Skip to content

පටුනට යන්න

දෙවි අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

දෙවි අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවි අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

අපි සෑම කෙනෙක්ම පාහේ ඉතාමත් කාර්යබහුල ජීවිත ගත කරන නිසා එදිනෙදා වගකීම් ඉටු කිරීමටද විශාල පොර බැඳීමක් කිරීමට සිදු වෙනවා. කෙසේවෙතත් අපේ ජීවිතය අපිට දෙවිගෙන් ලැබී තිබෙන අගනා ත්‍යාගයක් බව අපි අමතක නොකළ යුතුයි. (ගීතාවලිය 36:9) ඒ නිසා දෙවි වෙනුවෙනුත් අපේ කාලය හා ශක්තිය කැප කිරීම දෙවි අපෙන් අපේක්ෂා කරනවාද? එසේනම් ඒ කොතරම් ප්‍රමාණයක්ද? මේ සඳහා බයිබලයේ සපයන දිරිගන්වනසුලු පිළිතුර ගැන අපි සලකා බලමු.

දෙවි මිනිසුන්ගෙන් අපේක්ෂා කරන දේ ගැන වෙන කිසිවෙකුටත් වඩා යේසුස් හොඳින් දැන සිටියා. (මතෙව් 11:27) යේසුස් උතුම්ම ආඥාව හඳුන්වා දෙමින් මෙසේ පැවසුවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.” (මාක් 12:30) එයින් අදහස් කරන්නේ කුමක්ද? අපිට කළ නොහැකි තරම් දේ දෙවි අපෙන් අපේක්ෂා කරනවාද?

මුළු ජීවිතෙන් ප්‍රේම කිරීම

දෙවි අප වෙනුවෙන් කර ඇති අසීමිත යහපත් දේවල් ගැන වැඩි වැඩියෙන් කල්පනා කර බලද්දී ඔහු කෙරෙහි අපිට තිබෙන ප්‍රේමය තව තවත් වැඩි වෙනවා. අපි දෙවිට මුළු ජීවිතෙන්ම ප්‍රේම කරනවා නම් අපිට තිබෙන හොඳම දේ දෙවිට දෙන්නත් අපි පෙලඹෙනවා. එක් බයිබල් ලේඛකයෙක් ඇසූ ලෙසම අසන්න අපිත් එවිට පෙලඹෙයි. “යෙහෝවා දෙවි මට දී ඇති සියලු යහපත් දේ වෙනුවෙන් මම ඔහුට කෙසේ ස්තුති කරන්නද?” (ගීතාවලිය 116:12, නව ලොව පරිවර්තනය, NW) අප තුළත් එවැනි ප්‍රේමයක් තිබෙන බව අප කාලය වැය කරන ආකාරයෙන් පෙන්වන්නේ කෙසේද?

සෑම සතියකම දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් කොතරම් පැය ප්‍රමාණයක් වෙන් කළ යුතුද කියා බයිබලයේ සඳහන් කර නැහැ. කෙසේවෙතත් අපේ ජීවිතේ මුල් තැන දිය යුතු කාර්යයන් හා ඒවාට මුල් තැන දිය යුතු හේතුව ගැන එහි පෙන්වා දී තිබෙනවා. නිදසුනකට “සදාකාල ජීවනය” ලබාගැනීමට දෙවි ගැන දැනගැනීම අත්‍යවශ්‍යම දෙයක් බව යේසුස් ඉගැන්වුවා. (යොහන් 17:3) එමෙන්ම දෙවි ගැන නොදන්නා අයට ඔහු ගැන කියා දීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නා. (මතෙව් 28:19, 20) අපේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමටත් අන් අයව දිරිගැන්වීමටත් නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වන්න කියා බයිබලයේ අපිට උපදෙස් දී තිබෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25) මේ සෑම දෙයක් සඳහාම කාලය අවශ්‍යයි.

දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ අන් සෑම ක්‍රියාකාරකමක්ම පසෙක දමා නමස්කාරය හා බැඳි ක්‍රියාවල පමණක් හවුල් වීමද? කිසිසේත් නැහැ! එදිනෙදා ජීවිතේ වැඩකටයුතුවලට අවධානය දීමත් වැදගත්. ඒ නිසයි බයිබලයේ පවුලේ මූලිකයාට මෙසේ පවසා තිබෙන්නේ. ‘යමෙකු තමාගේම අය, විශේෂයෙන්ම තමාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු නොඇදහිලිකරුවෙකුට වඩා නරකය.’—1 තිමෝති 5:8.

විනෝද වීමත් අපේ ජීවිතේ එක් අවශ්‍යතාවක්. දෙවි මිනිසුන්ව මවා තිබෙන්නේ ඒ අවශ්‍යතාව ඇතිවයි. මේ නිසා තමන්ගේ පවුලේ අය හා මිතුරු මිතුරියන් සමඟ විනෝද වීමටත් කාලය වැය කිරීම අවශ්‍යයි. සලමොන් රජ ඒ ගැන මෙසේ පැවසුවා. “තම ජීවිත කාලය තුළ සතුටු වී යහපත භුක්ති විඳීමට වඩා අන් කිසිවක් මිනිසෙකුට බලාපොරොත්තු විය නොහැකි බව මම තේරුම්ගත්තෙමි. තවද වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසෙක් කා බී හොඳ ප්‍රතිඵල ලැබිය යුතුය. එය දෙවිගෙන් ලැබෙන දීමනාවකි.”—දේශනාකාරයා 3:12, 13NW.

යෙහෝවා දෙවි මිනිසුන්ගේ සීමාවන්ද හොඳින් දන්නවා. ඔහු ‘අප ධූලි බව සිහි කරනවා’ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (ගීතාවලිය 103:14) ප්‍රමාණවත් විවේකයක් ලබාගැනීමේ අවශ්‍යතාව ගැනද බයිබලයේ පෙන්වා දෙනවා. බොහෝ වෙහෙස වූ දවසක යේසුස් පවා තම ගෝලයන්ට “තනිව පාළු තැනකට ඇවිත් මද විවේකයක් ගන්න” කියා පැවසුවේ ඒ නිසයි.—මාක් 6:31.

දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයකට සමබර වීම හා විවිධ ක්‍රියාකාරකම්වල යෙදීම ඇතුළත් වෙනවා. කෙසේවෙතත් අපි කරන ක්‍රියා ඍජුවම අපේ නමස්කාරයට සම්බන්ධ වූවත් නැතත් ඒ සෑම දෙයකින්ම අපි මුළු ජීවිතෙන් දෙවිට ප්‍රේම කරන බව පෙන්විය යුතුයි. බයිබලයේ මෙසේ උපදෙස් දී තිබෙනවා. “ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත් දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න.”—1 කොරින්ති 10:31.

දෙවිට මුල් තැන දීම

දෙවිගේ කැමැත්ත කිරීමට ජීවිතේ මුල් තැන දීම, අපිට කළ හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් දෙවි අපෙන් බලාපොරොත්තු වීමක්ද? දෙවිට නමස්කාර කිරීම හා බැඳි ක්‍රියාවල නිරත වීම සඳහා විවිධ සකස් කිරීම් කරන්න හා යම් යම් දේ කැප කරන්න සිදු වන බව ඇත්තයි. නමුත් දෙවි කිසිදාක අපිට කළ නොහැකි දේ අපෙන් අපේක්ෂා කරන්නේ නැහැ. එමෙන්ම දෙවිගේ කැමැත්ත කිරීමේදී ඔහුත් අපිට නොමද සහයක් ලබා දෙනවා. අපි “දෙවි සපයන ශක්තිය” මත රඳා සිටියොත් අපිට සාර්ථක විය හැකියි.—1 පේතෘස් 4:11.

නමස්කාරය හා බැඳි ක්‍රියාවල යෙදීමට සකස් කිරීම් කරද්දී අපිට යම් පීඩනයන්ට මුහුණ දීමට සිදු විය හැකියි. එවන් අවස්ථාවලදී “යාච්ඤා අසන තැනැත්තා” වන යෙහෝවා දෙවි සමඟ අපිට කතා කළ හැකියි. (ගීතාවලිය 65:2NW) “ඔහු ඔබ ගැන සලකන නිසා” ඔබේ ගැටලුව ඔහුට පවසන්න. (1 පේතෘස් 5:7) එක් අවස්ථාවකදී දාවිත් රජ මෙසේ යාච්ඤා කළා. “ඔබේ කැමැත්ත කරන්න මට උගන්වන්න. මන්ද ඔබ මාගේ දෙවිය.” (ගීතාවලිය 143:10NW) ඒ හා සමානව ඔබේ ජීවිතයේත් යම් සකස් කිරීම් කිරීමට දෙවිගෙන් උපකාර ඉල්ලන්න ඔබටත් පුළුවන්.

බයිබලයේ මෙසේ ආරාධනා කරනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.” (යාකොබ් 4:8) බයිබලය අධ්‍යයනය කිරීම, ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීම වැනි දෙවිව සතුටු කරවන ක්‍රියාකාරකම්වල ඔබ නිරත වෙද්දී ඔබ දෙවිට ළං වෙනවා. එවිට දෙවිගේ සේවයේ වැඩි වැඩියෙන් හවුල් වෙන්න ඔහුත් ඔබව ශක්තිමත් කරයි.

ජෙලෙනා නම් කාන්තාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරනවා. මේ නිසා නමස්කාරය හා බැඳි ක්‍රියාවලට මුල් තැන දීම සඳහා ඇය යම් සකස් කිරීම් කළ ආකාරය ගැන මෙසේ පවසනවා. “මට සකස් කිරීම් කරන්න එතරම් ලෙහෙසි වුණේ නැහැ. නමුත් මම ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙද්දී බයිබලයේ දෙන උපදෙස් අදාළ කරගැනීමට මට ශක්තිය ලැබුණා. එමෙන්ම අනික් අය දුන් සහයත් මට ලොකු උපකාරයක් වුණා.” දෙවිට සේවය කිරීමෙන් අත් වන ප්‍රයෝජන අද්දකින විටද අපි තව තවත් ශක්තිමත් වෙනවා. (එෆීස 6:10) ජෙලෙනා තවදුරටත් මෙසේ පවසනවා. “මට මගේ ස්වාමිපුරුෂයා සමඟ පෙරට වඩා හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම දරුවන්ව පුහුණු කරන විටත් මම කලින්ට වඩා සාර්ථකයි.”

අපි එදිනෙදා යම් යම් පීඩනවලට මුහුණ දුන්නත් දෙවි ඔහුගේ බලය මගින් අපිව ශක්තිමත් කරනවා. එමගින් ජීවිතේ මුල් තැන දිය යුතු දේවල් හඳුනාගන්නත් දෙවිට සේවය කිරීම සඳහා ‘සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්නත්’ හැකි වෙනවා. (එෆීස 3:16; 5:15-17) යේසුස් මෙසේ පැවසුවා. ‘මිනිසුන්ට කළ නොහැකි දේවල් දෙවිට කළ හැකියි.’—ලූක් 18:27.

මේ ගැන ඔබ සිතුවාද?

▪ දෙවිගේ කැමැත්ත කිරීමට ජීවිතේ මුල් තැන දිය යුත්තේ ඇයි?—ගීතාවලිය 116:12; මාක් 12:30.

▪ දෙවි ඔබෙන් අපේක්ෂා කරන්නේ කුමන ක්‍රියාකාරකම්වල නිරත වීමද?—මතෙව් 28:19, 20; යොහන් 17:3; හෙබ්‍රෙව් 10:24, 25.

▪ දෙවිගේ කැමැත්ත කිරීමට ජීවිතේ මුල් තැන දීම සඳහා සකස් කිරීම් කළ හැක්කේ කෙසේද?—එෆීස 5:15-17; යාකොබ් 4:8.

[20වන පිටුවේ පින්තූරය]

දෙවිව සතුටු කිරීමට නම් සමබර වීම අවශ්‍යයි