Skip to content

පටුනට යන්න

ඉපැරණි අත්පිටපත්වල කාලය නිර්ණය කළ අයුරු

ඉපැරණි අත්පිටපත්වල කාලය නිර්ණය කළ අයුරු

ඉපැරණි අත්පිටපත්වල කාලය නිර්ණය කළ අයුරු

බයිබල් විශාරදයෙක් වූ කොන්ස්ටාන්ටින් ෆොන් ටිෂෙන්ඩෝෆ් 1844දී සීනයි කඳු පාමුල පිහිටි සාන්ත කැතරින් පූජකාරාමයට ගියා. ඔහුට එහි තිබූ පුස්තකාලවල පොත් පත් අතරින් සත්ව හම්වලින් සකස් කරන ලද ලියවිල්ලක් සම්බ වුණා. ඔහු පුරාලිපි විද්‍යාව * හදාරන්නෙකු වූ නිසා එම ලියවිලි හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි හෙවත් පැරණි ගිවිසුමේ ග්‍රීක පරිවර්තනයක් බව හඳුනාගත්තා. ඔහු මේ ලියවිලි ගැන මෙසේ පැවසුවා. “මෙම සයිනයිටික් ලියවිලි තරම් පැරණි ලියවිලි මින් පෙර කවදාවත් මම දැක තිබුණේ නැහැ.”

පසු කාලයකදී සයිනයිටිකස් අත්පිටපත් බවට පත්වූයේ මෙයින් කොටසක් වන අතර එය ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසට අයත් වුණා. මෙය බයිබල් විශාරදයන්ට අධ්‍යයනය කිරීමට උපකාරවත් වූ දහස් සංඛ්‍යාත ඉපැරණි හෙබ්‍රෙව් හා ග්‍රීක පිටපත් අතරින් එකක්.

පුරාලිපි විද්‍යාවේ ආරම්භය

ග්‍රීක අත්පිටපත් ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම ආරම්භ කළේ බෙනඩික්ට් නිකායට අයත් පූජකයෙක් වූ බර්නා ඩී. මොෆොකො විසිනුයි. පසු කාලයකදී වෙනත් විශාරදයන්ද ඊට හවුල් වුණා. යුරෝපයේ තිබුණු සියලුම පුස්තකාලවලින් පැරණි ග්‍රීක අත්පිටපත්වල ලැයිස්තුවක් සකස් කිරීමේ දැවැන්ත කාර්යය ටිෂෙන්ඩෝෆ් භාරගත්තා. ඔහුට මේ කාර්යය සඳහා මැද පෙරදිග රටවලට කිහිප වතාවක්ම යෑමටත් සිය ගණනක් ලිපි අධ්‍යයනය කිරීමටත් සිදු වුණා. ඉන්පසු ඔහු ඒවා ප්‍රකාශයට පත් කළා.

විසිවන සියවසේදී පුරාලිපි විද්‍යාව හදාරන්නන්ට එම කාර්යය සඳහා තවත් උපකාර ලැබුණා. ඉන් එකක් නම් මාර්සල් රිෂා ලැයිස්තුවයි. මෙහි බයිබලයේ මෙන්ම වෙනත් පොත් පත්වල ග්‍රීක අත්පිටපත් 55,000ක් කාණ්ඩ 900ක් යටතේ ලැයිස්තු ගත කර තිබුණා. මේවා පුස්තකාල 820කින් හා වෙනත් පුද්ගලයන්ගෙන් ලබාගෙන තිබූ ඒවායි. මෙහි සඳහන් තොරතුරු පරිවර්තකයන්ට මෙන්ම පුරාලිපි විද්‍යාඥයින්ට අත්පිටපත් අයත් කාල වකවානුව නිවැරදිව නිර්ණය කිරීමට උපකාරවත් වුණා.

අත්පිටපත් අයත් කාලය හඳුනාගැනීම

ඔබ පැරණි ගෙදරක බඩු අස්පස් කරන විට ඔබට අතින් ලියන ලද පැරණි ලිපියක් ලැබුණායයි සිතන්න. නමුත් ඒ ලිපියේ දිනය සඳහන් වී නැහැ. ඒ ලිපිය ලියැවුණු දිනය ඔබ දැනගන්නේ කෙසේද? පළමු ලිපිය හා සමාන ලිපියක් දැන් ඔබට ලැබෙනවා. ඒ ලිපිය ලියා ඇති ශෛලිය, අක්ෂරවල හැඩය, විරාම ලක්ෂණ පළමු ලිපියට බොහෝ සෙයින් සමානයි. දෙවෙනි ලිපියේ දිනයක් සඳහන් කර තිබෙනවා නම් පළමු ලිපිය ලියනු ලැබූ අවුරුද්ද ඔබට ස්ථිරවම කිව නොහැකි වුවත් එය ලියනු ලැබූ කාලය නිශ්චය කරගැනීමට එය හොඳ පදනමක් වේවි.

බොහෝ බයිබල් පිටපත්කරුවන් එය පිටපත් කර අවසන් කළ දිනය සඳහන් කරන්නේ නැහැ. බයිබල් විශාරදයන් මේවා පිටපත් කළ කාලය නිර්ණය කිරීමට ඒවා වෙනත් පොත් පත් හා සන්සන්දනය කරනවා. එම පොත් පත්වල සඳහන් දිනය, එහි අක්ෂරවල හැඩය, විරාම ලක්ෂණ, ලේඛන ශෛලිය හා වෙනත් දෑ බයිබල් පිටපත් කළ කාලය ආසන්න වශයෙන් දැනගැනීමට උපකාරවත් වෙනවා. මේ ආකාරයට අත්පිටපත් සිය ගණනක් අයත් කාල වකවානු හඳුනාගැනීමට හැකි වී තිබෙනවා. මෙවැනි ග්‍රීක අත්පිටපත් ක්‍රි. ව. 510 සිට ක්‍රි. ව. 1593 දක්වා අතර කාලයට අයත් වෙනවා.

අක්ෂරවල හැඩයෙන් ලැබෙන හෝඩුවාවන්

පුරාලිපි විද්‍යාඥයින් ඉපැරණි ග්‍රීක ලියවිලිවල අක්ෂර ලියා තිබුණු ආකාරය ක්‍රම දෙකකට වෙන් කර හැඳින්වූවා. වැල් අකුරුවලින් ලිවීම ඉන් එක් ක්‍රමයක් වූ අතර එය වැඩිපුරම භාවිත කළේ කාව්‍යමය නොවන කෘති ලිවීමටයි. ග්‍රීක ලියවිලි පිටපත් කළ අයද විවිධ අක්ෂර ක්‍රම භාවිත කළා. මෙයට නොබැඳි ලොකු අකුරු, වැල් අකුරු සහ කුඩා වැල් අකුරු ඇතුළත් වුණා. එක් නොබැඳි අකුරු ක්‍රමයක් ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ සිට ක්‍රි. ව. අටවෙනි හෝ නවවෙනි සියවස දක්වා භාවිත වුණා. කුඩා වැල් අකුරු ක්‍රමය ක්‍රි. ව. අටවෙනි හෝ නවවෙනි සියවසේ සිට ක්‍රි. ව. 15වෙනි සියවසේ මැදභාගයේ යුරෝපයේ අකුරු අතින් අමුණා මුද්‍රණය කිරීමේ ක්‍රමය ආරම්භ වූ කාලය දක්වා දිව ගියා. කුඩා වැල් අකුරු ක්‍රමය භාවිත කිරීම මගින් සීමිත ඉඩ ප්‍රමාණයකින් වැඩි තොරතුරු ලිවීමටත් සත්ව හම් අඩුවෙන් භාවිත කිරීමටත් හැකියාව ලැබුණා.

පුරාලිපි විද්‍යාඥයින්ට අත්පිටපත් ලියැවුණු කාලය සොයාගැනීම සඳහා ක්‍රමයක් තිබුණා. සාමාන්‍යයෙන් ඔවුන් පිටපතේ අකුරු විශාල කර බැලීම සඳහා කාච භාවිත කළා. එමගින් ඔවුන්ට එක් එක් අකුරුවල හැඩය හොඳින් නිරීක්ෂණය කිරීමට හැකි වුණා. සාමාන්‍යයෙන් අක්ෂර ලිවීමේ ක්‍රමය වෙනස් වීමට දිගු කාලයක් ගත වන නිසා මෙවැනි ක්‍රමයක් භාවිත කිරීමෙන් එය ලියූ කාලය නිර්ණය කිරීමට පහසු වුණා.

කාලය නිර්ණය කිරීමට වෙනත් ක්‍රම තිබීමද සතුටට කාරණයක්. මේ සඳහා උපකාරවත් වුණේ අක්ෂර ලියූ ආකාරයයි. උදාහරණයක් ලෙස ක්‍රි. ව. 900න් පසු ග්‍රීක භාෂාව ලියනු ලැබුවේ බැඳි අකුරු ක්‍රමය භාවිත කිරීමෙනුයි. එමෙන්ම සමහර ග්‍රීක අක්ෂර රූලට පහළින් ලිවීමේ ක්‍රමයක් මෙන්ම වචන උච්චාරණය කරන ආකාරය දක්වන සංකේත යොදාගැනීමේ ක්‍රමයක්ද භාවිත වුණා.

යම් ලියවිල්ලක ලේඛකයා කවුද කියා දැනගත් විට එය ලියනු ලැබූ කාලය හඳුනාගත හැකියි කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ අත්අකුරු ඔහුගේ ජීවිත කාලය පුරාම නොවෙනස්ව පවතින නිසා මෙලෙස කාලය අනුමානය කිරීම එතරම් සාර්ථක නැහැ. එමෙන්ම සමහර පිටපත්කරුවන් පිටපත පැරණි බව පෙන්වීම සඳහා පිටපත් කිරීමේදී පැරණි අත්අකුරු ක්‍රම භාවිත කර තිබෙනවා. මෙවැනි අභියෝග මැද වුවත් බයිබල් අත්පිටපත්වල කාලය නිර්ණය කිරීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

ග්‍රීක බයිබල් අත්පිටපත්වල කාලය

දැන් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ තිබෙන ඇලෙක්සැන්ඩ්‍රීයානු අත්පිටපත් බයිබල් විශාරදයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන ප්‍රධාන පෙළේ පිටපත් ලෙස නම් කළ හැකියි. මෙය ඔවුන්ට ලැබුණු මුල්ම බයිබල් අත්පිටපත් සමූහයයි. මෙය සකස් කර තිබුණේ හොඳම වර්ගයේ සත්ව හම්වලින් වූ අතර ලියා තිබුණේ නොබැඳි අකුරුවලිනුයි. මෙහි බයිබලයේ තොරතුරු රාශියක් අඩංගු වුණා. මෙම පිටපත් ක්‍රි. ව. පස්වන සියවසේ මුල්භාගයේ ලියැවුණු බව නිගමනය කළේ පස්වෙනි හා හයවෙනි සියවස අතර කාලයේදී භාවිත කළ නොබැඳි අකුරු හා මෙය ලියැවී තිබෙන අකුරු සමාන වූ නිසයි. උදාහරණයක් ලෙස වියනාවේ, ඩයස්කොරිඩීස් * නම් ලියවිල්ල ලියා තිබුණු ක්‍රමය හා ඉහත කී අත්පිටපත් අතර සමානකම් තිබුණු නිසා ලියවිලි දෙකම එකම කාල සීමාවේ ලියැවුණු බවට නිගමනය කළා.

සාන්ත කැතරින් පූජකාරාමයේ තිබී ටිෂෙන්ඩෝෆ් විසින් සොයාගනු ලැබූ සයිනයිටික් අත්පිටපත් බයිබල් විශාරදයන්ට ලැබුණු දෙවන උපකාරකයයි. එය ග්‍රීක නොබැඳි අකුරු යොදාගෙන සත්ව හම්වල ලියා තිබුණා. එය හෙබ්‍රෙව් ලියවිල්ලේ ග්‍රීක පරිවර්තනයක් වන සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ කොටසක් හා ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවලින් සමන්විත වුණා. එහි පිටු 43ක් ජර්මනියේ ලිප්සිග්වලත් පිටු 347ක් ලන්ඩන්හි බ්‍රිතාන්‍ය පුස්තකාලයේත් පිටු තුනක කොටස් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්වලත් දැකිය හැකියි. එම අත්පිටපත් ක්‍රි. ව. හතරවෙනි සියවසේ අගභාගයට අයත් බව විශ්වාස කෙරෙනවා. මේ කාල වකවානුව තීරණය කරනු ලැබුවේ සිසේරියාවේ ඉතිහාසඥ යූසීබියස් * හතරවෙනි සියවසේ සම්පාදනය කළ සුවිශේෂ පොත්වල සඳහන් හරස් යොමු සටහන්වලට අනුවයි.

වතිකානු අත්පිටපත් අංක 1209 බයිබල් විශාරදයන්ට උපකාරවත් වූ තුන්වෙනි අත්පිටපත ලෙස නම් කළ හැකියි. මෙහි සම්පූර්ණ බයිබලයම වාගේ ග්‍රීක භාෂාවෙන් දක්නට තිබුණා. මෙම අත්පිටපත වතිකානු පුස්තකාලයේ නාමාවලියට ඇතුළත් කරනු ලැබුවේ 1475දීයි. මෙම අත්පිටපත හොඳම වර්ගයේ සත්ව හම් පිටු 759කින් සමන්විතයි. මෙහි බයිබලයේ උත්පත්ති පොතේ බොහෝ කොටස්ද ගීතාවලියේ කොටසක්ද ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ කොටස්ද අඩංගු වන්නේ නැහැ. මෙය ලියා තිබුණේ නොබැඳි අක්ෂර ක්‍රමයට අනුවයි. මෙම අත්පිටපත් ක්‍රි. ව. හතරවන සියවසේ මුල්භාගයට අයත් බව විශාරදයින් විශ්වාස කරනවා. ඔවුන් එසේ නිගමනය කළේ මෙම ලියවිලි ලියා ඇති ශෛලිය හතරවෙනි සියවසට අයත් වූ සයිනයිටික් පිටපත් ලියා ඇති ශෛලියට සමාන වූ නිසයි. ඒත් මෙම අත්පිටපත් ඊටත් වඩා ටිකක් පැරණි බව ගණන් ගනු ලැබුවා. මෙහි යූසීබියස්ගේ සුවිශේෂ පොත්වල මෙන් හරස් යොමු සටහන් දක්නට තිබුණේ නැහැ.

ඊජිප්තුවෙන් සොයාගත් වස්තුවක්

එංගලන්තයේ මැන්චෙස්ටර්හි ජෝන් රයිලන්ඩ්ස් පුස්තකාලයට 1920දී පැපිරස් කඩදාසි විශාල ප්‍රමාණයක් ලැබුණා. මේවා සොයාගනු ලැබුවේ ඊජිප්තුවෙනුයි. මේවා අතර ලියුම්, බිල්පත්, සංඛ්‍යා ලේඛණ හා වෙනත් ලියවිලි තිබුණා. මෙම ලියවිලි පරීක්ෂා කළ බයිබල් විශාරද කොලන් රොබට්ස්ට ඒ අතරින් යොහන් 18වෙනි පරිච්ඡේදයේ පද කිහිපයක් ඇතුළත් පැපිරස් කැබැල්ලක් ලැබුණා. එය එවකට සොයාගෙන තිබුණු පැරණිතම ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවල කොටසයි.

එම පැපිරස් කැබැල්ල හැඳින්වූයේ ජෝන් රයිලන්ඩ්ස් පැපිරස් අංක 457 හෙවත් P52 ලෙසයි. එය ග්‍රීක නොබැඳි අක්ෂර භාවිත කර ලියා තිබුණු අතර දෙවෙනි සියවසේ මුල්භාගයට අයත් එකක් බව සැලකෙනවා. මෙය යොහන් සුවිශේෂය මුලින්ම ලියා අවසන් කර සියවස් කිහිපයකට පසුව ලියන ලද්දක් බව කිව හැකියි. මෙහි සඳහන් තොරතුරු ඉන් බොහෝ කලකට පසු ලැබුණු අත්පිටපත්වල තොරතුරුවලට හොඳින්ම ගැළපෙනවා.

පැරණි වුණත් නිවැරදියි!

බ්‍රිතාන්‍ය ජාතික ග්‍රන්ථ විවේචක ශ්‍රීමත් ෆෙඩ්රික් කෙන්යන් ඔහුගේ පොතක (The Bible and Archæology) ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළා. “නව ගිවිසුමේ සත්‍යතාව හා නිරවද්‍යතාව ගැන කිසිම සැකයක් නැති බව දැන් තහවුරු වෙනවා.” එමෙන්ම හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ නිරවද්‍යතාව ගැන බයිබල් විශාරද විලියම් එච්. ග්‍රීන් පවසන්නේ මෙසේයි. “වෙනත් කිසිම ඉපැරණි කෘතියක් මේ තරම් නිවැරදිව තොරතුරු වෙනස් නොවී පැවත නැති බව ස්ථිරයි.”

එම වචන ඇසෙන විට බයිබල් ලේඛකයෙක් වන පේතෘස් පැවසූ වදන් මතකයට නැඟෙනවා නොඅනුමානයි. “සියලු මාංස තණකොළ මෙන්ය. ඔවුන්ගේ සියලු තේජස තණ මලක් මෙන්ය. තණකොළ වියළෙයි. මල වැටී යයි. නමුත් යෙහෝවාගේ ප්‍රකාශය සදහට පවතින්නේය.”—1 පේතෘස් 1:24, 25.

[පාදසටහන්වල]

^ 2 ඡේ. එක් විශ්වකෝෂයකට අනුව ‘පුරාලිපි විද්‍යාව යනු දිරාපත් වන හම්, පැපිරස් හා කඩදාසි වැනි ද්‍රව්‍යවල ලියා තිබෙන තොරතුරු හැදෑරීමේ විද්‍යාවයි.’—එම විශ්වකෝෂය The World Book Encyclopedia.

^ 16 ඡේ. මෙය ලියනු ලැබුවේ ක්‍රි. ව. 527 හෝ 528දී මිය ගිය ජූලියානා ආනීසියා වෙනුවෙනුයි. “හොඳ වර්ගයේ සත්ව හම්වල නොබැඳි තනි අකුරුවලින් ලියා තිබුණු පැරණිතම ලියවිල්ල මෙයයි.”—ඊ. එම්. තොම්සන්ගේ An Introduction to Greek and Latin Palaeography.

^ 17 ඡේ. යූසීබියස් විසින් සම්පාදනය කළ සුවිශේෂ පොත්වල “එක පොතක තිබෙන තොරතුරුවලට සමාන තොරතුරක් අනික් පොත්වල සොයාගත හැකි වන්නේ කුමන කොටසේද කියා” දැනගැනීමට හරස් යොමු සටහන් තිබෙනවා.—බී. එම්. මෙට්ස්ගර්ගේ Manuscripts of the Greek Bible.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පුරාලිපි විද්‍යාඥයින් දින සඳහන් කළ අත්පිටපත් නිරීක්ෂණය කිරීමෙන් දින නොමැති පිටපත් ලියනු ලැබූ කාලය නිර්ණය කළා

[20වන පිටුවේ කොටුව]

යෙසායාගේ මළ මුහුදේ ලියවිල්ල කොතරම් පැරණිද?

බයිබලයේ යෙසායා නම් පොතේ අත්පිටපත් මුලින්ම සොයාගනු ලැබුවේ 1947දීයි. මෙය හඳුන්වනු ලබන්නේ යෙසායාගේ මළ මුහුදේ ලියවිලි කියායි. එය ලියා තිබුණේ සත්ව හම්වලයි. එය යුදෙව් බයිබල් විශාරදයන් වන මැසොරෙට්වරුන් ලියූ හෙබ්‍රෙව් අත්පිටපත්වලට වඩා පැරණියි. ඒ වගේම මළ මුහුදේ ලියවිලි ක්‍රි.පූ. දෙවෙනි සියවසේ අගභාගයේදී ලියනු ලැබූවක් බව විශ්වාස කෙරේ. විශාරදයන් එම කාල වකවානුව නිර්ණය කළේ කෙසේද? බයිබල් විශාරදයන් යෙසායාගේ ලියවිලි වෙනත් හෙබ්‍රෙව් ලියවිලි සමඟ සන්සන්දනය කළ අතර එය ක්‍රි. පූ. 125ත් ක්‍රි. පූ. 100ත් අතර ලියැවුණු එකක් බව තීරණය කළා. ඔවුන්ට මේ සඳහා කාබන්-14 පරීක්ෂණයද ඉවහල් වුණා.

මළ මුහුදේ ලියවිලි හා ඊට සියවස් කිහිපයකට පසු ලියැවුණු මැසොරෙට්වරුන්ගේ අත්පිටපත් අතර අදහස්වල ගැටීමක් තිබුණේ නැහැ. * මෙහි තිබුණේ අක්ෂර වින්‍යාසයේ හා ව්‍යාකරණවල වෙනස්කම් කිහිපයක් පමණයි. ඒ වගේම මළ මුහුදේ ලියවිලිවල හෙබ්‍රෙව් අක්ෂර හතරෙන් නියෝජනය කරන දිව්‍ය නාමය වන යෙහෝවා යන නම අඟවන ටෙට්‍රග්‍රැමටනය ඒ ආකාරයෙන්ම සඳහන් කර තිබුණා.

[පාදසටහන]

^ 34 ඡේ. මැසොරෙට්වරුන් කියන්නේ පිටපත් කිරීමට ඉතා දක්ෂ වු යුදෙව්වන් වන අතර ඔවුන් ජීවත් වූයේ ක්‍රි.ව 500 සිට ක්‍රි.ව. 1000 අතර කාලයේයි.

[20වන පිටුවේ වගුව⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

ග්‍රීක අත්අකුරු

නොබැඳි අකුරු

ක්‍රි. පූ. 4වෙනි සියවසේ සිට ක්‍රි. ව. 8වෙනි හෝ 9වෙනි සියවස දක්වා

කුඩා වැල් අකුරු

ක්‍රි. ව. 8වෙනි හෝ 9වෙනි සියවසේ සිට ක්‍රි. ව. 15වෙනි සියවස දක්වා

වැදගත් අත්පිටපත්

400

200

මළ මුහුදේ ලියවිලි

ක්‍රි.පූ. දෙවෙනි සියවසේ අගභාගය

ක්‍රි.පූ.

ක්‍රි.ව.

100

ජෝන් රයිලන්ඩ්ස් පැපිරස් අංක 457

ක්‍රි. ව. 125

300

වතිකානු අත්පිටපත අංක 1209

4වෙනි සියවසේ මුල්භාගය

සයිනයිටික් අත්පිටපත

4වෙනි සියවස

400

ඇලෙක්සැන්ඩ්‍රීන් අත්පිටපත

5වෙනි සියවසේ මුල්භාගය

500

700

800

[19වන පිටුවේ පින්තූර]

ඉහළ: කොන්ස්ටාන්ටින් ෆොන් ටිෂෙන්ඩෝෆ්

දකුණුපස: බර්නාඩ් ඩී. මොෆොකො

[හිමිකම් විස්තර]

© Réunion des Musées Nationaux/​Art Resource, NY

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Dead Sea Scroll: Shrine of the Book, Israel Museum, Jerusalem

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Typographical facsimile of Vatican Manuscript No. 1209: From the book Bibliorum Sacrorum Graecus Codex Vaticanus, 1868; Reproduction of Sinaitic Manuscript: 1 Timothy 3:16, as it appears in the Codex Sinaiticus, 4th century C.E.; Alexandrine Manuscript: From The Codex Alexandrinus in Reduced Photographic Facsimile, 1909, by permission of the British Library