Skip to content

පටුනට යන්න

සේනාධිපතියෙක් හේවායෙක් වෙයි

සේනාධිපතියෙක් හේවායෙක් වෙයි

සේනාධිපතියෙක් හේවායෙක් වෙයි

පැවසුවේ මාක් ලුවිස්

“සුබ උදෑසනක් උතුමාණෙනි” “සුබ සන්ධ්‍යාවක් ස්වාමිනි” “සුබ රාත්‍රියක් අගමැතිතුමනි.” මම ඕස්ට්‍රේලියාවේ ගුවන් හමුදාවේ (Royal Australian Air Force) ගුවන් නියමුවෙක් හා ප්‍රභූවරුන් ප්‍රවාහනය කිරීමේ අංශයේ සේනාධිපති ලෙස සේවය කරන විට මම නිතරම ආචාර කළේ ඒ ආකාරයටයි. මම රාජ්‍ය නායකයින්ව හා දේශපාලනඥයින්ව රට ඇතුළත මෙන්ම පිට රටවල්වලට යෑම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා. ඒත් මම දැන් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මම දැන් මගේ වෙනස් වීමට හේතුව කියන්නම්.

මම උපත ලැබුවේ 1951 බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේයි. මගේ තාත්තා හමුදා නිලධාරියෙක්. මට වයස අවුරුදු 15දී මම එන්ජින් නැතුව සුළඟේ පාවී ගුවනේ ගමන් කරන යානා පදවන ක්ලබ් එකකට (gliding club) බැඳුණා. මේ නිසා මට ගුවන් ගමන්වලට තිබුණේ පුදුම ආශාවක්.

මගේ දෙමාපියන් දෙදෙනා වෙන් වුණාට පස්සේ අපේ පවුල විසිරී ගියා. ඉන්පසු මගේ පාසැල් අධ්‍යාපනය අවසන් වන තුරු මම හැදුණේ ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා අංශයේ අණ දෙන නිලධාරියෙක් හා ඔහුගේ පවුලේ අය සමඟයි. ඕස්ට්‍රේලියාවේ ගුවන් හමුදා පාසැලට ආධුනික භටයෙක් ලෙස බැඳීමට මට පෙලඹීමක් ඇති වුණේ ඔහුගේ ඇසුර නිසයි.

මගේ ආශාව මල් පල ගැන්වූ දා

ඉන් අවුරුදු හයකට පමණ පසු මට විද්‍යා උපාධියක් ලබාගැනීමට හැකි වූ අතර ගුවන් නියමුවෙක් ලෙස සේවය කිරීමේ ප්‍රස්තාව උදා වුණා. මගේ මුල්ම පැවරුම වුණේ ඕස්ට්‍රේලියාවේ හා දකුණු පැසිෆික් දූපත්වලට මෙන්ම අග්නිදිග ආසියාවේ රටවලට යුධෝපකරණ මෙන්ම හමුදා භටයින් රැගෙන යෑමයි. අපි බොහෝ වේලාවට උස් කඳු උඩින් පියාසර කළා. අපි ගුවන් යානා ගොඩ බැස්සුවේ පහත් නිම්නවල තණ තීරුවලයි. මෙවැනි අවදානම් තත්වයන් යටතේ අපේ අංශයේ ගුවන් යානා කිහිපයක්ම අනතුරුවලට ලක් වූ අතර දක්ෂ නිලධාරීන්ගේ සේවයත් අහිමි වුණා. ඒත් හුදෙකලා වී සිටි අයට අපේ සේවයෙන් මහත් ප්‍රයෝජනයක් ලැබුණා. අපි පාලම් හදන්න අවශ්‍ය ද්‍රව්‍යත්, මහාමාර්ග කැපීමට අවශ්‍ය බුල්ඩෝසර් වැනි උපකරණත්, ආහාර පාන මෙන්ම සෞඛ්‍ය සේවා නිලධාරීන්වත් රැගෙන ගියා. ඒ වගේම එවැනි ස්ථානවලින් රෝගීන්වත් ගෙන ආවා.

වර්ෂ 1978දී ගුවන් නියමුවන් පුහුණු කිරීමේ උපදේශකයෙක් ලෙස සුදුසුකම් ලැබූ නිසා මම ගුවන් හමුදා පාසැලට සම්බන්ධ වුණා. එහිදී මට ඩයෑන්ව මුණගැසුණා. ඇය වයස අවුරුදු තුනක දුවෙක් සිටි වැන්දඹුවක්. ඇගේ ස්වාමිපුරුෂයා මාත් එක්ක ගුවන් හමුදා පාසැලේ සිටියා. ඒත් කනගාටුදායක ලෙස ඔහු ගුවන් අනතුරකින් මිය ගොස් තිබුණා. මම ඇයව විවාහ කරගන්න කැමතියි කියා පැවසුවත් ඒ ගැන තීරණයක් ගන්න ඇය ටික කාලයක් ඉල්ලුවා. ඒක සාධාරණයි. ඇගේ පුරුෂයා ගුවන් අනතුරකින් මිය ගියාට පස්සේ නැවතත් ගුවන් නියමුවෙක් සමඟ විවාහ වෙනවාද කියා තීරණය කිරීම ඇයට පහසු වුණේ නැහැ.

මේ අතරතුරේදී මට ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරතුමාගේ පෞද්ගලික සහයක ලෙස සේවය කිරීමට අවුරුද්දක පැවරුමක් ලැබුණා. මම මේ කාලයේදී නතර වී සිටියේ කැන්බරාවල ආණ්ඩුවේ නිල නිවාසයේයි. ඒ කාලයේදී දේශපාලන කටයුතු ගැන තිබුණු මගේ දැනුම පුළුල් වුණා. ඒ වගේම සමාජයේ, හමුදාවේ හා ආගමික නායකයන් සමඟ කිට්ටු ඇසුරක් පවත්වන්නත් ලැබුණා. මේ සේවය අවසන් වූ පසු මම නැවතත් ගුවන් නියමුවන්ගේ උපදේශක ලෙස සේවය ආරම්භ කළා. ඉන් ටික කලකට පසු එනම් 1980දී මම ඩයෑන් සමඟ විවාහ වුණා.

වර්ෂ 1982දී එක්සත් ජනපදයේ ගුවන් හමුදාවේ සේවය කිරීම සඳහා මට යන්න සිදු වුණා. එහිදී මට ගුවන් ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කිරීමටත් ගුවන් අනතුරු ගැන සොයා බැලීමටත් පැවරුණා. මුළු එක්සත් ජනපදය පුරාම මෙන්ම අයර්ලන්තය දක්වාත් මට යන්න තිබුණා. ගුවන් අනතුරු වළක්වාගැනීමට කළ හැකි දේවල් සොයා බැලීමත් මට පැවරුණා.

නැවතත් ඕස්ට්‍රේලියාවට

මම ඕස්ට්‍රේලියාවට පැමිණියාට පසු අපේ පවුලට තවත් අලුත් සාමාජිකයෙක් එකතු වුණා. ඒ අපේ දුව කෙරී. මම රැකියාවේ කොච්චර කාර්යබහුල වුණාද කියනවා නම් ඩයෑන්ට දරුවන්ගේ අම්මා විතරක් නෙවෙයි තාත්තා වෙන්නත් සිදු වුණා. ඊට වසර තුනකට පසුවයි මම මුලින්ම සඳහන් කළ ප්‍රභූවරුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමේ අංශයේ ගුවන් හමුදා සේනාධිපති ලෙස සේවය කළේ. වර්ෂ 1991දී පර්සියන් ගල්ෆ් යුද්ධය පටන්ගත් විට මම සම්බන්ධ වී සිටි ඒකක එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට සහය ලබා දුන්නා. ඒ වගේම පකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඊශ්‍රායෙලය මෙන්ම අප්‍රිකාවේ මෙහෙයුම්වලටත් සහය දුන්නා.

මම 1992දී ආරක්ෂක හමුදාවේ ප්‍රධානියාගේ දෙවෙනියා ලෙස සේවය කළා. ප්‍රධාන පෙළේ අණ දෙන නිලධාරියෙකු යටතේ සේවය කිරීමේදී මට හමුදාවේ, දේශපාලනයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංගමයේ වැඩපිළිවෙළ ගැන සමීප බැල්මක් හෙළීමට හැකි වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ අඩු පාඩු තිබුණත් මේ ලෝකයට සෙතක් සලසන්න පුළුවන් එකම සංවිධානය එය ලෙසයි මම හිතුවේ.

ඩයෑන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු

රෝමානු කතෝලිකයෙක් වන ඩයෑන්ට ඇගේ පළමු ස්වාමිපුරුෂයා මිය ගියාට පස්සේ ඒ සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න තිබුණත් ඒවාට සෑහීම ගෙන දෙන පිළිතුරු ඇයට ලැබුණේ නැහැ. අපේ වැඩිමල් දියණිය වන රෙනී භූතයන් හා සම්බන්ධ ක්‍රියාවල නියැලීමට කැමැත්තක් දක්වන්න පටන්ගත්තාම ඩයෑන්ට තවත් ප්‍රශ්න ඇති වුණා. ඩයෑන්ට ඇගේ මිතුරියකගේ නිවසේදී පිබිදෙව්! සඟරාවක් හම්බවුණා. ඒ සඟරාවේ ඊළඟ මාසයේ නිකුත් වන කලාපයේ භූතවාදය * ගැන ලිපියක් පළ වන බවට සඳහන් වී තිබුණා. ඩයෑන් මීට පෙර කවදාවත් පිබිදෙව්! සඟරාවක් දැක තිබුණේ නැහැ. ඇය ගෙදර එනකම්ම හිතුවේ ඊළඟ පිබිදෙව්! කලාපය ලබාගන්නේ කොහොමද කියායි.

ඊට දවස් තුනකට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට පැමිණි නිසා ඩයෑන්ට ඒ සඟරාව ලබාගන්න හැකි වුණා. ඉන් අනතුරුව ඇය බයිබලය පාඩම් කිරීමටත් රැස්වීම්වලට සහභාගි වීමටත් පටන්ගත්තා. ඇය බයිබලය පාඩම් කිරීම ගැන මගේ අකමැත්තක් තිබුණේ නැහැ. සමහර අවස්ථාවලදී මම එයාව රැස්වීම්වලට එක්කගෙන ගියා. හමුදාවේ පූජා පවත්වන්න එන පූජකයන් ප්‍රේමය හා සාමය ගැන දේශනා කළත් යුද්ධයේදී පැති ගත්තා. ඒ නිසා මම දෙවි කෙනෙක් ගැන විශ්වාස කළත් ආගම්වල තිබෙන බොරු දේවල් නිසා බයිබලය ගැන හොයලා බලන්න තරම් උනන්දුවක් දැක්වූයේ නැහැ.

ඩයෑන් මගේ උනන්දුව ඇති කරන්න මුරටැඹ හා පිබිදෙව්! සඟරා ගෙදර තැනින් තැන තියනවා. මම එයාට හොරෙන් ඒවා කියවලා නැවතත් ඒ තැනින්ම තියනවා. මම මේවා කියවන්න ආසයි කියලා එයා දැනගන්නවාට මම කැමති වුණේ නැහැ. ඒත් බයිබලයේ දැනුම ක්‍රමක්‍රමයෙන් වැඩි වන විට බයිබල් පද දෙකක් මගේ හිතට වධ දුන්නා. එකක් එළිදරව් 19:17, 18. එහි කුරුල්ලන් “සේනාධිපතීන්ගේ” මාංසමය කොටස් කන බව කියා තිබුණා. අනික් බයිබල් පදය එළිදරව් 17:3. එහි “තද රතු පාට වන මෘගයෙකු” ගැන සඳහන් වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මේ රතු පාට වන මෘගයා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා හඳුන්වා තිබුණා. ඒ සංවිධානය ගැන මම හිතාගෙන සිටි ආකාරයට වඩා එය හාත්පසින්ම වෙනස්. * ඒත් මම ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැහැ.

වර්ෂ 1993දී ඩයෑන් බව්තීස්ම වෙනවා කියලා මට බලන්න එන්න කිව්වා. මම එහෙම ආරාධනාවක් කොහොමටත් ඇගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. මම මෙහෙම ඇහුවා. “ඔයාට තේරීමක් කරන්න වුණොත් නම් ඔයා තෝරගන්නේ යෙහෝවා දෙවිවද නැත්නම් මාවද?” “මම තෝරගන්නේ යෙහෝවා දෙවිව. ඒත් එවැනි තේරීමක් කරන්න අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ නැහැ. මට ඔය දෙන්නවම ඕනේ.” ඩයෑන්ගේ ජීවිතයට මෙතරම් බලපෑමක් වී තිබෙන අනික් තැනැත්තා ගැන මට දැනගන්න අවශ්‍ය වුණා. ඒ නිසා සාක්ෂිකරුවන්ගේ සභාවේ අවේක්ෂකයෙක් සමඟ මම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

බයිබලයේ සඳහන් අනාවැකි, විශේෂයෙන්ම හමුදා හා දේශපාලන ඉතිහාසය ගැන මට ලොකු උනන්දුවක් ඇති වුණා. උදාහරණයක් ලෙස මම ගුවන් හමුදා පාසැලේ ඉගෙනගන්න කාලයේදී ඉපැරණි ග්‍රීක ජාතිකයින් ලැබූ ජයග්‍රහණ ගැන ඉගෙනගෙන තිබෙනවා. නමුත් මම දැන් දන්නවා ඉතිහාසයේ සිදු වූ බොහොමයක් සිදුවීම් ඒවා සිදු වෙන්න ශතවර්ෂ ගණනාවකට පෙර බයිබලයේ දානියෙල් පොතේ 8වෙනි පරිච්ඡේදයේ සඳහන් වී තිබුණා කියලා. බයිබලය දෙවිගේ බලයෙන් ලියැවුණු පොතක් බවට පිළිගැනීමට මේ අනාවැකි ඇතුළු තවත් ඒවා මට උපකාරවත් වුණා.

මම එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙස විවෘත මනසකින් බැලුවා. මම තේරුම්ගත්තා හමුදා බලයෙන් කවදාවත් මිනිසාගේ ප්‍රශ්න විසඳන්න බැහැයි කියලා. ඒ වගේම යුද්ධයෙන් සැබෑ සාමය කිසිදා අත් කරගන්න බැරි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දේශපාලනික, ආගමික ප්‍රශ්න හා බෙදුම්වාදීන් අතර ප්‍රශ්න විසඳන්න බැරි බවත් තේරුම්ගත්තා. මිනිසාගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම තැනැත්තා දෙවි බව මට වැටහුණා. ඇත්තටම ලෝක ව්‍යාප්තව සිටින ඔහුගේ සෙනඟ වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අද සාමය අද්දකිනවා. (ගීතාවලිය 133:1; යෙසායා 2:2-4) ඒත් මට හමුදාවෙන් ඉවත් වී දෙවිට සේවය කරන්න පුළුවන්ද?

බයිබල් සත්‍යය වෙනුවෙන් තීරණයක්

මම 1994දී සිඩ්නිවල පැවැත්වූ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට සහභාගි වුණා. එහිදී බයිබලයේ සඳහන් සිද්ධියක් මත පදනම් කරගෙන රඟ දැක්වූ නාට්‍යයක් නැරඹුවා. එහි පෙන්නුවේ ඊශ්‍රායෙල් ජාතියට, තමන් දෙවිට සේවය කරනවාද නැත්නම් කානානිවරුන්ගේ දෙවි වන බාල්ට සේවය කරනවාද කියා තේරීමක් කරන්න තිබුණු බවයි. යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘ වන එලියා ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පැවසුවා. “ඔබ කොපමණ කල් දෙසිත්ව සිටින්නහුද? යෙහෝවා දෙවි නම් ඔහු අනුව යන්න. බාල් දෙවි නම් ඔහු අනුව යන්න.” (1 රාජාවලිය 18:21) ඒ වචන මගේ හිතට තදින් කාවැදුණා. මමත් ඊශ්‍රායෙල්වරුන් වගේ වැට උඩ නේද ඉන්නේ කියලා මට තේරුණා. ඒ නිසා මම යෙහෝවා දෙවිට සේවය කරනවාද නැත්නම් හමුදාවට සේවය කරනවාද කියන තීරණය ගන්න තිබුණා.

අපි එදා ගෙදර එන අතරතුරේදී මම ඩයෑන්ට කිව්වා මම ගුවන් හමුදාවෙන් අයින් වෙලා සාක්ෂිකරුවෙක් වෙන්න තීරණය කළා කියලා. මම එකපාරටම එවැනි තීරණයක් ගැනීම ගැන ඇය පුදුම වුණත් මට උපරිම සහයෝගය දුන්නා. දින කිහිපයකට පසු රැකියාවෙන් ඉවත් වීමට අස්වීමේ ලිපිය භාර දුන්නා.

මම ඒ වන විට සේවය කරමින් සිටියේ ඕස්ට්‍රේලියාවේ කැන්බරාවල පිහිටි ආධුනික ආරක්ෂක හමුදා භටයින් පුහුණු කරන පාසැලේ සේනාධිපති ලෙසයි. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ ආධුනික භටයින් 1,300ක් මෙන්ම කාර්යාලයේ සේවක පිරිසද මම අධීක්ෂණය කළා. මම හමුදා සේවයෙන් අයින් වෙලා ගෙයින් ගෙට සේවයක් කරන්න යනවා කියා ගුවන් හමුදා පාසැලේ අවසාන දිනයේදී කාර්යාලයේ අය ඇතුළු ආධුනික භටයින් 400ක් ඉදිරියේ මම පැවසුවා. එය සාකච්ඡා කිහිපයක් කිරීමට මඟ පෑදුවා.

පූර්ණකාලීන සේවකයෙක්

මම හමුදාවෙන් අස් වූ දාට පසුවදා සිටම සේවයේ යන්න ආරම්භ කළා. ඉන් මාස තුනකට පසු 1995 අප්‍රියෙල් මාසයේ මම බව්තීස්ම වූ අතර ඉතා ඉක්මනින් ස්ථාවර පුරෝගාමියෙක් ලෙස සේවය ආරම්භ කළා. ඒ කියන්නේ මගේ සම්පූර්ණ කාලයම මම සේවයට කැප කළා.

හමුදා නිලධාරියෙක්ව සිට ‘යේසුස්ගේ හේවායෙකු’ දක්වා වෙනස් වීමට මට විශාල වෙනස්කම් කරන්න සිදු වුණා. (2 තිමෝති 2:3) මට ක්‍රිස්තියානි සභාවේ ලැබුණු පළමුවෙනි පැවරුම වුණේ අනික් අය පිළිතුරු දෙන විට ඒ අයට මයික්‍රෆෝනය ළඟට ගිහින් දීමයි. අන් අයට අණ කළ මම දැන් අන් අයගෙන් අහලා වැඩ කරනවා. දක්ෂකමට වඩා වැදගත් වන්නේ අන් අය ගැන සැලකිල්ල දැක්වීමත් ප්‍රේමයත් කියන එක දැන් මට තේරෙනවා. මම තවමත් මේ ගුණාංග දියුණු කරගනිමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි මම රැකියාවෙන් අස්වුණ නිසා අපේ පවුලේ අය ජීවිතය සරල කරගන්න ඉගෙනගෙන තියෙනවා.

මම තවමත් ගෙයින් ගෙට සේවයට ආසයි. එක දවසක් මම මගේ අවුරුදු නවයක් වයසැති දුව කෙරී එක්ක ගෙයින් ගෙට සේවයේ යෙදෙන විට ගෙවැසියන්ගේ ප්‍රතිචාරයට කිට්ටු අවධානයක් දෙන්න කියලා කිව්වා. අපිට වැඩිපුරම මුණගැසුණේ උනන්දුවක් නැති අයව වුණත් මිත්‍රශීලී හා උනන්දු අයත් ඒ අතර සිටියා. එය අපිට හොඳ අද්දැකීමක් වුණා. අපේ අනික් දුවත් ටික කාලයක් බයිබලයේ සත්‍යයන් ඉගෙනගත්තා. ඒත් දැනට ඇය දෙවිට සේවය කරන්නේ නැහැ.

ඩයෑන් සහ මම කෙරීට පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න උනන්දු කළා. මෑතකදී පූර්ණකාලීන සේවකයන් සඳහා සාක්ෂිකරුවන් පැවැත්වූ පාසැලකට මට දුවත් එක්ක සහභාගි වෙන්න ලැබුණා. එය ඇය සහභාගි වූ පළමුවෙනි වතාව වුණත් එය මගේ දෙවෙනි වතාවයි. ඇය වගේම තවත් යෞවන අය දෙවිට සේවය කිරීමට තෝරාගෙන සිටීම මොන තරම් ප්‍රීතියක්ද!—ගීතාවලිය 110:3.

බහුල ආශීර්වාද

මම හමුදා සේවයේ නිරත වී සිටින විට අද්දුටු දේවල් හා යේසුස්ගේ හේවායෙකු ලෙස සේවය කරන විට අද්දකින දේවල් අතර ලොකු වෙනසක් තියෙනවා. මේ සේවාවන් දෙකම කරන්න පක්ෂාතකම, කීකරුකම, ආත්ම දමනය හා පරිත්‍යාගශීලීකම අවශ්‍යයි. ඒත් හමුදාවේ ඉන්න බොහෝදෙනෙක් තමන්ගේ රට හා ජාතිය වෙනුවෙන් දිවි පුදන්න කැමති වුණත් සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ සතුරාටත් ප්‍රේම කිරීමට බැඳී සිටිනවා. (මතෙව් 5:43-48) හමුදා සේවකයෙක් කරන එක වීර ක්‍රියාවක් නිසා ඔහුට බොහෝ ප්‍රශංසා හා පදක්කම් ලැබුණත් ක්‍රිස්තියානීන් දෙවිට විශ්වාසවන්තව සේවය කිරීම නිසා ඔවුන්ට දෙවිගේ අනුමැතිය ලැබෙනවා. ක්‍රිස්තියානීන්ට සමහරවිට විරුද්ධවාදිකම්, අපහාස කිරීම් හා වෙනත් බාධාවලට දිගටම මුහුණ දෙන්න සිදු වෙනවා.—හෙබ්‍රෙව් 10:36-39.

මම මේ කතාව කියන්න පටන්ගන්න කොට පැවසුවා ඒ කාලයේදී මම ආචාර කළ ආකාරය. ඒත් දැන් මම ආචාර කරන්නේ “සුබ උදෑසනක් සහෝදරිය” “සුබ සන්ධ්‍යාවක් සහෝදරයා” කියායි. දෙවිට ඇත්තටම ප්‍රේම කරන අය සමඟ සේවය කිරීමට ලැබීම මොන තරම් ප්‍රීතියක්ද! කෙනෙකුට ලබන්න පුළුවන් උසස්ම ගෞරවය නම් යෙහෝවා දෙවිට සේවය කිරීමයි. මට මීට වඩා කරන්න හොඳ දෙයක් තවත් තියෙනවාද!

[පාදසටහන්වල]

^ 15 ඡේ. වර්ෂ 1989 ඔක්තෝබර් 22 ඉංග්‍රීසි පිබිදෙව්! කලාපයේ 2-10 දක්වා පිටු බලන්න.

^ 17 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන එළිදරව්වේ අවසන් ඉටුවීම අත ළඟයි! යන පොතේ පිටු 240-243 දක්වා බලන්න.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

හමුදාවේ ඉන්න බොහෝදෙනෙක් තමන්ගේ රට හා ජාතිය වෙනුවෙන් දිවි පුදන්න කැමති වුණත් සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ සතුරාටත් ප්‍රේම කිරීමට බැඳී සිටිනවා

[12, 13වන පිටුවේ පින්තූරය]

කැන්බරාවල පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට උඩින් ප්‍රභූවරුන් ගෙන යන යානාවක

[15වන පිටුවේ පින්තූරය]

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 1994දී පැවති සමුළුවේ නාට්‍යය

[15වන පිටුවේ පින්තූරය]

කෙරී සමඟ පුරෝගාමී සේවා පාසැලේදී

[15වන පිටුවේ පින්තූරය]

ඩයෑන් සහ කෙරී සමඟ