Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

අමෙරිකාවේ කළ එක් සමීක්ෂණයකට අනුව “පිරිමින්ගෙන් සියයට 29ක්ම තමන්ගේ ජීවිත කාලය තුළ ගැහැනුන් 15ක් හෝ ඊට වැඩි ගණනක් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වා තිබෙනවා. එමෙන්ම ගැහැනුන්ගෙන් සියයට 9ක්ම පිරිමින් 15ක් හෝ ඊට වැඩි ගණනක් සමඟ එවැනි සම්බන්ධකම් පවත්වා තිබෙනවා.”—එක්සත් ජනපදයේ CENTERS FOR DISEASE CONTROL AND PREVENTION.

ග්‍රීසියේ “වයස අවුරුදු 16ට අඩු ළමයින්ගෙන් සියයට 62ක්ම තම ජංගම දුරකථනවල කාමුක දර්ශන ඇතුළත් කර තිබෙන බව පිළිගන්නවා.”—ග්‍රීසියේ ELEFTHEROTYPIA.

බ්‍රිතාන්‍යය වැසියන්ගෙන් සියයට 82ක්ම “ආගම සලකන්නේ බෙදීම් ඇති කරන දෙයක් හා ජීවිතයට බරක් ලෙසයි.”—බ්‍රිතාන්‍යයේ THE GUARDIAN.

කලක් පැවති හිසරදයට හේතුව

එක් චීන කාන්තාවකට වසර 60කට වඩා වැඩි කාලයක් තිස්සේ “දිගින් දිගටම හිසරදයක්” පැවතුණා. එයට හේතුව දැනගැනීමට වෛද්‍යවරුන් ඇයව X-කිරණ පරීක්ෂණයකට භාජන කළා. එමගින් ඇගේ හිසේ සෙන්ටිමීටර් තුනක වෙඩි උණ්ඩයක් තිබෙන බව හෙළි වුණා කියා එක් පුවත්පත් ආයතනයක් පවසනවා. මෙම උණ්ඩය ඇගේ හිසට ඇතුල් වී තිබෙන්නේ 1943 සැප්තැම්බර් මස ජපන් ජාතිකයන් චීනයේ සින්යේ නම් ගම්මානය ආක්‍රමණය කිරීමට පැමිණි අවස්ථාවේදී සිදු වූ අනතුරකිනුයි. ඒ වන විට ඇයට වයස අවුරුදු 13යි. කෙසේවෙතත් දැන් 77වන වියේ පසුවන ඇය උණ්ඩය ඉවත් කිරීමෙන් පසුව “හොඳ ශරීර සෞඛ්‍යකින්” සිටින බව වාර්තා වෙනවා.—එම ආයතනය Xinhua News Agency.

මණ්ඩාවකින් තල්මසෙකුගේ වයස සොයාගනියි

වර්ෂ 2007දී ඇලස්කාවේ ධීවරයින් පිරිසක් විසින් ආක්ටික් තල්මසෙකුව අල්ලාගත්තා. උගේ ශරීරයේ මාළුන්ට ඇනීමට භාවිත කරන පැරණි මණ්ඩාවක හිස කොටසක් හා තවත් කැබලි කිහිපයකුත් තිබෙන බව ඔවුන් සොයාගත්තා. මෙම කොටස් “එක්සත් ජනපදයේ නිව් බෙඩ්ෆෝඩ් [මැසචුසෙට්] නම් නගරයේ 1800 ගණන්වලදී සාදනු ලැබූ මණ්ඩාවක කොටස්” බව සොයාගනු ලැබුවා කියා එක් පුවත්පතක සඳහන් වෙනවා. වැඩි කල් යන්න මත්තෙන් මේ වර්ගයේ මණ්ඩා භාවිතය නතර වුණා. කෙසේනමුත් අමෙරිකාවේ එක් කෞතුකාගාරයක (New Bedford Whaling Museum) මේ පිළිබඳ සොයා බලන ඉතිහාසඥයින් පවසන ආකාරයට මෙම තල්මසාට මෙයින් ඇන තිබෙන්නේ “1885ත් 1895ත් අතර කාලයේදීයි.” මේ අනුව ඌ මිය යන විට උගේ වයස අවුරුදු 115ක් පමණ විය හැකියි. මෙම සොයාගැනීම “ආක්ටික් තල්මසා වැඩිම කලක් ජීවත් වන ක්ෂීරපායි සත්වයා බවත් උන් වසර 150ක් තරම් කාලයක් ජීවත් වන බවටත් වූ මතය තහවුරු කිරීමට ලැබුණු තවත් සාක්ෂියක්” කියා එම පුවත්පතේ තවදුරටත් සඳහන් වෙනවා.—The Boston Globe ඇසුරෙන්.

පොසිල වැසි වනාන්තරයක්!

පුරාවිද්‍යාඥයින් විසින් විශාල පොසිල වැසි වනාන්තරයක් සොයාගෙන තිබෙනවා. මෙහි විවිධ වර්ගයේ වඳ වී යන ශාක මෙන්ම මීටර් 40කට වඩා උස ගස්ද දක්නට තිබෙනවා. අමෙරිකාවේ ඉලිනොයිස්හි ගල්අඟුරු ආකරයකට යන මඟ දෙපසේ තිබී සොයාගනු ලැබූ මෙම අපූරු වනාන්තරය විශාල භූමිකම්පාවක් නිසා භූ ගත වූ බව විද්‍යාඥයින් විශ්වාස කරනවා. මේ පිළිබඳව ගවේෂණය කරන කණ්ඩායමේ ප්‍රධානියා වන බිල් ඩිමිකේල පවසන්නේ “මෙම වනාන්තරය භූ ගත වෙන්න පෙර එය පැවති තත්වය මනසින් මවාගැනීමට මෙය ප්‍රමාණවත්” කියායි.

උසස්ම වර්ගයේ වයින්

“පළමුවන ලෝක මහා යුධ සමයේ සොල්දාදුවන් විසින් භාවිත කළ උසස්ම වර්ගයේ වයින් තිබෙන තැන් සොයාගෙන” බොහෝ අය මැසිඩෝනියාවට ගමන් කරනවා කියා එක් පුවත්පතක සඳහන් වුණා. මාර්ග සිතියම් භාවිත කරමින් ප්‍රංශය වැනි රටවලින් පැමිණෙන මිනිසුන්, සොල්දාදුවන් සැඟවී සිටි තැන් සොයාගෙන යනවා. මේ ස්ථානවල තිබෙන වයින් වසර 90ක් තරම්වත් පැරණි ඒවා බව විශ්වාස කෙරෙනවා. එමෙන්ම එම පුවත්පතේ සඳහන් වන පරිදි “මෙම වයින් තවමත් හොඳ තත්වයේ තිබෙන අතර එක බෝතලයක් ඩොලර් 2,675කට පමණ අළෙවි කළ හැකියි.” මෙම ස්ථානවලින් වයින් සහ කොන්යැක් නම් ප්‍රංශ බ්‍රැන්ඩි වර්ගය සොයාගත් අය පවසන්නේ “මෙවැනි රසවත් බීමක් කවදාවත් පානය කර නැති” බවයි.—එම පුවත්පත Kathimerini.