Skip to content

පටුනට යන්න

ගතට සුවය දෙන උණු දිය උල්පත්

ගතට සුවය දෙන උණු දිය උල්පත්

ගතට සුවය දෙන උණු දිය උල්පත්

වසර දෙදහසකට වඩා වැඩි කාලයකට ඉහතදී යුරෝපයේ ආදිවාසීන් වන කෙල්ට්වරුන්ට උණු දිය උල්පත් තිබූ ප්‍රදේශයක් සොයාගත හැකි වුණා. එම ප්‍රදේශය ඔවුන් නම් කළේ කෙල්ටික් භාෂාවෙන් “ජලයෙන් පිරුණු” යන අරුත ඇති ආක්-ඉන්ක් කියායි. අද හංගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට් ලෙස හැඳින්වෙන්නේ එම ප්‍රදේශයයි. මෙය යුරෝපයේ පිහිටි ඉපැරණි නගරවලින් එකක්. මෙම උල්පත්වලින් ආදිවාසීන් නෑමට පුරුදු වී සිටියා. එමගින් ඔවුන්ගේ සිරුරට සනීපයක් මෙන්ම රෝගවලට සුවයක්ද ගෙන දුන්නා.

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේදී මෙම ප්‍රදේශය රෝම අධිරාජ්‍යයේ පාලනයට යටත් වූ පසු රෝමවරුන් විසින් බුඩාපෙස්ට් නගරයේ මායිම් විශාල කළා. ඔවුන් එහි හමුදා කඳවුරක් ඉදි කර එය ක්වීන්කුම් ලෙස හැඳින්වූවා. මෙය කෙල්ටික් හෝ ලතින් භාෂාවෙන් සෑදුණු වචනයක් විය හැකියි. මේ කාලයේදී රෝමවරුන් විසින් වාරිමාර්ග, අපද්‍රව්‍ය ඉවත් කිරීමේ පද්ධති හා පෞද්ගලික සහ පොදු උණු දිය තටාකද ඉදි කළා. බුඩාපෙස්ට්හි ඉදි කර තිබෙන මෙම තටාකවලට ඇත්තේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් කියා කිව හැකියි.

රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් සියවස් ගණනාවකට පසුව නැවතත් මෙම උණු දිය තටාක භාවිතය ප්‍රචලිත වෙන්න පටන්ගත්තා. මෙහි තිබෙන තටාක නිසා බුඩාපෙස්ට් නගරය ප්‍රසිද්ධ වුණා කියා 15වන සියවසේ විසූ ලේඛකයන් පැවසුවා. වර්ෂ 1458 සිට 1490 දක්වා හංගේරියාව පාලනය කළ මතීයස් කොවීනස් රජත් මෙම තටාකවලින් නෑමට ප්‍රිය කළ කෙනෙක්. ඔහු වඩාත්ම ප්‍රිය කළේ රෑෂ් නම් වූ නාන තටාකයටයි. ඔහු රජ මාලිගයේ සිට මෙම උණු දිය තටාකයට යෑම සඳහා වහලකින් ආවරණය කරන ලද මාර්ගයක් ඉදි කළා. ඒ නිසා ඕනෑම කාලගුණික තත්වයක් යටතේ මෙම තටාකයට යෑමට ඔහුට හැකි වුණා.

තුර්කි ජාතිකයින් විසින් 16 සහ 17වන සියවස් අතර කාලයේදී බුඩාපෙස්ට් ඇතුළුව හංගේරියාවේ තවත් ප්‍රදේශ කිහිපයක් අත්පත් කරගත්තා. ඔවුන් විසින් එම ප්‍රදේශවල උණු දිය තටාක මෙන්ම වාෂ්ප පිරවූ කාමර ඉදි කරනු ලැබුවා. මේ නිසා ඔවුන්ගේ ඉස්ලාම් ආගමික වතාවන්ට සහභාගි වීමට පෙර ස්නානය කිරීමට ඔවුන්ට හැකි වූ අතර එදිනෙදා ජීවිතයේදීත් මේවා ප්‍රයෝජනවත් වුණා. මෙම තටාක වහලකින් ආවරණය කර තිබූ අතර ඒවාට බැසීමට පඩි පේළි සාදා තිබුණා. ජලය උරහිස තෙක් පිරී තිබුණා. එහි වටේට කුඩා ටැංකි සහ විවේක ගැනීමට තිබූ ස්ථාන සාදා තිබුණා. එම ටැංකි ගැහැනු සහ පිරිමි අය එකම අවස්ථාවේදී භාවිත කළේ නැහැ. මෙහි තිබූ සමහර තටාක තවමත් භාවිතයට ගැනෙනවා.

එහි සංචාරය කළ එක් පුද්ගලයෙක් 1673දී මෙසේ පැවසුවා. “මෙම තටාක යුරෝපයේ තිබෙන හොඳම ඒවා ලෙස නම් කළේ එහි ඇති උණු දිය උල්පත් හා එම ජලයේ සුවය ගෙන දීමට තිබෙන හැකියාව වගේම ඒවා ගොඩනඟා තිබූ ස්ථානවල ප්‍රමාණය හා අලංකාරය නිසයි.” දහනවවන සියවසේදී ෆින්ලන්තයේ උණු දිය තටාක භාවිත කිරීමට පටන්ගැනීමත් සමඟම බුඩාපෙස්ට්හි උණු දිය තටාකත් වැඩි දියුණු වෙන්න පටන්ගත්තා. ඉන්පසුව වාෂ්ප පිරවූ කුටි සහ සිසිල් දිය තටාකද මේ අතරට එක්වුණා.

භූ විද්‍යාඥයන් සොයාගත් දේ

බුඩාපෙස්ට් නගරයට දිනකට උණු දිය උල්පත් 123කින් සහ සල්ෆර් අධික දිය උල්පත් 400කින් ජලය ලීටර් මිලියන 70ක් පමණ ගලා එනවා. මේවා ගලා එන්නේ කොහේ සිටද?

බටහිරින් බුඩා කඳුකරයත් නැඟෙනහිරින් පෙස්ට් තැනිතලාවත් වෙන් කරමින් බුඩාපෙස්ට් නගරය හරහා ඩැනියුබ් නදිය ගලා බසිනවා. බොහෝ කාලයකට පෙර මෙම ප්‍රදේශ මුහුදෙන් යට වී තිබුණු නිසා එහි හුණුගල් සහ ඩොලමයිට් තැන්පත් වී තිබෙනවා. ඉන්පසු මෙම පාෂාණ මත මැටි, හුණු මැටි, වැලි හා ගල් අඟුරු තට්ටු වශයෙන් තැන්පත් වී තිබෙනවා.

පොළොව මතු පිට තිබෙන පැළුම් ඔස්සේ ගැඹුරේ තිබෙන රත් වූ පාෂාණ මතට ජලය රූරා බැසීමෙන් ජලය උණුසුම් වෙනවා. මෙම ජලය උණු වීම හා පීඩනය නිසා නැවතත් එම පැළුම් හෝ ජල උල්පත් මාර්ගයෙන් ඉහළට එනවා.

මෙම භූගෝලීය ලක්ෂණය බුඩාපෙස්ට් නගරයේ පමණක් නොව හංගේරියාව පුරාම දැකගන්න පුළුවන්. මේ නිසා හංගේරියාවේ බොහෝ තැන්වල උණු දිය උල්පත් මෙන්ම ඉදි කර තිබෙන අලංකාර උණු දිය තටාකද දැකගන්න පුළුවන්. සමහර අය මෙම ජලයේ ඖෂධීය ගුණයක් තිබෙන බවද විශ්වාස කරනවා. *

ලෝකයේ කුමන ප්‍රදේශයක උණු දිය උල්පත් දක්නට තිබුණත් ඒවා සැලකෙන්නේ ඉතා වටිනා උරුමයන් ලෙසයි. මළ මුහුද සහ ගල්ෆ් ඇකබා අතර පිහිටි සියර් පාළුකරයේද මෙවැනි තැන් තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ ගැන බයිබලයේද වාර්තා වෙනවා.—උත්පත්ති 36:24.

අපේ පෘථිවියේ අපි නොදත් තව සංකීර්ණ දේවල් කොපමණ නම් ඇද්ද! දෙවි පොළොවේ අත්තිවාරම් දැමුවේ කෙසේද? එමෙන්ම ඒ මත මෙවැනි පුදුමාකාර දේවල් නිර්මාණය කළේ කෙසේද? මෙම ප්‍රශ්න ගැන ගැඹුරින් සිතා බැලීමෙන් දෙවිගේ අසීමිත ප්‍රඥාව ගැන ප්‍රශංසා කිරීමට අපට හැකි වෙනවා නොඅනුමානයි.—යෝබ් 38:4-6; රෝම 1:20.

[පාදසටහන]

^ 11 ඡේ. පිබිදෙව්! යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ.

[24, 25වන පිටුවේ පින්තූරය]

ගිලට් හෝටලයේ තිබෙන උණු දිය තටාකය

[24වන පිටුවේ පින්තූරය]

තුර්කි ජාතිකයින් විසින් ඉදි කළ රූඩා තටාක

[24, 25වන පිටුවේ පින්තූරය]

ශීත සමයට උචිත සර්චීනයි තටාකය

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos: Courtesy of Tourism Office of Budapest