Skip to content

පටුනට යන්න

සත්‍ය ආගම කුමක්ද?

සත්‍ය ආගම කුමක්ද?

සත්‍ය ආගම කුමක්ද?

ඇත්තටම තිබෙන්නේ එක සත්‍ය ආගමක් පමණයි කියා පවසන විට සමහර අයට කේන්ති යනවා. අද ලෝකයේ බොහෝ ආගම් තිබෙන නිසා එක ආගමක් පමණක් සත්‍යයයි කියා පවසන අයව සලකන්නේ ඉතා පටු අදහස් තිබෙන උද්දච්ච අය ලෙසයි. සෑම ආගමකම යම් හොඳ දෙයක් උගන්වනවා කියා බොහෝදෙනෙක් සිතනවා. ඔබ සිතන්නේත් එසේද?

සමහර කාරණා සම්බන්ධයෙන් එවැනි විවිධ මත තිබීම වැරදි නැහැ. උදාහරණයකට යම් කෙනෙක් තීරණය කරන්න පුළුවන් යම් ආහාරයක් ඔහුට සෞඛ්‍ය සම්පන්නව ඉන්න උපකාරවත් වෙනවා කියලා. ඒත් කෙනෙක් සෞඛ්‍ය සම්පන්නව ඉන්න නම් ගන්න අවශ්‍ය එකම ආහාරය එය පමණක් කියා ඔහු බල කිරීම සාධාරණද? එවැනි අවස්ථාවකදී ඥානවන්ත මෙන්ම සාධාරණ දෙය වන්නේ අනික් තැනැත්තාට හොඳයි කියා සිතෙන ආහාරයක් ගැනීමට ඉඩහැරීමයි. ඒ ආහාරය ඒ තැනැත්තාට වඩාත් සුදුසු වෙන්න පුළුවන්.

ඒත් ආගම සම්බන්ධයෙන් තත්වයත් එයමද? තමන් හැදුණු වැඩුණු පරිසරය හා තමන්ට කාරණා තේරුම්ගැනීමට ඇති හැකියාව මත තමන්ට නිවැරදියි කියා තෝරාගත හැකි විකල්ප ආගම් රාශියක් තිබෙනවාද? එසේත් නැත්නම් සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා තිබෙන්නේ එක සත්‍ය ආගමක් පමණක්ද? අපි මෙයට පිළිතුර බයිබලයෙන් සොයා බලමු. මුලින්ම සොයා බැලිය යුත්තේ ඇත්තටම අපිට සත්‍යය සොයාගත හැකිද කියායි. නමුත් සොයාගත නොහැකි නම් ඒ ගැන මහන්සි වීමෙන් පලක් නැහැ.

සත්‍යය ගැන යේසුස් පැවසූ දේ

යේසුස් මරණයට පත්වීමට පෙර ඔහුගෙන් ප්‍රශ්න කළ රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්ට ඔහු මෙසේ පැවසුවා. “සත්‍යයට පක්ෂව සිටින සියල්ලෝ මාගේ හඬට සවන් දෙන්නෝය.” එවිට පිලාත් “සත්‍යය කියන්නේ කුමක්ද?” කියා අසන්න ඇත්තේ සත්‍යය පිළිබඳව ඔහු තුළ සැකයක් තිබුණු නිසා විය හැකියි. (යොහන් 18:37 38) යේසුස් එම ප්‍රශ්නයට කිසිම භයක් සැකක් නැතුව පිළිතුරු දුන්නා. සත්‍යය පිළිබඳව යේසුස් කතා කළ අවස්ථා හතරක් ගැන දැන් අපි සලකා බලමු.

“මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය.”—යොහන් 18:37.

“මාර්ගයද සත්‍යය ජීවනයද මමය.”—යොහන් 14:6.

“දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාර කරන්නන් ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර කළ යුතුය.”—යොහන් 4:23, 24.

“ඔබ මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබවින්ම ඔබ මාගේ ගෝලයෝය. ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත.”—යොහන් 8:31, 32.

යේසුස් සත්‍යය ගැන මෙතරම් විශ්වාසයෙන් කතා කළ නිසා ඇත්තටම සත්‍ය ආගමක් තිබෙන බවත් එය සොයාගත හැකි බවත් අපට හැඟිය යුතු නැද්ද?

සත්‍ය ආගම සොයාගත හැකිද?

සමහර දේවල් ගැන අපට කිසිම සැකයක් නැහැ. ඒවා සීයට සීයක්ම විශ්වාසයි. ඔබේ පැවැත්ම ගැනත් ඔබ අවට තිබෙන දේවල් ගැනත් ඔබට විශ්වාසයි. ඔබ අවට පරිසරයේ දක්නට තිබෙන ගස්, කඳු, වලාකුළු, ඉර, හඳ, තාරකා යන දේවල් මනඃකල්පිත දේවල් නොවන බව ස්ථිරයි. ඒත් සමහරවිට දර්ශනවාදී අදහස් තිබෙන අයට ඒ දේවල්වල පැවැත්ම ගැන ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන්. ඒත් ඔබ එවැනි අන්තවාදී අදහස් හා එකඟ නොවෙනවා විය හැකියි.

අපිට තවත් ස්ථිර විය හැකි දෙයක් තිබෙනවා. එනම් භෞතික නීතියි. උදාහරණයක් ලෙස ඔබ කන්දකින් පැන්නොත් බිමට වැටෙනවා. ඔබ කෑම කෑවේ නැත්නම් බඩගින්න දැනෙනවා. දිගු කාලයක් පුරා කෑම නොකා සිටීමෙන් මැරෙන්න පුළුවන්. මේ වගේ භෞතික නීති අදාළ වෙන්නේ සමහර අයට පමණක් කියා ඔබ කිසිවිටක සිතන්නේ නැහැ නේද? ඇත්තෙන්ම මේවා සෑම කෙනෙකුටම අදාළ වෙනවා.

එලෙස සෑම කෙනෙකුටම අදාළ වන නීතියකට යොමු දක්වමින් බයිබලයේ මෙවැනි ප්‍රශ්නයක් නඟනවා. “මිනිසෙකු ගින්දර තම ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සෙයිද?” කෙනෙකුගේ ඇඳුම්වලට ගින්දර වැදුණු විට අනිවාර්යයෙන්ම ඒවා පිළිස්සෙනවා. කෙසේවෙතත් ඉහත බයිබල් වගන්තියෙන් ඊටත් වඩා ගැඹුරු කාරණයක් ගැන උගන්වනවා. එනම් “තමාගේ අසල්වැසියාගේ බිරිඳ හා සම්බන්ධකම් පවත්වන්නාට” ඒ හා සමාන දරුණු විපාකයකට මුහුණ දීමට සිදු වෙන බවයි.—හිතෝපදේශ 6:27, 29, නව ලොව පරිවර්තනය.

එම ප්‍රකාශය සීයට සීයක්ම සත්‍යයක් කියා අපිට ස්ථිර විය හැකිද? සමහර අය නැහැයි කියා කියන්න පුළුවන්. එසේ කියන්නේ ඔවුන්ගේ සදාචාර ප්‍රමිති එකිනෙකාට වෙනස් නිසයි. ඒ වගේම කෙනෙක් හැදී වැඩුණු ආකාරය, විශ්වාසය හා තත්වයන් නිසාත් එසේ විය හැකියි. ඒත් බයිබලයේ දෙවි දී තිබෙන සදාචාර ප්‍රමිති කිහිපයක් ගැන සොයා බලමු. මේවා අපි සෑම කෙනෙකුටම එක සේ අදාළ වන නීති හැටියට ගණන් ගත නොහැකිද කියා සොයා බලමු.

බයිබලයේ අනාචාරය හෙළාදකිනවා. (1 කොරින්ති 6:9, 10) සමහර අය බයිබලයේ සඳහන් ඉගැන්වීම් සත්‍යයයි කියා පිළි නොගන්න නිසා අනාචාරයේ යෙදෙන්න පුළුවන්. ඒත් අවසානයේදී ඔවුන්ට ඉතා කනගාටුදායක තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. මින් කිහිපයක් නම් වධ දෙන හෘදය සාක්ෂියක්, දික්කසාද වීම්, එම වදරට සම්බන්ධ අයට හා ඔවුන්ගේ පවුලේ සියලුදෙනාට අත් විඳින්න සිදු වන මානසික වේදනා යනාදියයි.

බයිබලයේ බේබදුකම හෙළාදකිනවා. (හිතෝපදේශ 23:20; එෆීස 5:18) ඒත් බීමට ඇබ්බැහි වූ අයට අද්දකින්න වෙන්නේ කුමක්ද? බොහෝ අවස්ථාවලදී ඔවුන්ට රැකියාව අහිමි වෙනවා, ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය දුර්වල වෙනවා, පවුල්වල ප්‍රශ්න ඇති වෙනවා, ඒ විතරක් නෙවෙයි මානසිකවත් ලොකු වේදනාවක් විඳින්න සිදු වෙනවා. (හිතෝපදේශ 23:29-35) බේබදුකම වැරදියි කියා සිතන්නේ නැති අයට පවා එවැනි කටුක අද්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. කෙනෙකු සතු වටහාගැනීමේ හැකියාව හා ආගමික විශ්වාසයන් නිසා මෙයින් ඇති වන ඵල විපාකවල වෙනසක් සිදු වෙනවාද?

බයිබලයේ පිළිපැදිය යුතු සාරධර්ම ගැනද සඳහන් වෙනවා. උදාහරණයක් ලෙස තමන්ගේ භාර්යාවට ප්‍රේම කිරීම, තම ස්වාමිපුරුෂයාට ගෞරවය කිරීම හා අන් අයට යහපත කිරීම මින් කිහිපයක්. (මතෙව් 7:12; එෆීස 5:33) මෙම ආඥා පිළිපැදීමෙන් ඇත්තටම යහපත් ප්‍රතිඵල නෙළාගන්න පුළුවන්. එවැනි ආඥා පිළිපැදීමෙන් යහපතක් වෙන්නේ එක කොටසකට පමණක් බවත් එයින් අන් අයට පලක් නැති බවත් ඔබ සිතනවාද?

බයිබලයේ තිබෙන ආඥා නිකම්ම නීති මාලාවක් නොව ප්‍රායෝගිකව අදාළ කරගත හැකි ඒවා බව පැහැදිලියි. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන් යහපත් විපාක අත් වන බවත් එසේ නොකිරීමෙන් භයානක ප්‍රතිඵල අත් වන බවත් සාක්ෂිවලින් පෙනී යනවා.

බයිබලයේ සඳහන් සදාචාර ප්‍රමිති සෑම කෙනෙකුටම එක හා සමානව බලපානවා නම් දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ ප්‍රමිති ගැන ඔබ සිතන්නේ කුමක්ද? කෙනෙක් මිය ගිය විට සිදු වන දේ හා අපට සදාකාලික අනාගතය සම්බන්ධයෙන් එහි දී තිබෙන පොරොන්දු ගැන ඔබ සිතන්නේ කුමක්ද? බයිබලයේ සඳහන් එවන් සෑම ඉගැන්වීමක්ම සත්‍යය බවත් ඒවා සියලුදෙනාටම අදාළ බවත් ඉන් පැහැදිලි වෙන්නේ නැද්ද! එයින් අත් වන ඵල විපාක අදාළ වෙන්නේ එය විශ්වාස කරන අයට පමණක් නෙවෙයි.

ඇත්තටම සත්‍යය සොයාගත හැකියි. යේසුස් පැවසුවේ දෙවිගේ වචනය වන බයිබලය සත්‍යය බවයි. (යොහන් 17:17) ඒත් සත්‍යය සොයාගැනීම පහසු දෙයක් නෙවෙයි කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඊට හේතුව බයිබලයේ අඩංගු සත්‍යයන් උගන්වනවා කියා බොහෝ ආගම්වලින් කියන නිසයි. ඒත් දේවවචනය වන බයිබලයේ අඩංගු සත්‍යයන් උගන්වන්නේ කුමන ආගමේද? එසේ කරන්නේ එක ආගමක් පමණක් කියා අපි තීරණය කිරීම සුදුසුද? සම්පූර්ණ සත්‍යය හෝ යම් සත්‍යයන් ආගම් කිහිපයක උගන්වනවා විය නොහැකිද?

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවිගේ නීතිවලට අකීකරු වීම ගින්දර ළං කරගැනීමක් හා සමාන වෙන්නේ කෙසේද?