Skip to content

පටුනට යන්න

රන්වන් පැහැයෙන් යුත් අගනා තෙලක්

රන්වන් පැහැයෙන් යුත් අගනා තෙලක්

රන්වන් පැහැයෙන් යුත් අගනා තෙලක්

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

මුලින් කොළ පාටටත් ඉදුණු පසු කලු පාටටත් හැරෙන මේ පුංචි ගෙඩිවලින් ප්‍රයෝජන රැසයි. මෙම ගෙඩි යන්ත්‍රානුසාරයෙන් පොඩි කළ විට එයින් රන්වන් පාට තෙලක් ලබාගන්න පුළුවන්. මෙම තෙල් අවුරුදු දහස් ගණන් මධ්‍යධරණී ප්‍රදේශයේ වෙසෙන අයගේ කෑම රසවත් කිරීමට ප්‍රයෝජනවත් වී තිබෙනවා. අපි මේ කතා කරන්නේ ඔලීව තෙල් ගැනයි. මෙහි වටිනාකම දන්නා නිසා පෘතුගාලය සිට සිරියාව දක්වා ප්‍රදේශයේ මෙම ගස් බහුලව වගා කර තිබීම අරුමයක් නොවේ.

ඔලීව ගස් අවුරුදු ගණනාවක් පවතින අතර එහි ගෙඩිවලින් ලබාගන්නා තෙල් රසවත් මෙන්ම ගුණදායකයි. මධ්‍යධරණී ප්‍රදේශයේ වෙසෙන අයට “තෙල්” කියන්නේ “ඔලීව තෙල්” මිස වෙන කිසිවක් නොවෙයි. ස්පාඤ්ඤ භාෂාවෙන් තෙල්වලට භාවිත කරන වචනය (aceite) පැමිණ තිබෙන්නේ අරාබි භාෂාවෙන් වන අතර එහි තේරුම “ඔලීව යුෂ” යන්නයි. ඇත්තටම ඔලීව තෙල් කියන්නේ ඔලීව යුෂවලටයි. එහි රසය හා සුවඳ සඳහා කිසිම රසායනික ද්‍රව්‍යයක් එකතු කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

කිසිම තෙලකට සම කළ නොහැකි තෙල්

ඉතිහාසඥවරියක් වන අර්ලි ස්විංගල් ඔලීව තෙල්වල ගුණය මෙසේ වර්ණනා කළා. “මෙය ඈත අතීතයේ සිටම ආහාර, ඉන්ධන, ආලේපන හා ආගමික කටයුතු සඳහා බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා මෙය වෙන කිසිම තෙලකට සම කරන්න බැහැ.” මෙම තෙල් ලබාගන්නා ක්‍රමය එදා මෙන් අදටත් නොවෙනස්ව පවතිනවා. දැන් අපි ඒ ගැන ටිකක් සලකා බලමු. මුලින්ම දිග පොල්ලකින් ගසේ අතුවලට ගසා ඔලීව ගෙඩි කඩාගන්නවා. ඉන්පසු ගෙඩි සියල්ල එකතු කර මෝලට දමා අඹරනවා. ඊළඟ පියවර වන්නේ අඹරාගත් ඔලීව ගෙඩිවලින් තෙල් වෙන් කරගැනීමයි. මේ තෙල්වල ජලය අඩංගු වී තිබෙන නිසා එය වෙන් කරගැනීමට ටැංකියකට දමන අතර ඉන්පසු රන්වන් ඔලීව තෙල් ලබාගත හැකියි. *

ලොව පුරාම බිලියනයක් පමණ ඔලීව ගස් වගා කර තිබෙනවා. * ඔලීව වර්ග 680කටත් වඩා වැඩි ගණනක් තිබුණද පසේ ස්වභාවය, දේශගුණය, අස්වැන්න නෙළාගන්නා කාලය (නොවැම්බර් සිට පෙබරවාරි දක්වා) හා තෙල් ලබාගන්නා ආකාරය අනුව රසය පැහැය හා සුවඳත් වෙනස් වෙනවා. රස පරීක්ෂකවරුන් තෙල්වල රසය අනුව වර්ග කරන අතර ඒවායේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට වගබලා ගන්නවා.

මධ්‍යධරණී ප්‍රදේශයේ දේශගුණය ඔලීව වගාවට හොඳින්ම ගැළපෙනවා. ලෝකයේ නිෂ්පාදනය කරන ඔලීව තෙල්වලින් සියයට 95ක් පමණ ලබාගන්නේ මෙම ප්‍රදේශයේ කරන වගාවලිනුයි. මධ්‍යධරණී ප්‍රදේශය අවට තිබෙන ඉතාලිය, ග්‍රීසිය, ටියුනීසියාව, තුර්කිය, පෘතුගාලය, මොරොක්කොව, සිරියාව හා ස්පාඤ්ඤය යන රටවල ඔබ ගමන් කරනවා නම් එම ප්‍රදේශවල සාරවත් ලෙස ඔලීව වගා කර තිබෙනවා ඔබට දැකගත හැකියි. මේ නිසා මධ්‍යධරණී ප්‍රදේශය රන්වන් පැහැයෙන් යුත් ඔලීව තෙල් ආකරයක් කියා පැවසිය හැකියි.

ආහාරයට නැතුවම බැරි තෙල්

සියවස් ගණනාවක් පුරා මධ්‍යධරණී ප්‍රදේශයේ ජීවත් වන අයට ඔවුන්ගේ ආහාර බොහොමයක් රස කරගැනීමට ඔලීව තෙල් නැතුවම බැරි දෙයක් වී තිබෙනවා. මෙම තෙල් ආහාර බැදීමට වගේම ආහාරවල රසය වැඩි කිරීමටත් එකතු කරගන්නවා. ස්පාඤ්ඤ ආහාර සෑදීමට ඔලීව තෙල් අවශ්‍ය වීමට හේතුව ගැන එක් විධායක සූපවේදියෙක් වන හෝසා ගාතියා මාරින් පැවසුවේ මෙසේයි. “වසර 4,000ක් පමණ කාලයක් තිස්සේ එය ආහාරයට ගන්නේ එය හොඳ නිසා නෙවෙයිද! ඒ වගේම මෙම තෙල් ලබාගැනීමට මෑත වසරවල සිට භාවිත කරන ක්‍රමවලට ස්තුතිවන්ත වන්න එහි ගුණාත්මක බව දැන් තවත් වැඩි වී තිබෙනවා.”

මධ්‍යධරණී ප්‍රදේශවලට ආවේණික ආහාර * ගන්නා අය හොඳ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන බව කාලයක් තිස්සේ කළ අධ්‍යයනය මගින් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. පළමුව ලබාගන්නා ඔලීව තෙල් ආහාරයට ගැනීම යහපත් ශරීර සෞඛ්‍යයකට හේතු වන ආකාරය ගැන සාකච්ඡා කිරීමට මෑතකදී පෝෂණවේදීන් ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්වූවා. ඔවුන් එහිදී පැමිණි නිගමනය වූයේ පළමුව ලබාගන්නා ඔලීව තෙල් ඇතුළුව මධ්‍යධරණී ප්‍රදේශයට ආවේණික ආහාර ගැනීම යහපත් සෞඛ්‍යයකට මෙන්ම ආයු වැඩි කරගැනීමටද දායක වන බවයි. ඔලීව ගෙඩිවලින් පළමුව ලබාගන්නා තෙල් වැඩියෙන් ආහාරයට ගැනීමෙන් හෘද රෝග මෙන්ම පිළිකා වැළදීමේ අවදානම අඩු කරගත හැකියි. ‘මධ්‍යධරණී ප්‍රදේශයට ආවේණික ආහාර ගන්නා රටවල අයට මේදය මූලිකවම ලැබෙන්නේ ඔලීව ගෙඩිවලින් පළමුව ලබාගන්නා තෙල්වලිනුයි. මේ නිසා ඔවුන්ට උතුරු යුරෝපීය රටවල වෙසෙන අයට වඩා පිළිකා වැලඳීමේ ප්‍රවණතාව අඩු’ බව එම පෝෂණවේදීන් පැවසුවා.

පළමුව ලබාගන්නා ඔලීව තෙල් සෞඛ්‍යයට හිතකර වීමට බොහෝ හේතු තිබෙනවා. එක හේතුවක් නම් ඔලීව තෙල්වල ඔලික් අම්ලය සියයට 80ක් දක්වා අඩංගු වී තිබීමයි. මෙය රුධිර සංසරණ පද්ධතියට යහපත් බලපෑමක් ඇති කරනවා. තවදුරටත් පළමුව ලබාගන්නා ඔලීව තෙල්වල රසායනික ද්‍රව්‍ය අඩංගු වී නැති නිසා ඉදුණු ඔලීව ගෙඩියක අඩංගු විටමින්, අසන්තෘප්ත මේදය හා වෙනත් පෝෂ්‍ය පදාර්ථ එයාකාරයෙන්ම තිබෙනවා.

එපමණක් නොව එහි විටමින් E වැනි කුඩා සංඝටකවල අඩංගු ඔක්සිහාරක ගුණය නිසා සම ආරක්ෂා කිරීමටත් පැහැපත් කිරීමටත් දායක වෙනවා. එමනිසා මෙය ෂැම්පු, ආලේපන හා සබන් සෑදීමට භාවිත කරනවා. ඉපැරණි ග්‍රීකවරුන් හා රෝමවරුන් ඔලීව තෙල් හා ඖෂධීය ශාක සාර ආලේප කළේ සම පිරිසිදු කිරීමට හා සමේ තෙතමනය රැකගැනීම සඳහායි. ඉන්පසු හයවෙනි සියවසේදී ප්‍රංශ ජාතිකයන් ඔලීව තෙල් සමඟ මුහුදු පැළෑටිවල අළු මිශ්‍ර කර සබන් සෑදීමට පටන්ගත්තා.

බයිබල් කාලවලදී . . .

බයිබල් කාලවලදී ඔලීව තෙල් ඖෂධයක් ලෙසත් ආහාර, රූපලාවන්‍ය හා ඉන්ධන මෙන්ම වෙනත් දේවල් සඳහාද බහුල වශයෙන් භාවිත කරනු ලැබුවා. ඔලීව තෙල් ගැන බයිබලයේ 250 වතාවකට වඩා වැඩි වාර ගණනක් සඳහන් කර තිබෙනවා. එය තෙල් වශයෙන් හෝ සුවඳ තෙල් සඳහා භාවිත කළ මූලික අමුද්‍රව්‍යයක් ලෙස නම් කර තිබෙනවා.

ඊශ්‍රායෙල්වරුන් ඔලීව තෙල් කොතරම් භාවිත කළාද කියා බයිබලයේ මනාව පැහැදිලි කර තිබෙනවා. ඔලීව තෙල් ඔවුන්ගේ ආහාරයේ ප්‍රධාන කොටසක් වුණා. එමෙන්ම තෙල් බහුලව තිබීමෙන් අඟවනු ලැබුවේ සශ්‍රීකත්වයයි. (යෝවෙල් 2:24) ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන් ඔලීව තෙල් සමේ ආලේප කිරීමට භාවිත කළා. රූත්, බෝවෙස්ව හමුවීමට යෑමට පෙර “ඇඟ පුරා සුවඳ තෙල් ආලේප “ කළා. (රූත් 3:3, නව ලොව පරිවර්තනය, NW) දාවිත් රජ දවස් සතක් නිරාහාරව සිටීමෙන් පසු “නැඟිට නා තෙල් ගාගෙන ඇඳුම් මාරු කොට යෙහෝවාගේ ගෙට ඇතුල් වී නමස්කාර කොට තමන් ගෙට” ගියා.—2 සාමුවෙල් 12:20.

එදා පහන් දැල්වීමටද ඔලීව තෙල් භාවිත කළා. (මතෙව් 25:1-12) පාළුකරයේදී මණ්ඩපය ආලෝකවත් කිරීම සඳහා “ඔලීව ගෙඩි කොටා සාදාගත් හොඳම තෙල්” භාවිත කරනු ලැබුවා. (ලෙවී කතාව 24:2NW) සලමොන් රජුගේ කාලයේදී ඔලීව තෙල් ජාත්‍යන්තර මට්ටමින් ගනු දෙනු කිරීමට යොදාගත්තා. (1 රාජාවලිය 5:10, 11) අනාගතවක්තෘවරුන් රජවරුන්ව ආලේප කිරීමට මෙම තෙල් යොදාගත්තා. (1 සාමුවෙල් 10:1) ආගන්තුක සත්කාරය පෙන්වීමේ එක් අංගයක් ලෙස ගේහිමියා විසින් ආගන්තුකයාගේ හිසේ තෙල් ගානු ලැබුවා. (ලූක් 7:44-46) යේසුස් පැවසූ උපමාවේ සඳහන් සමරිතානුවරයා තුවාල වූ මිනිසාගේ තුවාලවලට ප්‍රතිකාරයක් හැටියට තෙල් සහ වයින් ගැල්වුවා.—ලූක් 10:33, 34.

බයිබලයේ කෙනෙකුට ලබා දෙන සැනසීම ගෙන දෙන උපදෙස් ඔලීව තෙල්වලට සමාන කර තිබෙන්නේ එහි තිබෙන ඖෂධීය ගුණය නිසයි. මේ ගැන බයිබල් ලේඛකයෙක් වන යාකොබ් මෙසේ පැවසුවා. “ඔබ අතරෙන් යමෙක් අසනීපයෙන් සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ව කැඳවාගනීවා. ඔවුහු යෙහෝවාගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කරමින්, ඔහු උදෙසා යාච්ඤා කරත්වා. එවිට, අසනීපයෙන් පෙළෙන්නා ඇදහිල්ලේ යාච්ඤාව මගින් සනීප වන්නේය. යෙහෝවා ඔහුව නැඟිටුවන්නේය.”—යාකොබ් 5:14, 15.

ඔලීව ගසක් දිගු කාලයක් පවතින නිසා එයින් බොහෝ කාලයක් තෙල් ලබාගත හැකියි. ඔලීව ගසකින් සියවස් ගණනාවක් යන තුරුම සෑම අවුරුද්දකටම ඔලීව තෙල් ලීටර් තුනක්, හතරක් පමණ ලබාගත හැකියි. යහපත් සෞඛ්‍යයකටත් සම ආරක්ෂා කරගැනීමටත් ආහාරවල ගුණය වැඩි කිරීමටත් බෙහෙවින් දායක වන මෙම රන්වන් පැහැයෙන් යුත් තෙල්වල රස බැලීමට ඔබත් කැමති බවට කිසිම සැකයක් නැහැ.

[පාදසටහන්වල]

^ 6 ඡේ. පළමුව ගනු ලබන තෙල්වලට (extra-virgin olive oil) හා දෙවෙනුව ගනු ලබන තෙල්වලට (virgin olive oil) කිසිවක් එකතු කරන්නේ නැහැ. නමුත් ඊළඟට ගනු ලබන තෙල්වලට (olive-pomace) හා පිරිපහදු (Refined) කරන ලද තෙල්වලට රසායනික ද්‍රව්‍ය එකතු කරනවා.

^ 7 ඡේ. සෑම අවුරුද්දකම තෙල් ලීටර් බිලියන 1.7ක් පමණ ලබාගන්නවා.

^ 11 ඡේ. මෙම ආහාරවලට එළවළු මෙන්ම පලතුරුද අයත් වෙනවා.

[19වන පිටුවේ කොටුව]

ඔලීව තෙල් ගැන ඔබ දැනගත යුතු දේ

▪ තෙල්වල ගුණය රැඳී තිබෙන්නේ අවුරුද්දයි මාස හයක් වැනි කාලයකටයි.

▪ ආලෝකය තෙල්වල සංඝටක විනාශ කළ හැකි නිසා සිසිල් අඳුරු තැනක ගබඩා කරන්න.

▪ එක් වරක් බැදීමට යොදාගත් තෙල්වල ඔක්සිහාරක ගුණය අඩු වන නිසා නැවත වරක් එය භාවිතට නොගන්න.

▪ ඔලීව තෙල්වලින් ලැබෙන ගුණයෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීමට නම් කෙනෙක් එය තමන්ගේ ජීවිත කාලය පුරාම භාවිත කළ යුතුයි කියා පෝෂණවේදීන් නිර්දේශ කරනවා.

▪ මාළු, එළවළු, ධාන්‍යය, පලතුරු මෙන්ම ඔලීව තෙල්ද ආහාරයට ගැනීමෙන් හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගත හැකියි.

[16, 17වන පිටුවේ පින්තූර]

සාම්ප්‍රදායික ක්‍රමයට තෙල් ලබාගන්නා ආකාරය

ඔලීව ගෙඩි කඩාගන්නා ආකාරය

ඔලීව ගෙඩි පොඩි කරගැනීම

පොඩි වූ ඔලීව හා තෙල් වෙන් කරගන්නා යන්ත්‍රය

ඔලීව තෙල් ගලා එන ආකාරය

[හිමිකම් විස්තර]

Millstones and machine: Museo del Olivar y el Aceite de Baena

[18වන පිටුවේ පින්තූරය]

ඉහළ: දශක ගණනාවක් පැරණි ඔලීව ගස්

[18වන පිටුවේ පින්තූරය]

දකුණ: ඉපැරණි ඔලීව පහනක්

[හිමිකම් විස්තර]

Lamp: Museo del Olivar y el Aceite de Baena

[18වන පිටුවේ පින්තූරය]

දකුණු කෙළවර: කන්‍යාවන් දසදෙනාගේ උපහැරණයේ දැක්වෙන පහන්