Skip to content

පටුනට යන්න

දෙමාපියන් මාව විශ්වාස නොකරන්නේ ඇයි?

දෙමාපියන් මාව විශ්වාස නොකරන්නේ ඇයි?

යෞවන අය අසති

දෙමාපියන් මාව විශ්වාස නොකරන්නේ ඇයි?

“මගේ දෙමව්පියන් මට තනියම ටිකක් එහේ මෙහේ යන්න දෙනවා නම් මම ආසයි. මට ලෝකේ වටේ යන්න ඕනෙ නැහැ. මම පරෙස්සමින් ගිහින් එයි කියන විශ්වාසය ඇතුව මට අම්මා නෑදෑයෙකුගේ ගෙදරවත් ගිහින් එන්න දෙනවා නම් මට ඒ හොඳටම ඇති.”—සාරා, වයස 18යි. *

“මගේ යාළුවන් එක්ක කොහේ හරි යන්න හදද්දී ඇයි මාව විශ්වාස කරන්නේ නැත්තේ කියලා මම හැම වෙලාවෙම දෙමාපියන්ගෙන් අහනවා. ඔවුන් කියන්නේ ‘අපි ඔයාව විශ්වාස කරනවා. ඒත් ඔයාගේ යාළුවන්ව අපිට විශ්වාස නැහැ’ කියලයි. ඒ වෙලාවට මට හුඟක් කේන්ති යනවා.”—ක්‍රිස්ටීන්, වයස 18යි.

විශ්වාසය හරියට මුදල් වගෙයි. එය උපයන්න හුඟක් අමාරුයි, ඒත් නාස්ති කරන්න නම් හරිම ලේසියි, මුදල් කොපමණ ලැබුණත් සෑහීමකට පත් වෙන්නේත් නැහැ. දහසය හැවිරිදි ඉලේනා පවසන දේ සලකා බලන්න. “මගේ දෙමව්පියන්ගෙන් මම ගමනක් යන්න අහන ඕනේ වෙලාවක මම කොහෙද යන්නේ, කා එක්කද යන්නේ, මොනවා කරන්නද යන්නේ, කීයටද එන්නේ වගේ ප්‍රශ්න වැලක් අහනවා. ඒ අය මගේ දෙමව්පියෝ බව ඇත්තයි. ඒත් එහෙම අහන එක මට මහ වධයක්.”

ඔබේ දෙමාපියනුත් ඔබව මීට වඩා විශ්වාස කළ යුතුයි කියා ඔබට සමහර අවස්ථාවලදී හැඟී තිබෙනවාද? එසේනම් ඒ සඳහා ඔබට කුමක් කළ හැකිද? දෙමාපියන් හා දරුවන් අතර ඇති විශ්වාසය මේ තරම් කතාබහට ලක් වී තිබීමට හේතුව අපි මුලින්ම සලකා බලමු.

මුහුණ දෙන අභියෝග

බයිබලයේ පවසන්නේ “මිනිසෙකු තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී” යන බවයි. (උත්පත්ති 2:24, නව ලොව පරිවර්තනය, NW) මෙය ගැහැනියක සම්බන්ධයෙන්ද එසේමයි. ඔබ පිරිමි ළමයෙකු වුවත් ගැහැනු ළමයෙකු වුවත් යම් දවසක වැඩිහිටි කෙනෙකු ලෙස වගකීම් ඉසිලීමට ඔබට පුහුණුව ලැබෙන්නේ යෞවන වයසේදීයි. එම පුහුණුව ඔබ නිවසින් පිට වී ඔබටම කියා පවුලක් ගොඩනඟා ගන්නා දිනක ඔබට උපකාරවත් වෙයි.

යොවුන් වියේ සිට වැඩිහිටි වියට පා තැබීම දොරකින් ඇතුල් වෙනවා තරම් ලෙහෙසි නැහැ. එය හරියට අඩියෙන් අඩිය තබා නඟින පඩි පෙළක් වගෙයි. ඒ අතරේදී ඔබ සහ ඔබේ දෙමාපියන් අතර අදහස්වල ගැටීම් ඇති වෙන්න පුළුවන්. යහළුවන් තෝරාගැනීම සම්බන්ධයෙන් තම දෙමාපියන්ට හැඟෙන ආකාරය ගැන මරියා නම් යෞවනිය මෙසේ පවසනවා. “මට දැන් අවුරුදු 20යි. ඒත් මගේ දෙමාපියන් තවමත් හිතන්නේ මට හොඳ යාළුවන් තෝරාගන්න දන්නේ නැහැ කියලයි. මගේ යාළුවෝ මොනවා හරි නරක වැඩක් කරද්දී මමත් ඒකට හවුල් වෙයි කියලා අම්මටයි තාත්තටයි සැකයි. ඒත් ඒ වගේ නරක වැඩ කරද්දී මම අයින් වෙලා හිටිය අවස්ථා තිබුණා කියලා ඒගොල්ලන්ට කිව්වත් මාව විශ්වාස කරන්න ඒක ප්‍රමාණවත් වුණේ නැහැ.”

මරියා පෙන්නුම් කළා වගේ මේ කාරණයේදී දෙමාපියන් හා යෞවන දරුවන් අතර මතභේද තිබෙන්න පුළුවන්. ඔබේ පවුලේ තත්වයත් එයාකාරද? එසේනම් ඔබට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත හැක්කේ කෙසේද? ඔබ කළ යම් ක්‍රියාවක් නිසා ඔබේ දෙමාපියන්ගේ විශ්වාසය නැති වී තිබෙනවා නම් නැවත එම විශ්වාසය දිනාගත හැක්කේ කෙසේද?

විශ්වාසවන්තබව ඔප්පු කරන්න

බයිබල් ලේඛකයෙකු වූ පාවුල් මුල් ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න.” (2 කොරින්ති 13:5) ඔහු මූලිකවම කතා කළේ යෞවනයන්ට නොවුණත් මෙය ඔවුන්ටත් අදාළයි. ඔබ කොතෙක් දුරට විශ්වාස කළ හැකි පුද්ගලයෙක්ද කියා ඔප්පු වන්නේ ඔබේ ක්‍රියාවෙනුයි. ඔබ අතින් කිසිම වරදක් සිදු නොවිය යුතුයි කියා ඉන් අදහස් කරන්නේ නැහැ. ඊට හේතුව අපි සෑම කෙනෙකු අතින්ම වැරදි සිදු වෙන නිසයි. (දේශනාකාරයා 7:20) නමුත් ඔබේ දෙමාපියන්ට ඔබව විශ්වාස කළ හැකි ආකාරයෙන් ඔබ කටයුතු කරනවාද?

“සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න” කියා පාවුල් තවත් අවස්ථාවකදී පැවසුවා. (හෙබ්‍රෙව් 13:18) ‘මම කියන දේ හා කරන දෙයින් මම විශ්වාසවන්ත කෙනෙක් බව දෙමාපියන්ට පෙනෙන්න තිබෙනවාද’ කියා සිතා බලන්න. මේ සම්බන්ධයෙන් යෞවනියන් කිහිපදෙනෙක් පැවසූ අදහස් කිහිපයක් සලකා බලන්න.

ටානියා: “මම පිරිමි ළමයෙකුට හොරෙන් ඊ-මේල් යවන්න පුරුදු වෙලා හිටියා. ඒක දැනගත්ත මගේ දෙමව්පියන් කිව්වා මට මේ සම්බන්ධය නතර කරන්න කියලා. ඒ වෙලාවේ ඒක නතර කරන්න මම පොරොන්දු වුණත් හොර රහසේ දිගටම අවුරුද්දක් විතර ඊ-මේල් යැව්වා. නැවතත් දෙමව්පියන්ට අහු වුණා. ඊටපස්සේ මම සමාව ඉල්ලලා නැවතත් එහෙම කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. ඒත් මම නැවතත් ඒ වරදම කළා. මේ නිසා මගේ දෙමාපියන් මම කියන කිසි දෙයක් විශ්වාස කළේ නැහැ.”

ටානියාගේ දෙමාපියන් ඇයව විශ්වාස නොකළේ ඇයි? දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමට නම් ඇයට උපදෙස් දුන් පළමු වතාවේදී ඇයට කරන්න තිබුණේ කුමක්ද? ඔබේ පිළිතුර හිස්තැනෙහි ලියන්න.

.....

බෙවලි: “මම පිරිමි ළමයි එක්ක ආශ්‍රය කරද්දී මගේ දෙමව්පියන් මාව විශ්වාස නොකළේ ඇයි කියලා මට දැන් තේරෙනවා. මට වඩා අවුරුදු දෙකකින් වැඩිමහල් පිරිමි ළමයි කිහිපදෙනෙක් සමඟ මම කිට්ටු කුලුපග ආශ්‍රයක් පැවැත්තුවා. මම ඒ අය එක්ක හුඟක් වෙලා දුරකථනයෙන් කතා කර කරත් ඉන්නවා. සුහද හමුවකදී වුණත් මම කතා කරන්නේ ඒ අය එක්ක විතරයි. මේ නිසා මගේ දෙමාපියන් මට දුරකථනය මාසයක් පාවිච්චි කරන්න දුන්නේ නැහැ. ඒ වගේම ඒ ළමයි ඉන්න තැනකටවත් මට යන්න දුන්නේ නැහැ.”

බෙවලිගේ දෙමාපියන් ඇයව විශ්වාස නොකළේ ඇයි? දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමට ඇයට කුමක් කළ හැකිද?

.....

ඇනට්: “මට අවුරුදු 12ක් 13ක් වගේ කාලයේදී අපි උත්සවයකට ගිය අවස්ථාවකදී මමයි මගේ යාළුවෙකුයි බියර් බෝතල් දෙකක් ගෙදර ගෙනාවා. අපේ දෙමාපියන් මේකට අකමැති බව දන්න නිසා පස්සේ වෙලාවක බොමුයි කියලා අපි කතා වුණා. නමුත් මගේ යාළුවාගේ බියර් බෝතලේ එයාගේ අම්මට අහු වුණා. ඒකෙන් දැනගත්තා මං ළඟත් එකක් තියෙනවා කියලා. ඒ හැම දෙයකටම වඩා මගේ අම්මගේ මූණේ තිබුණු කලකිරුණු ස්වභාවය දැක්කම මට දරාගන්න බැරි වුණා.”

ඇනට් ඔබේ නංගී නම් මවගේ විශ්වාසය දිනාගැනීම සඳහා ඔබ ඇයට දෙන්නේ මොන වගේ උපදෙස්ද?

.....

විශ්වාසය දිනාගත හැකි අයුරු

ඉහත සඳහන් කළ යෞවනියන් මෙන් ඔබගේ හැසිරීමත් දෙමාපියන්ගේ අවිශ්වාසයට හේතු වී තිබෙනවාද? එසේනම් නැවතත් ඔබට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත හැකියි. නමුත් ඒ කෙසේද?

ඔබට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත හැක්කේ ඔබගේ විශ්වාසවන්ත හැසිරීම මාර්ගයෙනුයි. උදාහරණයකට බැංකුවකින් ණයක් ගත් පුද්ගලයෙකු ගැන සිතා බලන්න. ඔහු නිසි පිළිවෙළට වාරික ගෙවනවා නම් ඔහුව බැංකුව විශ්වාස කරනවා. මේ නිසා ඉදිරියේදී මීට වඩා වැඩි ණයක් වුණත් බැංකුව ඔහුට දෙන්න අකමැති වෙන්නේ නැහැ. ඔබේ පවුලේ තත්වයත් මීට සමාන කළ හැකියි. ඔබ කුඩා දේවලදී පවා විශ්වාසවන්තකම ඔප්පු කරනවා නම් ඉදිරියේදී දෙමාපියන් ඔබව මීටත් වඩා වැඩියෙන් විශ්වාස කරන්න යනවා.

එම සත්‍යය ඇනට්ද පිළිගන්නවා. ඇය මෙසේ පවසනවා. “විශ්වාසවන්තව සිටීම කොයි තරම් වැදගත්ද කියා ඔබට යෞවන කාලයේදී සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැහැ. ඒත් මම දැන් හැසිරෙන්නේ වගකීමේ හැඟීමක් ඇතුවයි. ඒ වගේම මම දැන් දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමට හැකි වෙන ආකාරයෙන් වැඩ කරනවා.” මින් පෙනී යන්නේ දෙමාපියන් ඔබව විශ්වාස කරන්නේ නැහැ කියා කියනවා වෙනුවට ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා ඔබට කළ හැකි දේ කිරීමයි.

පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් ඔබ විශ්වාසවන්තව ක්‍රියා කරනවාද? ඔබ දියුණු විය යුතු පැත්තක් තිබෙනවා නම් ලකුණු කරන්න.

□ නියමිත වෙලාවට නිවසට පැමිණීම

□ වෙලාවට වැඩ කිරීම

□ ගෙදර වැඩ කිරීම

□ තමන්ගේ කාමරය පිරිසිදුව තබාගැනීම

□ දුරකථනය භාවිත කිරීම

□ දුන් පොරොන්දුවලට එකඟව වැඩ කිරීම

□ වගකීමෙන් යුතුව මුදල් පරිහරණය කිරීම

□ දෙමාපියන් අවදි කරවීමට පෙර අවදි වීම

□ ඇත්ත කතා කිරීම

□ වැරදි පිළිගැනීම හා සමාව ඉල්ලීම

□ වෙනත් .....

ඔබේ විශ්වාසවන්තකම ඔප්පු කළ යුතු පැති මොනවාද කියා දැන් ඔබට වැටහෙනවා ඇති. එසේනම් ඔබේ විශ්වාසවන්තකම ඔප්පු කිරීමට අධිෂ්ඨාන කරගන්න. ඒ සඳහා මෙම බයිබල් උපදෙස් අනුගමනය කරන්න. ‘ඔබේ කලින් හැසිරීම් රටාවට ආවේණික වූ පරණ පෞද්ගලිකත්වය අහක දමන්න.’ (එෆීස 4:22) ‘එසේය නම් එසේය කියා පවසන්න.’ (යාකොබ් 5:12) “තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න.” (එෆීස 4:25) “සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.” (කොලොස්සි 3:20) මෙසේ ක්‍රියා කිරීමෙන් දිනෙක දෙමාපියන් ඇතුළු සෑම කෙනෙකුටම ඔබේ දියුණුව දැකගත හැකි වෙයි.—1 තිමෝති 4:15.

ඔබ උපරිම ලෙස විශ්වාසවන්තව ක්‍රියා කිරීමට වෙහෙස වුණත් ඔබේ දෙමාපියන් තවමත් ඔබව විශ්වාස කරන්නේ නැද්ද? එසේනම් ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට තව කුමක් කළ යුතුද කියා ඔවුන්ගෙන් අසන්න. ඔබේ අරමුණ පැහැදිලි කරන්න.

ඔබේ දෙමාපියන් විගස වෙනස් වෙයි කියා බලාපොරොත්තු වෙන්න එපා. ඔබේ පොරොන්දුවලට එකඟව ඔබ ක්‍රියා කරන බව ඔවුන්ටම ඔප්පු විය යුතුයි. ඔබේ විශ්වාසවන්තකම ඔප්පු කිරීමට මෙය අවස්ථාවක් කරගන්න. කාලයත් සමඟ ඔබේ දෙමාපියන් ඔබව විශ්වාස කරනවාට කිසිම සැකයක් නැහැ. කලින් සඳහන් කළ බෙවලි මෙසේ පවසනවා. “නැති කරගත් විශ්වාසය නැවත ඇති කරගන්න එක නම් හරිම අමාරුයි. ඒත් මම දැන් විශ්වාසය දිනාගනිමින් සිටිනවා. ඒ නිසා මම දැන් ඉන්නේ සතුටෙන්.”

[පාදසටහන]

^ 3 ඡේ. මෙම ලිපියේ නම් වෙනස් කර ඇත.

සිතා බලන්න

▪ ඔබ විශ්වාසවන්තව වැඩ කිරීමට කොතෙක් උත්සාහ කළත් ඔබේ දෙමාපියන් ඔබව විශ්වාස නොකරන්නේ ඇයි?

▪ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීමට නම් ඔවුන් සමඟ කතා කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

විශ්වාසය දිනාගැනීම සඳහා ඔබට කළ හැකි දේ කරන්න

[28වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

තරුණ වියේ සිට විශ්වාසවන්ත වැඩිහිටියෙකු දක්වා යන ගමන හරියට අඩියෙන් අඩිය තබා නඟින පඩි පෙළක් වගෙයි

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

වැඩිහිටි විය

යොවුන් විය

ළමා විය