Skip to content

පටුනට යන්න

කඳු මත වෙසෙන වඳුරු පවුල

කඳු මත වෙසෙන වඳුරු පවුල

කඳු මත වෙසෙන වඳුරු පවුල

සාමාන්‍යයෙන් වඳුරන්ව දැකිය හැකි වන්නේ නිවර්තන කලාපීය රටවලයි. වර්ග කිහිපයක් සෞම්‍ය කලාපීය ප්‍රදේශවලත් වෙසෙනවා. මේ අතර වඩාත් කැපීපෙනෙන ආකාරයේ වඳුරු වර්ගයක් හෝ දෙකක් සිටිනවා. මේ ලිපියේ කතා කරන්නේ ඒ වගේ විශේෂ වඳුරු වර්ගයක් ගැනයි.

උතුරු අප්‍රිකාවේ ඇට්ලස් නම් උස කඳුවැටි පිහිටි ප්‍රදේශයේ ශීත කාලයේදී හිම වැටීම සාමාන්‍ය දෙයක්. බාබරි ඒප්ස් (Barbary apes) නම් වඳුරු වර්ගයක් ඇට්ලස් කඳු මුඳුනේ දේවදාර හා ඕක් ගස් අතරේ ගැවසෙනවා දැකගත හැකියි. මුන්ගේ වර්ගයේ තවත් කුඩා කණ්ඩායමක් ඊට කිලෝමීටර් 300ක් උතුරින් පිහිටි ජිබ්‍රෝල්ටා නම් කන්දේ වාසය කරනවා. එම කන්ද පිහිටා තිබෙන්නේ යුරෝපයේ දකුණු මායිමේයි.

උතුරු අප්‍රිකාවේ උතුරු මායිමේ හා යුරෝපයේ දකුණු මායිමේ වෙසෙන මේ වඳුරන් ගැන පරිසරවේදීන් පවසන්නේ කුමක්ද? සමහර අය විශ්වාස කරන්නේ ඈත අතීතයේදී මුළු යුරෝපය පුරාම මෙම වඳුරන් සිටින්න ඇති බව හා දැනට එම වර්ගයේ උන් සිටින්නේ ජිබ්‍රෝල්ටා කන්දේ පමණක් බවයි. තවත් සමහර අය සිතන්නේ අරාබියෙන් හෝ බ්‍රිතාන්‍යයෙන් පැමිණි අය උන් රැගෙන එන්න ඇති කියායි. දැනට භාවිතයේ නොමැති ඒත් යම් කලකදී යුරෝපය හා අප්‍රිකාව අතර පිහිටි උමං මාර්ගයක් ඔස්සේ මේ වඳුරන් යුරෝපයට එන්න ඇති කියාද විශ්වාස කෙරෙනවා. මුන්ගේ ආරම්භය නිශ්චිතව දන්නේ නැති වුණත් දැනට යුරෝපයේ සිටින එකම වඳුරු වර්ගය මුන් පමණයි.

මෙම වඳුරන් කඳු මුඳුනේ පිහිටි පයින් ගස්වලින් පිරි කැලෑව උන්ගේ නිවහන බවට පත් කරගෙන තිබෙනවා. මුන් ගණනින් සියයක් පමණ වූවත් සෑමදෙනාගේම අවධානයට ලක් වී සිටිනවා. මේ ගැන එක් ජාත්‍යන්තර ආයතනයකින් පැවසුවේ “අර්ධද්වීපයේ ජීවත් වන ප්‍රසිද්ධ අය” කියායි. *—එම ආයතනය International Primate Protection League.

සෑම වසරකම මිලියන හතක් පමණ සංචාරකයින් ජිබ්‍රෝල්ටා කන්දේ අසිරිය දැකගැනීමට පැමිණෙනවා. මේ නිසා වඳුරන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර ලැබෙනවා. ඊට අමතරව උන්ව රැකබලා ගන්නා ප්‍රාදේශීය අධිකාරීන්ද එළවළු හා පලතුරු උන්ට සපයනවා. ඊට අමතරව උන් ගස් වැල්වලින්ද ගෙඩි කඩාගෙන කනවා. මෙයින් සෑහීමට පත් නොවන මේ වඳුරන් මිනිසුන්ගෙන්ද හිඟා කන්න පුරුදු වී තිබෙනවා. ඉඳ හිට සොරකම් කර කන්නත් උන් මැළි වෙන්නේ නැහැ.

උන් කෑම කනවාට අමතරව දවසින් සියයට 20ක පමණ කාලයක් ගත කරන්නේ එකිනෙකාව පිරිසිදු කිරීමටයි. ගැහැනු සතුන් හා පිරිමි සතුන් එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වන අතර පැටවුන් සමඟ දුව පැන සෙල්ලම් කිරීමටද උන් අමතක කරන්නේ නැහැ. උන් සෑමවිටම කුඩා කණ්ඩායම් වශයෙන් එකට එකතු වී සිටිනවා දැකගත හැකියි. මේ නිසා ඉඳ හිට පොඩි පොඩි ආරවුල් ඇති වෙනවා. රැළේ ලොකු වඳුරන් කෑගසා අනික් උන්ව භය කරගන්න අතර දත් මිටි කමින් විරිත්තමින් අනික් වඳුරන්ව නිශ්චල කිරීමටත් උන් දක්ෂයි.

මේ වඳුරන් ජිබ්‍රෝල්ටා කන්දට පැමිණියේ කොහේ සිටද කියන එක තවමත් අභිරහසක් වූවත් මධ්‍යධරණී මුහුද රැකවල් කිරීමට මෙන් පිහිටා තිබෙන එම කන්දේ අලංකාරය තව තවත් ඔප්නැංවීමට මේ දඟකාර වඳුරන්ට හැකි වී තිබෙනවා.

[පාදසටහන]

^ 5 ඡේ. මේ වඳුරන්ට නෑකම් කියන තවත් වඳුරු වර්ගයක් ජපානයේ සිටිනවා. උන්ව හඳුන්වන්නේ ජැපනීස් මකැක් (Japanese macaque) කියායි. මුන් ශීත කාලයේදී එහි ඇති උණු දිය උල්පත් අසල සැරිසරමින් සංචාරකයින්ගේ පාළුව මකා දමනවා.