Skip to content

පටුනට යන්න

අන්තිම දවස් කවදාද?

අන්තිම දවස් කවදාද?

අන්තිම දවස් කවදාද?

‘වසර බිලියනයකට පමණ පසු පෘථිවිය අධික උණුසුම හේතුවෙන් ගහක් කොළක් පවා නැති කාන්තාරයක් බවට පත් වෙයි. මෙවැනි තත්වයක් යටතේ සතුන්ට හා මිනිසුන්ට ජීවත් විය නොහැකියි’ කියා මෑතකදී පළ වූ සඟරාවක සඳහන් වුණා. (එම සඟරාව Sky & Telescope) මේ සම්බන්ධයෙන් තවත් සඟරාවක මෙවැනි දෙයක් පළ වුණා. ‘අධික උෂ්ණත්වය නිසා සාගරවල උෂ්ණත්වය ඉහළ යන අතර මහද්වීප පවා වියළි කාෂ්ටක තත්වයකට පත් වෙයි. මේ නිසා අප ඉදිරියේ තිබෙන්නේ අඳුරු අනාගතයක්.’—එම සඟරාව Astronomy.

කෙසේවෙතත් බයිබලයේ මෙවැන්නක් පවසා තිබෙනවා. “[දෙවි] පොළොව ස්ථිරව පිහිටුවා ඇත. එය කිසිදා නොසෙල්වෙන ලෙස සාදා ඇත.” (ගීතාවලිය 104:5, නව ලොව පරිවර්තනය, NW) පොළොව නිර්මාණය කළ දෙවි එය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ස්ථිරයි. ඇත්තටම ඔහු එය නිර්මාණය කළේ ‘වාසය සඳහායි.’ (යෙසායා 45:18NW) නමුත් දෙවිගේ අරමුණ වූයේ දුෂ්ට මිනිසුන්ගෙන් මේ පොළොව පිරී පැවතීමවත් මිනිසුන් කෙටි කාලයක් ජීවත් වී මිය යෑමවත් නොවෙයි. ඒ නිසා දෙවි ඔහුගේ රාජ්‍යය තුළින් මේ පොළොව පාලනය කිරීමට කාලයක් නියම කර තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා.—දානියෙල් 2:44.

යේසුස් දේවරාජ්‍යය පිළිබඳව දේශනා කළා. මිනිසුන්ව විනිශ්චය කරන කාලයක් ගැනද ඔහු පැවසුවා. එමෙන්ම කිසිදා නොවූ විරූ අන්දමේ මහත් පීඩාවක් පැමිණෙන බවට ඔහු අනතුරු අඟවනු ලැබුවා. එපමණක් නොව අවසානය ඉතාමත් ආසන්න බවට අඟවන ලකුණේ අංගයන්ද ඔහු සඳහන් කළා.—මතෙව් 9:35; මාක් 13:19; ලූක් 21:7-11; යොහන් 12:31.

අවසානය ගැන යේසුස් වැනි සුප්‍රසිද්ධ පුද්ගලයෙක් පැවසූ දේවල් පිළිබඳව සොයා බලන්න මිනිසුන් පෙලඹුණා. යේසුස් සඳහන් කළ එම ලකුණේ අංගයන් සිදු වන්නේ කවදාද? බයිබලයේ සඳහන් අනාවැකි සහ කාලගණිතය අධ්‍යයනය කිරීම තුළින් අවසානය පැමිණෙන්නේ කවදාද කියා දැනගැනීමට සමහර අය උත්සාහ කර තිබෙනවා. දහහත්වන සියවසේ විසූ ගණිතඥයෙක් වන ශ්‍රීමත් අයිසැක් නිව්ටන් එවැනි පුද්ගලයෙක්. ගුරුත්වාකර්ෂණය හා කලනය නම් ගණිත ක්‍රමය සොයාගත්තේ මොහුයි.

යේසුස් ගෝලයන්ට මෙසේ පැවසුවා. “පියාණන් තමාගේම පාලනය යටතේ තබාගත් වේලාවන් හෝ නියමිත කාලවල් ගැන දැනගැනීම ඔබට අයිති නැත.” (ක්‍රියා 1:7) “[ඔහුගේ] පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ” සඳහන් කිරීමෙන් පසු යේසුස් මෙසේ පැවසුවා. “පියාණන් මිස ඒ දවස හා පැය කිසිවෙක් දන්නේ නැත. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.” (මතෙව් 24:3, 36) ඉන්පසු නෝවාගේ කාලයේ සිදු වූ විනාශය හා ‘මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමේ’ කාලය අතරතුර සිදුවීමට නියමිත විනාශය සසඳමින් යේසුස් මෙවැනි උපදෙසක් දුන්නා. “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැත.”—මතෙව් 24:39, 42.

‘සමාජ ක්‍රමයේ අවසානය’ සිදු වන්නේ කවදාද කියා නිශ්චිතවම අපට සඳහන් කර නැහැ. නමුත් යේසුස් දුන් “ලකුණ” ඉටුවීම මගින් අපි ජීවත් වන්නේ “අන්තිම දවස්වල” බව දැනගැනීමට අපිට හැකියි. (2 තිමෝති 3:1) එසේනම් “සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිස” ‘අවදිව සිටීමට’ කාලය මෙයයි.—ලූක් 21:36.

යේසුස් ලකුණ සඳහන් කිරීමට පෙර මෙසේද අනතුරු අඟවනු ලැබුවා. “ඔබව නොමඟ නොයවන හැටියට බලාගන්න. මන්ද බොහෝදෙනෙක් මාගේ නාමයෙන් පැමිණෙන්නෝය. ඔවුහු, ‘ඒ තැනැත්තා මමය’ කියාත්, ‘නියමිත කාලය දැන් ළඟා වී තිබේ’ කියාත් පවසන්නෝය. ඔවුන් පසුපස නොයන්න. තවද, ඔබ යුද්ධ සහ කෝලහල ගැන අසන විට භය නොවන්න. මන්ද පළමුවෙන් මේ දේවල් සිදු විය යුතුය. නමුත් අවසානය එකෙණෙහිම නොපැමිණෙන්නේය.”—ලූක් 21:8, 9.

ලකුණ කුමක්ද?

අන්තිම දවස්වල සිදු වන සිදුවීම් ගැන යේසුස් මෙසේ සඳහන් කළා. “ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැඟී සිටිනු ඇත. මහත් භූමිකම්පාද එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වන්නේය. භයංකාර දර්ශනද ස්වර්ගයෙන් මහත් ලකුණුද වන්නේය.” (ලූක් 21:10, 11) තවදුරටත් ඔහු මෙවැනි දෙයක්ද පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) යේසුස් මෙහි සඳහන් කළ යුද්ධ, භූමිකම්පා, වසංගත හා ආහාර හිඟකම් අද ඊයේ සිදු වූ ඒවා නොවෙයි. ඈත අතීතයේ පටන්ම එවැනි දේවල්වලට මිනිසුන් මුහුණ දුන්නා. මෙහිදී දැකගත හැකි වෙනස නම් මේ සියල්ලම එකම කාල පරාසයක් තුළ සිදුවීමයි.

යේසුස් සඳහන් කළ මේ සෑම සිදුවීමක්ම එකම කාල පරාසයක් තුළ සිදු වෙන්න පටන්ගත්තේ කවදා සිටද? වර්ෂ 1914 සිට ලෝක මහා යුද්ධ, සුනාමි, භූමිකම්පා වැනි මහා විනාශයන් පමණක් නොව මැලේරියාව, දරුණු උණ හා ඒඩ්ස් වැනි මාරාන්තික ලෙඩ රෝගද දසත පැතිරෙමින් තිබෙනවා. කුසට අහරක් නොමැතිව මිලියන ගණන් දුක් විඳිනවා. විනාශකාරී අවි ආයුධ හා ත්‍රස්තවාදය නිසා මුළු ලෝකයම බියෙන් වෙළී සිටිනවා. මේ අතරතුර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මුළු ලොව පුරාම දේශනා කරමින් සිටිනවා. යේසුස් පැවසූ ලෙස මේ සෑම සිදුවීමක්ම එකම කාල පරාසයක් තුළ ඉටු වෙනවා.

බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසූ මේ වදන් ගැනද සිතා බලන්න. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය. තවද ඔවුහු යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් නොවන්නෝය. ඔවුන්ගෙන් අහක් වෙන්න.” (2 තිමෝති 3:1-5) නීති විරෝධි ක්‍රියා, දේවභක්තියක් නැති, කෲර, ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කරන මිනිසුන් ‘අසීරු කාලයේදී’ එන්න එන්නම වැඩි වෙනවා. * මෙවැනි මිනිසුන් මුළු ලෝකය පුරාම දැකිය නොහැකිද?

අවසානයට කලින් පැමිණෙන ‘අන්තිම දවස්වලදී’ ඉටුවීමට නියමිත දේවල් සිදු වන්නේ අනාගතයේදීද? එසේත් නැත්නම් අන්තිම දවස් හඳුනාගැනීමට වෙනත් සාක්ෂි තිබෙනවාද?

‘අවසාන කාලය’ ආරම්භ වන්නේ කවදාද?

දානියෙල් නම් අනාගතවක්තෘවරයා තමා ජීවත් වූ කාලයේ සිට අවුරුදු ගණනාවක් ඉදිරියේදී සිදුවීමට යන දෙයක් පිළිබඳව මෙසේ අනාවරණය කළා. “ඔබේ සෙනඟගේ පුත්‍රයන් වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා වන මිකායෙල් [යේසුස් ක්‍රිස්තුස්] ඒ කාලයේදී [දානියෙල් 11:40හි සඳහන් “අවසාන කාලයේදී”] නැඟී සිටින්නේය.”—දානියෙල් 12:1NW.

මිකායෙල් රජ වශයෙන් ඉටු කරන දේ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන්ද යුද්ධ කළ නමුත්, ඌ ජය ගත්තේ නැත. එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තිබුණේද නැත. එබැවින් ඒ මහත් මකරා පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම්, යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය. මේ නිසා ස්වර්ගයෙනි, එහි වාසය කරන්නෙනි, ප්‍රීති වන්න! පොළොවටත් මුහුදටත් දුක් වේ. මන්ද යක්ෂයා තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය.”—එළිදරව් 12:7-9, 12.

බයිබලයේ සඳහන් එම අනාවැකියට අනුව ස්වර්ගයෙන් සාතන්ව සහ ඔහුගේ භූතයන්ව ඉවත් කර ස්වර්ගය පිරිසිදු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස පොළොවට මහත් දුකක් අත් වුණා. ඊට හේතුව සාතන් තමන්ට පොළොව කෙරෙහි බලපෑම් කිරීමට ඇත්තේ කෙටි කාලයක් බව දන්නා නිසා මහත් කෝපයකින් ක්‍රියා කිරීමයි. අවසාන කාලයේදී ඔහුගේ උදහස එන්න එන්නම වැඩි වන අතර ඔහු නිහඬ වන්නේ යෙහෝවා දෙවි ගෙනෙන හර්–මගෙදොන් නමැති යුද්ධයෙන් පසුවයි.—එළිදරව් 16:14, 16; 19:11, 15; 20:1-3.

යොහන් නම් බයිබල් ලේඛකයා ස්වර්ගයේ සිදු වන යුද්ධය ගැන විස්තර කළ පසු මෙසේද සඳහන් කළා. “ස්වර්ගයෙහි මෙසේ කියන මහත් හඬක් මට ඇසුණේය: ‘දැන් අපේ දෙවිගේ ගැලවීමද බලයද රාජ්‍යයද ඔහුගේ ක්‍රිස්තුස්ගේ අධිකාරියද පැමිණ තිබේ. මන්ද, අපේ දෙවි ඉදිරියෙහි අපේ සහෝදරයන්ට විරුද්ධව දිවා රෑ දෙකෙහි චෝදනා කරන පැමිණිලිකරු පහතට හෙළනු ලැබුවේය!’” (එළිදරව් 12:10) යේසුස් දේවරාජ්‍යයේ රජ බවට පත් වූ බව එම පදයෙන් ඔබ තේරුම්ගත්තාද? වර්ෂ 1914දී * ස්වර්ගයේ දේවරාජ්‍යය පිහිටවනු ලැබුවා. කෙසේවෙතත් ගීතාවලිය 110:2හි පවසන ආකාරයට යේසුස් “සතුරන් මැද ආණ්ඩු” කරන්නේ දේවරාජ්‍යය මගින් ස්වර්ගයේ පවතිනවා හා සමාන තත්වයක් පොළොවෙහිද ඇති වන කාලය පැමිණෙන තුරු පමණයි.—මතෙව් 6:10.

යෙහෝවා දෙවි දානියෙල්ට අනාවැකි පැවසුවේ දේවදූතයෙක් මගිනුයි. එම දේවදූතයා දානියෙල්ට මෙසේද පැවසුවා. “දානියෙල්, ඔබට හෙළි කළ මේ වචන පොතක ලියා අවසාන කාලය දක්වා වසා තබන්න. ඒ දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝදෙනෙක් ගවේෂණය කරන්නෝය. සැබෑ දැනුමද බොහෝ සෙයින් වැඩි වන්නේය.” (දානියෙල් 12:4NW) අප ‘අවසාන කාලයේ’ ජීවත් වන බවට එය තවත් සාක්ෂියක්. අවසාන කාලය ගැන අනාවැකිවල අඩංගු තොරතුරු දැනටමත් අවබෝධ වී තිබෙන අතර මුළු පොළොව පුරාම එය ප්‍රකාශ කරමින් තිබෙනවා. *

‘අවසාන කාලය’ කොතරම් දීර්ඝද?

අවසාන කාලය කොතරම් දීර්ඝද කියා බයිබලයේ සඳහන් කර නැහැ. නමුත් අවසාන කාලයේදී පොළොවේ තත්වය වඩ වඩාත් දරුණු අතට පත් වෙන්නේ සාතන් ඔහුට ඇත්තේ කෙටි කාලයක් බව දන්නා නිසයි. මේ ගැන පාවුල් මෙසේ අනතුරු අඟවා තිබෙනවා. “දුෂ්ට මිනිස්සු හා ප්‍රෝඩාකාරයෝ අනුන්ව නොමඟ යවමින් හා තමන්ද නොමඟ යමින් වඩ වඩාත් නරක් වන්නෝය.” (2 තිමෝති 3:13) ඉදිරියේදී සිදුවීමට තිබෙන තවත් දේවල් ගැන යේසුස් මෙසේ පැවසුවා. “දෙවි මවන ලද මැවිල්ලේ පටන්ගැන්මේ සිට ඒ වන තෙක් නොවූ, නැවතත් කිසිදා සිදු නොවන්නාවූ පීඩාවක් ඒ දවස්වලදී සිදු වන්නේය. යෙහෝවා ඒ දවස් කෙටි නොකළේ නම්, කිසි කෙනෙක් ගැලවෙන්නේ නැත. නමුත් ඔහු තමන් තෝරාගත් අය නිසා ඒ දවස් කෙටි කළේය.”—මාක් 13:19, 20.

ඉදිරියේදී ‘මහත් පීඩාවත්’, යෙහෝවා දෙවි විසින් ගෙනෙන හර්–මගෙදොන් යුද්ධයත්, සාතන් හා ඔහුගේ භූතයන්ට පොළොව කෙරෙහි කිසිම බලපෑමක් කළ නොහැකි තත්වයකට පත් කිරීමත් සිදු වෙනවා. (මතෙව් 24:21) යෙහෝවා දෙවි “බොරු නොකියන දෙවි” නිසා ඔහු පොරොන්දු වූ සෑම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. (තීතස් 1:1, පැරණි අනුවාදය) හර්–මගෙදොන් යුද්ධයට සහ සාතන්ව අක්‍රියාශීලී තත්වයකට පත් කිරීමට යෙහෝවා දෙවි මැදිහත් වෙනවා.

දෙවි ගෙනෙන විනාශයට කලින් සිදු වන සිදුවීමක් ගැන පාවුල් අපට මෙසේ අනතුරු අඟවා තිබෙනවා. ඔහු “කාලවල් සහ නියමිත කාල පරිච්ඡේද” ගැන සඳහන් කරමින් පැවසුවේ “රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් යෙහෝවාගේ දවස පැමිණෙන බව ඔබම හොඳාකාරයෙන් දන්නහුය. ‘සාමය සහ සුරක්ෂිතභාවය!’ යයි ඔවුන් කියන විට, ගර්භිණියකට ප්‍රසව වේදනාව පැමිණෙන්නාක් මෙන් ඔවුන් නොදැනුවත්වම ඔවුන් පිටට ක්ෂණිකව විනාශය පැමිණෙන්නේය. ඔවුහු කිසිසේත් නොගැලවෙන්නෝය” කියායි. (1 තෙසලෝනික 5:1-3) “සාමය සහ සුරක්ෂිතභාවය” නැති කාලයක වුවත් එවැනි බොරු ප්‍රකාශයක් කිරීමට හේතුව බයිබලයේ පවසා නැහැ. නමුත් කාලයත් සමඟ එය ඔබට දැනගත හැකි වෙයි. කෙසේවෙතත් යෙහෝවා දෙවි ගෙනෙන විනිශ්චය වැළැක්වීමට ඊට හැකියාව ලැබෙන්නේ නැහැ. *

එම අනාවැකි ඉෂ්ට වන ආකාරය ගැන අපට නිසැකකමක් තිබෙනවා නම් එය අපව ක්‍රියාවලට පොලඹවයි. කුමනාකාරයේ ක්‍රියාවලටද? ඊට බයිබල් ලේඛක පේතෘස් මෙසේ පිළිතුරු දෙනවා. “මේ සියල්ල මෙසේ නැති වී යෑමට තිබෙන හෙයින්, ඔබ කෙබඳු අය විය යුතුදැයි සිතා බලන්න. ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින්ද දේවභක්තික ක්‍රියා කරමින්ද, යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්‍රමුඛව තබාගන්න.” (2 පේතෘස් 3:11, 12) නමුත් මෙයින් ‘මට ඇති ප්‍රයෝජනය කුමක්ද’ කියා ඔබ කල්පනා කරනවා විය හැකියි. එම ප්‍රශ්නයට ඔබට ඊළඟ ලිපියෙන් පිළිතුරු සොයාගත හැකියි.

[පාදසටහන්වල]

^ 12 ඡේ. “අන්තිම දවස්” ගැන තවදුරටත් දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත 2007 අප්‍රියෙල් පිබිදෙව්! පිටු 8-10, 2006 සැප්තැම්බර් 15 මුරටැඹ පිටු 4-7 සහ 2005 ඔක්තෝබර් 1 මුරටැඹ, පිටු 4-7 දක්වා බලන්න.

^ 18 ඡේ. බයිබල් කාලගණිතය ගැන තවත් තොරතුරු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 215-218 දක්වා පිටු බලන්න.

^ 19 ඡේ. තවත් තොරතුරු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොත සහ 2008 වාර්ෂික පොතේ 31-39 දක්වා පිටු බලන්න.

^ 23 ඡේ. එළිදරව්වේ අවසාන ඉටුවීම අත ළඟයි! නමැති පොතේ 250-251 දක්වා පිටුවල ඇති ඡේද 13 සහ 14 බලන්න.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඒ දවස හා පැය” දන්නේ දෙවි පමණක් කියා යේසුස් පැවසුවා

[4වන පිටුවේ පින්තූරය]

ශ්‍රීමත් අයිසැක් නිව්ටන්

[හිමිකම් විස්තර]

© A. H. C./​age fotostock

[7වන පිටුවේ පින්තූර]

අවසානය ගැන යේසුස් දුන් ලකුණ 1914 සිට ඉටු වෙමින් පවතිනවා

[හිමිකම් විස්තර]

© Heidi Bradner/​Panos Pictures

© Paul Smith/​Panos Pictures