන්ගේ යාළුවන්ට පෙන්වූ අතර ඔවුන් මෙය සති ගණනාවක් යන තුරු රහසක්ව තබාගත්තා.

▪ දරුවන්ව දූෂිත දේවලට පොලඹවාගත හැකි ආකාරය ගැන මනා දැනුමක් තිබුණු කෙනෙක් එවැනි දේවල නියැලෙන වෙනත් අය සමඟ තම අදහස් අන්තර්ජාලය හරහා බෙදාගනියි.

අද අපිට අසන්න ලැබෙන්නේ මෙයාකාර සිත් කම්පා කරවන ප්‍රවෘත්ති නෙවෙයිද! ඔබ ජීවත් වන ප්‍රදේශයේ විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී ඔබට සුරක්ෂිතභාවයක් දැනෙනවාද? ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙක් දරුණු අපරාධයකට මුහුණ දී තිබෙනවාද? එක් කාලයකදී සුරක්ෂිතයි කියා සිතූ රටවල් මෙන්ම මුළු ලෝකය පුරාම මිලියන සංඛ්‍යාත ජනයා අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා ගැන සිටින්නේ දැඩි කනස්සල්ලෙන්. පහත දක්වා ඇති වාර්තා ගැන ටිකක් සලකා බලමු.

ජපානය: ‘ජපානය ලෝකයේ තිබෙන සුරක්ෂිතම රටවල් අතරින් එකක් බව එක් කාලයකදී ගණන් ගනු ලැබුවා. ඒත් අද එහි ජනයා එවැනි සුරක්ෂිතභාවයක් අද්දකිනවා වෙනුවට දසත පැතිර තිබෙන අපරාධ හා ලෝක ත්‍රස්තවාදය නිසා පසු වන්නේ දැඩි කනස්සල්ලෙන්.’—Asia Times ඇසුරෙන්.

ලතින් අමෙරිකාව: වර්ෂ 2006 ප්‍රවෘත්ති ප්‍රකාශයක සඳහන් වුණේ සාඕ පවුලෝ නගරයේ කුඩා ගරිල්ලා කල්ලි සිටින අතර ඔවුන් සටන් මෙහෙයුම් දියත් කළ හැකි බව බ්‍රසීලයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අනතුරු අඟවන බවයි. සති ගණනාවක් පුරා තැනින් තැන සිදු වූ අපරාධ හා ප්‍රචණ්ඩත්වය නිසා එහි ජනාධිපති නගරයේ සෑම වීදියකම වාගේ හමුදා ආරක්ෂාව යෙදුවා. මධ්‍යයම අමෙරිකාවේ හා මෙක්සිකෝවේ “අඩුම තරමින් යෞවනයන් 50,000ක් මෙම කල්ලිවලට බැඳී සිටින අතර ඕනෑම අවස්ථාවක සටන් වදින්න ඔවුන් සුදානම්. වසර 2005දී පමණක් මෙම යෞවනයන් අතින් එල් සැල්වඩෝර්, හොන්ඩ්‍යුරාස් හා ග්වාතමාලාව වැනි ප්‍රදේශවල 15,000ක් පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා” කියා එක් ප්‍රවෘත්ති පත්‍රයක වාර්තා වුණා.—Tiempos del Mundo ඇසුරෙන්.

කැනඩාව: ‘සැලකිය යුතු ප්‍රමාණයකින් කල්ලි වැඩි වී තිබෙන බවට අපරාධ විමර්ශන අංශය පවසනවා. ටොරොන්ටෝ නගරයේ කල්ලි 73ක් තිබෙන බවට පොලිසියෙන් සොයාගෙන තිබෙනවා’ කියා 2006දී වාර්තා වුණා. ටොරොන්ටෝ නගරයේ පොලිස් ප්‍රධානියා පවසන්නේ මෙලෙස වැඩි වන කල්ලි මර්දනය කිරීමට කිසිම ක්‍රමයක් නැති බවයි.—USA Today ඇසුරෙන්.

දකුණු අප්‍රිකාව: අපරාධ විමර්ශන අංශයේ සේවය කරන පැට්‍රික් බර්ගන් එක් ප්‍රවෘත්ති පත්‍රයකට පැවසුවේ මෙසේයි. “දකුණු අප්‍රිකාවේ සිටින සෑම තරුණ කෙනෙකුටම අපරාධ දරුණු ලෙස බලපානවා. මංකොල්ලකෑම්, පැහැරගැනීම් හා බැංකු කොල්ලකෑම මෙහි සිදු වෙනවා.”—Financial Mail ඇසුරෙන්.

ප්‍රංශය: නිවාස සංකීර්ණවල ජීවත් වන ජනයා සෑම තත්පරයක්ම ගෙවන්නේ බියෙන්. “ඔවුන්ට තම නිවෙස්වලට යන්න තිබෙන්නේ කඩා දමා තිබෙන පඩි පේළි දිගේයි. වාහන නවත්වන ස්ථාන භයානක තැන් බවට පත් වෙලා. කළුවර වැටුණු පසු පොදු ප්‍රවාහන සේවයේ ගමන් කිරීම අනතුරුදායකයි.”—Guardian Weekly ඇසුරෙන්.

එක්සත් ජනපදය: සංවිධානාත්මක කල්ලි අපරාධ තව තවත් වැඩි කිරීමට සමත් වී තිබෙනවා. එක්සත් ජනපදයේ එක් ප්‍රාන්තයක කල්ලි 700ක් පමණ තිබෙන බව වාර්තා වෙනවා. එම ප්‍රාන්තයේ සිටින යෞවන යෞවනියන් 17,000ක් පමණ එම කල්ලිවලින් එකකට හෝ සම්බන්ධ බව පැවසෙනවා. එම කල්ලිවල සාමාජිකයන්ගේ ගණන පසුගිය වසර හතර ඇතුළත 10,000කින් වැඩි වී තිබෙන බවත් වාර්තා වෙනවා.—The New York Times ඇසුරෙන්.

බ්‍රිතාන්‍යය: දරුවන්ට අපරාධ බලපා ඇති ආකාරය ගැන යුනිසෙෆ් ආයතනයෙන් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වෙන්නේ මෙසේයි. “බ්‍රිතාන්‍යයේ තුවක්කු භාවිත කරන යෞවනයන්ගේ ගණන හා වෙඩි උණ්ඩවලින් මියැදෙන යෞවනයන්ගේ ගණන වැඩි වී තිබෙනවා. තුවක්කුවක් භාවිත කරන අයගේ වයස් සීමාව එන්න එන්නම අඩු වී තිබෙනවා.” සිරගත වන අයගේ සංඛ්‍යාව එංගලන්තයේ හා වේල්ස්හි 80,000ක් දක්වා වැඩි වී තිබෙනවා.—The Times ඇසුරෙන්.

කෙන්යාව: එක් ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වුණේ වාහන සොරකමේ පැමිණි අය මවක් සහ දියණියක් වාහනයෙන් ඉක්මනින් නොබැසීම නිසා ඔවුන්ට වෙඩි තබා මරා දමා තිබුණු බවයි. කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි වාහන සොරකම, මංකොල්ලකෑම වැනි සෑම ආකාරයේ අපරාධයක්ම සිදු වෙනවා.—The New York Times ඇසුරෙන්.

මෙලෙස වැඩි වෙමින් පවතින අපරාධ වැළැක්වීමට කිසිම ක්‍රමයක් නැද්ද? මෙවැනි අපරාධවලට මූලික හේතුව කුමක්ද? කවදා හෝ මිනිසුන්ට මෙවැනි අපරාධ නැති ලොවක සැබෑ සාමය හා සුරක්ෂිතභාවයක් අද්දැකිය හැකි බවට බලාපොරොත්තු විය හැකිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු අපට මීළඟ ලිපිවලින් දැනගන්න පුළුවන්.