Skip to content

පටුනට යන්න

බයිබලය හා මිථ්‍යා විශ්වාසයන් අතර සම්බන්ධයක් තිබෙනවාද?

බයිබලය හා මිථ්‍යා විශ්වාසයන් අතර සම්බන්ධයක් තිබෙනවාද?

බයිබලයෙන් පිළිතුරක්

බයිබලය හා මිථ්‍යා විශ්වාසයන් අතර සම්බන්ධයක් තිබෙනවාද?

එක් ලේඛකයෙක්ට ඔහු ගුවන් අනතුරකින් මිය යන බව ශාස්ත්‍ර බලන්නෙක් පවසා තිබුණා. ඒ නිසා ඔහු අවුරුද්දක් පමණ ගුවන් යානයකින් ගමන් කළේ නැහැ. දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් සහ පාසැල් ශිෂ්‍යයන් වැනි විවිධ තරාතිරම්වල සිටින අය ඒ හා සමාන දේවල් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරනවා. විවිධ කාලවලදී ඔවුන් මුහුණ දෙන අස්ථාවරභාවය, පීඩන හා කනස්සල්ල හමුවේ මෙවැනි විශ්වාසයන් ආරක්ෂාවක් මෙන්ම ඔවුන් බලාපොරොත්තු වන දේ අත් කරගන්න උපකාරයක් ලෙසත් ඔවුන් සලකනවා.

මෙවැනි බොහෝ විශ්වාසයන් යල්පැන ගිය දේවල් කියා ඔවුන් සිතුවත් ඒවායින් මනසට සහනයක් ලැබෙන නිසා ඔවුන් ඒ කෙරෙහි විශ්වාසය තබනවා. නැසී ගිය මානව විද්‍යාඥවරියක් වන මාග්‍රට් මීඩ් මෙසේ පවසා තිබෙනවා. “මෙවැනි මත විශ්වාස කිරීමෙන් පිළිබිඹු වන්නේ තමන්ට යහපත් දෙයක් ලබාගන්න මිනිසුන් තුළ තිබෙන ආශාව හා තමන්ට අයහපත් දෙයක් සිදුවීම වළක්වාගන්න තිබෙන දැඩි වුවමනාවයි. කෙනෙක් මේවා කෙරෙහි විශ්වාස තැබුවත් නැතත් එම විශ්වාසයන් දැන් ජීවිතයටත් මරණයෙන් පසු ජීවිතයටත් යම් බලාපොරොත්තුවක් සපයනවා.” නමුත් දෙවිව සතුටු කිරීමට කැමති කෙනෙක් මේ ප්‍රශ්නය ගැන සැලකිලිමත් වීම වැදගත්. එනම් ‘සැබෑ ක්‍රිස්තියානීන් මෙවැනි මත විශ්වාස කරනවාද’ යන්නයි.

මිථ්‍යා මතවල ආරම්භය

සාමාන්‍යයෙන් මිනිසුන් හුඟක් දේවල් ගැන බියෙන් පසුවෙනවා. නිදසුනකට මරණය ගැන හෝ මරණයෙන් පසු සිදු වන දේ ගැන නොදන්නා නිසා ඔවුන් බියට පත් වෙනවා. දෙවිගේ සතුරා වන සාතන්ගේ ආශාවත් මිනිසුන්ව මෙවැනි සිතුවිලිවලින් යටපත් කිරීමයි. මේ නිසා ඔහු තව තවත් බොරු කියමින් මෙවැනි මිථ්‍යා මතවලට උල්පන්දම් දෙනවා. (යොහන් 8:44; එළිදරව් 12:9) සාතන් මිනිසුන්ව දෙවිගෙන් ඈත් කරන්නේ තනිවම නොවෙයි. ඔහුට හවුල්වන තවත් පිරිසක් සිටිනවා. ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් ලෙසයි. ඒ නිසයි බයිබලයේ සාතන්ව “භූතයන්ගේ පාලකයා” කියා හඳුන්වා තිබෙන්නේ. (මතෙව් 12:24-27) භූතයන් ලෙස හඳුන්වන්නේ බයිබලයේ සඳහන් වන නෝවාගේ කාලයේදී දෙවිට විරුද්ධ වීමට සාතන් සමඟ එක් වුණු දේවදූතයන්වයි. දෙවිට විරුද්ධ වූ දා සිට ඔවුන් මිනිසුන්ට බලපෑම් කරමින් සිටිනවා. ඒ සඳහා ඔවුන් භාවිත කරන එක් උපක්‍රමයක් වන්නේ මිථ්‍යා විශ්වාසයි.—උත්පත්ති 6:1, 2; ලූක් 8:2, 30; යූද් 6.

කෙනෙක් මිය ගිය පසු ඔහුගේ ශරීරයෙන් නොපෙනෙන යමක් ඉතිරි වන බවත් එමගින් අන් අයට යම් බලපෑම් ඇති වන බවත් මිනිසුන් විශ්වාස කරනවා. එය මිථ්‍යා මතවලට පදනමක් සපයන සාතන්ගේ බොරුවක්. නමුත් ඒ ගැන බයිබලයේ පවසන්නේ “මිය ගිය අය කිසිවක් නොදනිති” කියායි. එමෙන්ම කෙනෙක් මිය ගිය පසු ඔහුට ‘කිසි දෙයක් කිරීමටවත් කිසිවක් කල්පනා කිරීමටවත් කිසි දැනුමක් හෝ ප්‍රඥාවක් හෝ ලබාගැනීමටවත් නොහැකියි.’—දේශනාකාරයා 9:5, 10, නව ලොව පරිවර්තනය, NW.

“යෙහෝවා දෙවි පිළිකුල්” කරන දේවල්

බොහෝ අය සාතන්ගේ මෙම බොරු විශ්වාස කරනවා. අතීතයේදී දෙවි ඊශ්‍රායෙල් සෙනඟට මිථ්‍යා විශ්වාසයන් ගැන මෙසේ අනතුරු අඟවනු ලැබුවා. ‘ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් පේනකීමටවත්, මන්තර ගුරුකම්වලටවත්, නිමිති බැලීමටවත්, බලි තොවිල්වලටවත් සම්බන්ධ නොවිය යුතුයි. කිසිම කෙනෙක් කොඩිවින, හදි හූනියම් කරන්නවත්, කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත්, මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් නොපෙලඹිය යුතුයි. මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙකුටම යෙහෝවා දෙවි පිළිකුල් කරනවා.’—ද්විතීය කතාව 18:10-12NW.

කෙසේවෙතත් ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ අනතුරු ඇඟවීමට සැමවිටම කීකරු වුණේ නැහැ. යෙසායා නම් අනාගතවක්තෘගේ කාලයේ ඔවුන් තමන්ගේ වගාවෙන් සරු අස්වැන්නක් ලබාගැනීම සඳහා “වාසනාවේ දෙවි” කෙරෙහි විශ්වාසය තැබුවා. මෙම මිථ්‍යාව කෙරෙහි විශ්වාසය කිරීමේ ප්‍රතිඵලය වුණේ යෙහෝවා දෙවිගේ අනුමැතිය ඔවුන්ට අහිමි වීමයි.—යෙසායා 65:11, 12NW.

ක්‍රිස්තියානි ධර්මය ආරම්භ වීමෙන් පසුව පවා මිථ්‍යා විශ්වාස කෙරෙහි දෙවිගේ ආකල්පය වෙනස් වුණේ නැහැ. ඒ බව ලිස්ත්‍රාව නම් නගරයේ සිටි මිථ්‍යා මත දරන්නන්ට මුල් සියවසේදී පාවුල් නම් දෙවිගේ සේවකයා පැවසූ මේ වදන්වලින් සනාථ වෙනවා. ‘ඔබ මේ නිෂ්ඵල දේවලින් හැරී, අහසත් පොළොවත් මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත් සෑදූ ජීවමාන දෙවි වෙතට හැරෙන්න.’—ක්‍රියා 14:15.

මිථ්‍යා විශ්වාසවලින් මිදීම

මිථ්‍යා විශ්වාසයන් බොහෝ තිබුණත් මේ කිසිම විශ්වාසයකට කිසිම පදනමක් නැහැ. එමෙන්ම මේවා නිසා මිනිසුන් අතින් යම් වරදක් සිදු වූ විට එය සිදු වුණේ අවාසනාව නිසයි කියා ඔවුන්ගේ වැරදි ක්‍රියා නිසා අත් වූ ඵල විපාකවලින් නිදහස් වීමට උත්සාහ කරනවා.

කෙසේවෙතත් බොහෝදෙනෙක් එවැනි මිථ්‍යා විශ්වාසවලින් මිදීම සතුටට කරුණක්. යේසුස් එක් අවස්ථාවක මෙසේ පැවසුවා. “ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත.” (යොහන් 8:32) වසර 25ක් තිස්සේ ශාස්ත්‍ර කියූ ක්ලෙමෙන්ටිනා නම් බ්‍රසීලියානු කාන්තාව මෙසේ පවසනවා. “මම ජීවත් වුණේ ශාස්ත්‍ර කියලයි. නමුත් බයිබලයේ සඳහන් සත්‍යය මාව එයින් මුදවාගත්තා.” ඇත්තෙන්ම නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා යෙහෝවා දෙවිට නොකඩවා යාච්ඤා කිරීමෙන් අපට ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබාගන්න පුළුවන්. එසේ කිරීමෙන් කල්පනා ශක්තිය හොඳින් භාවිත කර ඥානවන්ත තීරණ ගන්නත් ඒ තුළින් වේදනාව හා කනස්සල්ල ගෙන දෙන දේවලින් ඈත් වෙන්නත් හැකි වෙනවා.—ෆිලිප්පි 4:6, 7, 13.

බයිබලයේ මෙසේ පවසනවා. “ආලෝකය සහ අන්ධකාරය අතර ඇති පංගුකාරකම කුමක්ද? තවද, ක්‍රිස්තුස් සහ බෙලියල් [සාතන්] අතර ඇති එකමුතුකම කුමක්ද?” මේ නිසා සැබෑ ක්‍රිස්තියානීන් මිථ්‍යා මත කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ.—2 කොරින්ති 6:14-16.

මේ ගැන ඔබ සිතුවාද?

දෙවි කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට යෙසායාගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරු විශ්වාසය තැබුවේ කා මතද?—යෙසායා 65:11, 12.

ලිස්ත්‍රාවේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් පැවසුවේ කුමක්ද?—ක්‍රියා 14:15.

සැබෑ ක්‍රිස්තියානීන් මිථ්‍යා මත විශ්වාස කරනවාද?—2 කොරින්ති 6:14-16.

[10වන පිටුවේ පින්තූර]

මිථ්‍යා මත විශ්වාස කිරීම ආරක්ෂාවක් කියා මිනිසුන් සිතනවා