Skip to content

පටුනට යන්න

අන්තිම දවස් ඉන් අනතුරුව සිදු වන්නේ කුමක්ද?

අන්තිම දවස් ඉන් අනතුරුව සිදු වන්නේ කුමක්ද?

අන්තිම දවස් ඉන් අනතුරුව සිදු වන්නේ කුමක්ද?

“අන්තිම දවස්” ගැන මතක් වන විට පවා සමහර මිනිසුන් බියට පත් වෙනවා. (2 තිමෝති 3:1) ඔවුන්ගේ මතකට නැඟෙන්නේ අසීරු කාලවල් පමණයි. එසේනම් අන්තිම දවස් පැමිණෙන තෙක් බොහෝදෙනෙක් බලා සිටින්නේ ඇයි? ඊට හේතුව අන්තිම දවස්වලින් පසු යහපත් කාලයක් උදා වෙන නිසයි.

අන්තිම දවස්වලින් අනතුරුව දේවරාජ්‍යය මගින් මේ පොළොව අවුරුදු දහසකට පාලනය කරන බවත් එමගින් මිනිසුන්ට සැබෑ සාමය හා සමෘද්ධිමත් අනාගතයක් ලැබෙන බවත් අයිසැක් නිව්ටන් පවා පිළිගත්තා. බයිබලයේ මීකා පොතේ 4:3හි මෙන්ම යෙසායා පොතේ 2:4හි [නව ලොව පරිවර්තනය, NW] සඳහන් අනාවැකිය ඒ කාලයේදී ඉටු වන බවට ඔහු විශ්වාස කළා. “ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල් තළද පිහිවලින් දෑකැතිද සාදාගන්නෝය. තවදුරටත් ජාතියක් ජාතියකට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”

අවසාන කාලය ගැන යේසුස් කතා කළ පසු ඔහු තම අනුගාමිකයන්ට ඒ පිළිබඳව සුබවාදී ආකල්පයක් ඇතුව සිටින්න උනන්දු කළා. මහත් පීඩාව අතරතුර මුහුණ දීමට සිදු වන බිය, අසීරුතා හා දුක් වේදනා ගැන පැවසීමෙන් පසු යේසුස් මෙසේ පැවසුවා. “මේ දේ සිදු වන්න පටන්ගත් කල, නැඟී සිට ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟය.” (ලූක් 21:28) මෙහි සඳහන් වන ගැලවීම කුමක්ද?

දෙවිගේ පොරොන්දු

අද මිලියන ගණන් ජනයා යුද්ධ, වාර්ගික ගැටුම්, අපරාධ, සැහැසියාව හා ආහාර හිඟකම් නිසා මහත් කනස්සල්ලට මෙන්ම බියට පත් වී සිටිනවා. ඔබත් එවැනි දෙයකට මුහුණ දී තිබෙනවාද? එසේනම් දෙවි දී තිබෙන මෙම පොරොන්දු ගැන සිතා බලන්න.

‘තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. නමුත් නිහතමානි අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී ඇති සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.’—ගීතාවලිය 37:10, 11NW.

“මගේ සෙනඟගේ නිවහන සාමකාමීය. ඔවුහු කිසි බියක් සැකක් නැතිව සුවසේ වසන්නෝය.”—යෙසායා 32:18NW.

“පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු [යෙහෝවා] නවත්වන්නේය. ඔහු දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. ඔහු යුධ රථ ගිනිබත් කරන්නේය.”—ගීතාවලිය 46:9NW.

“කිසිවෙකු ඔවුන්ව බිය ගන්වන්නේ නැත. ඔවුහු එක් එක්කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගසේ සෙවණ යටද සුවසේ කල් ගෙවනු ඇත.”—මීකා 4:4NW.

“පොළොව ධාන්‍යවලින් පිරී යාවා. කඳු මුදුන්ද ධාන්‍යවලින් පිරී ඉතිරී යත්වා.”—ගීතාවලිය 72:16, NW.

“මට සවන් දෙන්නා කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය.”—හිතෝපදේශ 1:33NW.

අප ජීවත් වන ප්‍රදේශයේ එතරම් ප්‍රශ්න කරදර නැති වුවත් සෑම කෙනෙක්ම අසනීපවලට හා මරණයට මුහුණ දෙනවා. නමුත් දේවරාජ්‍යය යටතේදී ඒ දේවල් පවා සම්පූර්ණයෙන්ම පහව යනවා. අපි ආදරය කරන මිය ගිය අය නැවතත් දැකගැනීමට අපට හැකි වෙනවා. පහත සඳහන් දෙවිගේ පොරොන්දු ගැනද සලකා බලන්න.

“ඔවුන්ගෙන් කිසිවෙක්, ‘මා ලෙඩින්’ කියා පවසන්නේ නැත.”—යෙසායා 33:24NW.

“[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.

“අන්තිම සතුරා වන මරණය නැති කර දමන්නේය.”—1 කොරින්ති 15:26.

‘සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට [ඔවුන්] පිටතට එන්නෝය.’—යොහන් 5:28, 29.

දෙවිගේ සෑම පොරොන්දුවක්ම බයිබල් ලේඛකයෙක් වූ පේතෘස් මෙසේ කැටි කොට දැක්වූවා. “ඔහුගේ පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක් අපි බලා සිටින්නෙමු.” (2 පේතෘස් 3:13) මේ මුළු පොළොව පුරාම ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් පිරී පවතින්න නම් එවැනි තත්වයකට බාධා ඇති කරන සෑම දෙයක්ම මුළුමනින්ම තුරන් කර දැමිය යුතුයි. අදත් පවතින්නේ ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් පොළොව පිරී යෑමට බාධා ඇති වන තත්වයක්. ඒ නිසා තමන්ගේ වාසිය තකා දරුණු ක්‍රියා කරන හා ලේ වගුරුවන මිනිසුන්ව සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. මේ නිසා සියලුම මිනිස් ආණ්ඩු වෙනුවට යේසුස් රජකම් කරන දේවරාජ්‍යය පොළොව පාලනය කළ යුතුයි. එම පාලනය ගැන අපට බයිබලයේ මෙසේ සහතික කර තිබෙනවා. “මෙතැන් පටන් සදහටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් ස්ථිරව පිහිටුවනු පිණිස ඔහු යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද රජකම් කරයි. ඔහුගේ ආණ්ඩුව පොළොව පුරා පැතිරෙයි. සමාදානය සදහටම පවතියි. ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිට තිබෙන දැඩි උනන්දුව නිසා ඔහු මෙය ඉටු කරන්නේය.”—යෙසායා 9:7NW.

ඔබටත් එවැනි දීප්තිමත් අනාගතයක් ලබාගත හැකියි. බයිබලයේ ඒ ගැන මෙසේ පොරොන්දු කර තිබෙනවා. “[දෙවිගේ] කැමැත්ත නම්, සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝති 2:4) ඒ නිසා සදාකාල ජීවනය අත් කරගන්න අවශ්‍ය දැනුම ලබාගැනීමට ප්‍රමාද වෙන්න එපා. (යොහන් 17:3) මෙම සඟරාව ප්‍රකාශයට පත් කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වී නොමිලේ පවත්වන බයිබල් පාඩමක් ඔබත් ආරම්භ නොකරන්නේ මන්ද!

[8, 9වන පිටුවේ පින්තූර]

සාමය හා අසනීපවලින් තොර ප්‍රීතිමත් ජීවිතයක් මේ පොළොව තුළ සදාකාලිකවම භුක්ති විඳීමේ ප්‍රස්තාව ඔබටත් තිබෙනවා