Skip to content

පටුනට යන්න

යෞවන අය අසති

රෝගී වුණත් සතුටින් සිටිය හැකිද?

රෝගී වුණත් සතුටින් සිටිය හැකිද?

“තරුණයන්ගේ අලංකාරය ඔවුන්ගේ ශක්තියය” කියා බයිබලයේ පවසනවා. (හිතෝපදේශ 20:29, නව ලොව පරිවර්තනය, NW) ඔබ ආබාධිත නම් හෝ දරුණු රෝගයකින් පෙළෙනවා නම් ඉහත වදන් ඔබට කොහොමටවත් අදාළ වෙන්නේ නැහැ කියා සිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම එය ඔබටත් අදාළයි. නිදන්ගත රෝග හා ආබාධිත තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට බොහෝ යෞවනයින්ට හැකි වී තිබෙනවා. එවැනි යෞවනයින් හතරදෙනෙකුව පිබිදෙව්! සම්මුඛ සාකච්ඡාවකට භාජන කළා.

ජපන් ජාතිකයෙක් වන හීරෝකිගේ මොළයේ දරුණු ආබාධයක් ඇති වුණේ උපතේදීමයි. (cerebral palsy) ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “මගේ ඔළුව කෙළින් තියාගෙන ඉන්න බැහැ. මගේ අත්වලින් කෙරෙන්නේ මම කරන්න හදන දේ නෙවෙයි. මට හැමදේම කරගන්න කාගේ හරි උදව්වක් ඕනේ.”

දකුණු අප්‍රිකාවේ ජීවත් වන නැටලි සහ ඇගේ සහෝදරයා වූ ජේම්ස්ට තිබෙන ආබාධිත තත්වය නම් කුරුභාවයයි. මොවුන්ට තිබෙන්නේ දුර්ලභ ගණයේ ආබාධිත තත්වයක්. නැටලිට කොඳු ඇට පෙළේ ආබාධයකුත් තිබෙනවා. ඇය මෙසේ පවසනවා. “මගේ කොඳු ඇට පෙළේ හතර වතාවක් ශල්‍යකර්මයන් කරලා තියෙනවා. මගේ කොඳු ඇට පෙළ වක් ගැහිලා තියෙන නිසා මගේ පෙණහලුත් හරිම දුර්වලයි.”

බ්‍රිතාන්‍යයේ වෙසෙන තිමෝතිට වයස අවුරුදු 17දී දරුණු රෝගයක් (chronic fatigue syndrome) වැළඳුණා. ඒ රෝගයෙන් පෙළෙන්නෙක් දිගින් දිගටම අධික වෙහෙසකර බවක් අද්දකිනවා. ඔහු මෙසේ පවසනවා. “හොඳ ශරීර සෞඛ්‍යයක් තිබුණු මම මාස දෙකක් වගේ කෙටි කාලයකින් ලෙඩෙක් වුණා. දැන් මම හුඟක් දුර්වලයි. මගේ කකුල් දෙකත් පණ නැහැ.”

ඕස්ට්‍රේලියාවේ වෙසෙන 19-හැවිරිදි ඩැනියෙල් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. ඇය මෙසේ පවසනවා. “දියවැඩියාව තියෙනවා කියලා පිටතින් බැලුවාම කියන්න බැහැ. සමහර අය මේ අසනීපයේ තියෙන බරපතළකම ගැන දන්නේ නැහැ. මේ අසනීපය නිසා මැරෙන්න වුණත් පුළුවන්.”

ඔබත් යම් ආබාධයකින් හෝ දරුණු අසනීපයකින් පෙළෙනවා නම් හීරෝකි, නැටලි, තිමෝති සහ ඩැනියෙල් පවසන වදන්වලින් ඔබ දිරිගැන්වීමක් ලබන බව නම් නිසැකයි. ඔබ එවැනි තත්වයකට මුහුණ නුදුන්නත් එවැනි අයගේ හැඟීම් තේරුම්ගන්න ඔවුන්ගේ අදහස් ඔබට උපකාරවත් වෙයි.

පිබිදෙව්!: මේ අසනීප තත්වය නිසා ඔබට තිබෙන විශාලම අභියෝගය කුමක්ද?

නැටලි: මම සෙනඟ අතරට ගියාම ඒ අය මං දිහා බලන විදිහ තමයි මට තියෙන ලොකුම අභියෝගය. මං දිහා ඒ අය බලාගෙන ඉන්නවා කියලා මට හිතෙනවා. එතකොට හරිම අපහසුවක් දැනෙනවා.

ඩැනියෙල්: දියවැඩියාවේ තියෙන ලොකුම අභියෝගය තමයි මොනවාද කන්නේ, කොච්චරක්ද කන්නේ, මොන වගේ කෑමද නොකා ඉන්න ඕනේ කියලා තෝරා බේරා ගන්න එක. මම මගේ කෑම හරියට සමබර කරගත්තේ නැත්නම් ලේවල සීනි මට්ටම අඩු වෙලා (hypoglycemia) මට කෝමා (සිහිමුර්ඡා) තත්වයක් ඇති වෙන්නත් පුළුවන්.

හීරෝකි: මට විශේෂ රෝද පුටුවක් තියෙනවා. දවසකට පැය 15ක් විතර මට එකම ඉරියව්වෙන් ඉන්න වෙනවා. මට නින්ද යන්නෙත් හරිම අඩුවෙන්. පොඩි සද්දයකට වුණත් ඇහැරෙනවා.

තිමෝති: මට මුලදි තිබුණු ලොකුම අභියෝගය තමයි මම ලෙඩෙක් කියලා හිතෙන එක. එතකොට මට ලොකු වේදනාවක් දැනුණා.

පිබිදෙව්!: ඔබ මුහුණ දෙන වෙනත් අභියෝග මොනවාද?

ඩැනියෙල්: දියවැඩියාව නිසා මට හුඟක් වෙහෙසකාරී බවක් දැනෙනවා. මගේ වයසේ අනික් අයට වඩා මට හුඟක් නිදාගන්න ඕනේ. ඒක නිට්ටාවට සුව කරන්න බැරි ලෙඩක්.

නැටලි: මම කුරු නිසා රාක්කවල තියෙන බඩුවක්වත් ගන්න මට බැහැ. මම තනියෙන් බඩු ගන්න සාප්පු යද්දිත් ලොකු අපහසුතාවකට පත් වෙනවා.

තිමෝති: මට දිගින් දිගටම දැනෙන වේදනාවට සහ මානසික පීඩනයට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. කලින් මම දුවලා පැනලා වැඩ කළා. රැකියාවකුත් කළා. වාහන පැදෙව්වා. පාපන්දු වගේ ක්‍රීඩාත් කළා. නමුත් දැන් මම රෝද පුටුවකට සීමා වෙලා.

හීරෝකි: මට කතා කිරීමේ අපහසුතාවකුත් තියෙනවා. මේ නිසා මම හුඟක් සංවාදවලට එකතු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මටත් නොදැනීම තවත් කෙනෙකුට මගේ අතින් පහර වදින අවස්ථා තියෙනවා. මට කතා කරගන්න අපහසු නිසා මේ වගේ අවස්ථාවකදී ඒ කෙනාගෙන් සමාව ඉල්ලන්නවත් බැහැ.

පිබිදෙව්!: මේ තත්වයට සාර්ථකව මුහුණ දෙන්න ඔබට උපකාරවත් වුණේ කුමක්ද?

ඩැනියෙල්: මට ලැබිලා තියෙන ප්‍රීතිමත් දේවල් ගැන පමණක් සිතන්න මම උත්සාහ කරනවා. මගේ පවුලේ අය හරිම ප්‍රේමණීයයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ ඉන්න මගේ යාළුවෝ විතරක් නෙවෙයි මට උපකාර කරන්න යෙහෝවා දෙවිත් ඉන්නවා. දියවැඩියා රෝගය ගැන අලුත්ම තොරතුරු මම හොයලා බලනවා. මගේ අසනීපය මර්දනය කරගන්න මට කරන්න පුළුවන් හැමදේම මම කරනවා.

නැටලි: මට ශක්තිය දෙන ප්‍රධානම දේ තමයි යාච්ඤාව. මගේ හැම ප්‍රශ්නයක්ම මම එකපාර විසඳගන්න උත්සාහ කරන්නේ නැහැ. නිශේධාත්මක හැඟීම්වලින් මිදෙන්න මම නිතරම මොනවා හරි වැඩක යෙදෙනවා. මට ආදරණීය දෙමාපියන් ඉන්න එකත් ලොකු ශක්තියක්.

තිමෝති: මම දවස පටන්ගන්නේ දිනපදය කියවලයි. බයිබලය කියවීම, යාච්ඤාව මම අතපසු කරන්නේ නැහැ. විශේෂයෙන් මම හුඟක් දුකෙන් ඉන්න අවස්ථාවල මේවා මට ලොකු උපකාරයක්.

හීරෝකි: මට කරන්න බැරි දේවල් ගැන මම ඕනෑවට වඩා හිතහිතා දුක් වෙන්නේ නැහැ. යෙහෝවා දෙවිත් එක්ක තියෙන මගේ සම්බන්ධය වැඩි කරන්න පුළුවන් දේවල් මම කරනවා. බයිබලය පාඩම් නොකර ඉන්න මම මගේ අසනීපය හේතුවක් කරගන්නේ නැහැ. මට නිදාගන්න බැරි වෙනකොට මම ඒ අවස්ථාව යාච්ඤා කරන්න යොදාගන්නවා.—රෝම 12:12 කියවන්න.

පිබිදෙව්!: අනික් අය ඔබව දිරිගැන්වූයේ කෙසේද?

හීරෝකි: මට හුඟක් දේවල් කරන්න බැහැ. ඒත් සභාවේ අවේක්ෂකයන් මම කරන කුඩා දේ පවා අගය කරනවා. සභාවේ ඉන්න සහෝදර සහෝදරියන් බයිබලය ගැන අනික් අයට කියලා දෙන්න යනකොට මාවත් එක්කගෙන යනවා.—රෝම 12:10 කියවන්න.

ඩැනියෙල්: සභාවේ ඉන්න සහෝදර සහෝදරියන් මාව අවංකව අගය කරද්දී මාව හුඟක් දිරිගැන්වෙනවා. මමත් වටිනා කෙනෙක් කියලා එතකොට මට හැඟෙනවා. මට කරන්න පුළුවන් දේ දිගටම කරන්න ඒක මාව පොලඹවනවා.

තිමෝති: රැස්වීමේදී මා එක්ක කතා කරන්න විශේෂ උත්සාහයක් දරන වයසක සහෝදරියක් ඉන්නවා. සභාවේ අවේක්ෂකයන් සහ ඒ අයගේ භාර්යාවනුත් මාව දිරිගන්වනවා, විවිධ යෝජනා දෙනවා. ඒ වගේම වයස අවුරුදු 84ක අවේක්ෂකයෙක් ඉලක්ක තියලා ඒ අනුව වැඩ කරන්න මට උදව් කරනවා. තවත් සභා සේවකයෙක් රෝද පුටුවෙන් පහසුවෙන් යන්න පුළුවන් ප්‍රදේශයක් තෝරගෙන එයත් එක්ක මාව සේවයේ ගෙනියනවා.—ගීතාවලිය 55:22 කියවන්න.

නැටලි: මම සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවට ගිය ගමන්ම මගේ සහෝදර සහෝදරියෝ මාව සුහද සිනාවකින් මාව පිළිගන්නවා. වයසක අය ඒ අයගේ අමාරුකම් ගැන කියකියා ඉන්නේ නැතුව මාව දිරිමත් කරවන දේවල් ගැන තමයි කතා කරනවා.—2 කොරින්ති 4:16, 17 කියවන්න.

පිබිදෙව්!: ඔබ ඉන්න තත්වය ගැන ධනාත්මකව සිතන්න ඔබට උපකාරවත් වුණේ කුමක්ද?

හීරෝකි: මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. අපිට අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තියෙනවා. මේ වගේ ප්‍රීතිමත් කණ්ඩායමක සාමාජිකයෙක් වීම මට මගේ අසනීපය ගැන ධනාත්මකව හිතන්න උපකාරයක් වුණා.—2 ලේකම් 15:7 කියවන්න.

ඩැනියෙල්: යෙහෝවා දෙවිගේ අරමුණු ගැන දැනගන්න ලැබුණු අවස්ථාව ගැන මම නිතරම කල්පනා කරනවා. නිරෝගී සෞඛ්‍යයක් තියෙන සමහර අය මං තරම්වත් ජීවිතය ගැන තෘප්තිමත් නැහැ.—හිතෝපදේශ 15:15 කියවන්න.

නැටලි: දේවල් දිහා සුභවාදීව බලන අයත් එක්ක ඇසුරු කරන්න මම උත්සාහ කරනවා. පරීක්ෂා මැද්දේ දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයගේ අද්දැකීම් කියවන එකත් මට ලොකු දිරිගැන්වීමක්. මම සාක්ෂිකරුවන්ගේ රැස්වීම් පවත්වන ශාලාවට යනකොට මම දන්නවා අනිවාර්යයෙන්ම මට ලොකු ශක්තියක් ලැබෙනවා කියලා. ඒ වගේම සාක්ෂිකරුවෙක් වීම මොන තරම් වරප්‍රසාදයක්ද කියන එකත් මට දැනෙනවා.—හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.

තිමෝති: යෙහෝවා දෙවි අපිට දරාගන්න පුළුවන් තරමට වඩා පීඩාවලට මුහුණ දෙන්න ඉඩ හරින්නේ නැහැ කියලා බයිබලයේ පළමුවන කොරින්ති 10:13හි කියනවා. මට මේ තත්වය දරාගන්න පුළුවන් කියලා යෙහෝවා දෙවිට විශ්වාස නම් ඇයි මට බැහැයි කියලා මම හිතන්නේ?

සිතා බලන්න

  • හීරෝකි සහ තිමෝතිගේ ජීවිත දැන් රෝද පුටුවලට සීමා වෙලා. ඔබේ තත්වයත් මේ හා සමාන නම් ඒ දෙස ධනාත්මකව සිතන්න ඔවුන්ගේ අදහස් ඔබට උපකාරවත් වන්නේ කෙසේද?

  • ඩැනියෙල් මෙසේ පැවසුවා. “දියවැඩියාව තියෙනවා කියලා පිටතින් බැලුවාම කියන්න බැහැ. සමහර අය මේ අසනීපයේ තියෙන බරපතළකම ගැන දන්නේ නැහැ.” ඔබත් එවැනි රෝගයකින් පෙළෙනවාද? එසේනම් ඩැනියෙල් පැවසූ වදන් ඔබට උපකාර වන්නේ කෙසේද?

  • නැටලි පැවසුවේ ඇය දෙස අනික් අය බලන ආකාරය තමයි ඇයට තිබෙන ලොකුම අභියෝගය කියලා. නැටලිගේ තත්වයම අද්දකින කෙනෙකුට එයාකාරයට හැඟීම වළක්වාගන්න ඔබට කළ හැකි යමක් තිබෙනවාද? ආබාධයක් හෝ දරුණු අසනීපයක් නිසා නැටලිට තිබෙන හැඟීමම ඔබටත් තිබෙනවා නම් ඇගේ ධනාත්මක ආකල්පය ඔබ තුළත් ඇති කරගත හැක්කේ කෙසේද?

  • ඔබ දන්නා දරුණු රෝගයකින් හෝ ආබාධයකින් පෙළෙන අයව නම් කරන්න.

  • ඔබට ඔවුන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද?