Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් සේවයක නොමියෙන මතකයන්

ප්‍රීතිමත් සේවයක නොමියෙන මතකයන්

ප්‍රීතිමත් සේවයක නොමියෙන මතකයන්

පැවසුවේ හෙලන් ජෝන්ස්

මම 1970 ගණන්වල එක දවසක බැංගලෝර්වල සෙනඟ පිරුණු වෙළඳපොළක ගමන් කරමින් සිටියා. එක පාරටම කොහෙදෝ හිටිය මී හරකෙක් ඇවිත් උගේ අං දෙකෙන් මාව උස්සලා විසි කළා. ඊට පස්සේ ඌ මාව පාගන්න හදනකොටම ඉන්දියානු කාන්තාවක් ඇවිත් මාව බේරගත්තා. ඒත් මම ඉන්දියාවට ගියේ ඇයි කියලා දන්නවාද?

මම ඉපදුණේ 1931දී කැනඩාවේ ලස්සන නගරයක් වන වැන්කුවර්වලයි. මගේ අම්මයි තාත්තයි ඉතාමත් ගුණ යහපත් අය වුණත් පල්ලි ගියේ නැහැ. නමුත් මට ලොකු ආශාවක් තිබුණා බයිබලයේ තිබෙන දේවල් ඉගෙනගන්න. ඒ නිසා මම ඉරු දින පාසැලටත් බයිබල් පන්තිවලටත් සහභාගි වුණා.

වර්ෂ 1950දී මම ෆ්‍රෑන්ක් ෂිලර් සමඟ විවාහ වන විට මගේ වයස අවුරුදු 19යි. ඔහු දරුවන් හතරදෙනෙක්ගේ පියෙක්. අපි විවාහ වී වසර දෙකකට පස්සේ අපිට පුතෙක් ලැබුණා. අපිට ආගමක් ඇදහීමේ අවශ්‍යතාවක් තිබුණත් ෆ්‍රෑන්ක් දික්කසාද වුණ කෙනෙක් නිසා කිසිම පල්ලියකින් අපිව පිළිගත්තේ නැහැ. මේ නිසා ඔහු හුඟක් කලකිරුණා. ආගම ගැන කතා කරන්නවත් කැමති වුණේ නැහැ.

බයිබල් සත්‍ය ඉගෙනගැනීම

මගේ අයියා එක්ක වැඩ කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ඔහුට බයිබලයේ තිබෙන සමහර ඉගැන්වීම් ගැන කිව්වා කියලා අයියා මට කිව්වා. ඒ සිද්ධිය වුණේ 1954දීයි. මට සාක්ෂිකරුවන්ගෙන් අහන්න හුඟක් ප්‍රශ්න තිබුණත් ඔවුන් රැස්වීම් පවත්වන්නේ කොහේද කියලා මම දැනගෙන හිටියත් ෆ්‍රෑන්ක් ආගම ගැන හුඟක් කලකිරීමෙන් හිටිය නිසා මම රැස්වීම්වලට ගියේ නැහැ. ඒත් දවසක් සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරටම ආවා. ඒ වෙලාවේ මට දැනගන්න ඕනේ වුණා දික්කසාදය ගැන ඔවුන්ගේ ආගමේ මොනවද කියන්නේ කියලා. ඒ අවස්ථාවේදී ඔවුන් ඒ සඳහා තිබෙන බයිබල් පදනම මට පෙන්වුවා. (මතෙව් 19:3-9) ඒ වගේම බයිබල් පාඩමක් පටන්ගත්තොත් මට තියෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සොයාගන්න පුළුවන් කියලත් ඔවුන් කිව්වා.

ෆ්‍රෑන්ක් නම් සාක්ෂිකරුවන්ට කැමැත්තක් දැක්වුයේ නැහැ. කෙසේවෙතත් 1955දී මම සාක්ෂිකරුවන් පැවැත් වූ යේසුස්ගේ මරණය සිහි කිරීමේ රැස්වීමට සහභාගි වුණා. ඊට පස්සේ ගෙදර ඇවිත් මම බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් ඔහුට කියන්න පටන්ගත්තා. ෆ්‍රෑන්ක් නම් කිව්වේ “ඕවා කවදාවත් වෙන දේවල් නෙවෙයි” කියලයි. “ඒත් ඔයාට පුළුවන් නම් බයිබලයෙන්ම මට ඔප්පු කරලා පෙන්නන්න, එහෙමවුණොත් මම ඔයාලගේ ඔය විකාර රැස්වීමකට එනවා” කියලත් ඔහු කිව්වා.

මම බයිබලය ඔහුගේ අතට දුන්නා. ඔහු ඒක අතට ගත්තේ ලොකු ගෞරවයකින්. ඊට පස්සේ මම ලියාගත්ත බයිබල් පද අපි බැලුවා. ඒත් මම වැඩිය කතා කරන්නේ නැතුව ඒ කාර්යය කරන්න බයිබලයටම ඉඩහැරියා. ෆ්‍රෑන්ක් මේ දේවල් ගැන කිසිම වාදයක් නොකළත් හවස් වරුවේම ලොකු කල්පනාවක ඉන්නවා කියලා මට තේරුණා.

ෆ්‍රෑන්ක් රැස්වීමට එනවා කියලා වුණු පොරොන්දු මම ඔහුට මතක් කළා. ඔහු කිව්වා “මම එන්නේ එතන මොනවද වෙන්නේ කියලා බලන්න විතරයි” කියලා. එදා රැස්වීමේදී බයිබලය මත පදනම් කතාවක් දුන්නා. ඒ කතාවෙන් පෙන්නුම් කළේ භාර්යාවන් ස්වාමිපුරුෂයාට යටත්ව සිටීම ගැනයි. (එෆීස 5:22, 23, 33) එහි ලබා දුන් තොරතුරු ඔහුගේ සිතට තදින් කාවැදුණා. තවත් දවසක මුරටැඹ පාඩමේ සාකච්ඡා කළ තොරතුරුවලට ෆ්‍රෑන්ක් බොහෝ සෙයින් ආශා කළා. එහි සාකච්ඡා කළේ තමන් කරන වැඩවලින් තෘප්තියක් ලබාගන්නේ කෙසේද කියලයි. ෆ්‍රෑන්ක් හුඟක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් නිසා මේ කරුණු ඔහු හුඟක් අගය කළා. එම සාකච්ඡාවෙන් පසුව ෆ්‍රෑන්ක් කවදාවත් රැස්වීමක් අතපසු කළේ නැහැ. ඉන්පසුව ෆ්‍රෑන්ක් උනන්දුවෙන් සේවයේ හවුල් වුණා වගේම මමත් හුඟක් අය සමඟ බයිබල් පාඩම් පවත්වලා ඔවුන්ට බව්තීස්මය දක්වාම දියුණු වෙන්න උදව් කළා. වර්ෂ 1955දී මම, ෆ්‍රෑන්ක්, මගේ අම්මා සහ අයියා අපි හැමෝම දෙවිට කැප වී බව්තීස්ම වුණා.

වැඩි සේවයක් කිරීමට ආශාව

වර්ෂ 1957දී අපි එක්සත් ජනපදයේ සියැට්ල්වල පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වුණා. එක් කතාවකදී රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේ අවශ්‍යතාවන් තිබෙන ප්‍රදේශ ගැන කතා කළා. ඉන්පසුව මම දෙවිට යාච්ඤා කළා ‘අනේ යෙහෝවා දෙවියනි, ඒ වගේ අවශ්‍යතාවක් තියෙන තැනකට යන්න මටත් උදව් කරන්න’ කියලා. ඒත් ෆ්‍රෑන්ක් පවුලේ අවශ්‍යතාවන් ඉටු කරන්නේ කොහොමද කියලා කල්පනා කළා.—1 තිමෝති 5:8.

ඊළඟ අවුරුද්දේ අපේ පවුලම නිව් යෝර්ක්වල පැවැත්වූ සමුළුවකට සහභාගි වුණා. ඊට සමගාමීව යැංකි සහ පෝලෝ යන ක්‍රීඩාංගණවලත් මේ සමුළුව පැවැත්වුවා. එදා පැවැත්වූ ප්‍රසිද්ධ කථාවට 2,53,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වුණා. එදා ෆ්‍රෑන්ක් අහපු දැකපු දේවල්වලින් එයාට ලොකු බලපෑමක් ඇති වුණා. සමුළුව අවසන් වෙලා නැවත ගෙදර එද්දී අපි තීරණය කළා අප්‍රිකාවේ කෙන්යාවලට යන්න. එහේ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවයි. ඒ නිසා දරුවන්ට හොඳ පාසැලක් සොයාගන්න පුළුවන් වෙයි කියලත් අපි හිතුවා.

වර්ෂ 1959දී අපි අපේ ගේ විකුණලා කැනඩාවේ මොන්ට්‍රියල්වලට ආවා. එතන ඉඳන් නැවෙන් එංගලන්තයේ ලන්ඩන්වලටත් තවත් නැවකින් මධ්‍යධරණී මුහුද හා රතු මුහුද හරහා ඉන්දියන් සාගරයෙන් කෙන්යාවේ මොම්බාසාවලටත් ආවා. ඊළඟ දවසේ දුම්රියෙන් කෙන්යාවේ අගනුවර වන නයිරෝබිවලට ආවා.

අප්‍රිකාවේ ගත කළ ජීවිතය

ඒ කාලයේදී කෙන්යාවේ සාක්ෂිකරුවන්ගේ දේශනා සේවය තහනම් කර තිබුණු නිසා අපි වැඩ කළේ හුඟක් පරෙස්සමින්. වෙනත් ප්‍රදේශවලිනුත් පැමිණි අය එහේ හිටියා. විදේශිකයන්ට ඉන්න අවසර තිබුණා. අපේ එක රැස්වීමකට සහභාගි වෙන්න පුළුවන් වුණේ දහදෙනෙකුටත් වඩා අඩු පිරිසකට විතරයි. මේ නිසා සෑම කෙනෙකුටම, දරුවන්ට පවා රැස්වීම් සඳහා පූර්ණ දායකත්වයක් දෙන්න සිදු වුණා.

මෙම ප්‍රදේශයට ඇවිත් වැඩි දවසක් යන්න පෙර අපිට ගෙයකුත් ෆ්‍රෑන්ක්ට රැකියාවකුත් සොයාගන්න පුළුවන් වුණා. මම මෙහේ සේවයේ ගිහින් හමු වුණු මුල්ම කාන්තාව සත්‍යය පිළිගෙන අවසානයේදී සාක්ෂිකරුවන්ගේ පූර්ණකාලීන සේවිකාවක් බවට පත්වුණා. ඒ වගේම සීක් ජාතික යෞවන ගැහැනු ළමයෙක් සමඟ මට බයිබල් පාඩමක් කරන්න ලැබුණා. අපි ඇයට කතා කළේ ගූඩි කියලයි. ඇය බයිබලය ඉගෙනගන්නවාට ඇගේ පවුලේ අයගෙන් මෙන්ම ඒ ජාතියේ අයගෙන් විරුද්ධකම් එල්ල වුණා. ඒ විතරක් නෙවෙයි ඇයව ගෙදරිනුත් පන්නා දැම්මා. ඉන්පසුව ඇය සාක්ෂිකරුවන්ගේ නිවසක නවාතැන් ගත්තා. මේ කාලය අතරතුරේදී ඇය බව්තීස්ම වී පූර්ණකාලීන සේවිකාවක් බවට පත්වෙලා අවසානයේදී ගිලියද් පාසැලටත් සහභාගි වුණා.

අපේ පවුලේ අයටත් යම් කරදරවලට මුහුණ දෙන්න සිදු වුණා. අපේ ලොකු පුතාට රූමැටික් උණ හැදුණා. ෆ්‍රෑන්ක් කාර් එකක් අලුත්වැඩියා කරමින් ඉන්න විට ඒකෙන් ඇති වුණ ගින්නක් නිසා එයාව හොඳටම පිච්චුණා. මේ නිසා එයාගේ රැකියාවත් අහිමි වුණා. නැවත එයාට රැකියාවක් ලැබුණේ ටැන්සානියාවේ අගනුවර වන ඩාර් එස් සලාම්වලයි. මෙහේ ඉඳන් එහාට කිලෝමීටර් 1,000ක් විතර දුර යන්න තියෙනවා. ඊට පස්සේ අපි ඩාර් එස් සලාම්වලට පදිංචියට ගියා. එහේ පුංචි සභාවක් තිබුණා.

ටැන්සානියාවේත් දේශනා සේවය තහනම් කරලා තිබුණට ඒ තහනම ඒ තරම්ම තදින් ක්‍රියාත්මක වුණේ නැහැ. වර්ෂ 1963දී එක්සත් ජනපදයේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ සිටි මිල්ටන් හෙන්ෂල් ටැන්සානියාවට ආවා. එදා සමුළුව පැවැත්වුවේ කුරිම්ජි ශාලාවේයි. සහෝදර හෙන්ෂල්ගේ කතාව අතරතුරේදී දුප්පත් විදිහට ඇඳලා හිටිය වයසක කෙනෙක් ඇවිත් මගේ ළඟින් වාඩි වුණා. මම එයාව පිළිගෙන රැස්වීම වෙලාවේදී මගේ බයිබලයත් ගීතිකා පොතත් එයාට පෙන්වුවා. රැස්වීම අවසානයේදී නැවත අපේ රැස්වීම්වලට එන්න කියලත් මම ඔහුට ආරාධනා කළා.

ඔහු පිටවෙලා ගියා විතරයි අනික් අය කලබලෙන් වගේ මගේ ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ඔයා දන්නවද ඒ ආවේ කවුද කියලා? එයා තමයි මෙහේ ඉන්න නගරාධිපති.” කලින් ඔහු අපේ සමුළුවලට බාධා කරලා තියෙනවා. ඔහු මේ සැරේ උත්සාහ කරලා තියෙන්නේ ඔහු දුප්පත් කෙනෙක් නිසා මම ඔහුට නරක විදිහට සලකයි කියලා හිතලා ඒක හේතුවක් කරගෙන අපේ සමුළුව කඩාකප්පල් කරන්නයි. ඒත් ඔහුට දැක්වූ කරුණාව ඔහුගේ සිතට කාවැදුණ නිසා අපේ සමුළුවට කිසිම බාධාවක් කළේ නැහැ. මේ සමුළුවට 274දෙනෙක් සහභාගි වුණා වගේම 16දෙනෙක් බව්තීස්ම වුණා.

ටැන්සානියාවට නැවත නිදහස ලැබුණේ මේ කාලයේදීයි. ඒ නිසා රැකියාවලදී පළමු තැන දුන්නේ ඒ රටේ අයටයි. හුඟක් විදේශිකයින් රටින් පිට වෙලා ගියත් ෆ්‍රෑන්ක් රැකියාවක් සොයමින් සිටියා. ඒ අතරේදී ඩීසල් එන්ජින් නඩත්තු කිරීම සඳහා දක්ෂ කාර්මිකයන්ගේ අවශ්‍යතාවක් තිබුණු නිසා ෆ්‍රෑන්ක්ට රැකියාවක් ලැබුණා. ඒ නිසා අපිට තවත් අවුරුදු හතරක් ඉන්න පුළුවන් වුණා. ෆ්‍රෑන්ක්ගේ කොන්ත්‍රාත්තුව අවසන් වුණාට පස්සේ නැවතත් අපි කැනඩාවට ගියා. අපේ අන්තිම දරුවා විවාහ වෙලා යන තුරුම අපි කැනඩාවේ හිටියා. අපිට තාමත් හැඟෙන්නේ අපි තරුණයි, තව හුඟක් දේවල් කරන්න පුළුවන් කියලයි.

ඉන්දියාවේ කළ සේවය

මුම්බායිවල පිහිටි සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ 1970දී අපි බැංගලෝර්වලට ගියා. මම මුලින්ම සඳහන් කළ සිද්ධිය වුණේ එහේදි තමයි. ඒ වෙද්දී එහේ ජනගහනය මිලියන 1.6ක් විතර වුණා. එහි තිබුණු ඉංග්‍රීසි භාෂාව කතා කළ සභාවක සාමාජිකයින් 40ක් හිටියා. ඒ වගේම හුදෙකලා ප්‍රදේශයක දෙමළ භාෂාව කතා කරන කුඩා කණ්ඩායමකුත් හිටියා. ෆ්‍රෑන්ක්ට හුඟක් අය සමඟ බයිබලය පාඩම් කරන්න ලැබුණා. ඒ අය පස්සේ සභාවේ අවේක්ෂකයන් බවට පත්වුණා. ඒ වගේම සාක්ෂිකරුවන් වෙන්න මමත් පවුල් කිහිපයකටම උදව් කළා.

මුම්බායිවල දුප්පත් අය ජීවත් වන ප්‍රදේශයක එක කාන්තාවක්ව මට මුණගැහුණා. ඇගේ නම ග්ලෝරියා. ඇයව මට මුණගැසුණ මුල් දවසේදීම ගේ ඇතුළට එන්න කියලා ඇය මට ආරාධනා කළා. එයාගේ ගෙදර පුටු තිබුණේ නැති නිසා අපි වාඩි වුණේ බිමයි. මම එයාට මුරටැඹ සඟරාවක් දීලා ආවා. ඇය ඒකේ තිබුණ බයිබල් පදයක් කපලා අරන් ඇයට නිතරම පෙනෙන තැනක අලවලා තිබුණා. ඒ බයිබල් පදයේ ‘යෙහෝවා, ඔබ වටින්නෙහිය’ යන කොටස තිබුණා. මේ කොටස ග්ලෝරියාගේ සිත්ගත්තා. ඊට අවුරුද්දකට පස්සේ ඇය බව්තීස්ම වුණා.—එළිදරව් 4:11.

සාක්ෂිකරුවන්ගේ සමුළු ශාලාවක් ඉදි කිරීමේ වැඩ අධීක්ෂණය කරන්න එන්න කියලා මුම්බායිවල සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් ෆ්‍රෑන්ක්ට ආරාධනා කළා. ඒක තමයි ඉන්දියාවේ ඉදි කළ පළමුවෙනි සමුළු ශාලාව. ඒක හැදුවේ ඒ වන විටත් තිබුණු ශාඛා කාර්යාල ගොඩනැඟිල්ලේම තවත් තට්ටුවක් ඉදි කිරීමෙනුයි. ඒ කාලයේ මුළු ඉන්දියාවේම සිටියේ සාක්ෂිකරුවන් 3,000ට ටිකක් වැඩියෙන්. ශාඛා කාර්යාලයේ සිටියේ සාමාජිකයින් දහදෙනෙකුටත් අඩුවෙන්. කොහොමවුණත් අපි ළඟ තිබුණු මුදල් ඉවර වුණු නිසා 1975දී අපිට එහෙන් යන්න සිදු වුණා. ඒත් අපේ ආදරණීය සහෝදරයන්ව දාලා යන්න වුණු එක ගැන නම් දුකයි.

නැවතත් අප්‍රිකාවට

අපි ඇවිත් අවුරුදු දහයකට පස්සේ ෆ්‍රෑන්ක්ට විශ්‍රාම වැටුප් ලබාගන්න හැකි වුණා. ඊට පස්සේ ලෝකේ පුරාම ශාඛා කාර්යාල ඉදි කිරීමේ ව්‍යාපෘතියට අපි හවුල් වුණා. ඉන්පසු අපිට ලියුමක් ආවා නයිජීරියාවේ ඉගේඩූමාවල ඉදි කිරීම්වලට සහභාගි වෙන්න කියලා. ඊට පස්සේ අපි එහේ ගියා. ඒ ගමට කිට්ටු තවත් ගමක කෙනෙක් එක්ක ෆ්‍රෑන්ක් බයිබල් පාඩමක් කළා. පස්සේ ඔහු ටිකෙන් ටික දියුණු වෙලා අවසානයේදී නයිජීරියා ශාඛා කාර්යාලයේ සාමාජිකයෙක් බවට පත්වුණා.

ඊළඟට අපි ගියේ සයිරේවල ශාඛා කාර්යාලය ඉදි කිරීමේ වැඩවලට හවුල් වෙන්නයි. වැඩි කාලයක් යන්න පෙර අපේ දේශනා සේවය තහනම් කළා. ඒ වගේම අපේ ගමන් බලපත්‍රත් රාජසන්තක කළා. ෆ්‍රෑන්ක්ට හෘදයාබාධයක් හැදුණ නිසා මේ තහනම් කාලයේ එයාට විවේක ගන්න පුළුවන් වුණා. ටික දවසකට පස්සේ ඉදි කිරීමට පැමිණි අයට රටින් පිටවෙන්න සිදු වුණා. අපිව ලයිබීරියාවට යැව්වා. මොන්රොවියා ශාඛා කාර්යාලයේ තිබුණු ජෙනරේටරයක් අලුත්වැඩියා කරන්න ෆ්‍රෑන්ක්ට සිදු වුණු නිසා අපි ටික දවසක් එහේ හිටියා. අපේ වීසා බලපත්‍රවල කාලය අවසන් වුණු නිසා අපි 1986දී නැවතත් කැනඩාවට ආවා.

අවසන් වරට ඉක්වදෝරයේ

අපේ හොඳ යාළුවෙක් වන ඇන්ඩි කිඩ් ඉක්වදෝරයට ගිහින් එහේ සතුටින් සේවය කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉක්වදෝරයේ සභාවේ සිටි එකම අවේක්ෂකයා ඇන්ඩි විතරයි. ඒ නිසා බොහෝ වෙලාවට රැස්වීම්වල කොටස් කරන්න වුණේ ඔහුටයි. ඔහු අපිට එහේ එන්න කියලා ආරාධනා කළ නිසා 1988දී අපි ඉක්වදෝරයේ ශාඛා කාර්යාලයට ගියා.

අපිට ඉන්න ගෙයක් සොයාගත්තා. අපිට ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගන්න වුණා. ඒ වෙද්දී ෆ්‍රෑන්ක්ගේ වයස 71යි. ඊළඟ අවුරුදු දෙක ඇතුළතදී අපි ඉගෙනගෙන සිටියේ ස්පාඤ්ඤ භාෂාව ටිකක් වුණත් 12දෙනෙකුට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න හැකි වුණා. ඉක්වදෝරයේ ශාඛා කාර්යාල ඉදි කිරීමේ ව්‍යාපෘතියේ වැඩ කිරීමට ෆ්‍රෑන්ක්ට පැවරුමක් ලැබුණා. ගුයාකිල් ප්‍රදේශයෙන් සාක්ෂිකාරියක් බවට පත් වූ පළමුවෙනි කාන්තාවගේ ස්වාමිපුරුෂයා සමඟ ෆ්‍රෑන්ක් බයිබල් පාඩමක් කළා. ඇත්තටම ඔහු අවුරුදු 46ක් තිස්සේ සත්‍යයට විරුද්ධව සිටි කෙනෙක්. ඊට පස්සේ ඔහු අපේ මිතුරෙක් වගේම අපේ සහෝදරයෙක් බවට පත්වුණා.

දරාගත නොහැකි වේදනාවක්

අලුත් රාජ්‍ය ශාලා ඉදි කිරීම්වලට උදව් කරන්න අවශ්‍ය නිසා අපි ආංකොන් නගරයට කිට්ටු තැනක නතර වුණා. වර්ෂ 1998 නොවැම්බර් 4වෙනිදා සේවා රැස්වීමේ අවසාන කතාව දීමෙන් පසු නැවතත් ෆ්‍රෑන්ක්ට හෘදයාබාධයක් හැදුණා. කනගාටුදායක ලෙස එදා රෑ ඔහු මිය ගියා. ඒ වෙලාවේදී අපේ සහෝදර සහෝදරියන් හුඟක් උදව් කළා. ඊළඟ දවසේ රාජ්‍ය ශාලාව ඉදිරිපිට තිබෙන සුසාන භූමියේ ඔහුගේ අවසාන කටයුතු කළා. තමන් ආදරය කළ කෙනෙක් මැරුණ විට දැනෙන වේදනාව විස්තර කරන්න වචන නැහැ.

නැවතත් මට කැනඩාවට යන්න වුණේ තනියමයි. ඒ ගියේ පවුලේ මෙන්ම සමහර නීතිමය දේවල් කරගන්නත් තිබුණු නිසයි. මගේ දුකේදී යෙහෝවා දෙවි මාව අමතක කළේ නැහැ. නැවතත් ඉක්වදෝරයට එන්න කියලා එහි ශාඛා කාර්යාලයෙන් මට ලියුමක් ලැබුණා. ඊට පස්සේ මම එහේ ගිහින් ශාඛා කාර්යාලයට කිට්ටුවෙන් කාමරයක් කුලියට ගත්තා. ශාඛා කාර්යාලයේ වැඩවලත් දේශනා සේවයේත් කාර්යය බහුලව සිටීම ෆ්‍රෑන්ක් නැති දුක යම් තාක් දුරකට තුනී කරගන්න උපකාර වුණා. ඒත් ඒ මොනවා කළත් ෆ්‍රෑන්ක් නැති පාළුව සම්පූර්ණයෙන්ම නැති වුණේ නැහැ.

කාර්යය බහුල ජීවිතයක්

මේ කාලයේදී තමයි මට ජූනිය ජෝන්ස්ව හමු වුණේ. ඔහු 1997දී පුරෝගාමි සේවය සඳහා එක්සත් ජනපදයෙන් පැමිණි කෙනෙක්. අපි දෙන්නගේ අදහස් වගේම ඉලක්කත් හුඟක් දුරට සමාන වුණා. වර්ෂ 2000 ඔක්තෝබර්වලදී අපි විවාහ වුණා. ජෝන්ස්ටත් ඉදි කිරීම්වල පළපුරුද්දක් තිබුණු නිසා එහේ සමුළු ශාලාවේ වැඩකටයුතු සම්පූර්ණ කරන්න අපිට එන්න කියලා ක්වෙන්කාවලින් ආරාධනයක් ලැබුණා. මේ ශාලාව 2006 අප්‍රියෙල් 30වෙනිදා කැප කළා. කැප කිරීමේ කතාව ඉදිරිපත් කිරීමට ජෙෆ්රි ජැක්සන් එක්සත් ජනපදයේ සිට පැමිණියා. ඔහු සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක්. මේ කතාවට සවන් දෙන්න 6,554දෙනෙක් පැමිණ සිටියා.

අප්‍රිකාවේ, ඉන්දියාවේ සහ දකුණු අමෙරිකාවේ අපි කළ සේවය මේ තරම් ප්‍රීතිමත් එකක් වෙයි කියලා කවුද හිතුවේ! මේ සේවයෙන් විශ්‍රාම යන්න මටයි ජෝන්ස්ටයි කිසිම අදහසක් නැහැ. මම යෙහෝවා දෙවිට සේවය කළ අවුරුදු 50ක කාලය හුඟක් වේගයෙන් ගෙවිලා ගියා. මට දැනෙන්නේ හරියට මම අද ඊයේ ඒ සේවය පටන්ගත්තා වගේයි. දෙවිගේ නව පාලනය යටතේදී, දෙවිට දැන් මම සේවය කළ කාලය මොන තරම් කෙටිද කියලා මට හැඟෙන බව නම් ස්ථිරයි!—එළිදරව් 21:3-5; 22:20.

[15වන පිටුවේ සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

අපි සේවය කළ ස්ථාන

කැනඩාව → එංගලන්තය → කෙන්යාව → ටැන්සානියාව

කැනඩාව → ඉන්දියාව

කැනඩාව → නයිජීරියාව → කොංගෝ ඩො. ජ (සයිරේ) → ලයිබීරියාව

කැනඩාව → ඉක්වදෝරය

[වෙනත් ස්ථාන]

අමෙරිකා එක්සත් ජනපදය

[පින්තූරය]

ඉන්දියාවේදී ෆ්‍රෑන්ක් සමඟ සමුළුවකට යන අවස්ථාවක්

[15වන පිටුවේ පින්තූරය]

ජූනිය ජෝන්ස් සමඟ