Skip to content

පටුනට යන්න

දෙවිගෙන් සමාව ලැබෙන්නේ කුමන පාපවලටද?

දෙවිගෙන් සමාව ලැබෙන්නේ කුමන පාපවලටද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවිගෙන් සමාව ලැබෙන්නේ කුමන පාපවලටද?

දයාව දෙවිගේ කැපීපෙනෙන ගුණාංගයක්. (ගීතාවලිය 86:15) ඔහු මෙම දයාව කොතරම් දුරකට විදහාපානවාද? ඒ ගැන බයිබලයේ පවසන්නේ “යාහ් දෙවියනි, ඔබ අපේ වැරදි සොයනවා නම්, අනේ යෙහෝවා දෙවියනි, එක්කෙනෙකුවත් ඉතුරු වෙයිද? ඇත්තටම සමාව දෙන්නේ ඔබය. ඒ නිසා ඔබ කෙරෙහි ගරුබිය ඇති වන්නේය” කියායි. (ගීතාවලිය 130:3, 4, නව ලොව පරිවර්තනය, NW) තවත් වගන්තියක සඳහන් වෙන්නේ මෙසේයි. “බස්නාහිරෙන් නැඟෙනහිර බොහෝ දුරස්තව තිබෙන්නා සේ ඔහු අපේ වැරදිද අපෙන් එපමණටම ඈත් කරන්නේය. පියෙකු තම පුත්‍රයන්ට දයාව දක්වන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා කෙරෙහි ගරුබියක් ඇති අයට දයාව දක්වන්නේය. ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අප නිකම්ම දූවිලි බව ඔහු සිහි කරන්නේය.”—ගීතාවලිය 103:12-14NW.

යෙහෝවා දෙවි දයාන්විත දෙවි කෙනෙක් නිසා ඔහු අපට සමාව දීමට කැමැත්තෙන් සිටින අතර සමාව දුන් පසු එම වරද නැවත මතක් කරන්නේද නැහැ. එවන් අවස්ථාවලදී අපි “දූවිලි” බව සිහි කරන ඔහු අපේ සීමාවන් මෙන්ම වැරදි කිරීමට අපි තුළ ඇති නැඹුරුවාවත් තේරුම්ගන්නවා. වැරදි කළ අයට දෙවි දයාව දැක්වූ ආකාරය පෙන්වන උදාහරණ කිහිපයක් සලකා බලමු.

යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පේතෘස් අවස්ථා තුනකදී යේසුස්ව නාඳුනන බව පැවසුවා. (මාක් 14:66-72) පාවුල් නම් තැනැත්තා දෙවි ගැන දැනගන්න පෙර යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා කළා. එමෙන්ම ඔවුන්ගෙන් සමහර අයව ඝාතනය කිරීමට තමන්ගේ කැමැත්තද පළ කළා. (ක්‍රියා 8:1, 3; 9:1, 2, 11; 26:10, 11; ගලාති 1:13) එදා කොරින්ති සභාවේ සිටි සමහර අය ක්‍රිස්තියානීන් වීමට පෙර බේබද්දන්, අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නන් මෙන්ම සොරුන්ද වුණා. (1 කොරින්ති 6:9-11) නමුත් පසු කාලයකදී ඔවුන් සියලුදෙනාටම දෙවි සමාව දුන්නා. දෙවි එසේ කළේ ඇයි?

දෙවිගෙන් දයාව ලැබීමට නම් . . .

පාවුල් එක් අවස්ථාවක මෙසේ පැවසුවා. “මා නොදන්නාකමින් සහ ඇදහිල්ල නැතිකමින් ක්‍රියා කළ හෙයින්, මට දයාව පෙන්වන ලදි.” (1 තිමෝති 1:13) පාවුල් කළ වැරදි ඔහු නොදන්නාකමින් කළ ඒවා කියා පැවසීමෙන් දෙවිගෙන් සමාව ලැබීම සඳහා ගත යුතු පළමු පියවර අපට තේරුම්ගත හැකියි. එනම් යෙහෝවා දෙවි සහ බයිබලයේ සඳහන් ඔහුගේ ප්‍රමිති ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීමයි. (2 තිමෝති 3:16, 17) ඇත්තෙන්ම අපි දෙවි ගැන නොදන්නවා නම් ඔහුගේ කැමැත්ත කරන්න අපිට හැකි වන්නේ නැහැ. යේසුස් තම පියාට යාච්ඤා කළ එක් අවස්ථාවකදී මෙසේ පැවසුවේ ඒ නිසයි. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3.

පුද්ගලයෙකු එලෙස දෙවි ගැන දිගින් දිගටම දැනුම ලබන විට තමන් කළ වැරදි ගැන ඔහු තුළ පසුතැවීමක් ඇති වෙනවා. දෙවිගෙන් සමාව ලැබීමට ගත යුතු දෙවෙනි පියවර වන්නේ අවංක පසුතැවිල්ලයි. බයිබලයේ මෙසේ පවසනවා. “එබැවින් පසුතැවිලි වන්න. ඔබේ පව් මකා දමන පිණිස හැරෙන්න.”—ක්‍රියා 3:19.

ඉහත පදයෙහි ගත යුතු තෙවන පියවරද සඳහන් වෙනවා. එනම් වැරදි ක්‍රියා මාර්ගවලින් හැරීමයි. මෙහිදී හැරෙනවා කියා කීමෙන් අදහස් වෙන්නේ වැරදි ආකල්පවලින් හා තමන් කළ වැරදිවලින් ඉවත් වී දෙවිගේ ප්‍රමිතිවලට අනුව තම ආකල්ප හා ක්‍රියා හැඩගස්වා ගැනීමයි. (ක්‍රියා 26:20) ඇත්තටම වැදගත් වෙන්නේ කෙනෙකු තම වැරදි ගැන පසුතැවිලි වීම වචනයට පමණක් සීමා නොකර එය ක්‍රියාවලින් පෙන්වීමයි.

“ඕනෑකමින්ම දිගටම” පව් කිරීම

සමහර අයගේ පාපවලට දෙවි සමාව දෙන්නේ නැහැ. ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. “සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලැබුණායින් පසු, අපි ඕනෑකමින්ම දිගටම පව් කරමු නම්, පාප උදෙසා පූජාවක් තවත් ඉතිරිව නැත. නමුත් ඇත්තේ විනිශ්චය ගැන බිය උපදවන අපේක්ෂාවකි.” (හෙබ්‍රෙව් 10:26, 27) මෙම පදයෙහි “ඕනෑකමින් දිගටම” පව් කිරීම යනු දිගින් දිගටම දුෂ්ට දේවල නියැලීමයි. එවැනි අයගේ සිත්වල දුෂ්ටකම මුල් බැස තිබෙනවා.

යූදස් ඉස්කාරියොත් එවැනි කෙනෙක්. යේසුස් එක් අවස්ථාවක ඔහු ගැන පැවසුවේ “ඒ මිනිසා ඉපදුණේ නැතිනම් ඔහුට වඩා හොඳය” කියායි. (මතෙව් 26:24, 25) යේසුස්ගේ කාලයේ විසූ ආගමික නායකයන් ගැන යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. ‘ඔබ ඔබේ පියා වන යක්ෂයාගෙන්ය. ඔහු බොරු කියද්දී තමාගේම අදහස්වලට අනුව කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. බොරුවේ පියාය.’ (යොහන් 8:44) සාතන්ගේ මෙන් ඔවුන්ගේ සිත්වලද දුෂ්ටකම මුල් බැස තිබුණා. මේ නිසා ඔවුන් කළ වැරදි ගැන ඔවුන් පසුතැවිලි වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් එන්න එන්නම දරුණු වුණා. * සමහරවිට දුර්වලකම් නිසා හෝ පව් කිරීමට තිබෙන නැඹුරුවාව නිසා හෝ ක්‍රිස්තියානියෙක් අතින් බරපතළ පාපයක් සිදු විය හැකියි. නමුත් එවන් අවස්ථාවකදී පාපයක් සිදු වුණේ ඔහුගේ සිතෙහි දුෂ්ටකම මුල් බැස තිබූ නිසා කියා කියන්න බැහැ.—ගලාති 6:1.

මිය යන මොහොතේදී පවා දයාව පෙන්වූ යේසුස්

යම් පුද්ගලයෙකු කරන පාපය පමණක් නොවෙයි ඔහුගේ ආකල්පය ගැනත් දෙවි සැලකිලිමත් වෙනවා. (යෙසායා 1:16-19) යේසුස් මිය යන මොහොතේදී ඔහු දෙපස සිටි අපරාධකරුවන් ගැන ටිකක් සිතා බලන්න. ඔවුන් දෙදෙනාම බරපතළ වැරදි කළ අයයි. නමුත් ඉන් එක්කෙනෙක් යේසුස්ට මෙසේ පැවසුවා. “අපට මේ සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ අප කළ දේවල්වලට සුදුසු විපාකය. නමුත් මොහු කිසි වරදක් කළේ නැත.” ඔහුගේ මෙම වදන්වලින් පැහැදිලි වෙන්නේ ඔහු යේසුස් ගැන යම් කිසිවක් දැන සිටි බවයි. එමෙන්ම එම දැනුම ඔහුගේ ආකල්ප වෙනස් කිරීමටද හේතු වූ බවයි. “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වූ විට මාව සිහි කරන්න” කියා ඉන්පසුව ඔහු පැවසූ වදන්වලින් ඒ බව මනාව පැහැදිලි වෙනවා. ඔහු කළ අවංක ඉල්ලීමට යේසුස්ගේ ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? “සැබවින්ම මම අද ඔබට කියමි, ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය.”—ලූක් 23:41-43.

මිය යන්න මොහොතකට පෙර පවා යේසුස් මරණයට නියම වූ කෙනෙකුට පෙන්වූ දයාව මොන තරම්ද! එසේනම් තමන් කළ පාප ගැන අවංකව පසුතැවිලි වන අයට යෙහෝවා දෙවි සහ යේසුස් අනිවාර්යයෙන්ම දයාව පෙන්වන බව ස්ථිරයි.—රෝම 4:7.

[පාදසටහන]

^ 12 ඡේ. වර්ෂ 2007 ජූලි 15 මුරටැඹ කලාපයේ 16 සිට 20 දක්වා පිටුවල ඇති “ඔබ කර තිබෙන්නේ සමාව ලැබිය නොහැකි පාපයක්ද?” යන ලිපිය බලන්න.

මේ ගැන ඔබ සිතුවාද?

▪ ඔබ දෙවිගේ දයාව විග්‍රහ කරන්නේ කෙසේද?—ගීතාවලිය 103:12-14; 130:3, 4.

▪ දෙවිගේ අනුමැතිය ලැබීම සඳහා ගත යුතු පියවර මොනවාද?—යොහන් 17:3; ක්‍රියා 3:19.

▪ තමන් අසල සිටි අපරාධකරුවාට යේසුස් පොරොන්දු වූයේ කුමක්ද?—ලූක් 23:43.

[10වන පිටුවේ පින්තූරය]

බරපතළ පාපයකට වුවත් සමාව ලබාගත හැකි බව යේසුස් පෙන්වූවා