Skip to content

පටුනට යන්න

සත්‍ය ආගම තෝරාගත යුත්තේ කවුද?

සත්‍ය ආගම තෝරාගත යුත්තේ කවුද?

සත්‍ය ආගම තෝරාගත යුත්තේ කවුද?

සමහර නමස්කාර ක්‍රම දෙවි අනුමත නොකරන බව යේසුස් පැවසුවා. ඔහු “බොරු අනාගතවක්තෘවරුන්” නරක පල දරන්නන් ලෙසත් ‘හොඳ පල නොදරන සෑම ගසක්ම කපා ගින්නට දමනු ලබන’ බවත් පැවසුවා. තවද ඔහු මෙසේද පැවසුවා. “මට ‘ස්වාමිනි, ස්වාමිනි’ කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය.”—මතෙව් 7:15-22.

සමහර අය යේසුස්ව අනුකරණය කරන බව පැවසුවත් “මම, ඔබව කිසි කලක නොහැඳින්නෙමි! නීති විරෝධී ක්‍රියා කරන්නෙනි මා වෙතින් අහක්ව යන්නයයි” ඔහු පවසනවා. (මතෙව් 7:23) ඒ වගේම යේසුස් ඔහුගේ කාලයේ සිටි ආගමික නායකයන්ට කතා කළ අවස්ථාවේදී “ඔවුන් මට කරන්නාවූ නමස්කාරයෙන් පලක් නැත. මන්ද, ඔවුන් මූලික ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥාය” කියා පැවසුවා. (මාක් 7:6, 7) එම වදන් මුලින්ම පවසනු ලැබුවේ දෙවිට අකීකරු වූ ඊශ්‍රායෙල්වරුන්ටයි. යේසුස් එය ඔහුගේ කාලයේ විසූ ආගමික නායකයන්ට අදාළ කළා.

මින් පැහැදිලි වන්නේ සියලුම ආගම් දෙවි සහ යේසුස් අනුමත නොකරන බවයි. එයින් අදහස් කරන්නේ සෑම ආගමක්ම සත්‍යය නොවන බවයි. එසේනම් සත්‍යය උගන්වන්නේ එක ආගමකින් පමණක්ද? දෙවි සමහර ආගම් මාර්ගයෙන් තමන්ව නියෝජනය කරන අතර තවත් සමහර ආගම් ඔහු ප්‍රතික්ෂේප කරනවා වෙන්න බැරිද? එසේත් නැත්නම් විවිධ ආගම්වල කුමන දේ ඉගැන්වූවත් එම ආගම්වලට සම්බන්ධ වී සිටින පුද්ගලයන්ව පෞද්ගලිකව පිළිගන්නවා හෝ නොපිළිගන්නවා විය හැකිද?

පාවුල් දෙවිගේ මඟ පෙන්වීම යටතේ මෙසේ සඳහන් කළා. “ඔබ සැමෝම එකඟතාවෙන් යුතුව කතා කරමින් ඔබ අතරේ භේද නැතිව සිටින ලෙසද, එකම මනසින් හා එකම ආකාරයට සිතීමෙන් නිසි ලෙස එක්සත් වන ලෙසද, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් මම දැන් ඔබට උනන්දු කරමි.” (1 කොරින්ති 1:10) එමෙන්ම බයිබලයේ ක්‍රිස්තියානීන්ට මෙසේ උනන්දු කර තිබෙනවා. ‘එකම ආකල්පයෙන් හා එකම ප්‍රේමයෙන් යුක්තව, එක්සිත්ව එකම ආකාරයෙන් සිතන්න.’—ෆිලිප්පි 2:2.

එවැනි එක්සත්කමක් දැකිය හැක්කේ එක ආගමක් තිබෙනවා නම් පමණයි. බයිබලයේ පවසන්නේ ඇත්තේ “එක ස්වාමියෙක්ය. එක ඇදහිල්ලක්ය. එක බව්තීස්මයක්ය” කියායි.—එෆීස 4:4, 5.

බයිබල් වාර්තාවලින් ඉගෙනගත හැකි දේ

ඇත්තේ එක සත්‍ය නමස්කාර ක්‍රමයක් පමණක් බවට බයිබල් වාර්තාවල පැහැදිලි සාක්ෂි තිබෙනවා. දෙවි තම සෙනඟ සමඟ කටයුතු කිරීමට යොදාගත්තේ එක නමස්කාර ක්‍රමයක් පමණයි. දෙවි මුල් කාලයේදී ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව හෝ පවුල් මූලිකයන්ව ඔහුගේ නියෝජිතයන් ලෙස යොදාගත්තා. ඔවුන් අතර නෝවා, ආබ්‍රම් (ආබ්‍රහම්), ඊසාක් සහ යාකොබ් කැපීපෙනෙන පුද්ගලයන් කිහිපදෙනෙක් වුණා.—උත්පත්ති 8:18-20; 12:1-3; 26:1-4; 28:10-15.

යාකොබ්ගෙන් පැවත ආ පරම්පරාව ඊජිප්තුවේ වහලුන් බවට පත් වූ අතර ඔවුන්ට බොහෝ තාඩන පීඩනවලට ලක් වෙන්න සිදු වුණා. ඒත් ඔවුන් ගණනින් එන්න එන්නම වැඩි වුණා. දෙවි ඔවුන්ව ආශ්චර්යවත් ලෙස රතු මුහුද මැදින් ගලවා ගෙනැවිත් මෝසෙස් මාර්ගයෙන් ඔවුන්ට අවශ්‍ය නීති රීති සැපයුවා. ඔහු ඔවුන්ව තමන්ගේ සෙනඟ කරගත්තා. දෙවිගේ සෙනඟ වන ඉපැරණි ඊශ්‍රායෙලිතයන් වුණේ ඒ සෙනඟයි.—නික්මයාම 14:21-28; 19:1-6; 20:1-17.

දෙවි ඊශ්‍රායෙල් නොවන ජාතීන්ගේ නමස්කාර ක්‍රම අනුමත කළේ නැහැ. එපමණක් නොව ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ නීති කඩ කර වෙනත් ජාතීන්ගේ නමස්කාර ක්‍රමවලට ඇදී ගිය අවස්ථාවලදී දෙවි ඔවුන්ට දඬුවම් කළා.—ලෙවී කතාව 18:21-30; ද්විතීය කතාව 18:9-12.

ඊශ්‍රායෙලිතයන් නොවන අයට සැබෑ දෙවිට නමස්කාර කිරීමට අවශ්‍ය නම් ඔවුන් කුමක් කළ යුතු වුණාද? ඔවුන් තමන් නියැලෙමින් සිටි බොරු නමස්කාර ක්‍රම අත්හැර දමා යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට ඊශ්‍රයෙලිතයන් සමඟ එක් විය යුතු වුණා. මෙලෙස බොහෝදෙනෙක් දෙවිගේ අනුමැතිය දිනාගෙන ඔහුගේ විශ්වාසවන්ත සේවකයින් බවට පත්වුණා. මේ අය අතර කානානි ජාතික රාහබ්, මෝවබ් ජාතික රූත් වැනි කාන්තාවන්ද හිත්තීය උරියා හා ඉතියෝපියානු ජාතික ඒබෙද්-මෙලෙක් වැනි පුරුෂයන්ද තවත් ගිබියොන්වරුන්ද සිටියා. සලමොන් රජ යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට එක් වූ එවැනි සියලු ජාතීන් වෙනුවෙන් එක් අවස්ථාවකදී හද පත්ලෙන්ම දෙවිට යාච්ඤා කළා. *2 ලේකම් 6:32, 33.

යේසුස් පොළොවට පැමිණි පසු

යේසුස් පොළොවට පැමිණි පසු දෙවිගේ අරමුණු වඩාත් පැහැදිලිව ඔහු ඉගැන්වූ අතර ඉන්පසු සැබෑ නමස්කාරකයන්ව “ක්‍රිස්තියානීන්” කියා හඳුන්වන්න පටන්ගත්තා. (ක්‍රියා 11:26) දෙවිගේ අනුමැතිය ලැබීමට කැමති යුදෙව්වන් තම මිථ්‍යා ඇදහිලි ක්‍රම අත්හැරිය යුතු වුණා. ඔවුන්ට යුදෙව් ආගමික ක්‍රමය හා යේසුස් ඉගැන්වූ දේ අතර තේරීමක් කිරීමටවත් තනි වී නමස්කාර කිරීමටවත් අවශ්‍ය වුණේ නැහැ. බයිබලයේ සඳහන් වන්නේ සැබෑ නමස්කාරකයන් “එක ඇදහිල්ලක්” තුළ එක්සත් වී සිටිය යුතු බවයි.—එෆීස 4:4, 5.

අද දෙවි මිනිසුන්ට මඟ පෙන්වන්නේ එක ආගමක් මාර්ගයෙන් පමණයි කියා පැවසීම අන්තවාදී අදහසක් කියා සමහර අයට සිතෙන්න පුළුවන්. ඒත් බයිබලයේ පෙන්වා දෙන්නේ එක සත්‍ය ආගමක් පමණක් තිබෙන බවයි. අතීතයේදී තනි තනිව නමස්කාරයේ යෙදුණු අය ඒ බව තේරුම්ගත්තා. ඒ නිසා ඔවුන් යෙහෝවා දෙවිට නමස්කාර කරන සෙනඟට එකතු වුණා. ඔවුන්ට මුලදී යම් යම් සැක තිබුණත් පසු කාලයේදී ඒවා නැතිව ගියා. ඔවුන් ප්‍රීතිය හා දෙවිගේ ආශීර්වාද භුක්ති වින්දා. උදාහරණයක් ලෙස බයිබලයේ පවසන්නේ එක් ඉතියෝපියානු මනුෂ්‍යයෙක් ක්‍රිස්තියානි ආගම පිළිගෙන බව්තීස්ම වූ බවයි. ඉන්පසු එම “නිලධාරියා ප්‍රීතියෙන් තම ගමන ගිය” බවත් වාර්තා වෙනවා.—ක්‍රියා 8:39.

අදත් සැබෑ ආගම සොයාගෙන ඒ අනුව තම ජීවිත හැඩගස්වා ගන්න අයට ඒ හා සමාන ආශීර්වාද ලැබෙන බවට සැකයක් නැහැ. ඒත් ආගම් රාශියක් තිබෙන නිසා සැබෑ ආගම හඳුනාගන්නේ කෙසේද?

[පාදසටහන]

^ 11 ඡේ. ඔබට මේ අය ගැන මෙම බයිබල් වාර්තාවලින් කියවා දැනගත හැකියි. යෝෂුවා 2:1-7; 6:22-25; රූත් 1:4, 14-17; 2 සාමුවෙල් 11:3-11; යෙරෙමියා 38:7-13 සහ යෝෂුවා 9:3-9, 16-21.

[5වන පිටුවේ පින්තූරය]

නරක පල දරන ගස්වලට සමාන ආගම්වලට අනාගතයේදී කුමක් සිදු වෙයිද?