Skip to content

පටුනට යන්න

සත්‍ය ආගම සොයාගත හැක්කේ කෙසේද?

සත්‍ය ආගම සොයාගත හැක්කේ කෙසේද?

සත්‍ය ආගම සොයාගත හැක්කේ කෙසේද?

‘සත්‍යය ලැබෙන්නේ දෙවිගෙන්, ඇයි ඒක හොයන්න මහන්සි වෙන්න ඕනේ. මිනිසුන්ට කියන්න වැදගත් පණිවිඩයක් දෙවිට තියෙනවා නම් ඔහු ඒක හැමෝටම පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් ආකාරයට කියන්නේ නැද්ද’ කියා සමහර අය අහන්න පුළුවන්.

ඇත්තවශයෙන්ම දෙවිට එවැනි දෙයක් කිරීමේ හැකියාව තිබෙනවා. ඒත් දෙවි මිනිසුන්ට සත්‍යය කියා දීමට තෝරගෙන තිබෙන්නේ ඒ ක්‍රමයද?

දෙවි සත්‍යය හෙළි කරන අයුරු

දෙවි සත්‍යය හෙළි කර තිබෙන්නේ එය දැනගැනීමට කැමති අයට එය සොයා දැනගැනීමට හැකි ආකාරයෙනුයි. (ගීතාවලිය 14:2) සියවස් ගණනාවකට පෙර දෙවි තම අනාගතවක්තෘ යෙරෙමියා මාර්ගයෙන් දුන් පණිවිඩය ගැන සිතා බලන්න. දෙවි එම පණිවිඩය දුන්නේ එදා සිටි කැරලිකාර සෙනඟටයි. එම පණිවිඩයේ කියැවුණේ බබිලෝනිවරුන් අතින් යෙරුසලම ඉදිරියේදී විනාශ වන බවයි.—යෙරෙමියා 25:8-11; 52:12-14.

ඒ අතරතුර දෙවිගෙන් ලැබූ පණිවිඩ ප්‍රකාශ කරන බව කියා සිටි තවත් අයද සිටියා. එවැනි බොරු අනාගතවක්තෘවරයෙක් වූ හනනියා යෙරුසලමේ සාමය ඇති වන බව පැවසුවා. ඒ පණිවිඩය යෙරෙමියා පැවසූ පණිවිඩයට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මෙවැනි අවස්ථාවකදී විශ්වාස කරන්නේ කාවද? යෙරෙමියාවද නැත්නම් වෙනත් අනාගතවක්තෘවරුන්වද?—යෙරෙමියා 23:16, 17; 28:1, 2, 10-17.

විශ්වාස කළ යුත්තේ කාගේ වචනදැයි කියා දැනගැනීමට යුදෙව්වන්ට දෙවිව හොඳින් දැන හඳුනා ගන්න අවශ්‍ය වුණා. මේ සඳහා දෙවිගේ නීති ප්‍රතිපත්ති මෙන්ම වැරදි දේවල් ගැන දෙවි දරන ආකල්පය තේරුම්ගැනීමත් අවශ්‍ය වුණා. මෙසේ කිරීමෙන් දෙවි යෙරෙමියා තුළින් දුන් පණිවිඩයට අනුව ‘තමන් කළ වැරදි ගැන කිසිවෙක් පසුතැවිලි වන්නේ නැති’ බව ඔවුන් වටහාගත්තා. (යෙරෙමියා 8:5-7,නව ලොව පරිවර්තනය, NW) තවදුරටත් මෙම තත්වය නිසා යෙරුසලමටත් එහි වැසියන්ටත් ප්‍රීතිමත් අනාගතයක් නොලැබෙන බව ඔවුන් එමගින් තේරුම්ගත්තා.—ද්විතීය කතාව 28:15-68; යෙරෙමියා 52:4-14.

ක්‍රිස්තු පූර්ව 607දී බබිලෝනිවරුන් විසින් යෙරුසලම විනාශ කළ විට යෙරෙමියා කියූ අනාවැකිය ඉටු වුණා.

දෙවිට අකීකරු වීමෙන් අත් වන ඵල විපාක ගැන කලින්ම පුරෝකථනය කර තිබුණද දෙවි එසේ කරන අයට දඬුවම් කරන කාලය ගැන සොයා බැලීමට වෑයමක් අවශ්‍ය වුණා.

යේසුස් ඉගැන්වූ සත්‍යය

යේසුස් ඉගැන්වූ සත්‍යය දෙවිගෙන් ලැබූ දෙයක් ලෙස සෑමදෙනාම පිළිගත්තාද? ඇත්තෙන්ම නැහැ. යේසුස් ඊශ්‍රායෙල් සෙනඟ අතර සිටිමින් ඔවුන්ට ඉගැන්වුවත් ආශ්චර්යයන් කළත් ඔවුන් යේසුස් ගැලවුම්කරු ලෙස පිළිගත්තේ නැහැ.

පරිසිවරුන් දේවරාජ්‍ය පැමිණෙන්නේ කවදාද කියා යේසුස්ගෙන් ඇසූ විට ඔහු මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යයේ පැමිණීම පැහැදිලි ලෙස දැකගත නොහැක.” ඒත් දේවරාජ්‍යයේ පත් කර ඇති පාලකයා ඔවුන් අතර සිටි නිසා “දෙවිගේ රාජ්‍යය ඔබ අතරෙහිය” කියාද ඔහු පැවසුවා. (ලූක් 17:20, 21) නමුත් ගැලවුම්කරු පිළිබඳව කියා තිබුණු සාක්ෂි යේසුස් තුළින් ඉටු වන බව දැකගැනීමට පරිසිවරුන් සමත් වුණේ නැහැ. ඒ වගේම “ක්‍රිස්තුස්, ජීවමාන දෙවිගේ පුත්‍රයා” ලෙස පිළිගැනීමටත් ඔවුන් කැමති වුණේ නැහැ.—මතෙව් 16:16.

ඒ හා සමානව යේසුස්ගේ ගෝලයන් ප්‍රකාශ කළ සත්‍යයන්ද එදා සිටි ජනයා පිළිගත්තේ නැහැ. ඔවුන් කළ ආශ්චර්යයන් මගින් ඔවුන්ට දෙවිගේ උපකාරය තිබෙන බව පෙනෙන්න තිබුණත් බොහෝදෙනෙකුට සත්‍යය වටහාගැනීම පහසු වුණේ නැහැ. (ක්‍රියා 8:1-8; 9:32-41) ඉගැන්වීම මාර්ගයෙන් “මිනිසුන්ව ගෝලයන් කරන්න” කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවරුමක් දුන්නා. ඒ අනුව බයිබලයේ සඳහන් සත්‍යයන්වලට සවන් දීමෙන් හා ඒවා ඉගෙනගැනීමෙන් අවංක සිත් ඇති අය ඇදහිලිවන්තයන් බවට පත් වුණා.—මතෙව් 28:19; ක්‍රියා 5:42; 17:2-4, 32-34.

අදත් ඒ වගේමයි. ‘රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබනවා.’ (මතෙව් 24:14) ඒත් මේ පොළොවේ සිටින සෑම කෙනෙක්ම එය දෙවිගෙන් ලැබෙන පණිවිඩයක් ලෙස තේරුම්ගන්නේ නැහැ. ඊට හේතුව එය ‘පැහැදිලි ලෙස දැකගැනීමට’ ඔවුන් අසමත් වීමයි. ඒත් දෙවි කැමති ආකාරයට ඔහුට නමස්කාර කිරීමට කැමති අවංක සිත් ඇති අයට නම් සත්‍යය හඳුනාගැනීමට අපහසු නැහැ.—යොහන් 10:4, 27.

ඔබ බයිබලය මත පදනම් මෙවැනි ලිපියක් කියවීමෙන් පෙන්නුම් කරන්නේ ඔබත් අවංකව සත්‍යය සොයන කෙනෙක් බවයි. ඒත් සත්‍යය උගන්වන්නේ කුමන ආගමේද කියා තීරණය කරන්නේ කෙසේද?

සත්‍ය ආගම සොයාගත හැකි ආකාරය

පළමු ශතවර්ෂයේ සිටි බෙරීයවරුන්ට පාවුල් ප්‍රශංසා කළා. ඊට හේතුව ඔවුන් පාවුල් ඉගැන්වූ දේවල්වලට දැක්වූ ප්‍රතිචාරය නිසයි. ඔවුන් පාවුල් ඉගැන්වූ කාරණා විගස පිළිගත්තේ නැහැ. ඒත් ඔවුන් ඔහුට හොඳින් සවන් දුන්නා. බෙරීයවරුන් පණිවිඩයට සවන් දීමෙන් පසු කළ දෙයින් අපටත් යමක් ඉගෙනගන්න පුළුවන්.

බයිබලයේ ඔවුන් ගැන මෙසේ සඳහන් වෙනවා. ‘එහි සිටි අයට [බෙරීයවරුන්ට] තෙසලෝනිකයේ සිටි අයට වඩා උදාර ගතිගුණ තිබිණ. මන්ද ඔවුහු මහත් උනන්දුවකින් වචනය පිළිගෙන, මේ දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කළෝය. එබැවින්, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් අදහන්නන් බවට පත් වූහ.’ (ක්‍රියා 17:10-12) ඔවුන් කාරණා ගැන ගැඹුරින් සොයා බැලුවා. පාවුල් සමඟ කළ සාකච්ඡා දෙක තුනකින් ඔවුන් සෑහීමට පත් වුණේ නැහැ.

ඒ වගේම බෙරීයවරුන් “මහත් උනන්දුවකින් වචනය පිළිගෙන” ක්‍රියා කළ බව කියැවෙනවා. මින් පැහැදිලි වෙන්නේ ඔවුන්ට දේවවචනය කෙරෙහි තිබුණු ආකල්පයයි. ඔවුන් සෑම දෙයක්ම පිළිගත්තේ නැහැ. ඒත් සෑම දෙයක්ම සැක කළේත් නැහැ. ඒ වගේම දෙවිගේ නියෝජිතයෙක් වන පාවුල් පහදා දුන් කාරණා විවේචනය කළේත් නැහැ.

මේ ගැනත් සිතා බලන්න. බෙරීයවරුන් ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන අසන්නේ පළමුවෙනි වතාවටයි. එය ප්‍රීතිමත් පණිවිඩයක් කියා ඔවුන් සිතුවා. ඒ වගේම සමහර කාරණා කොතරම් ප්‍රීතිමත්ද කියනවා නම් ඔවුන්ට ඒවා විශ්වාස කිරීමට පවා අපහසු වුණා. ඒත් ඔවුන් එය සම්පූර්ණයෙන්ම අහක දමනවා වෙනුවට ඉතා ඕනෑකමින් ලියවිලි පරීක්ෂා කර බැලුවා. ඔවුන් එසේ කළේ පාවුල් පවසන දේවල් සත්‍යයද කියා දැනගැනීමටයි. බෙරීයයේ මෙන්ම තෙසලෝනිකයේ සිටි අය කාරණා එලෙස වුවමනාවෙන් සෙවූ නිසා ඇදහිලිවන්තයන් බවට පත් වුණා. (ක්‍රියා 17:4, 12) සත්‍යය කවදාවත් සොයා දැනගන්න බැරි දෙයක් කියා සිතා ඔවුන් එය අත්හැර දැමුවේ නැහැ. එමනිසා ඔවුන්ට සැබෑ ආගම සොයාගත හැකි වුණා.

සත්‍යය ඇති කරන බලපෑම

බෙරීයවරුන් මෙන් කෙනෙකුට සත්‍යය ලැබුණු විට ඔහු නිතැතින්ම පෙලඹෙන්නේ එය අන් අය සමඟ බෙදාගැනීමටයි. සමහර අය මෙය අනුමත නොකරනවා විය හැකියි. ඔවුන් සිතන්නේ වෙනත් ආගම්ද සත්‍යය කියා පිළිගැනීම නිහතමානිකමක් කියායි. කෙසේවෙතත් කෙනෙක් බයිබල් සත්‍යයන් දැනගත් විට ඔහුට එය කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එම විශ්වාසය නිසා සත්‍යය සොයාගත හැකිද යන සැකය ඇති වෙන්නේවත් සියලු ආගම් තුළින් ගැලවීම ලැබිය හැකියි යන මතයේ එල්බගෙන සිටින්නේවත් නැහැ. ඒත් සත්‍යය සෙවීමට ලොකු වෙහෙසක් දැරිය යුතු නිසා ඒ සඳහා යටහත්පහත් මනසක් අවශ්‍යයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එලෙස වුවමනාවෙන් කාරණා සොයා බලා තිබෙනවා. ඔවුන්ට සැබෑ ආගම සම්බ වී තිබෙන බව ඔවුන් විශ්වාස කරන්නේ ඒ නිසයි. සැබෑ ආගම පිළිපදින්නේ කවුද කියා දැනගැනීමට ශුද්ධ ලියවිලි පරීක්ෂා කර බැලීමට ඔවුන් ඔබට ආරාධනා කරනවා. ඔබ සොයා බැලිය යුතු කාරණා ගැන දළසටහනක් තබාගන්නවාට වඩා වැඩි යමක් අවශ්‍ය කරනවා. එසේ කිරීමට උපකාරයක් ලෙස පළමුවෙනි සියවසේ ක්‍රිස්තියානීන් පිළිගත් ඉගැන්වීම් ගැන මෙම පිටුවේ ඇති කොටුවේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වේවි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමෙන් ඔබට බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ගැඹුරින් දැනගන්න පුළුවන්. එසේ කිරීමෙන් සත්‍ය ආගම සොයාගැනීමට හැකි වෙනවා.

[9වන පිටුවේ කොටුව]

සත්‍ය ආගමේ තිබිය යුතු ලක්ෂණ

පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ගේ පුරුදු හා ඉගැන්වීම්:

ඔවුන් මඟ පෙන්වීම් ලබාගත්තේ දේවවචනයෙන්.—2 තිමෝති 3:16; 2 පේතෘස් 1:21.

යේසුස් දෙවිගේ පුත්‍රයා බවත් දෙවි හා යේසුස් සමාන නොවන බවත් යේසුස් දෙවිට යටත් බවත් ඔවුන් ඉගැන්වූවා.—1 කොරින්ති 11:3; 1 පේතෘස් 1:3.

මිය ගිය අය අනාගතයේදී නැවත නැඟිටින බව ඔවුන් ඉගැන්වූවා.—ක්‍රියා 24:15.

ඔවුන් කැපීපෙනෙන සෙනඟක් වූයේ ඔවුන් අතර තිබුණු ප්‍රේමය නිසයි.—යොහන් 13:34, 35.

ඔවුන් නමස්කාර කළේ සභාවක් ලෙසයි. ඒ වගේම ඔවුන් සභාවේ පෙරමුණ ගන්නන් යටතේ එකමුතුව සිටි අතර, පෙරමුණ ගත් අය තමන්ගේ නායකයා ලෙස සැලකුවේ යේසුස්වයි.—ක්‍රියා 14:21-23; 15:1-31; එෆීස 1:22; 1 තිමෝති 3:1-13.

මිනිසාට ඇති එකම බලාපොරොත්තුව දේවරාජ්‍ය බව ඔවුන් උද්‍යෝගයෙන් දේශනා කළා.—මතෙව් 24:14; 28:19, 20; ක්‍රියා 1:8.

[7වන පිටුවේ පින්තූරය]

යෙරෙමියා සැබෑ අනාගතවක්තෘ බව මිනිසුන් දැනගත්තේ කෙසේද?

[8, 9වන පිටුවේ පින්තූර]

බෙරීයවරුන් පාවුල්ට සවන් දුන්නද ඔහු පැවසූ දේවල් සැබෑද කියා දැනගැනීමට ශුද්ධ ලියවිලි පරීක්ෂා කළා

[8, 9වන පිටුවේ පින්තූරය]

බයිබලය හොඳින් අධ්‍යයනය කිරීම තුළින් සැබෑ ආගම සොයාගත හැකියි