Skip to content

පටුනට යන්න

මගේ කතාබහ ගෞරවනීයද?

මගේ කතාබහ ගෞරවනීයද?

යෞවන අය අසති

මගේ කතාබහ ගෞරවනීයද?

“මගේ යාළුවන් එක්ක පෑහිලා ඉන්න නම් ඒ අය කතා කරන විදිහට කතා කරන්න වෙනවා. මට මේ පුරුද්ද ඇති වුණේ ඒ නිසා කියලයි මම හිතන්නේ.”—මෙලානි. *

“නරක වචන භාවිත කරන එක ප්‍රශ්නයක් කියලා මම නම් හිතුවේ නැහැ. පාසැලේදී ගෙදරදී මේ වගේ වචන හැම තිස්සේම පාවිච්චි වෙනවා මට ඇහෙනවා.”—ඩේවිඩ්.

වැඩිහිටියන් අසභ්‍ය වචන භාවිත කරන විට එය සාමාන්‍ය දෙයක් ලෙසත් බාලයන් එසේ කරන විට එය නරක දෙයක් ලෙසත් සලකන්නේ ඇයි? අසභ්‍ය වචන භාවිත කිරීමට වයස බලපානවාද? මේ නිසා මේ ප්‍රශ්නය සලකා බැලීම වටිනවා. “අසභ්‍ය වචන භාවිත කිරීමේ තිබෙන වරද කුමක්ද?”

අසභ්‍ය වචනවලට හුරුවීම

අසභ්‍ය භාෂාව අද සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. සමහර යෞවනයන් පවසන ආකාරයට මෙය කොතරම් සාමාන්‍ය දෙයක්ද කියනවා නම් තමන්ට පාසැලේදී ඇසෙන නරක වචනයකට ඩොලර් එක බැගින් ගෙව්වොත් තමන්ටවත් තමන්ගේ දෙමව්පියන්ටවත් කවදාවත් රැකියාවක් කරන්න ඕනේ වෙන එකක් නැහැ. ඈන් නම් 15-හැවිරිදි යෞවනියක් මෙසේ පවසනවා. “යාළුවෝ කොච්චර නරක වචන කියනවාද! දවස තිස්සේම ඒ වගේ වචන ඇහෙද්දී ඒවා මගේ ජීවිතේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.”

ඔබේ තත්වයත් ඈන් මුහුණ දෙන තත්වයට සමානද? අසභ්‍ය වචන භාවිත කිරීමේ පුරුද්ද ඔබටත් තිබෙනවාද? * එසේනම් මේ පුරුද්ද ඇතිවීමට හේතුව කුමක්ද කියා සිතා බලන්න. එය හඳුනාගත් විට ඉන් මිදීමට ඔබට පහසු වෙනවා.

ඔබට මේ පුරුද්ද ඇති වුණේ ඇයි කියා හඳුනාගෙන පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

බොහෝවිට මෙයට පෙලඹෙන්නේ . . .

□ කේන්ති ගිය විට

□ අවධානය ලබාගන්න අවශ්‍ය වූ විට

□ යහළුවන් සමඟ පෑහී සිටින්න අවශ්‍ය වූ විට

□ ශක්තිමත් පෞරුෂයක් ඇති බව පෙන්වීමට

□ වැඩිහිටියන්ට විරුද්ධත්වය පළ කිරීමට

□ වෙනත් .....

බොහෝදුරට ඔබ මේවා භාවිත කරන්නේ . . .

□ පාසැලේදී

□ රැකියා ස්ථානයේදී

□ ඊ-මේල් හා SMS යැවීමේදී

□ තනියෙන් සිටින විටදී

ඔබ දෙන හේතු . . .

□ මිතුරන් කියන නිසා

□ දෙමව්පියන් කියන නිසා

□ ගුරුවරු කියන නිසා

□ විනෝදාංශවල ඇතුළත්ව තිබෙන නිසා

□ ඒවා නිකම්ම නිකං වචන විතරයි

□ ඒවා ගණන් නොගන්න අය අතරේ පමණයි

□ වෙනත් .....

මෙම පුරුද්දෙන් මිදෙන්න උත්සාහ කළ යුත්තේ ඇයි? මෙය එතරම්ම නුසුදුසු දෙයක්ද? පහත සඳහන් දේ සලකා බලන්න.

වචනවලට වඩා වැඩි යමක්. එක් අවස්ථාවකදී යේසුස් මෙසේ පැවසුවා. “මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.” (ලූක් 6:45) අපි කතා කරන ආකාරයෙන් පෙන්වන්නේ අපි මොන වගේ කෙනෙක් වෙන්න කැමතිද යන්න ගැන නොව නමුත් දැනටමත් අපි මොන වගේ කෙනෙක්ද යන වගයි. අපි අනික් අය කරන නිසා අසභ්‍ය වචන භාවිත කරනවා නම් අපිටම කියා අනන්‍යතාවක් ගොඩනඟා ගෙන නැති “වැඩිදෙනෙකුගේ කීම අසා” වැරදි දේ කරන්නෙක් බවට පත් වෙනවා.—නික්මයාම 23:2, නව ලොව පරිවර්තනය, NW.

භාෂා විශාරදයෙක් වූ ජේම්ස් වී. ඕ’කොනර් මෙසේ පවසනවා. “අසභ්‍ය වචන භාවිත කරන අය බොහෝදුරට විවේචනාත්මක, ඉක්මනින් කේන්ති යන, විවාදශීලී අයයි.” උදාහරණයකට කුමක් හෝ අයහපතක් සිදු වූ විට යම් කෙනෙක් නරක වචන භාවිත කරමින් ඒ ගැන දොස් පවරනවා නම් ඉන් පෙනී යන්නේ සෑමවිටම තමන් බලාපොරොත්තු වන දේ සිදු විය යුතුයි කියා ඔහු සිතන බවයි. එවැනි අයට අයහපත් දෙයක් සිදු වූ විට දරාගන්න බැහැ. ඊට වෙනස්ව ගෞරවනීය ලෙස කතා කරන අය ගැන ඕ’කොනර් මෙවැන්නක් පවසනවා. ‘ඔවුන් ඉතාමත් සන්සුන්, එදිනෙදා ඇති වන ගැටලුවලට ඥානවන්තව මුහුණ දෙන්න පුළුවන් මේරූ අයයි.’ ඔබ කැමති මොන වගේ පුද්ගලයෙක් වෙන්නද?

නමට කැළලක්. බොහෝ යෞවනයන් වගේ ඔබත් ඔබේ පෙනුම ගැන සැලකිලිමත් වෙනවා විය හැකියි. අනික් අයගේ සිත් දිනාගන්න ඔබත් කැමති ඇති. නමුත් ඔබේ පෙනුමට වඩා ඔබේ කතාබහෙන් ඔබ ගැන අන් අය සිතන විදිහට බලපෑම් කරන්න පුළුවන් කියා ඔබ දන්නවාද? ඔබේ කතාබහෙන් මෙවැනි දේවල් නිශ්චය කරගන්න පුළුවන්.

▪ ඔබ කැමති මොන වගේ යහළුවන්ටද?

▪ ඔබ යම් රැකියාවකට සුදුසුද? නැද්ද?

▪ ඔබට කොතරම් ගෞරවයක් ලැබෙනවාද?

අපිව මුලින්ම දුටු විට කෙනෙකුට ඇති වන හොඳ හැඟීම අපේ කතාබහත් සමඟම නැති වී යන්න පුළුවන්. ඕ’කොනර් මෙවැනි දෙයක් පවසනවා. “ඔබේ අසභ්‍ය කතාබහ නිසා හොඳ යහළුවෙක්ව ළං කරගන්න තිබුණු අවස්ථා කීයක් මඟහැරුණාද කියලා ඔබ නොදන්නවා ඇති. එයින් ඔබේත් අන් අයගේත් ගෞරවයට කොතරම් හානි පැමිණුණාද කියලත් ඔබ නොදන්නවා ඇති.” ඇත්තෙන්ම අසභ්‍ය කතාබහවලින් වෙන්නේ ඔබේ නමට කැළලක් ඇති කරගැනීම පමණයි!

කතා කිරීමේ හැකියාව දුන් දෙවිට පෙන්වන අගෞරවයක්. ඔබ මිතුරෙකුට තෑග්ගක් හැටියට කමිසයක් හෝ ගවුමක් දුන්නා කියා සිතන්න. එම මිතුරා එය පාපිස්සක් හැටියට භාවිත කරනවා ඔබ දුටුවොත් ඔබට කෙසේ හැඟෙයිද? ඒ හා සමානව යෙහෝවා දෙවි අපිට තෑග්ගක් ලෙස කතා කිරීමේ හැකියාව දී තිබෙනවා. අපි එය නුසුදුසු ආකාරයට භාවිත කරනවා නම් දෙවිට කෙසේ හැඟෙයිද? ඔහු අපිට මෙසේ පවසනවා. “සියලු ආකාර වෛරසහගත හැඟීම්, කෝපය, උදහස, කෑගැසීම්, නිග්‍රහ කිරීම් මෙන්ම සියලු අයහපතද ඔබෙන් ඉවත් කර දමන්න.”—එෆීස 4:31.

අසභ්‍ය වචන භාවිත කිරීමෙන් වැළකී සිටීමට හොඳ හේතු තිබෙනවා කියා දැන් ඔබට සිතෙනවාද? මෙවැනි භාෂාවකට ඔබ හුරු වී සිටිනවා නම් ඉන් මිදීමට ඔබට හැක්කේ කෙසේද?

පළමුව: ඉන් වැළකී සිටිය යුතු හේතුව තේරුම්ගන්න. ගෞරවනීය කතාබහකින් අත් වන ප්‍රයෝජන දැනගන්න තාක් කල් ඔබ ඉන් නොවැළකී සිටින්න පුළුවන්. මේ ගැන සිතා බලන්න. මම අසභ්‍ය වචන භාවිත කිරීමෙන් වැළකී සිටින්න පෙලඹෙන්නේ . . .

□ දෙවිව සතුටු කරන්න

□ අනික් අයගේ ගෞරවය දිනාගන්න

□ වාග්මාලාව දියුණු කරගන්න

□ ශක්තිමත් පෞරුෂයක් ගොඩනඟා ගන්න

දෙවනුව: අසභ්‍ය වචන භාවිත කිරීමට හේතුව කුමක්ද කියා හඳුනාගන්න. කලින් සඳහන් කළ මෙලානි මෙසේ පවසනවා. “ඒ වගේ භාෂාවක් නිසා හොඳ පෞරුෂයක් ගොඩනඟා ගන්න පුළුවන්. කවුරුත් මාව පාලනය කරනවාට මම ආස නැහැ. මගේ යාළුවෝ කරනවා වගේ මොනවා හරි වචනයක් කියලා හරි ඒ අයව යටත් කරගන්නයි මම කැමති.”

ඔබ ගැන කුමක් කිව හැකිද? මෙවැනි අසභ්‍ය භාෂාවකින් වැළකී සිටීමට නම් තේරුම්ගත යුතු මූලිකම දෙය වන්නේ ඔබ අසභ්‍ය වචන භාවිත කරන හේතුව හඳුනාගැනීමයි. නිදසුනකට ඔබ අනික් අය කරන නිසා අසභ්‍ය වචන භාවිත කරනවා නම් අනුකරණය කරන්නෙක් නොවී ඔබටම කියා අනන්‍යතාවක් ගොඩනඟා ගන්න ඔබට සිදු වෙනවා. ඔබ එසේ හරි දේ කිරීමට තීරණය කර එය කරනවා නම් ඉන් පෙන්වන්නේ ඔබ ශක්තිමත් පෞරුෂයක් ගොඩනඟා ගනිමින් සිටින බවයි. එමෙන්ම එය මෙම නරක පුරුද්දෙන් වැළකී සිටීමට ඔබට මහඟු උපකාරයක් වෙනවා.

තෙවනුව: ගෞරවනීය වචන භාවිත කිරීමට පුරුදු වන්න. බයිබලයේ සඳහන් වන “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගැනීමට අසභ්‍ය වචන භාවිත නොකර සිටීමත් අයත් වෙනවා. (එෆීස 4:22-24) මෙසේ කිරීම තුළින් ඔබට ආත්මදමනය ඇතුව සිටින්නත් අන් අයගේ ගෞරවය දිනාගන්නත් හැකි වෙනවා. ඒ විතරක් නොවෙයි අනික් අය කෙරෙහි ඔබ දක්වන ගෞරවයත් ඒ තුළින් කැපීපෙනෙන්න යනවා.

පහත සඳහන් බයිබල් පද අලුත් පෞද්ගලිකත්වයක් ඇතුව සිටින්නත් එය පවත්වාගෙන යන්නත් ඔබට උපකාර කරයි.

කොලොස්සි 3:2: ‘ඉහළ තැන්වල තිබෙන දේවල් කෙරෙහි ඔබේ මනස යොමු කරන්න.’

අදාළත්වය: යහපත් දේ කෙරෙහි පමණක් ඔබේ මනස යොමු කරන්න. ඊට හේතුව ඔබේ සිතුවිලි ඔබේ කතාබහට බලපෑම් කරන නිසයි.

හිතෝපදේශ 13:20NW: “ප්‍රඥාවන්තයන් සමඟ යන්නා ප්‍රඥාවන්ත වෙයි. නමුත් අඥානයන් ඇසුරු කරන්නා කරදරයේ වැටෙයි.”

අදාළත්වය: ඔබේ කතාබහට බලපෑම් කරන්න ඔබේ ආශ්‍රිතයන්ට පුළුවන්.

ගීතාවලිය 19:14NW: “යෙහෝවා දෙවියනි, මාගේ මුවින් පිටවන වචනද මාගේ සිතේ කල්පනාවද ඔබ ඉදිරියේ ප්‍රසන්න වේවා!”

අදාළත්වය: කතා කිරීමේ හැකියාව නමැති තෑග්ග අපි භාවිත කරන ආකාරය ගැන යෙහෝවා දෙවි සැලකිලිමත් වෙනවා.

මින් මිදීමට ඔබට තවත් උපකාර අවශ්‍යද? ඉහත සඳහන් ප්‍රගති සටහනේ ඔබේ වාග්මාලාවෙන් ඉවත් වී ඇත්තේ කුමන වචනද කියා සටහන් කරන්න. එවිට ඔබ කොතරම් ඉක්මනින් මෙයින් මිදී තිබෙනවාද කියා ඔබටම දැකගැනීමට හැකි වේවි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. මේ ලිපියේ නම් වෙනස් කර ඇත.

^ 8 ඡේ. ක්‍රිස්තියානීන්ට එවැනි නරක වචන භාවිත නොකිරීමට හොඳ හේතු තිබෙනවා. බයිබලයේ පවසන්නේ මෙසේයි. ‘කිසි දූෂිත වචනයක් ඔබේ මුවින් පිටවීමට ඉඩ නාරින්න’. “ඔබේ කතාව සැමවිටම ප්‍රසන්නව, ලුණෙන් රසවත්ව තිබේවා!”—එෆීස 4:29; කොලොස්සි 4:6.

සිතා බලන්න

ඔබේ අසභ්‍ය කතාබහෙන් මේ දේවල් නිශ්චය කරගත හැකිද?

▪ ඔබ කැමති මොන වගේ යහළුවන්ටද?

▪ ඔබ යම් රැකියාවකට සුදුසුද නැද්ද?

▪ අන් අය ඔබව දකින්නේ කොයි ආකාරයටද?

[21වන පිටුවේ වගුව]

ඔබේ ප්‍රගතිය ලකුණු කරන්න

සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා

1වන සතිය ..... ..... ..... ..... ..... ..... .....

2වන සතිය ..... ..... ..... ..... ..... ..... .....

3වන සතිය ..... ..... ..... ..... ..... ..... .....

4වන සතිය ..... ..... ..... ..... ..... ..... .....

[20වන පිටුවේ පින්තූරය]

ඔබ වටිනා තෑග්ගක් කිසිවිටක නාස්ති කරන්නේ නැහැ. එසේනම් කතා කිරීමේ හැකියාව නමැති තෑග්ග ගැන කුමක් කිව හැකිද?