Skip to content

පටුනට යන්න

දවාල රැයක් වූ දා

දවාල රැයක් වූ දා

දවාල රැයක් වූ දා

බෙනින්හි පිබිදෙව්! ලේඛක විසින්

“සූර්ය ග්‍රහණය දුටුවන් මවිතයෙන් මවිතයට පත් වූවා” කියා 2006 මාර්තු 29දා ඇති වූ පූර්ණ සූර්ය ග්‍රහණයට පසු දින ඝානාවේ එක් පුවත්පතක සඳහන් වුණා. මෙම සිදුවීම මුලින්ම දැකගත හැකි වූයේ බ්‍රසීලයේ නැඟෙනහිර මායිමේ පිහිටි ප්‍රදේශවලටයි. ඉන්පසුව අත්ලන්තික් සාගරය හරහා පැයට කිලෝමීටර් 1,600ක පමණ වේගයෙන් ගමන් කළා. මෙය බටහිර අප්‍රිකාවේ පිහිටි ඝානාව, ටෝගෝ සහ බෙනින් යන ප්‍රදේශ දෙසට ගමන් කළේ උදෑසන 8.00 පමණ වන විටදීයි. මේ ප්‍රදේශවල වෙසෙන අයට සූර්ය ග්‍රහණය දැකගත හැකි වුණාද?—එම පුවත්පත Daily Graphic.

අවසන් වරට ඝානාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් දැකගත හැකි වූයේ 1947දීයි. ඒ වන විට 27-හැවිරිදි වියේ සිටි තියෙඩෝර් නම් තැනැත්තා ඒ ගැන මෙසේ පවසනවා. “ඒ කාලයේ හුඟක් අය ඒ වගේ දෙයක් දැකලා තිබුණේ නැහැ. කවුරුත් දැනගෙන හිටියේ නැහැ මොනවද මේ වෙන්නේ කියලා. මේ නිසා මිනිස්සු ඒ සූර්ය ග්‍රහණය විස්තර කළේ ‘දවාල රැයක් වුණු දවස’ කියලයි.”

ආරක්ෂක පියවර ගැනීම

සූර්ය ග්‍රහණය සිදු වන අතරතුර හිරු දෙස ඍජුව බැලීමේ අවදානම ගැන රජය විසින් අනතුරු අඟවනු ලැබුවා. මේ අවස්ථාවේදී හිරු දෙස ඍජුව බැලීම දෘශ්‍ය ආබාධ ඇතිවීමට හේතු විය හැකි නිසා ටෝගෝහි සෑම තැනකම දැන්වීම් අලවා තිබුණා. ඒවායෙහි සඳහන් වුණේ මෙසේයි. “ඔබේ ඇස් අන්ධ විය හැක. ඒ නිසා එය ආරක්ෂා කරගන්න!”

මේ සඳහා රජය විසින් යෝජනා දෙකක් ඉදිරිපත් කළා. ඉන් පළමු එක නම් සූර්ය ග්‍රහණය සිදු වන විට නිවසින් බැහැර නොවී එම සිදුවීම රූපවාහිනියෙන් නැරඹීමයි. දෙවන යෝජනාව නම් නිවසින් පිටතට පැමිණ එය නැරඹීමට කැමති නම් ඒ සඳහා විශේෂයෙන් සැකසූ ඇස් කණ්ණාඩි පැළඳීමයි. මේ සිදුවීම රූපවාහිනියෙන් හා අන්තර්ජාලයෙන් දැකගැනීමට සියදහස් ගණන්දෙනා නොඉවසිල්ලෙන් එක්රොක් වී බලා සිටියා. නමුත් එය සිදුවීමට සුළු මොහොතකට පෙර හා එය සිදු වන අවස්ථාවේ වටපිටාවේ ඇති වූ කලබලකාරී තත්වය හා මිනිසුන් තුළ තිබූ කුතුහලය රූපවාහිනියෙන් හෝ අන්තර්ජාලයෙන් දැකගන්න බැහැ.

බලාපොරොත්තුවේ පහන් දල්වාගෙන

එදින උදෑසන එම ප්‍රදේශවල දක්නට තිබුණේ වෙනදා මෙන් හිරු රැස් හොඳින් පතිත වූ පැහැදිලි අහසක්. ඇත්තටම සූර්ය ග්‍රහණයක් සිදු වෙයිද? සූර්ය ග්‍රහණය දැකගත හැකි වේලාව ළඟා වන විට එය සියැසින් දැක බලා ගැනීමට සූදානමින් සිටි අය තම විශේෂ කණ්ණාඩි පැළඳගනිමින් ඇසිපිය නොහෙළා අහස දෙස ඉතාමත් කුතුහලෙන් බලා සිටියා. සමහර අය තමන්ගේ ජංගම දුරකථනවලින් වෙනත් ප්‍රදේශවල සිටින තම හිත මිතුරන්ට කතා කළේ ඔවුන්ට දැනටමත් එම දර්ශනය දැකගත හැකිදැයි දැනගැනීමටයි.

පෘථිවියේ සිට කිලෝමීටර් 3,50,000 ඈතින් පිහිටි චන්ද්‍රයා කෙමෙන් කෙමෙන් නියමිත ස්ථානයට ළඟා වන බව මුලින්ම නිරීක්ෂකයන්ට දැකගත හැකි වුණේ නැහැ. නමුත් ක්ෂණයකින් එය යෝධයෙකු බඳු සූර්යයාව ටිකෙන් ටික ග්‍රහණය කරගන්න පටන්ගත්තා. එක් එක්කෙනා මෙම සිදුවීම දකින්න පටන්ගත් විට ඔවුන්ගේ නොඉවසුම් ස්වභාවය තව තවත් වැඩි වුණා.

මෙම සිදුවීම පටන්ගෙන පළමු පැය තුළ අවට පරිසරයේ එතරම් වෙනසක් දක්නට තිබුණේ නැහැ. කෙසේවෙතත් චන්ද්‍රයා තම ග්‍රහණයට සූර්යයාව කෙමෙන් කෙමෙන් හසු කරගන්නවාත් සමඟම අවට පරිසරය වෙනස් වුණා. නිල් අහස අඳුරු වී පරිසර උෂ්ණත්වය අඩු වෙන්න පටන්ගත්තා. විදුලි බුබුළු දැල්වෙන්න පටන්ගත්තා. කඩසාප්පු වසා දැම්මා. කුරුල්ලන් කැදැලි කරා පිටත් වුණා. ඝනාන්ධකාරය හා නිශ්ශබ්දතාව මුළු පළාතම වෙළාගත්තා. මේ වන විට චන්ද්‍රයා සූර්යාව සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගෙන අවසන්.

අමතක නොවන සිදුවීමක්!

පුංචි පුංචි තාරකා අහස් කුස සිසාරා දිදුලන්න පටන්ගත්තා. සූර්යා චන්ද්‍රයාගෙන් ආවරණය වූ විට සූර්යා වටේට රන්වන් පාටට හුරු රැස් වළල්ලක් දැකගත හැකි වුණා. මේ අතරින් විහිදෙන ආලෝකය ඈතට දිස් වෙන්නේ විවිධ වර්ණවලින් යුත් පබළු ඇට දසත විසිරී තිබෙනවා වගෙයි. මේවා හඳුන්වන්නේ බෙලීස් බීඩ්ස් * ලෙසයි. මෙය දුටු එක් නිරීක්ෂකයෙක් මෙසේ පැවසුවා. “මේ වගේ සුන්දර දර්ශනයක් මම කවදාවත් දැකලා නැහැ.”

සූර්ය ග්‍රහණය පැවතුණේ මිනිත්තු තුනක් වැනි කෙටි කාලයක් පමණයි. ඉන්පසු සූර්යා ටිකෙන් ටික ග්‍රහණයෙන් මිදෙන්න පටන්ගත්තා. ඒ අවස්ථාවේදී නිරීක්ෂකයන් ඔල්වරසන් දෙන්න පටන්ගත්තා. අඳුරු අහස ආලෝකවත් වෙනවාත් සමඟම පුංචි පුංචි තාරකා අතුරුදහන් වුණා. හිරුගේ ආලෝකයෙන් පරිසරය නැහැවෙන්න පටන්ගැනීමත් සමඟම බියකරු පරිසරය කෙමෙන් කෙමෙන් තුරන් වී ගියා.

මෙවැනි සූර්ය ග්‍රහණයක් බටහිර අප්‍රිකාවට දැකගත හැකි වූයේ මීට වසර 60කට ඉහතදීයි. සාමාන්‍යයෙන් සූර්ය ග්‍රහණයන් සිදු වන කාලය වසර සිය ගණනකට පෙර නිර්ණය කළ හැකියි. ඒ අනුව ඔවුන්ට නැවතත් 2081දී සූර්ය ග්‍රහණයක් දැකගත හැකි වෙන බව ගණන් බලා තිබෙනවා. කෙසේවෙතත් ඔබට මෙවැනි සුන්දර සිදුවීමක් දැකගැනීමට ඊට පෙර අවස්ථාවක් උදා විය හැකියි. මේ නිසා චන්ද්‍රයා “අහසේ පිහිටි විශ්වාසවන්ත සාක්ෂිකරු” කියා බයිබලයේ හඳුන්වා තිබීම මොන තරම් උචිතද!—ගීතාවලිය 89:37, නව ලොව පරිවර්තනය.

[පාදසටහන]

^ 13 ඡේ. වර්ෂ 1836දී සිදු වූ සූර්ය ග්‍රහණය නිරීක්ෂණය කර ඒ ගැන වාර්තා කළේ ෆ්‍රාන්සස් බෙලී නම් බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයායි. එය බෙලීස් බීඩ්ස් ලෙස හඳුන්වන්නේ ඒ නිසයි.

[29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

යේසුස්ගේ කාලයේදීත් සූර්ය ග්‍රහණයක් ඇති වූවාද?

යේසුස් මිය ගිය දවසේ සිදු වූ දෙයක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “හයවන පැයේදී මුළු දේශයම අන්ධකාරයෙන් වැසිණ. එය නවවන පැය දක්වා තිබිණ.” (මාක් 15:33) එදින දහවල් සිට සවස 3.00 දක්වා පැවති පැය තුනක ඝන අන්ධකාරය සූර්ය ග්‍රහණයක් නිසා වූවක් නම් විය නොහැකියි. ඊට එක් හේතුවක් නම් එක් ස්ථානයක පූර්ණ සූර්ය ග්‍රහණයක් දැකගත හැකි උපරිම කාලය මිනිත්තු හතකුත් තත්පර 30ක් පමණ වීමයි. දෙවැන්න නම් යේසුස් යුදෙව් දිනදර්ශනයට අනුව නීසාන් 14වෙනිදා මිය යෑමයි. නීසාන් මාසයේ ආරම්භය ගණන් බලන්නේ අමාවකක් අවසන් වී නව සඳ පෑයීමත් සමඟමයි. ඒ කාලය අතරතුර චන්ද්‍රයා පෘථිවිය හා සූර්යා අතරට පැමිණෙනවා. මෙය සූර්ය ග්‍රහණයක් ඇති විය හැකි අවස්ථාවක්. නමුත් නීසාන් 14වෙනිදා වන විට චන්ද්‍රයා තම කක්ෂය වටා දින 14ක් ගමන් කර අවසන් වෙනවා. මේ වන විට පෘථිවිය සූර්යා හා චන්ද්‍රයා අතර පිහිටා තිබෙන නිසා ආලෝකය පෘථිවිය මත හොඳින් පතිත වෙනවා. මේ නිසා එදිනට පුරසඳ දැකගත හැකි වන අතර එමගින් යේසුස්ගේ මරණය සිහි කිරීමට එය කදිම වාතාවරණයක් සලසා දෙනවා.

[පින්තූරය]

නීසාන් 14දා යෙදෙන්නේ පුරසඳ දැකගත දිනයක හෝ ඊට ආසන්න දිනයකයි

[28, 29වන පිටුවේ රූප සටහන⁄සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

සූර්ය ග්‍රහණයේ ගමන් පථය

⇧ අප්‍රිකාව

බෙනින් ●

ටෝගෝ ●

ඝානාව ●

[හිමිකම් විස්තර]

Map: Based on NASA/​Visible Earth imagery

[28වන පිටුවේ පින්තූරය]

2006 මාර්තු 29දා සිදු වූ පූර්ණ සූර්ය ග්‍රහණය

[28වන පිටුවේ පින්තූරය]

ආරක්ෂිත කණ්ණාඩි පැළඳීමෙන් නිරීක්ෂකයන්ට මෙය සියැසින් දැකගත හැකි වුණා