Skip to content

පටුනට යන්න

හිම මිදෙන සීතලේ උණුසුම්ව

හිම මිදෙන සීතලේ උණුසුම්ව

හිම මිදෙන සීතලේ උණුසුම්ව

ෆින්ලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

ආක්ටික් වෘත්තයේ පිහිටි රටක ජීවත් වෙන මිනිසුන්ට ශරීරය උණුසුම්ව තබාගැනීමට නම් ඊට සරිලන ඇඳුම් හා පාවහන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට ප්‍රමාණවත් උණුසුමක් නොලැබුණොත් ඉතා දුෂ්කර තත්වයකට මුහුණ දීමට සිදු වන අතර මරණයට පවා පත් වෙන්න පුළුවන්. අධික ශීත දේශගුණයක් තිබෙන රටක වෙසෙන සතුන්ට නම් දේශගුණික වෙනස් වීම් කිසිම බාධාවක් නොවෙයි. උන්ගේ ශරීරය උණුසුම්ව තබාගැනීමට ගනව වැවී තිබෙන රෝම හා පිහාටුවලින් පමණක් නොව හිමවලින්ද උන් ප්‍රයෝජන ගන්නවා.

ජලය වාෂ්ප වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා සියුම් අයිස් කැට ඇති වෙන අතර මේවා එකතු වීමෙන් හිම සෑදෙයි. එමනිසා සෙන්ටිමීටර් 25ක පමණ හිම තට්ටුවක ජලය සෙන්ටිමීටර් 2.5ක් අඩංගු වෙනවා. හිමවල තිබෙන සියුම් අයිස් කැට අතර බෙහෙවින් වාතය රැඳී පවතිනවා. මෙම පුදුමාකාර සැකැස්ම අධික ශීත කාලයේදී උණුසුම ලබාගැනීමටත් වසන්තය උදා වෙන තුරු බීජ හා පැළ ආරක්ෂා කිරීමටත් උපකාරවත් වෙනවා. වසන්තය උදා වෙනවාත් සමඟම කෙමෙන් කෙමෙන් හිම දිය වී ගංගා ඇළ දොළ පෝෂණය කර පස සාරවත් කරනවා.

හිම මිදෙන සීතලේ

පිටතට නොපෙනුණත් ලොම් කබාවලින් සැරසුණු පුංචි සත්තු රංචු පිටින් හිම යටින් කඩිමුඩියේ ඒ මේ අත දුවනවා විය හැකියි. උන්ගෙන් බොහෝදෙනෙක් කඩිසර ගමනින් යන්නේ කෑම සොයාගැනීමට විය හැකියි. මේ සතුන් අතර ලඳු මීයන්, හික් මීයන් හා ලෙමිං මීයන්ද සිටින අතර හිම මතුපිට සිටින තවත් මීයන් සැරසෙන්නේ කුඩා ගෙඩි වර්ග, ඇට වර්ග මෙන්ම ශාකවල පොතු යහමින් කා දැමීමටයි.

කුඩා ක්ෂීරපායි සතුන් උන්ගේ ශරීර උෂ්ණත්වය පවත්වාගන්නේ කෙසේද? උන්ගෙන් බොහොමයකගේ ශරීරය ගන ලොම්වලින් වැසී තිබෙන අතර උන්ගේ ශරීරයෙන්ම උෂ්ණත්වය උත්පාදනය කිරීමේ හැකියාවක්ද උන්ට තිබෙනවා. ශරීරයෙන්ම උෂ්ණත්වය උත්පාදනය කිරීම සඳහා උන්ට විශාල ශක්තියක් අවශ්‍යයි. උදාහරණයක් හැටියට හික් මීයන් සෑම දවසකම තමන්ගේ ශරීරයේ බර හා සමාන ප්‍රමාණයක් කෘමීන් හා කීටයන් ආහාරයට ගන්නවා. හික් මීයන්ට වඩා කුඩා මීයන් වර්ගයක් (pygmy) උන්ගේ ශරීරයේ බරට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර ගන්නවා. මේ නිසා උන් අවදිව ඉන්න සෑම වෙලාවකදීම උන්ට ඇති එකම රාජකාරිය කෑම සෙවීමයි.

එම කුඩා ක්ෂීරපායි සතුන් වීසල් නමැති මුගටි විශේෂයට අයත් සතුන්ගේ හා බකමූණන්ගේ ප්‍රණීත ආහාරයක්. මුගටියන් සතු හීන් දිගටි සිරුරත් කඩිසර බවත් නිසා හිම යට සැඟවී සිටින කුඩා ක්ෂීරපායි සතුන්ව අසු කරගැනීමට උන්ට ඉතාමත් පහසුයි. මෙම මුගටින් තම කුසගින්න නිවාගැනීමට උන්ට වඩා විශාල සතුන් වන හාවුන් පවා අල්ලාගැනීමට සමත් වෙනවා.

අළු පැහැති දැවැන්ත බකමූණාට ඉතා සියුම් හඬක් පවා ඇසීමේ හැකියාව තිබෙනවා. මේ නිසා නොගැඹුරු හිමේ සිටින ලඳු මීයන් එහා මෙහා සැරිසරන විට ඌට දැනගත හැකියි. මීයන් සිටින ස්ථානය හරියටම දැනගන්නා මෙම බකමූණන් විදුලි වේගයෙන් හිම යටට ගොස් ගොදුර ඌගේ පාදවලින් අල්ලාගන්නවා. කෙසේවෙතත් හිම තට්ටුව වැඩි වන විට මෙම සතුන්ට ආහාර සොයාගැනීම ඒ තරම් පහසු නැහැ. ඒ නිසා කුඩා සතුන්ගේ ගණන ශීඝ්‍රයෙන් වැඩි වෙනවා.

අධික ශීත කාලයේදී බොහෝ සතුන්ට උන්ගේ ජීවිතය රැකගැනීමට හැකි වී තිබෙන්නේ උණුසුම් කාලවලදී උන් ලබාගන්නා ආහාරයෙන් ලැබෙන මේදය නිසයි. කෙසේවෙතත් සමහර සතුන්ට ශීත කාලයේදී ආහාර හිඟයක් ඇති වන්නේ නැහැ. උදාහරණයක් ලෙස මූස් ලෙස හඳුන්වන මුව විශේෂය පයින් ගස්වල ළපටි අතු ආහාරයට ගන්නවා. ලේනුන් උන් රැස් කර තැබූ ඇට වර්ග ආහාරයට ගන්නවා. මේ කාලයේදී හාවුන්ගේ ආහාරය වන්නේ ගස්වල පොතු හා රිකිලියි. සමහර කුරුළු විශේෂයන් මේ ප්‍රදේශයේ වැවෙන කුඩා ගෙඩි වර්ග සහ දළු කෑමට ගන්නවා.

හිම යට උණුසුම ලබාගැනීම

පක්ෂීන් ගණනාවක් දවල් කාලයේ එකම ස්ථානයක රැඳී සිටින විටදී හා රාත්‍රි කාලයේදී නිදාගන්නා විට හිමවල ඇති උෂ්ණත්වය ලබා දීමේ හැකියාව ප්‍රයෝජනයට ගන්නවා. ග්‍රවුස් කුලයට අයත් හබන් කුකුළාට සමාන පෙනුමක් ඇති පක්ෂීන් හා ගේකුරුල්ලා හා සමාන කුඩා පක්ෂීන් මෙයින් ප්‍රයෝජන ගන්නා කිහිපදෙනෙක්. හිම තට්ටුව එතරම් ගන වී නැත්නම් සමහර පක්ෂීන් මෙම හිම පසාරු කරගෙන හිම යටට ගොස් උණුසුම ලබාගන්නවා. උන් එලෙස හිම යටට යන්නේ උන්ගේ තටුවල ආධාරයෙනුයි. උන්ගේ මේ උපක්‍රමය නිසා හිම මත පාද සලකුණු දකින්න ලැබෙන්නේවත් උන්ගේ සුවඳ දැනෙන්නේවත් නැති නිසා අනික් සතුන්ට උන්ව ගොදුරු කරගැනීම පහසු නැහැ.

හිම යටට යන මෙම පක්ෂීන් හරස් අතට අඩි තුනක් පමණ කුහරයක් සාදාගන්නවා. මෙම කුහරය ෆින්ලන්ත භාෂාවෙන් හඳුන්වන්නේ කියෙපී කියායි. රාත්‍රි කාලය පුරා හමන සුළං නිසා උන් හාරා ගිය සලකුණක් මතු පිට දක්නට ලැබෙන්නේ නැහැ. හිම තරණය කරන අය මේ අවට සැරිසරන විට හිම යට සිටින මේ පක්ෂීන්ට ඒ ශබ්දය ඇසෙන නිසා උන් එක විගස තටු විහිදා ගෙන හිමෙන් පිටතට පියඹා එනවා. මෙම අනපේක්ෂිත සිදුවීම හිම තරණය කරන්නන්ට තිගැස්සීමක් ඇති කරනවාට කිසිම සැකයක් නැහැ.

කාලයේ තාලයට ඇඳුම්

සෘතු වෙනස් වෙනවාත් සමඟම ආක්ටික් ප්‍රදේශයේ වෙසෙන සමහර සතුන්ගේ පෙනුමද වෙනස් වෙනවා. උණුසුම් කාලයේදී දක්නට තිබෙන ලොම් හා පිහාටුවලට වඩා ශීත කාලයේදී ලොම් හා පිහාටුවල ස්වරූපය වෙනස් වෙනවා. ෆින්ලන්තයේ වෙසෙන ආක්ටික් නරියා, හාවුන් හා මුගටි විශේෂ රාශියකගේ ලොම් ගනව වැඩෙන අතර සරත් සෘතුවේදී ඒවා සුදු හා සුදට හුරු පැහැයක් ගන්නවා.

මේ හා සමානව ග්‍රවුස් කුලයට අයත් හබන් කුකුළා වැනි පක්ෂියා තද සුදු පැහැයක් ගන්නවා. උණුසුම් කාලවලදී උන්ගේ පාදවල එතරම් පිහාටු දැකගත නොහැකි වුවත් ශීත කාලයේදී උන්ගේ පාද මේස් දැමූ පාද මෙන් වෙනවා. උන්ගේ මෙම වෙනස සීතට ඔරොත්තු දීමටත් සුදු පැහැය නිසා උන්ව ගොදුරු කරගන්නා සතුන්ගෙන් ආරක්ෂා වීමටත් මහෝපකාරී වෙනවා.

පාදවලට කිසිම ආවරණයක් නැති පක්ෂීන් කිසිම අපහසුවකින් තොරව හිම මත ගමන් කරන්නේ කොහොමද කියා ඔබ දන්නවාද? ඒ සඳහා උන්ගේ පාද උණුසුම් වීමට විශිෂ්ට ක්‍රමයක් තිබෙනවා. උන්ගේ පාදවලට දිගටම උණුසුම් රුධිරය ගලා ඒම නිසා පාදවලට සීත නොදැනෙන අතර පාදවලින් ඉහළට ගලා යන රුධිරයද එමගින් උණුසුම් වෙනවා.

ආක්ටික් වැනි ශීත ප්‍රදේශයේ හා උණුසුම් නිවර්තන කලාපීය රටවල සතුන් පරිසරය හොඳින් භුක්ති විඳිය හැකි ආකාරයට එම ප්‍රදේශවලට හැඩ ගැසී තිබෙනවා. මෙවැනි ප්‍රදේශවල සතුන්ව නිරීක්ෂණය කර ඒවා රූපගත කර ලොවටම ප්‍රදර්ශනය කරන අයව මහත් සේ ගෞරවයට පාත්‍ර වෙනවා. එසේනම් මේ සියල්ල නිර්මාණය කළ දෙවි ඊටත් වඩා කොපමණ ගෞරවය ලැබිය යුතුද! බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය. ඒවා මවන ලද්දේය.”—එළිදරව් 4:11.

[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]

හිම වරුසා මැද සාක්ෂිකරුවන් කඩිසරව

ශීත කාලයේදී ෆින්ලන්තයේ වෙසෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සීතලට උචිත ඇඳුමින් සැරසී නොනවත්වා තමන්ගේ නමස්කාරය හා බැඳි ක්‍රියාවල කඩිසරව නියැලෙනවා. සමහර සාක්ෂිකරුවන් රැස්වීම් සඳහා දුර ඈත ප්‍රදේශවලට පවා යනවා. අධික ශීත කාලවලදීත් ගම්බද ප්‍රදේශවල රැස්වීම්වලට පැමිණීමේ අඩුවක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. එමෙන්ම ඔවුන් කඩිසරව ශුභාරංචිය දේශනා කරනවා. අපේ නිර්මාණකරු වන යෙහෝවා දෙවි හා ඔහුගේ රාජ්‍යය ගැන අන් අය සමඟ බෙදාගැනීම ඔවුන් සලකන්නේ වරප්‍රසාදයක් හැටියටයි. මේ නිසා සීතල ගැන නොසලකා ඔවුන් මෙම කාර්යයෙහි යෙදෙන්නේ ඉමහත් සතුටිනුයි.—මතෙව් 24:14.

[16, 17වන පිටුවේ පින්තූරය]

රැළිසුරු කුලයට අයත් පක්ෂීන්

[හිමිකම් විස්තර]

By courtesy of John R. Peiniger

[16, 17වන පිටුවේ පින්තූරය]

මුගටි විශේෂයක්

[හිමිකම් විස්තර]

Mikko Pöllänen/​Kuvaliiteri

[17වන පිටුවේ පින්තූරය]

හංසයින්

[17වන පිටුවේ පින්තූරය]

හාවා

[17වන පිටුවේ පින්තූරය]

ආක්ටික් නරියා