Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

උගුලට අසු නොවීමට යෞවනයන්ට උපකාර (2007 මාර්තු) මට වයස අවුරුදු 18යි. ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිතය ගැන මෙම ලිපියේ සඳහන් කරුණු හරියට මටම ලියලා වගෙයි. අන්තර්ජාලය හරහා නොදන්නා අය සමඟ කතා කිරීමට මම පුරුදු වී සිටියා. නමුත් මෙවැනි හානිකර සබඳතාවලින් මම ලොකු උගුලකට හසු වුණා. දෙවි සමඟ තිබුණු මගේ මිත්‍රත්වය හොඳටම දුර්වල වෙන්න පටන්ගත්තා. අන්තර්ජාලය හරහා හඳුනාගත් සමහර අයව පෞද්ගලිකව හමු වෙන්නත් මම කැමති වුණා. කනගාටුදායකම දේ වුණේ මෙයින් මාව දුරාචාරයටත් හසු වීමයි. මම දැන් අද්දකිනවා හා සමාන වේදනාවලින් මිදෙන්න අනික් අයටත් මෙම ලිපිය උපකාරයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට හුඟක් වෙලාවට නින්ද යන්නේ නැහැ. ඒ වගේම පසුගිය දේවල් නැවත නැවතත් මතක් වීමෙන් මම මානසිකවත් පීඩා විඳිනවා. නමුත් යක්ෂයාට විරුද්ධව ඉන්න මම ලොකු වෑයමක් දරනවා.

එක්සත් ජනපදයේ බී. ආර්.

ඇයි මට නිතරම කලන්තේ හැදෙන්නේ? (2007 අප්‍රියෙල්) නිතරම කලන්තේ හැදීමෙන් පීඩා විඳින එකම තැනැත්තා මම විතරක් නෙවෙයි කියලා දැනගැනීමෙන් මම ලොකු දිරිගැන්වීමක් ලැබුවා. මේ ලිපිය කියවද්දී මට හැඟුණේ “ඔයාට වෙන දේවල් මට පේනවා, මම ඔයාව දිරිගන්වන්න කැමතියි” කියලා යෙහෝවා දෙවි කියනවා වගෙයි.

මැඩගස්කරයේ අයි. ආර්.

කලාවට වඩා වටිනා දෙයක් (2007 අප්‍රියෙල්) මේ ලිපියට කොහොම ස්තුති කරන්නද කියලා මම දන්නේ නැහැ. පසුගිය අවුරුදු හය පුරාම මම සාර්ථකව ස්ටූඩියෝ දෙකක් පවත්වාගෙන ගියා. මම මගේ රැකියාවට හුඟක් කැමතියි. ඒ වගේම එයින් මගේ නිර්මාණ හැකියාවන් පෙන්වන්නත් අවස්ථාව ලැබුණා. නමුත් එක පැත්තකින් මම මගේ රැකියාව නිසා සාර්ථකත්වය හා පිළිගැනීම ලබද්දී අනික් පැත්තෙන් යෙහෝවා දෙවිට කරන මගේ නමස්කාරය ටිකෙන් ටික අඩු වෙන බව මට තේරුණා. මම මගේ කලා කටයුතුවල කොතරම් කාලයක් යෙදී සිටියාද කියනවා නම් අනික් වැඩ සඳහා මට කාලය තිබුණේ නැති තරම්. යම් වෙනසක් කිරීම අවශ්‍යයි කියලා මම තේරුම්ගත්තා. ඒ නිසා රැකියාවෙන් ඉවත් වෙලා යෙහෝවා දෙවිට වැඩියෙන් සේවය කරන්න මම පටන්ගත්තා. ඇත්තටම දේවසේවයෙන් මම ලබන තෘප්තිය හා ප්‍රීතිය වෙන කිසිම දෙයකින් ලබාගන්න බැහැ. ලස්සන නිර්මාණයක් කිරීමෙන්වත් මට එතරම් ප්‍රීතියක් ලැබෙන්නේ නැහැ.

එක්සත් ජනපදයේ ඒ. පී.

යෞවන අය අසති. . . මෙයාව මට ගැළපෙනවද? (2007 මැයි) මට ගැළපෙනවා කියලා හිතපු කෙනෙක් ගැන මම හිතන්න පටන්ගෙනයි තිබුණේ. නමුත් මේ ලිපිය කියවීමෙන් පසුව මම තේරුම්ගත්තා ඔහු තුළ තිබුණු මම ආශා කළ ගුණාංග ඇත්තටම වැදගත් ගුණාංග නෙවෙයි කියලා. නමුත් වැදගත්ම දේ වන්නේ දෙවිව සතුටු කරන ගුණාංග ඔහු තුළ තිබීමත් ඔහු අනික් අයට සලකන ආකාරයත් කියලා මම මේ ලිපියෙන් තේරුම්ගත්තා. ඇත්තටම අපගේ ආරක්ෂාව සඳහා මඟ පෙන්වීම් සහ උපදෙස් ඇතුළත් මෙවැනි ලිපි සපයන එක ගැන මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා.

එක්සත් ජනපදයේ ඊ. පී.

නැඟෙනහිර ටිමෝරයේ වැසියන්ව හඳුනාගනිමු (2007 මැයි) මම මෙය හුඟක් කැමැත්තෙන් කියවපු ලිපියක්. මට මේ රට ගැන මුලින්ම අසන්න ලැබුණේ එහි සිදු වූ කෝලහාල ගැන ප්‍රවෘත්තිවල සඳහන් කරන අවස්ථාවලදීයි. මෙවැනි තත්වයක් යටතේ එහි වැසියන් ජීවත් වෙන්නේ කොහොමද කියලත් සාක්ෂිකරුවන්ගේ සේවයට එය බලපාන්නේ කොහොමද කියලත් මම කල්පනා කළා. නමුත් මේ ලිපියෙන් එහි මිනිසුන් අතර ඇති ජ්වලිතයත් මෙවන් අමාරු තත්වයන් යටතේ එදිනෙදා කටයුතු හොඳින් කරනගෙන යන ආකාරයත් දැක්කම මම පුදුමයට පත්වුණා. දැන් නැඟෙනහිර ටිමෝරය ගැන අහද්දී මට මතක් වෙන්නේ එහි මිනිසුන් තුළ තිබෙන අධිෂ්ඨාන ශක්තිය හා ජේකබ් සහ ඔහුගේ පවුලේ අයගේ සිනාමුසු මුහුණුයි.

ජපානයේ වයි. එම්.